තෙල් විසුරු‍ෙම් පාරිසරික බලපෑම යථා තත්ත්වයට පත් වීමට වසර 5කටත් අධික කාලයක් ගතවේවි


මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගණය වෙත නෞකාවකින් තෙල් පොම්ප කෙරෙන අවස්ථාවේදී එම තෙල් ගෙනයන බෝයාවේ වසර ගණනක් පැරණි අබලන් නළයක් හදිසියේ පුපුරා යෑම නිසා දැවිතෙල් ටොන් 25ක පමණ ප්‍රමාණයක් මේ වනවිට මුහුදට නිකුත්ව තිබේ. මෙම හදිසි තෙල් විසිරුමින් දික්ඕවිට සිට මීගමුව දක්වා මුහුදු තීරයට මේ වන විට බලපෑම් එල්ලවී තිබේ.මෙරට මුහුදු සීමාව හරහා වාර්ෂිකව තෙල් මෙට්‍රික් ටොන් 525 ප්‍රමාණයක් සංසරණය වන අතර, ශ්‍රී ලංකාවේ වරායන් වෙත වාර්ෂිකව නෞකා 5000කට අධික ප්‍රමාණයක් පැමිණේ. නමුත් අප වරායන්ගේ ගැඹුර ප්‍රමාණවත් නොවීම නිසා ගැඹුර මීටර් 20කට වැඩි විශාල ප්‍රමාණයේ තෙල් නෞකාවන්ට ශ්‍රී ලංකාව සතු වරායන්ට ඇතුළු වීමට නොහැකිය.

මේ හේතුවෙන් එම විශාල ප්‍රමාණයේ තෙල් ප්‍රවාහන නෞකාවන් උස්වැටකෙයියාව වෙරළේ සිට කිලෝමීටර් 10 දුරින් ස්ථානගත කර තිබෙන පාවෙන ග්‍රාහකයකට(SPBM) සම්බන්ධ කර නළ මාර්ග ඔස්සේ ගොඩබිම වෙත තෙල් පොම්ප කිරීම සිදුකරයි. සාමාන්‍යයෙන් එබඳු නෞකාවක් සම්පූර්ණයෙන්ම හිස් කිරීමට දින තුනක පමණ කාලයක් ගතවේ. මෙම හදිසි තෙල් විසිරුමද සිදුව ඇත්තේ එබඳු අවස්ථාවකදීය.

සිද්ධිය සැලවූ විගසම මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළාරක්ෂක බළකාය ක්‍රියාත්මක වී ඇති අතර, අදාළ තෙල් ස්ථරය ගැඹුරු මුහුදේ තිබියදී එම තෙල් ඉක්මන් වියෝජනයට ලක්කිරීම සඳහා තෙල් විසිරුම් රසායනිකයන් භාවිත කළද ඉන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් තෙල්වලින් කොටසක් මෙසේ උස්වැටකෙයියාව තල්දියවත්ත වෙරළ තීරයට ගොඩගසා තිබේ. 

මේ වනවිටත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක බළකාය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ඛනිජතෙල් සංස්ථාවේ පිරිස් එක්ව තෙල් විසිරුම පාලනය කිරීමට උත්සාහ දරමින් සිටියි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ මෙම කලාපයෙන් සම්පූර්ණයෙන් තෙල් ඉවත් කිරීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි. නමුත් මෙයින් සිදුව ඇති පාරිසරික බලපෑම් හා හානිය යළි යථා තත්ත්වයට පත් වීමට වසර 5කටත් අධික කාලයක් ගතවනු ඇත.

මේ වනවිට මෙම කලාපය මානව කටයුතු හා ධීවර කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට නම්කර තිබේ. මේ වන විට තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදුවන්නේ Oil skimmer හා මිනිස් ශ්‍රමය යොදා ගනිමිනි. යළිත් තෙල් විසිරුම්කාරක භාවිතා කිරීමට නොහැක්කේ මෙම තෙල් විසිරුම් කාරක තෙල්වලටත් වඩා විෂ සහිත වීම, සංවේදී පරිසර කලාප හා වෙරළාශ්‍රිත කලාපවල භාවිතයට නොහැකිවීම නිසාවෙනි. මේ වන විටත් 400කට වැඩි පිරිසකගේ දායකත්වයෙන් තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

