තෙත්බිමක් ආරක්‍ෂා කර ගැනීමට කැප වී සිටින තරුණ පිරිසක්


සුවදායී පරිසරයක ජීවිතය ගත කිරීම සියලු දෙනාගේම අපේක්‍ෂාවයි. එයට අකමැති කිසිවෙකු සිටිනු ඇතියි සිතිය නොහැකියි. එමෙන්ම තමන් ජීවත්වන පරිසරය සුවදායක කිරීමට ඔබ කොතරම් දායක වී තිබෙනවාද? එය මොහොතක් නැවතී සිතා බැලිය යුතු කාරණයකි. 

මේ ආකාරයට ‍තමන් ජීවත්වන ප්‍රදේශය අලංකාර පරිසරයක් සහිත ප්‍රදේශයක් බවට පත් කිරීමට වෙහෙසෙන පිරිසක් අපට හමු වූයේ කොළොන්නාව ප්‍රදේශයෙනි. ලස්සන කොළොන්නාවක් ගොඩනැගීමට වෙහෙසෙන ඔවුන්ව සොයා ගියෙමු.

තෙත්බිම් ප්‍රදේශයක් සහිත කොළොන්නාව ප්‍රදේශය අවිධිමත් කසළ බැහැර කිරීම් හේතුවෙන් අපවිත්‍ර වී තිබුණද, “ලස්සන කොළොන්නාව තෙත් බිම් සංරක්‍ෂණ තරුණ එකමුතුව* විසින් කොළොන්නාවට නව හැඩයක් ලබාදෙමින් සිටියි.

කොළොන්නාව, ගොතටුව තෙත්බිම අවට ග්‍රාමසේවා වසම් පහක තරුණ පිරිස එකතුවෙන් සංවිධාන හතරක තරුණ තරුණියන්ගේ එකතුවෙන් ක්‍රියාත්මක වන මෙම සංවිධානයේ සමාජිකයෝ 50කට වැඩි පිරිසක් මේ වනවිට කටයුතු කරන අතර, එහි සභාපති ලෙස ලක්‍ෂානි සන්දීපනී, උපසභාපති ලෙස  ඉසුරු රණවීර, භාණ්ඩාගාරික ලෙස මනුල නිලේෂ් ද ලේකම් ලෙස ලහිරු ආධිත්‍යද කටයුතු කරයි. ලසන්න කොළොන්නාවක් තැනීමට ඔවුන්ගේ දායකත්වට පිළිබඳ අපි ඔවුන් සමග කතාබහ කළෙමු.

ඉමෝෂනල් ඉන්ටර්ලිජන්ට් ඇන්ඩ් ලයිෆ් ස්කිල් කණ්ඩායමේ උපකාර මත ලස්සන කොළොන්නාව කණ්ඩායම බිහි වී ඇති අතර, එහි සමාජික ප්‍රසාද් ජයසිංහ මහතා මෙම කණ්ඩායම ගොඩනැගු ආකාරය පැහැදිලි කළේ මෙලෙසිනි,

“අපි  අවුරුදු එකහමාරක් විතර අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ අනුව එම පුහුණු වැඩසටහනවලදී තරුණ තරුණියන්ගේ ජීවන කුසලතාවන්, චිත්තවේගික බුද්ධි වර්ධනයන් ආදිය මෙන්ම ආපදා කළමනාකරණ පුහුණුව, සමාජ ව්‍යවසායත්වය පිළිබඳ දැනුම තෙත්බිමක තිබෙන වටිනාකම සහ එම පරිසර පද්ධති පිළිබඳ දැනුම සහ අවබෝධය, වැනසී යන ජීවීන් පිළිබඳ අවබෝධයක් ලබාදුන්නා. ඒ වගේම තෙත්බිම් නිරීක්‍ෂණය සඳහා ක්ෂේත්‍ර චාරිකාවලට සහභාගි කර තිබෙනවා. මෙවැනි කාරණා හරහා තෙත්බිම්වල වටිනාකම හඳුනාගත් තෙත්බිම් සංරක්‍ෂණයට යොමු වූ පිරිසක් බිහි කරන්න හැකියාව ලැබුණා* යනුවෙන් සඳහන් කළේය.

