නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු සභාපතිවරයා වශයෙන් එම දිස්ත්‍රික්කයේ ඇති බරපතළම ගැටලුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
දැඩි ලෙස බලපාලා තිබෙන්නේ ඉඩම් ගැටලුවයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 54%ක ජනතාවක් ජීවත් වෙන්නේ පූර්ණකාලීන කෘෂිකර්මාන්තයෙන්. විවිධ රැකියාවල නියුතු වුණත් ඉතිරි ප්‍රමාණයෙන් බහුතරයකුත් කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. ඒ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාවගෙන් 95%ක් පමණ කෘෂිකර්මයට සම්බන්ධ අය. රටේ එළකිරි නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයයි. ඒ වගේම නුවරඑළියට සුවිශේෂී වූ බෝග ගණනාවක් තිබෙනවා. අපි පෙයාර්ස් ගත්තොත්,ස්ට්‍රෝබෙරි ගත්තොත් ඒවා රටේ කිසි තැනක වැවෙන්නේ නෑ. මල් වුණත් එහෙමයි. නමුත් මේ සියලු කෘෂිකාර්මික බෝගවලින් අපිට ඉදිරියට යන්න බැරුව තියෙන්නේ ඉඩම් හිඟය නිසයි. ඒක තමයි මෙහෙ තියෙන විශාලම ගැටලුව. සුද්දෝ අපේ පාරම්පරික ඉඩම් සම්පූර්ණයෙන්ම මංකොල්ල කාලා ඒවායේ තේ අධිරාජ්‍යයක් ගොඩනැගුවා. අද වෙනකොට දේශපාලනඥයන්ගේ ආශීර්වාදය හා වරප්‍රසාදය යටතේ ධනවත් ව්‍යාපාරිකයන් නුවරඑළියේ ඉඩම් මංකොල්ල කනවා. මේ තත්ත්වය වහාම නතර කළ යුතුයි.
නුවරඑළියේ තේ වතු හිමි සමාගම් ඔවුන්ට අයිති ඉඩම් ප්‍රමාණයට වඩා අක්කර 15,000කට වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලගෙනයි ඉන්නේ. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ. අපි වතුකරයේත්,ගම්මානවලත් ඉන්න කිරි ගොවියන්ට එක් අයෙකුට අක්කර දෙක ගානේ අක්කර 25,000ක් 30,000ක් විතර ඉඩම් ප්‍රමාණයක් බෙදලා දෙන්න ඕනේ. එහෙම වුණොත් අද රටේ 38%ක තියෙන කිරි නිෂ්පාදනය,100%ක් කරන්න පුළුවන්. ඒ වගේම පෙයාර්ස්, ස්ට්‍රෝබෙරි හා මල් වැනි බෝගවලට විදේශවල විශාල ඉල්ලුමක් තියෙනවා. ඒවා හදන්නත් අක්කර දෙක ගානේ දීලා අපිට විශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන්. ලක් පැරකුම් වැනි කෝපි විශේෂ අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රචලිත වෙලා. ඒවාට ජපානයේ විශාල ඉල්ලුමක් තියෙනවා. නමුත් එවැනි කෝපි විශේෂ පවා වැඩි වැඩියෙන් වවන්න ඉඩම් නෑ. ඒක නිසා වතුවල තියෙන නිස්සාර,නඩත්තු නොකරන ඉඩම්, කිරි ගොවියන්ට හරක් ඇති කරන්න, එළවළු,පලතුරු වගේම වෙනත් බෝග හදන්න දෙන්න පුළුවන් නම් මිනිස්සුන්ගේ ආර්ථිකය ගොඩනංවන්න පුළුවන්. පළවැනි දේ තමයි නාගරික ධනපතියන් නුවරඑළියේ අල්ලගෙන ඉන්න ඉඩම් ටික නිදහස් කරගන්න එක. ඒ වගේම වතු සමාගම් විසින් බලහත්කාරයෙන් අල්ල ගෙන තියෙන ඉඩම් ටිකත් නිදහස් කරගෙන ඒවා ඉඩම් නැති සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාවට බෙදලා දෙන එකත් වැදගත්. එහෙම වුණොත් තමයි අපිට මේ මිනිස්සුන්ගේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙන්නේ.
නමුත් තේ නිෂ්පාදනය රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. වතු සමාගම්වල ඉඩම් ලබා ගැනීමෙන් තේ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වෙනවා නේද?
