දමිළ ජනතාව රැවටීමට අවස්ථාවක් නොමැත


දමිළ දේශපාලන හා එල්.ටී.ටී.ඊ. සිරකරුවන් සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ පිළිබඳ පැහැදිලි කිරීමකින් මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කරමි.

මෙහිදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කර තිබුණේ %‘නාමල් රාජපක්‍ෂ සිංහලෙන් එක් දෙයක් හා දෙමළෙන් එක් දෙයක් කියනවා’ යනුවෙනි. මෙහිදී මට මුලින්ම කිව යුතු වන්නේ එම ප්‍රකාශය අසත්‍යයක් බවයි.

අප මුල සිටම සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. සිරකරුවන් පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැරිය යුතු බවයි. එම ස්ථාවරයේ වෙනසක් අදටද සිදුව නොමැත. අප අදත් කියනුයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කර මුදාහැරිය යුතු බවයි.

කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදීන් නිදහස් කිරීමක් ගැන අප කතා කර නොමැත. පැවැති රනිල් වික්‍රමසිංහ රජය නොයෙක් බොරු පොරොන්දු දෙමින් දමළ ජනතාව මුළා කිරීමට කටයුතු කළද, ඔවුන් දමිළ ජනතාව වෙනුවෙන් කළ සේවයක් නොමැත. යුද්ධය අවසන් වී වසර හයක් තුළදී අප පුනරුත්ථාපනය කර සමාජයට මුදාහැරි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සංඛ්‍යාව 12,500ක් විය. 
මෙම සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමෙන් පමණක් සමාජයට මුදා නොහැර ඔවුන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක්ද සකස් කිරීමට අපි කටයුතු කළෙමු. ඔවුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කළ අතර, ඇතැම් පුද්ගලයන් වෙනුවෙන් රැකියා ලබාදීමටද කටයුතු කළෙමු. එයිනුත් නොනැවතී එම සාමාජිකයන් වෙනුවෙන් ව්‍යාපාර ආරම්භ කරන්නේ නම්, ඒ සඳහා ණය මුදල් ලබාදීමටද අපි කටයුතු කළෙමු.

නමුත් එක්සත් ජාතික පක්‍ෂය හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය මේවා නොදකී. ඔවුන් සෑම දිනකම කටයුතු කළේ, දමිළ ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමට පමණි. නමුත් පසුගිය රජය එක් දෙයක් කළේය. ඒ මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා වූ පනතක් සම්මත කර ගැනීමට කටයුතු කිරීමය. එයට අත එස වූ මන්ත්‍රීවරුන් අතර මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතාද සිටි බවට මෙහිදී මතක් කරමි.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ගැන කතා කළ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් කතා කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. පසුගිය කාලයේදී නොයෙක් අඩන්තේට්ටම්වලට ලක්වූ රණවිරුවන් වෙනුවෙන් නව රජය උපරිම සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කරමි. එසේම අසාධාරණ ලෙස නඩු පවරා ඇති රණවිරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය යන්න මාගේ හැඟීමයි. 

රණවිරුවන් වෙනුවෙන් කවදත් සාධාරණය ඉටු කළ මාගේ පියා එනම්, මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් පිළිබඳ සාධාරණය ඉටු කරනු ඇතැයි යන්න බොහෝ දෙනාගේද අපේක්‍ෂාව වී තිබේ. මෙයින් බොහෝ නඩු පනවා ඇත්තේ අසාධාරණ ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් ජාත්‍යන්තර සංවිධාන හා රටවල් සතුටු කිරීම වෙනුවෙනි. 

