පුල්මුඩේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙනෙන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අනාවරණයක් පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා කර තිබුණි. වසර ගණනාවක් පුරා අවධානයෙන් ගිලි හී ක්‍රියාත්මක වී තිබුණු මෙම ව්‍යාපෘතිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ මහාචාර්ය අතුල සේනාරත්න මහතාව අප සම්බන්ධ කරගනු ලැබුවේ එහි වැඩිදුර තොරතුරු විමසීම පිණිසය.
පුල්මුඩේ සිට දඹුල්ලට පැමිණි වැලි
දඹුල්ලේ කණ්ඩලම පාරේ ජනතාවට මේ ප්‍රශ්නය ඇති වන්නේ 2000 වර්ෂයේ සිටයි. ඒ අනුව අවුරුදු 20ක් පුරා තිබුණු මේ ප්‍රශ්නය පිළිබඳව කිසිවෙකු දැනුවත්ව නොසිටි බවයි පෙනී යන්නේ. නමුත් මෙහෙම දෙයක් සිදුවෙනවා කියල මීට අවුරුදු පහකට පමණ පෙර අපි දැනුවත්ව සිටියා. මෙරට තිබෙන විකිරණශීලී අපද්‍රව්‍ය පිළිබඳව පර්යේෂණය කර ආචාර්ය උපාධියක් කරන්න අපේ රටේ ශිෂ්‍යයෙකුට අවශ්‍යව තිබුණා. ඒ කාලයේ මෙවන් විකිරණශීලී අපද්‍රව්‍ය කියලා යමක් තිබෙනවාද යන්න කවුරුත් දැනගෙන තිබුණේ නැහැ.
යම්කිසි කර්මාන්තයකින් අපද්‍රව්‍යයක් ලෙස බැහැර කරන දෙයක විකිරණශීලී යමක් තිබෙනවා නම් එය විකිරණශීලී අපද්‍රව්‍යයක් ලෙස හඳුන්වනු ලබනවා. මේ විකිරණශීලී අපද්‍රව්‍ය පරිහරණය කරන එක හෝ පවත්වා ගැනීම හෝ ඒවා ළඟ තබා ගැනීම අනිවාර්යෙන් ජාත්‍යන්තර නීතිරීතිවලට යටත්ව සිදුවිය යුතුයි. ජාත්‍යන්තරව පිහිටුවා තිබෙනවා ජාත්‍යන්තර පරමාණු ශක්ති අධිකාරියක්. මේ ආයතනය ලෝකය පුරාම තිබෙන පරමාණුක ශක්තීන් පිළිබඳ සියලුම කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවෙනවා. ලෝකයේ කුමන රටක හෝ විකිරණශීලී ද්‍රව්‍ය පාවිච්චි කළත්, ඛනිජ වර්ග නිස්සාරණය කළත් ඒ පිළිබඳ අවධානයෙන් මේ ආයතනය කටයුතු කරනවා.
ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය
ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ආරම්භ වී තිබෙනුයේ 1957 වර්ෂයේදී. 1961 වර්ෂයේදී තමයි ලංකා ඛනිජ වැලි නීතිගත සංස්ථාව කියන එක ආරම්භ වෙන්නේ. නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි තැන්පත් වෙන ස්ථාන පවතිනවා. මේ ඛනිජ වැලි ඒ ආකාරයටම විදේශයන්ට අපනයනය කිරීම සිදුකරනු ලැබුවා. නිස්සාරණය කිරීමකින් තොරව, පිරිසුදු කිරීමක් නොකර තමයි මුල් කාලයේ මෙලෙස ඛනිජ අපනයනය කළේ. එයට හේතු වුණේ පුල්මුඩේ ප්‍රදේශයේ හමුවන ඛනිජ වැලිවලින් 60%කම ඉල්මනයිට් කියන ඛනිජය අන්තර්ගත වී තිබීමයි. ලෝකයේ තිබෙන ඉතාම පිරිසුදු ඛනිජ වැල්ලක් තමයි අපේ රටේ තිබෙන්නේ. ඉල්මනයිට් කියන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන ඛනිජයයි. ලෝකයේ ඕනෑම වර්ගයක තීන්ත වර්ගයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වන මූලද්‍රව්‍යයක් වන ටයිටේනියම් ඔක්සයිඩ් නිෂ්පාදනය කරගන්න ඉල්මනයිට් නමැති ඛනිජය යොදාගනු ලබනවා. ඒ නිසාම අතීතයේ මේ ඛනිජය විශාල වශයෙන් ජපානයට අපනයනය කරනු ලැබුවා. 