නෑ. එහෙම වෙන්නේ නෑ. උඩරට තේ ආර්ථිකයේ බහින කලාව දැන් පටන් අරගෙනයි තියෙන්නේ. උඩරට තේවලට අනාගතයක් නෑ. ඒ තේවලට තිබුණ ඉල්ලුම පහත වැටිලා. අද උඩරට තේ කිලෝවක් වෙන්දේසියේදී විකිණෙන්නේ රු. 400ත්, 700ත් අතර ගාණකට. නමුත් පහතරට තේ කිලෝවක් රු. 700ත් 1300ත් අතර මිලකට විකිණෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ශ්‍රම හිඟය. වතු කම්කරු කාන්තාවන් වෙනත් රැකියාවලට යාම නිසා පලපුරුදු තේ නෙළන්නියන් අඩුයි. අද තේ දලු නෙළීමේදී මෝරපු කොළත් නෙළනවා. ඒ නිසා තේවල ගුණාත්මකභාව පවත්වා ගන්න මේ අයට බැරි වුණා. ප්‍රමිතිය ගන්න වතු සමාගම් විවිධ ද්‍රව්‍ය තේවලට කවලම් කරනවා. ඒ සමහර ද්‍රව්‍ය ශරීරයට අහිතකර දේවල්. මේ නිසා පසුගිය කාලයේ තේ කර්මාන්ත ශාලා 11ක් වසා දමන්න තේ පාලක මණ්ඩලය කටයුතු කරලා තියෙනවා. මේ තත්ත්වය තුළ වතු සමාගම් සතු ඉඩම්,තේ පැළ ගලවලා වෙනත් බෝග වගා කරන්න මුදලාලිලාට විකුණනවා. මේක නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාම දකින්න පුළුවන් දෙයක්. ඒවා නීති විරෝධියි. වතු සමාගම්වලට තේ ඉඩම් අතුරු බදු දෙන්න බෑ. ඒ ඉඩම් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. 1997-98 වකවානුවේ ගම් පුලුල් කිරීමේ වැඩසටහන යටතේ තේ වතුවලින් ඉඩම් අක්කර 25,000ක් පමණ අපි හඳුනා ගත්තා. ඒ තොරතුරු නැවතත් රැස් කරලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කියලා මම කිව්වා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ කරා සංවර්ධනය ඒකාකාරීව ගලා නොගිය බවක් තමයි සංචාරය කිරීමේදී අපිට දැකගන්න ලැබෙන්නේ. ඒ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
ඔව් ඒක ඇත්ත. උදාහරණයක් ගත්තොත් වලපනේට එක හොඳ පාසලක් වත් නෑ. නමුත් හඟුරන්කෙතට හොඳ පාසල් 6ක් 7ක් තියෙනවා. ඒවා මගේ ධෛර්යයෙන් ගොඩ නගපු පාසල්. ලංකාවේ විශාලම පිට්ටනිය තියෙන්නේ පොරමඬුල්ල පාසලට. ඒකේ මීටර් 800ක ට්‍රැක් එකක් ගහන්න පුළුවන්. ඒ වගේම නුවරඑළිය රෝහලට සමාන රෝහලක් හඟුරන්කෙත තියෙනවා. එවැනි හොඳ රෝහලක් වලපනේට, මස්කෙළියට,කොත්මලේට ඕනේ. නමුත් ගොඩ නැගිලා නෑ. අපිට හොඳ හෝටල් පාසල් ටිකක් හැදෙන්න ඕනේ. තවමත් දිස්ත්‍රික්කයේ යන්න එන්න පාරක් නැති ගම්මාන තියෙනවා. විශේෂයෙන් වලපනේ එවැනි ගම්මාන 10ක් 15ක් හඳුනා ගන්න පුළුවන්. ඒ මිනිස්සු තවමත් තමන්ගේ කුඹුරේ තියෙන වී ටික ගේන්නේ තවලම් පිටේ. දැන් තවලමුත් අඩු නිසා දුෂ්කරතාව වැඩියි. ඒ ගම්වල පාරවල් ටික හැදෙනවා නම් තවත් අක්කර දෙතුන් දහක් කුඹුරු අස්වද්දන පුළුවන්. පානීය ජලය පිළිබඳ ගැටලුත් තියෙනවා. අපි ඒ තත්ත්වය හඳුනාගෙන තියෙනවා. ඒවා ඉටු කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
හගුරන්කෙත කළ සංවර්ධනය අනෙක් ප්‍රදේශවල වෙලා නෑ කියන දෙයින් ඔබ පෙන්නුම් කරන්න හදන්නේ අනෙක් ප්‍රදේශවල දේශපාලන නායකත්වය දුබලයි කියලද?