එමෙන්ම ලස්සන කොළොන්නාවක් ගොඩනැංවීමේ ක්‍රියාදාමය පිළිබඳ මෙම කණ්ඩායම මෙසේ අදහස් දැක්වීය.

කොළොන්නාවේ කුණු ප්‍රශ්නය වෙනුවෙන් විසඳුම් හොයන්න අපේ කණ්ඩායම එකතු වී වැඩ කළා. කොළොන්නාව තෙත්බිම තුළ ප්ලාස්ටික් පොලිතින් එකතු වීම වැළැක්වීමට ශ්‍රමදාන ව්‍යාපාර සිදුකළා. ඒ වගේම කසළ වෙන්කර බැහැර කිරීම පිළිබඳවත් තෙත්බිමට කසළ නොදමන ලෙසත් කොළොන්නාව තෙත්බිම අවට ප්‍රජාව දැනුවත් කළා. ඒ වගේම පාසල් සිසු සිසුවියන් දහම් පාසල්වල පිරිස ආදි සියලුදෙනා දැනුම්වත් කිරීමට කටයුතු කළා.

ඉවතලන පොලිතින් භාවිතයට ගැනීම

දිනකට එක් නිවසකින් විශාල වශයෙන් පොලිතින් බැහැර කරනවා. සතියකට ගත්තොත් මේ ප්‍රමාණය බොහොම වැඩියි. ඒ අනුව ගමකින් විශාල ප්‍රමාණයක් බැහැර කරනවා. අපි මේ ගැන අවධානය යොමු කරලා පොලිතින් ගඩොල් (EcoBricks) නිර්මාණයට යොමු වුණා. ඉවතලන පොලිතින් එකතු කරලා ඒවා ප්ලාස්ටික් බෝතල් තුළට දමා වැඩි පොලිතින් ප්‍රමාණයක් බෝතල් තුළට දැමීමමට සලස්වනවා. ඒ ආකාරයට  තමයි මේ නිර්මාණය සිදුකරන්නේ. මේ ආකාරයට හදපු ගඩොල් උපයෝගි කර ගෙන දියත උද්‍යානයේ බංකුවක් නිර්මාණය කරන්න කටයුතු කළා. ඒ කියන්නේ ගෙවල්වල එකතුවන පොලිතින්, කසළ ලෙස බැහැර නොකර නොදිරන දේවල් එකතු කර නිර්මාණයක් කරන්න යොමු වුණා. එය පරිසරය ආරක්‍ෂා කරන්න ගත් එක උත්සාහයක්.

ඇන්ඩ්‍රොයිඩ් ඇප් එහෙමත් නැතිනම් මෘදුකාංග නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලස්සන කොළොන්නාව තෙත්බිම් සංරක්‍ෂණ තරුණු එකමුතුව විදිහට අපි පුහුණු වැඩසටහන්වලට සහභාගි වෙලා තිබුණා. ඒ දැනුම භාවිත කරලා කෝවිඩ් සමයේ ලෝක්ඩවුන් කාලයේදී ජංගම දුරකථන ඇප් කිහිපයක් නිර්මාණය කරන්න අපට හැකියාව ලැබුණා.

තෙත්බිම

තෙත්බිමක තිබෙන වටිනාකම සම්බන්ධයෙන් තොරතුරු මේ ඇප් එක තුළින් ජනතාවට ලබාදෙන්න අපි කටයුතු කර තිබෙනවා. තෙත්බිමක තිබෙන ශාක වර්ග, සතුන්, ලංකාවේ තිබෙන විවිධ තෙත්බිම් වර්ග, අපි තෙත්බිම් ආරක්‍ෂා කරගත යුත්තේ ඇයි ආදී තොරතුරු රාශියක් මේ හරහා ලබාදී තිබෙනවා.