1961 සිට 1968 වර්ෂය වෙනකන් කිසිම පිරිපහදු කිරීමකින් තොරව තමයි ඉල්මනයිට් අපනයනය කිරීම සිදුවුණේ. 1968 ජපන් මහාචාර්යවරයෙක් ලංකාවට ඇවිත් ඔහුට පේටන්ට් අවසරය තිබෙන ක්‍රමවේදයක් ඇති උපකරණ ලංකාවට පරිත්‍යාග කළා. ඒ අනුව 1968 වර්ෂයේදී ඛනිජ වැලි පිරිපහදු කිරීම අපේ රටේ ස්ථාපිත කරනු ලැබුවා. ඒ අනුව 60%ක් තිබුණු ඉල්මනයිට් ඛනිජය 95%ක් දක්වා වැඩි කරනු ලැබුවා. එහිදී සිදුකරන්නේ අනවශ්‍ය දේවල් ඉවත්කර පිරිසුදු කිරීමයි. ඒ අනුව පිරිපහදු කළ ඉල්මනයිට් ජපානයට හා වෙනත් රටවලට අපනයනය කරනු ලැබුවා. මෙලෙස පිරිපහදු කරන විට අපද්‍රව්‍ය ලෙස කොටසක් වෙනම ගොඩගැහෙනවා. ඒ අනුව මේ අපද්‍රව්‍ය වසර ගණනාවක් පුල්මුඩේ ගොඩගැහිලා තිබුණා. ඒ අනුව 35෴ක් ලෙස එකතු වෙන අපද්‍රව්‍ය වෙනත් කර්මාන්ත සඳහා අලෙවි කිරීමක් සිදුවුණා. ඒ අනුව වැලි ලෙස හෝ වෙනත් නිෂ්පාදන කරන්නට අලෙවි කළා වගේම ඉතිරිය වෙරළ තීරයේම ගොඩ ගසා තිබුණා. ඒ අනුව ලොකු හානියක් මේ අපද්‍රව්‍යවලින් සිදුවුණේ නැහැ. 1992 වර්ෂයේ මේ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම්වලට ලක් වුණා. එහිදී පෞද්ගලික අංශයට මේ සමාගමෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ලබාගන්න අවස්ථාව හිමි වුණා. 1960 ගණන්වල සවි කරපු යන්ත්‍රවලින් 95෴කට පිරිපහදු කරන්න තිබූ හැකියාව ක්‍රමයෙන් හීන වී ගියා. ඒ අනුව ක්‍රමයෙන් එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ගියා. මේ අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඉවත් කරන අපද්‍රව්‍යවලට හොඳ ඛනිජ වගේම නරක ඛනිජත් එකතු වුණා. මේ අනුව අපද්‍රව්‍යවලට ඉල්ලුම වැඩි වෙන්න වුණා. 2002 වර්ෂයේදී පෞද්ගලික සමාගමක් දඹුල්ල ප්‍රදේශයේදී පිහිටුවා ඛනිජ වැලි නිස්සාරණය සඳහාම. ඒ සමාගම සිදුකළේ දුර්වල ලෙස පිරිපහදු කර ඉවත් කරන වැලි පුල්මුඩේ සිට දඹුල්ලට ගෙන ඒම. මේ ලබාගත් ඛනිජ ගොඩ ගසාගනු ලැබුවා. ඒ අනුව වැලි විශාල වශයෙන් මේ ස්ථානයේ ගොඩ ගසා තිබෙනු දැකගන්නට පුළුවන්. මේ වැලිවල අඩංගු ඛනිජ අපිට මෙලෙස හඳුනා ගන්නට පුළුවන්.
- ඉල්මනයිට් (Ilmanite) 60%
- රූටයිල් (Rutile) 8%
- සර්කෝන්9 (Zircon0 4%
- මොනෝසයිට් ( Monazite) 0.3%
මෙහිදී මේ සියල්ලේ එකතුවට 20%ක පමණ ප්‍රමාණයක් සාමාන්‍ය මුහුදු වැලි එකතු වී තිබෙනවා.
