තොරතුරු කොමිසමෙන් නියෝග දෙකක්


‘ජනතාවගේ පොදු යහපත උදෙසා’ යන කාරණය පදනම් කර ගනිමින්  මාතර මහ රෝහලට හා  සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව මගින් නියෝග දෙකක් නිකුත් කර තිබේ.

 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ දැනගැනීමේ පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන්  මාතර මහ රෝහලෙන්  හා  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉල්ලා සිටි තොරතුරු, පනතේ පස්වන වගන්තිය අනුව ලබාදිය නොහැකි බව දන්වා එවීමෙන් පසු කොමිසම මගින් සිදුකළ දීර්ඝ  අභියාචනා විභාගයකින් පසු මෙම නියෝගය  ලබා දී තිබේ.

මාතර මහ රෝහලෙන් 2019 දෙසැම්බර් 04 දින රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි නමුත්, ඒ වනවිට ඒ සම්බන්ධයෙන්   පරීක්ෂණයක් හා අධිකරණ කටයුත්තක් පවතින බව පවසමින් මාතර මහ රෝහල මගින් 2019 දෙසැම්බර් 23 දින  එම තොරතුරු ලබාදීම  ප්‍රතික්ෂේප කර තිබේ. මේ සම්බන්ධන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත 2019 දෙසැම්බර් 28 දින යොමුකළ අභියාචනය සඳහාද පිළිතුරු දෙමින් 2020 ජනවාරි 13 දින එවන ලද ලිපියකින් දැනුම් දී තිබුණේ අදාළ පරීක්ෂණය අවසන් වූ පසු තොරතුරු ලබාදීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත්  2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ  දැනගැනීමේ පනතේ 5.1(ඌ)(i ) සහ (ii) (ඒ) යන වගන්තිවලට අනුව එම තොරතුරු ලබාදිය නොහැකි බව අදාළ පොදු අධිකාරිය මගින් 2019 දෙසැම්බර් 23 දින ලිපිය මගින් දැනුම් දී තිබුණි. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5 (4)(1) යටතේ මහජන සුබසිද්ධිය යන කාරණය අවධාරණය  කරමින්  ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත 2020 ජනවාරි 17 දින යොමු කළ අභියාචනයෙන් පසු දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව, 2020 දෙසැම්බර් 01 දින අභියාචනා අංක 2083/2020 යටතේ මෙම තීන්දුව ලබා දී තිබේ.

එමෙන්ම 2019 ඔක්තෝබර්  22 දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලංකාවේ රෝහල් තුළ පවතින සායනික අපද්‍රව්‍ය  සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක එම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකි බව පවසමින් එම තොරතුරු ලබාදීම මගහරින ලදී. නමුත් මේ සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 28 දින ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත යොමු කළ අභියාචනයෙන් පසු 2021 පෙබරවාරි 16 දින පැවැත් වූ විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී අනුමත කරන ලද නියෝගය අනුව, අභියාචක විසින් විමසන ලද තොරතුරු හුදෙක් පෞද්ගලික අරමුණුවලින් එහා ගිය මහජන සුබසිද්ධිමය තත්ත්වයක් ඉස්මතු කරන බැවින්, එම තොරතුරු ලබාදීම සඳහා අදාළ පොදු අධිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කර තිබේ.

අදාළ නියෝගයෙන් පසු මාතර මහ රෝහල මගින් 2021 පෙබරවාරි 21 දින අදාළ තොරතුරු ලබාදී ඇතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් එම තොරතුරු ලබාදීමට කටයුතු කර නැත.

අද වනවිට දිවයිනේ බොහොමයක් පොදු අධිකාරීන් වෙත යොමුකර තිබෙන තොරතුරු අයදුම්පත් 2000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් අනාවරණය වී ඇත්තේ, එම පොදු අධිකාරියට තම තොරතුරු දීමට නොහැකි අවස්ථාවන්හිදී මෙන්ම, එම තොරතුරු ලබාදීමෙන් බොහොමයක් පොදු අධිකාරීන්හී අකාර්යක්ෂමතාව, වගවීම් බැහැරකිරීම් මෙන්ම පොදු අධිකාරීන්හී විවිධ දූෂණයන් අනාවරණය වන ආවස්ථාවන්හිදී, පුරවැසියන් නොමග යවමින් පනතේ 05වැනි වගන්තිය අනුව එම තොරතුරු ලබාදිය නොහැකි බව පවසමින් තොරතුරු දීම මගහරින්නට කටයුතු කර ඇති බවයි.

මෙහිදී වගවීම, විනිවිදභාවය වර්ධනය කිරීම, දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කිරීම සහ දූෂණය අවම කිරීම, යහපාලනය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සහ සාර්ථකත්වය උදෙසා ලංකාවේ  2016 අංක 12 දරන තොරතුරු පනතේ 5(4) වගන්තිය මගින් රටේ පුරවැසියන්හට ලබාදී ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා වටිනා එකකි.

නමුත් යම් පුරවැසියෙකු පොදු අධිකාරියක් මගින් තොරතුරු ඉල්ලා සිටින්නේ කාලානුරූපීව තමන්ට අවැසි කාරණයක් වෙනුවෙනි. ඒ නිසාම  2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ  දැනගැනීමේ පනත මගින් දින 14ක සිට 21 දක්වා වූ කාලයක් තොරතරු ලබාදීම වෙනුවෙන්  ලබා දී තිබේ.  මේ ආකාරයෙන් මාස ගණනාවක් තිස්සේ තොරතුරු ඉල්ලුම්කරුවන් හට තොරතුරු ලබා නොදී විවිධ හේතූන් ඉදිරිපත් කරමින් බොහොමයක්  පොදු අධිකාරීන්  කටයුතු කිරීම නිසා  පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

එමෙන්ම  ඒ ආකාරයෙන් තොරතුරු දීම මගහරින පොදු අධිකාරීන් සඳහා පනතේ විධානයට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම තොරතුරු කොමිසමේ අභියාචනා විභාගයන් කඩිනම්  කරමින් පනතේ විධානයන් නොසලකා හරින පොදු අධිකාරීන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි



Recommended Articles