සමනල උයන

මේ වනවිට නාගරික පරිසරවල සමනලුන් දක්නට ලැබෙන්නේ අඩුවෙන්. සමනලුන් නැති තරම්. මේ ගැන අපි අවධානය යොමු කළා. මේ නිසා තමන්ගේ ගෙවත්තට සමනලුන් ගෙන්වා ගැනීමට වගා කළ යුතු පැළ වර්ග මොනවද කියන දේ අපි මේ ඇප් එක මගින් ජනතාවට කියලා දෙනවා. ගෙදරක කූඩු කරලා සත්තු හදනවාට වටා සමනලුන් ගෙවත්තට පැමිණීම මානසික සෞඛ්‍යයටත් හොඳයි. මේ ඇප් එක හරහා විවිධ සමනලුන් වර්ග, එම සමනලුන් ගෙවත්තට ගෙන්වා ගැනීමට වගා කළ යුතු ශාක වර්ග, සමනල් උයනක් සකස් කරන ආකාරය ආදී තොරතුරු බොහෝමයක් ඇතුළත් කර තිබෙනවා.

සමනලුන් ගෙන්වාගැනීම වැඩි කර ගන්න පුළුවන්වන් නම් සංචාරක ආකාර්ශනය වැඩි කර ගන්නත් අපට පුළුවන්. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශය තුළත් සමනලුන් ගෙන්වා ගැනීමට අදාළ ශාක දැන් වගා කරමින් යනවා.

ඒ වගේම සමනලුන් ආකර්ශනය කරවාගත හැකි පැළ වර්ග ඇතුළත් පැළ තවානක් අපි නිර්මාණය කරමින් යනවා. මේ පැළ තවාන ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට භාරදෙන්න අපි සූදානමින් ඉන්නවා.

ගොවි උපදෙස්

සාර්ථක ගෙවත්තක් සකස් කර ගන්නා ආකාරය වගේම ගෙවත්තේ වග කළ හැකි දේවල් පිළිබඳ මෙම ඇප් එක මගින් අපි ජනතාවට තොරතුරු ලබා දෙනවා. වසවිස නැති ආහාර වේලක් ලබාගන්න ගෙවත්ත සකස් කර ගන්නා ආකාරය බොහොම පැහැදිලිව මෙහි සඳහන් කර තිබෙනවා.

සූපවේදී

දේශීය ආහාර වර්ග සකස් කර ගන්නා ආකාරය ගැන මෙම ඇප් එක මගින් කරුණු කියා දෙනවා. ඒ වගේම විවිධ ආහාර වර්ග සකස් කර ගන්නා ආකාරය ඇතුළත් තොරතුරු මෙහි ඇතුළත් කර තිබෙනවා.

විද්‍යාව සරලව

විද්‍යාත්මක කරුණු සරල බසින් දැන ගැනීමට හැමෝම කැමතියි. ඒ වගේම විවිධ සිදුවීම්වලට බලපාන විද්‍යාත්මක කරුණු පිළිබඳත් තොරතුරු ඇතුළත් කර SLSCIENCE ඇප් එක නිර්මාණය කර තිබෙනවා.

ලෝකයේ අලුත් වෙන විද්‍යාත්මත තොරතුරු මේ හරහා අපි සරල සිංහලයෙන් ඇතුළත් කර තිබෙන නිසා ඔ්නෑම වයසක කෙනෙකුට එය වැදගත වෙයි කියලා අපි හිතනවා.

මෙම ඇප් නිර්මාණයන් සාර්ථක වූ නිසා පරිසර සංවිධානයේ අපි සියල්ලන් එකතු වෙලා විවිධ මෘදුකාංග නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඒ අනුව කොළොන්නාවේ ග්‍රාමසේවක නිලධාරීන්ට දත්ත කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ වගේම ලස්සන කොළොන්නාව තරුණ එකමුතුවට අදාළ දත්ත පද්ධති දියුණු කිරීමත් අපි විසින්ම සිදුකළා.