මම එහෙම කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න කැමති නෑ. හැබැයි වලපනේ,කොත්මලේ වගේ ආසන කාලයක් තිස්සේ අනාථ වෙච්ච බවක් පේනවා. ඒ වගේම තමයි නුවරඑළිය නගරයත්. අපේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේට නුවරඑළිය ගැන දර්ශනයක්,හැදෑරීමක් තිබුණා. ඔහු ළඟ නුවරඑළියේ පැල්පත් ප්‍රශ්නය,පානීය ජල ප්‍රශ්නය,නාගරික සංවර්ධනය වැනි ගැටලු ගණනාවකට සැලසුම් තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න හැකියාවක් තිබුණේ නෑ. ඔහුට මේ පාර නගර සභාවේ පාලනය ගන්න තිබ්බා. නමුත් අපේම අය තමයි ඒ අවස්ථාව නැති කරලා දැම්මේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඕනකම තිබුණා මහින්ද දොඩම්පේගමගේව ගේන්න. ඒ ඔහුට නුවරඑළිය ගැන දැක්මක් තියෙන නිසා. හැබැයි අපේම අය මහින්ද දොඩම්පේගමත් එක්ක තියෙන පෞද්ගලික කෝන්තර පිරිමහන්න ඒ අවස්ථාව ඔහුට නැති කළා. ඒක නැති කළේ මහින්දට නෙමෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. පොදුජන පෙරමුණටත් වඩා නුවරඑළියේ අහිංසක ජනතාවට තමයි ඒ අවස්ථාව නැති කළේ. ඒක රටටත් කරපු ලොකු අපරාධයක්. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් කරපු අපරාධයක් අපේ පක්ෂයට පාලන බලය ගන්න තිබුණ අවස්ථාවක් මග හැරපු එක. හැබැයි වාසනාවට වගේ නාගරික සංවර්ධන අධිකාරිය මහින්ද දොඩම්පේගමගේ හදලා තියෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. දිස්ත්‍රික්කයේ ගොඩක් තැන්වල තත්ත්වය ඕක තමයි. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි කට්ටිවාදී වැඩවලින් මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න බෑ කියන එක.
දීර්ඝ කාලයකට පසුව දේශපාලන කටයුතු සඳහා නැවතත් නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණීම ඔබට බලපෑවේ කිනම් ආකාරයටද?
මම නුවරඑළියේ නැති කාලේ හැමදාමත් දිස්ත්‍රික්කය පරාදයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයේදීත් නුවරඑළිය දිස්ත්‍රික්කය එක්ලක්ෂ නව දහසකින් පරාදයි. හඟුරන්කෙත අපි ඡන්ද 6000කින් දිනුව නිසා ඒ ගාන අඩු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය මත බැසිල් රාජපක්ෂ මහතා මාව නුවරඑළියට දැම්මෙම “ගිහින් දිනවපන්” කියලයි. මම ආව ගමන් එතෙක් නොතිබුණු සුළු ජාතිකත්ව සහයෝගයක් ලැබුනා. එක්සත් ජාතික පක්ෂයෙනුත් විශාල පිරිසක් අපිට එකතු වුණා. ඒ වගේම පක්ෂයට විශාල සම්පතක්ව තිබුණ ශක්තිමත් මිනිසුන් ගණනාවක් අපෙන් ඈත් කරලයි තිබුණේ. නුවරඑළියේ මහින්ද දොඩම්පේගමගේ,විමාලි කරුණාත්න,වලපනේ ජගත් කුමාර සමරහේවා, කොත්මලේ අජිත් මෙන්ඩිස්,තලවකැලේ අශෝක හේරත් වගේ අයව දේශපාලන වශයන් ඝාතනය කරලයි තිබුණේ. එහෙම කරලා පහුගිය කාලේ ඉතාම දුර්වල පිරිස් ළං කර ගත්තා. මොකද ඒ අයගෙන් තමන්ට කරදරයක්, තර්ජනයක් කිසි දවසක එන්නේ නැතිවෙයි කියන චේතනාවෙන්. ඒකෙන් වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කය දුර්වල වීමයි. ඒක නිසා හඟුරන්කෙත ඇරෙන්න අනෙක් හැම තැනම අපි පැරදුනා. අපි පැරදුනේ අපි විහින්මයි. මම කළේ එහෙම ඈත් කරලා හිටපු ශක්තිමත් මිනිස්සු නැවතත් ළං කර ගැනීමයි. ඒ අය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කළා. අශෝක සේපාලට කෙලින්ම වැඩ කරන්න බැරි වුණත් ඔහුගේ සහෝදරයන් අපෙත් එක්ක එකතු වුණා. ඒ බලවේග තමයි නුවරඑළිය දිනන්න ශක්තියක් වුණේ. මහ මැතිවරණයේදී එක්ලක්ෂ දහතුන් දහසකින් අපි දිනුවා. ඊට කලින් අපේම අයගේ වැරදි නිසා තමයි නුවරඑලිය පැරදුනේ. ජයග්‍රහණය අපෙන් ගිලිහිලා ගියේ. සුළු ජාතීන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මොන තරම් ශක්තිමත් වුණත් මගේ කාලයේදී නුවරඑළිය අපි දිනුවා. මම දෙවරක් තොණ්ඩමන් මහතාට වඩා මනාප ඡන්ද ලබා ගත්තා.