වර්තමානයේදී බොහෝ දෙනෙකුගේ අවධානය එක්සත් ජාතික පක්‍ෂයෙන් වත්මන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් වෙත යොමුව තිබේ. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙය මුදල් මත සිදුවන ගනුදෙනුවක් බවයි. 
නමුත් මාගේ හැඟීම අනුව මෙය කිසිසේත් මුදල් මත සිදුවූ ගනුදෙනුවක් නොවේ. හුදෙක්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකාධිපති පාලනයට විරුද්ධව මන්ත්‍රීවරුන් පෙළගැසෙන අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය. අනෙක් අතින් පසුගිය ආණ්ඩුව යටතේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට නොහැකිව පීඩනයකට ලක්ව සිටි මන්ත්‍රීවරුන් වත්මන් රජයට එක්ව ඇත්තේ, ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලට නව රජය යටතේ හෝ සධාරණයක් ඉටු කිරීම වෙනුවෙනි. එක්සත් ජාතික පක්‍ෂයේ සිට පැමිණි කිසිවෙක් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ සන්ධානයේ වෙනත් පක්‍ෂයට එක්වූ බව සඳහන් නොකරති. ඔවුන් පවසන්නේ තමන් තවමත් එක්සත් ජාතික පක්‍ෂයේ බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නොහැකියාව වසා ගැනීමට ඔවුන් කටයුතු කරන්නේ අනෙක් පුද්ගලයන් හොරු බවට ප්‍රචාරය කරමිනි. අද එක්සත් ජාතික පක්‍ෂයේ අප හා එක්වූ පිරිසටද ඔවුන් හොරු බවට සඳහන් කරමින් තම නොහැකියාව වසන් කිරීමට ඇතැම් පුද්ගලයෝ කටයුතු කරති. පසුගිය වසර එකහමාර තුළ ඔවුන් අපටද හොරු බවට අඛණ්ඩව චෝදනා එල්ල කරමින් චරිත ඝාතනය කිරීමට උත්සාහ කළා විනා, රටේ ජනතාවට සේවයක් කිරීමට ඔවුහු කටයුතු නොකළහ. එහි ප්‍රතිඵල දැන් ඔවුහු විඳිමින් සිටිති.

දැන් බොහෝ දෙනෙකුගේ අවධානය පාර්ලිමේන්තුවේ 113ක් ලබා ගැනීම කෙරෙහි යොමුව තිබේ. නමුත් අපට සඳහන් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 113කට වඩා වැඩි බහුතරයක් අප හට ලබාගත හැකි බවයි. මේ සටහන ලියන අවස්ථාව වන විටත් අපත් සමග එක්වීමට මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම සාකච්ඡා කරමින් සිටියහ. එහෙයින් අපට 113 පිළිබඳ ප්‍රශ්නයක් ඇතිව නොමැත. පාර්ලිමේන්තුව රැස්වෙන පළමු අවස්ථාවේදීම මේ බව පාර්ලිමේන්තුවේ සනාථ කිරීමට කටයුතු කරන බව මෙහිදී ඔබව දැනුවත් කරමි.

මේ අතර, කථානායක කරු ජයසූරිය මහතා ඊයේ දිනයේදී තම බලය ඉක්මවා යමින් කටයුතු කළේය. කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව තුළ කටයුතු කළේ, පක්‍ෂග්‍රාහීව බව සඳහන් කිරීමට අලුතෙන් අවශ්‍ය නොවේ. ඔහු  කටයුතු කළේ සිරිකොතේ පක්‍ෂ මූලස්ථානයේ කථානායකවරයා ලෙසිනි. ඔහුගේ නිවේදනය රජයක් ලෙස නොගැනීමට කටයුතු කරන්නෙමු.

පසුගියදා නව රජය විසින් මූලිකවම ජනතාවට සහන කිහිපයක් ලබාදීමට කටයුතු කළ අතර, එය ආරම්භය පමණි. ඉදිරියේදී ජනතාවගේ සමාජ, ආර්ථික හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මෙගා සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමුකර ඇති බව මෙහිදී සඳහන් කරමි. එසේම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ආයෝජන ලබාගෙන රැකියා බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විට සකස් කරමින් සිටිමු.
ලබන සතියේදී හමුවෙමු!
සුබ අනාගතයක්!



Recommended Articles