ඒ වගේම පරිසර හිතකාමී ව්‍යාපාර හැකිතාක් දිරිගන්වන්න පරිසර සංවිධානයක් ලෙස අපි කටයුතු කරමින් සිටිනවා. අපිත් සමග එකතුවෙන්න කැමති ඔ්නෑම කෙනෙකුට අපිත් සමග එකතුවෙන්න අවස්ථාව තිබෙනවා.

ලොක්ඩවුන් සමයේ දැනුම හුවමාරුව

විවිධ පාරිසරක කරුණු සාකච්ඡා කිරීම සඳහා සෑම සෙනසුරාදාවකම හවස 4.00ට ZOOM ඔස්සේ අන්තර් ජාලය හරහා අපි රැස්වෙනවා. පැය දෙකක සාකච්ඡාවක් ක්‍රියාත්මක කරනවා. ඒ සාකච්ඡාව සඳහා ජනප්‍රිය උපදේශකවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ව්‍යවසායකවරුන් ආදීන් සම්බන්ධ වෙනවා. මේ සඳහා අපේ පරිසර සංවිධානයේ සමාජිකයන්ට පමණක් නොවෙයි ලංකාවේ ඔ්නෑම දිසාවක සිටින ඔනෑම පුද්ගලයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.

අපේ සාකච්ඡාවට දැනටත් ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයෝ සම්බන්ධ වෙනවා. ඒ අතර ව්‍යාපාරිකයෝ වෛද්‍යවරු හමුදා නිලධාරීන් පාසල් සිසු සිසුවියන් විශ්වවිද්‍යාල විද්‍යාර්තයන් ආදී රැසක් සහභාගි වී සිටිනවා.

ඒ වගේම මේ සාකච්ඡාවට අදාළ අන්තර්ජාල සබැඳිය, ලස්සන කොළොන්නාව ෆේස්බුක් පිටුවේ පළ කරනවා. ඒ හරහා සෑම සෙනසුරාදාවකම ඔ්නෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.

ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න තරුණ සංවිධාන සහ පරිසර සංවිධාන සමග අපේ අත්දැකීම් හුවමාරු කර ගන්නත් ඔවුන්ගේ අත්දැකීම් ලබාගන්නත් අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම බොහෝ දෙනා කොළොන්නාව ගැන හිතාගෙන ඉන්නේ නරක විදිහට. නමුත් කොළොන්නාවේ ලස්සන ප්‍රදේශ රැසක් තිබෙනවා. ඉතා වටිනා තෙත්බිමක් තිබෙනවා. ලස්සන වැඩ කරන තරුණ පිරිසක්  ඉන්නවා කියලත් අපි කියන්න කැමතියි යනුවෙන් ඔවුහු සඳහන් කළහ.

කොළොන්නාවේ හැඩය වෙනස් කරන්න මේ පිරිසට සුවිශේෂී හැකියාවත් තිබෙනවා. ඔවුන් දැනටමත් එය සිදුකර තිබෙනවා. ඇත්තටම එය සුවිශේෂී දෙයක්. ඔවුන් ඉදිරියටත් එය සිදුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා" යැයි මෙම කණ්ඩායම පිලිබඳ අදහස් දක්වමින් ප්‍රසාද් මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ගෝලීය පරිසර සංරක්‍ෂණ එකමුතුවේ  ව්‍යාපෘතියක් අනුව ඉමෝෂනල් ඉන්ටර්ලිජන්ට් ඇන්ඩ් ලයිෆ් ස්කිල් කණ්ඩායම මගින් මේ සඳහා අවශ්‍ය පුහුණුව මගපෙන්වීම පහසුකම් සැලසීම සිදුකරන අතර, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඔවුන්ට සහයෝගය සලසයි. මෙවැනි කණ්ඩායම් රට පුරා බිහි වුවහොත් අලංකාර පරිසරයක් බිහි කිරීම තවදුරටත් සිහිනයක් නොවුණු ඇත.



Recommended Articles