මේක සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනකට සැරයක් සිදුවන පොදු ප්‍රශ්නයක්

මේ පිළිබඳව අප පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගෙන් විමසූ අතර ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
&තෙල් පිරිපහදුව සඳහා තෙල් ලබාගන්නා තෙල් නළයක කාන්දුවක් තමයි මේ තත්ත්වය සඳහා හේතු වෙලා තිබෙන්නේ. කාන්දුව සිදු වූ අවස්ථාවේදීම එය පාලනය කරන්න දැඩි උත්සාහයක් අරගෙන තිබුණත් එය මැඩපවත්වා ගැනීමට නොහැකි වූ නිසා මේ වන විට මේ තෙල් වෙරළ කලාපය වෙත ඇවිත් තියෙනවා. මෙය සාමාන්‍ය කාන්දුවක් වුණාට හානිදායක තත්ත්වයක් මේ තුළින් ඇතිවෙලා තියෙනවා. ඒ හානිය අවම කරගන්න පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක බළකාය වගේම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මේ වෙද්දී එකතුවෙලා විශාල ප්‍රයත්නයක් දරමින් සිටිනවා.

දැනට තාවකාලිකව තෙල් සැපයුම නවත්වලා තෙල් සැපයුම් නෞකාව මදක් දුරට ගෙනගිහින් තිබෙනවා. ප්‍රමාද ගාස්තු නොමැතිව තෙල් ලබාගැනීම සඳහා සති දෙකක පමණ කාලයක් තිබෙනවා. මේ වෙද්දී බවුසර් ගණනාවකට තෙල් එකතු කරලා තිබෙනවා. මේ ආකාරයෙන් පවිත්‍ර කරලා අපිට තව දිනක් පමණ ඇතුළත පිරිසුදු වෙරළක් නිර්මාණය කරගන්න හැකි වෙනවා.
මේක සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනකට සැරයක් සිදුවන පොදු ප්‍රශ්නයක්. නැව්වලිනුත් මේ ආකාරයෙන් තෙල් කාන්දුවෙන අවස්ථා තිබෙනවා. මේ සඳහා පිළියම් යොදන්න නවීන ක්‍රමවේද ලෝකයේ තිබෙනවා. අපිත් ඒ ක්‍රමවේද ඇතිකරගන්න මේ වන විට සැලසුම් සකස් කරමින් යනවා. මේ මුහුදු පතුලට ගිහින් බැලුවොත් ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යයත් විශාල ප්‍රමාණයක් අපිට දැකගන්න පුළුවන්.

රාජ්‍ය ආයතනයකට එරෙහිව නීත්‍යකූලව කටයුතු අවශ්‍යතාවක් නැහැ

මෙහිදී ඛනිජතෙල් සංස්ථාව සතුව ඇති ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තය වෙත නඩු පැවරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

&ඇත්තටම අපි සහෝදර රාජ්‍ය ආයතන දෙකක්. කාගේ හරි වැරැද්දක් තිබ්බාම නඩු කියන එක නෙවෙයි රටට ඕන පිළිතුරයි මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ. මුහුදු ජීවීන්ට හොඳ පරිසරයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. මොකද එය අපේ පැවැත්මටත් වැදගත් නිසා. ඒ වගේම වෙරළ සංරක්ෂණය කිරීමත් වැදගත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා මිසක තවත් රාජ්‍ය ආයතනයකට එරෙහිව නීතිය සඳහා නීත්‍යකූලව කටයුතු කළත් අපිට එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැ. තෙල්  සංස්ථාව දැක්කා නම් මෙය පිපිරී ඇති බව ඔවුන් ඒ මොහොතේම එය නවත්තනවා. නමුත් මෙය මහ මුහුදේ සිදුවූ දෙයක් නිසයි පියවර ගැනීම ප්‍රමාද වෙලා තියන්නේ. නැතුව නොසැලකිලිමත්කම නිසා නෙවෙයි.