ඒ අනුව ඉල්මනයිට්, සර්කෝන් හා රූටයිල් ඉවත් කරගත් පසු ඉතුරු වන වැල්ල තමයි පෞද්ගලික සමාගමට අලෙවි කරනු ලැබුවේ.
නමුත් මේ අපද්‍රව්‍ය ලෙස ඉවත්කළ වැල්ලේ සියලුම ඛනිජ යම් ප්‍රමාණයකට එකතු වී තිබුණා. එහි වටිනාකම් ලබා ගැනීම සඳහා තමයි මේ පෞද්ගලික සමාගම් මේ අපද්‍රව්‍ය ලබාගන්නේ. මෙහිදී මොනෝසයිට් කියන ඛනිජය ඉතාම විකිරණශීලී ඛනිජයක් ලෙසයි අපි හඳුන්වන්නේ. මේ ඛනිජයේ 12෴ක් තෝරියම් අඩංගු වෙනවා. එය ලෝකයේ ඉතාම මිල අධිකයි. මේ කර්මාන්ත ශාලාවන් බාහිර අයට නිරීක්ෂණය කරන්න ඇතුළු වීමට අවසරයක් නැහැ. දන්නා තරමින් රජයේ ආයතනවත් මේ පරිශ්‍රයන් නිරීක්ෂණය කර නැහැ.
ඒ අනුව මේ පුල්මුඩෙන් ලබාගන්න වැලි මේ පෞද්ගලික සමාගම වෙන වෙනම ඛනිජ ලෙස වෙන් කරනු ලබනවා. ඉන් පසු ඉල්මනයිට් වෙනම අපනයනය කිරීමත්, රූටයිල් වෙනම අපනයනය කිරීමත්, සර්කෝන් හා මොනෝසයිට් වෙන වෙනම අපනයනය කිරීමත් සිදුකර තිබෙනවා. නමුත් මොවුන් ළඟ වාර්තා තිබෙන්නේ ඉල්මනයිට්, සර්කෝන් හා රූටයිල් අපනයන කළ ඒවා පමණයි.
පිටස්තරින් කිසිවෙකුට මේ ආයතනයට ඇතුළු වෙන්න බැරි නිසාම ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණය කරන්න අදහස් කළ සිසුවාට එම අදහස අතහරින්න සිදුවුණා. කෙසේ හෝ පසුගිය කාලයේ මේ සමාගමේ ගොඩගසා තිබෙන වැලි කඳුවලින් වැලි සුළඟේ ගසාගෙන ඒම නිසා අපහසුතාවන්ට මුහුණදෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් මැසිවිලි නැගෙන්නට වුණා. 2016 වර්ෂයේ සිට පුල්මුඩේ සිට පිරිපහදු කිරීමෙන් ඉවත් කරන ඛනිජ වැලිවලට අමතරව පිරිපහදු නොකළ ඛනිජ වැලිත් මොවුන් දඹුල්ලට ගෙනත් පිරිපහදු කරන්නට ආරම්භකර තිබුණා. ඒ අනුව මේ ආයතනයේ ගොඩ ගැසුණු වැලි ගොඩවල් වැඩි වුණා. ඉතාම සිනිඳු වැල්ලක් වන මේ වැල්ල හුළඟට ගසාගෙන ගිහින් පුදේශවාසීන්ට අපහසුතා ඇති වුණ නිසාම පුල්මුඩේ ඛනිජ වැලි සමාගම මගෙන් ඉල්ලීමක් කළා ඒ පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙසට. ඒ අනුව මම අධ්‍යයනය සඳහා එම ප්‍රදේශයේ සංචාරය කළා.