නමුත් ඒ කැපවීම වෙනුවෙන් ඔබට පක්ෂයෙන් සාධාරණයක් ඉටු වුණේ නෑ නේද? කැබිනට් මණ්ඩලයට ඔබ ඇතුළත් නොකර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකම දුන්නේ ඒ නිසා නේද?
ඒක මට එච්චර ගාණක් නෑ. අපි අන්තිම මොහොතෙනේ ආවේ. අපේ පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්තයට දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා. මම නෙමෙයි. ඒ වෙලාවේ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයන් හැමෝටම ඇමතිකම් දුන්නා. ඒ හැමෝම ඇමතිකම් භාර ගත්තා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති. ඒ අපේ පක්ෂය. තීන්දුව ගත්තේ පක්ෂයෙන්. ඇමතිකම් දාලා ගියේ නියෝජ්‍ය ඇමතිකම් ගත්ත අය. දැන් ඔය සී. බී. ඇමතිකම් දාලා ගියා. පවිත්‍රා දාලා ගියා. ඒ අය නියෝජ්‍ය ඇමතිකම් දාලා ගියේ යූ. එන්. පී. ඇමතිවරු යටතේ ඉන්න බැරි නිසයි. නමුත් කැබිනට් අමාත්‍ය ධුර ලබා ගත්ත කිසිකෙනෙක් ඒවා දාලා ගියේ නෑ. බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි ධෛර්යය මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්ප පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනගලා ඉතාම කෙටි කාලයක් ඇතුළත බලයට ගේන්න පුළුවන් වුණේ. ඒක අතිදක්ෂ වැඩක්. ඒකට ප්‍රධාන සාධකය වුණේ මහින්ද රාජපක්ෂ මහතා ගැන මිනිස්සුන්ගේ තිබුණ ආදරය. ඒක යොදා ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වුණා. එවැනි උදාහරණ ඉන්දියාවෙත් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ නායකයා වුණාට පස්සේ අපි ඇමතිකම් භාර ගත්තත් ඒ ගත්ත දවසේ ඉඳලම රනිල්ට විරුද්ධව හිටියා. දවස් 50 ආණ්ඩුව හැදුවේ මම. මහින්ද රාජපක්ෂ මහතාවයි,මෛත්‍රීපාල සිරිසේන මහතාවයි, අපේ ගෙදරට ගෙන්නලයි සාකච්ඡා කළේ. පළවැනි,දෙවැනි, තුන්වැනි සාකච්ඡා තිබුණේ අපේ ගෙදර. හතරවැනි සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ මහතාවත් ගෙන්න ගත්තා. එහෙම කරලයි අපි ආණ්ඩුව පෙරළුවේ. ඒක තියාගන්න බැරි වෙච්ච එක වෙනම කතාවක්. හැබැයි පාර්ලිමේන්තුවේ නිකම්ම පැත්තකට දාලා හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයව විපක්ෂ නායකකමට ගෙනාවේ දින 50 ආණ්ඩුව. ඒකෙන් තමයි හැට නව ලක්ෂය ගන්න,තුනෙන් දෙක ගන්න මග පෑදුනේ. මමයි ඒක කළේ. තනතුරු පිළිබඳ මට මහ ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක රට ඉදිරියේ ප්‍රශ්නයක් හැටියට තියෙන බව මම දන්නවා. නමුත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.
සාකච්ඡා සටහන හා ඡායාරූප - නුවරඑළිය සම්පත් ජයලාල්