වැරදි දෙයක් කරද්දී ඊට විරුද්ධව අනිවාර්යයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි

අමාත්‍යවරයා එසේ පැවසුවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් පළකරනු ලැබුවේ මෙවැනි අදහසකි.
&අපි දෙගොල්ලොම රාජ්‍ය ආයතන. නමුත් රජයේ ආයතනයක් වුණත්, පුද්ගලික ආයතනයක් වුණත්, පුද්ගලයෙක් වුණත් වැරදි දෙයක් කරද්දී ඊට විරුද්ධව අනිවාර්යයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ ප්‍රතිපත්තිය මත පිහිටලා අපි අනිවාර්යයෙන්ම මීට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අපි හැකිතාක් දුරට අපි සහ ඔවුන් අතර තිබෙන සුහදත්වය ආරක්ෂා කරගනිමින්ම තමයි මේ නීතිමය ක්‍රියාමාර්ග වෙත යන්නේ. සියලුම ආයතනවල වැරදි සකස් කරගනිමින් හරි මගට යොමුවීමේ බලාපොරොත්තුව ඇතිවයි මේ අධිකරණ ක්‍රියාමාර්ග වෙත අපි යන්නේ.*
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම නොසැලකිලිමත්භාවයට වහා පියවරගත යුතුව තිබේ. මෙය මෙවන් සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාවද නොවන අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙබඳු තෙල් කාන්දුවීම් සිදුව තිබේ. අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මෙම අබලන් නළ පිළිබඳ සංස්ථාව කිහිපවරක්ම දැනුවත් කර තිබුණද ඒ සඳහා ඔවුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත. එම නිසා සහෝදර රාජ්‍ය ආයතන කියමින් මෙම ක්‍රියාවන් සුළුකොට තැකිය යුතුනොවේ. දැනටද තල්දියවත්තේ සිදුවූ මෙබඳු තෙල් කාන්දුවීමකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලියන 100කට අධික වන්දියක් ඉල්ලා අධිකරණ ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක වෙමින් පවතී. 

ඛනිජතෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාද පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම නළ මාර්ගය ඇතුළු බොහෝ තෙල් නළ වසර 60කටත් වැඩි කාලයක් පැරණි බව පිළිගත් අතර, තෙල් පිරිපහදුව පවා ඉතාමත් පැරණි බව පිළිගත්තේය. බිලියන ගණනක් වැයවෙන එහි පිළිසකර කිරීමේ කටයුතු සඳහා රජයේ මුදල් නොමැති නිසා ආයෝජකයන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට අප ඉදිරියේ ඇති ගැටලු කිහිපයකි. එනම්, වසර 70කටත් වඩා පැරණි නළ තබාගනිමින් මෙතෙක් කාලයක් ඛනිජ තෙල් සංස්ථාව සිදුකළේ කුමක්ද?, සෑම සිදුවීමකටම පසු වසර ගණනාවක් මුළුල්ලේ නවීකරණය කිරීම සඳහා ඔවුන් සතුව ඇති මහා පරිමාණ සැලසුම් සැබෑ ලෙසම ක්‍රියාත්මක වන්නේ කවදාද?, අමාත්‍යවරුන්ගේ හා නිලධාරීන්ගේ පරස්පර ප්‍රකාශ නිරවද්‍ය වන්නේ කවදාද?, එමෙන්ම නිරන්තර තෙල් විසිරුම් අවදානමක් සහිත ශ්‍රී ලංකාවට එබඳු තත්ත්වයකට සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නවීන පහසුකම් සැබෑ ලෙසම ලැබෙන්නේ කවදාද? යන්න එම ගැටලු කිහිපයයි.

කනගාටුවට කරුණ වන්නේ අමාත්‍යවරුන්ගේ සුපිරි වාහන සඳහා මිලියන ගණනින් වැය කරන රටක, පළාත් සභාවක පුටු හා දොරක් සඳහා ප්‍රකෝටි ගණනින් වෙන් කරන රටක, එක් වැසිකිළියක් නවීකරණයට මිලියන ගණනක් වැය කරන්නට සූදානම් වන රටක, ආයෝජකයන් වැල නොකැඩී එන බවට නිතිපතා ප්‍රකාශ නිකුත් කරන අග්‍රාමාත්‍යවරයෙක් සිටින රටක හා ජනාධිපතිවරයා පරිසර අමාත්‍ය ධුරය දරන රටක අප තවමත් රටේ මූලික අවශ්‍යතාවන්වත් සපුරාගැනීමට නොහැකිව ලතවෙමින් සිටීමයි.

නඳුන් ශ්‍යාමාල් / ඡායාරූප - තිසර ගංගාදර

 



Recommended Articles