විකිරණශීලීත්වය නිසා ඇති වන ගැටලු
අධ්‍යයනය සඳහා යන අවස්ථාවේදී මම විකිරණශීලී බව මනින උපකරණත් රැගෙන ගියා. ඒ අනුව මම හැම තැනකම විකිරණශීලී ස්වභාවය මනිනු ලැබුවා. මටත් මේ ස්ථානයට ඇතුළු වෙන්න අවසර හිමි වුණේ නැහැ. නමුත් ප්‍රදේශයේ නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මට මේ ආයතන පරිශ්‍රයට ඇතුළු වෙන්න ඉඩ ලැබුණා. ඒ අනුව මම අධ්‍යයනය සිදුකරනු ලැබුවා. එහිදී මම නිරීක්ෂණය කළා ඉතාම ඉහළ විකිරණශීලීත්වයක් සහිත වැලි ගොඩවල් මෙම පරිශ්‍ර‘යේ තිබෙන බවට. අපි මෙය සංසන්දනය කළොත් පුකුෂිමාවල සිදු වූ න්‍යෂ්ටික බලාගාර පිපුරුමෙන් පසු එම ප්‍රදේශවල පැවති විකිරණශීලී ස්වභාවයට සමාන විකිරණශීලීත්වයක් මේ වැලි ගොඩවල්වලින් දැකගත හැකි වුණා. ඒ අනුව ජාත්‍යන්තර නීතිවල ලබා දී ඇති සීමාවල් ඉක්මවා යන ප්‍රමාණයේ විකිරණශීලීත්වයක් මෙහි තිබුණා.
මේ විකිරණශීලී තත්ත්වයට මේ ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන් විවිධ ආකාරයෙන් මුහුණ දෙනු ලබනවා. මේ දූවිල්ල සුළඟේ ඇවිත් ශ්වසනය හරහා නහයෙන් පෙණහලුවලට ඇතුළු විය හැකියි. පෙණහලුවල මෙය තැන්පත් වුණාම ඉවත් වෙන්නේ නැහැ. ඒ අනුව මේ විකිරණශීලීත්වය පෙණහලුවල දීර්ඝ කාලයක් තිබීමෙන් විවිධ රෝග ඇති විය හැකියි.
ඒ වගේම සම මත තැන්පත් වී නිරන්තරයෙන් විකිරණශීලී භාවයට සම නිරාවරණය වීම මත විවිධ චර්ම රෝග ඇති විය හැකියි.
ඒ වගේම මේ විකිරණශීලී තත්ත්වය මත ඇල්ෆා කිරණ නිකුත් වෙනවා. ඒවා නිසා වාතය අයනීකරණය සිදුවෙනවා. තෝරියම් ලෝහය ක්ෂය වෙද්දී රේඩෝන් නමැති වායුවක් නිපදවෙනවා. මේ වායුව ආඝ්‍රහණය වීම මත පිළිකා ඇති විය හැකියි. බරපතළ කාරණය වන්නේ මේ ආයතනයෙන් ඉවත් කරන වැලි මිනිස්සුන්ට ගෙවල් කපරාරු කරන්න, පන්සල්වල වැලිමළු සකස් කරන්න නිකුත් කර ඇති බව අපිට දැනගන්න ලැබුණා. මේ වැල්ල යොදාගෙන නිවසක් කපරාරු කළොත් නිරන්තරයෙන් රේඩොන් වායුවට නිරාවරණය වීමෙන් විවිධ ලෙඩ රෝග ඇති විය හැකියි. විශේෂයෙන් කුඩා ළමුන්ට එය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකියි.
කළ යුතු දේ
ඒ වගේම අපි දැක්කා මේ කර්මාන්තශාලාවේ සේවකයන් ආරක්ෂිත ඇඳුම්, ආරක්ෂිත කණ්ණාඩි, ආරක්ෂිත පාවහන් ආදිය නොමැතිවයි මේ ස්ථානයේ සේවයේ යෙදී සිටියේ. විදේශ රටවල මෙවැනි ආයතනවල සේවය කරන්නේ ආරක්ෂිත ඇඟලුම් ඇඳගෙන වගේම ගෑස් මාස්ක් පවා පැලඳගෙනයි. මේ කර්මාන්තශාලාව මුහුදුබඩ ප්‍රදේශයක ස්ථාපිත කර තිබුණානම් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මුහුදෙන් ලබා ගන්නා වැල්ල පිරිපහදු කර අවසානයේ ඉතිරි වෙන අපද්‍රව්‍ය නැවත මුහුදට දැමීමෙන් කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ.
ඒ නිසා මේ කර්මාන්තශාලාව මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටුවීමයි සිදුකළ යුත්තේ. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ අහිංසක ගොවි ජනතාවක් සිටින මේ ප්‍රදේශයේ ජනතාව ලෙඩ රෝගවලට ගොදුරු වීමයි. මේ ආයතනය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ වගකිවයුතු ආයතනවල අවධානය යොමු වීම ඉතාම වැදගත්.