සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ මධ්‍යයෙන් වැටී ඇති මාර්ගය පිළිසකරකොට, නිසි කළමනාකරණයන් යටතේ කටයුතු නොකරන්නේ නම් ඉදිරි සති තුන ඇතුළත නුවරඑළිය, සඳතැන්න පාරිසරික සංචාරක කලාපය තහනම් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටියේ 2019 සැප්තැම්බර් මස 23 වැනි දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම හමුවේය.
සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළ මධ්‍යයේ සඳතැන්න පාරිසරික සංචාරක කලාපය බිහිවෙන්නේ 2014 වර්ෂයේදී නුවරඑළිය මහ නගර සභාවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අතර ඇතිකරගත් ගිවිසුමක් මගිනි. 2018 වර්ෂයේ අවසාන භාගය වන විට එම කාර්යයෙන් නුවරඑළිය මහ නගර සභාව ඉවත් වුවත්, නැවත එහි පරිපාලනයට මැදිහත් වීමේ අපේක්ෂාවෙන් සිටින බව මේ වන විට පැහැදිලි වේ. නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා එම තත්ත්වය පැහැදිලි කළේ මෙලෙසිනි.
&සඳතැන්න පාරිසරික සංචාරක කලාපය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඇතිකරගත් ගිවිසුමේ එක් කොන්දේසියක් තමයි සීතාඑළිය ගොවිපළ මධ්‍යයෙන් සෆාරි ජීප් රථ ගමන් කරන මාර්ගය කොන්ක්‍රීට් කළ යුතුයි කියන එක. එහෙම නොවුණොත් ගොවිපළේ වගාකරන බීජ අර්තාපල් වලට අතිශයින් හානිදායක විෂබීජ ඇතුල් වෙයි කියන කාරණය මතුවුණා. ඒ වනතෙක්ම ජීප් රථ මේ මාර්ගයේ ගමන් කළා. පසුව අපිට දැනුණා ලැබෙන ආදායමත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අපි ගෙවන මුදලත්, කොන්ක්‍රීට් කරන්න යන වියදමත් බැලුවම, මේ ව්‍යාපෘතිය නිසා නුවරඑළිය ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් කිසිම ලාභයක් නැතුව නිරපරාදේ වැය වෙන බව. මේ තත්ත්වය තවත් වැඩි වුණොත් අපිට විගණන පරීක්ෂණයකට පවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සඳතැන්නෙන් ආදායම මෙච්චරයි, වියදම මෙච්චරයි කියලා. ලැබෙන ආදායමෙනුත් 50෴ක් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දෙන්න ඕනේ. ආදායමට වඩා ඒක නඩත්තු කරන්න වැඩි මුදලක් යනවා කියල මම මහ සභාව දැනුවත් කළාට පස්සේ ආපු තීරණය තමයි නැවත ගිවිසුම්ගත වෙනකම් තාවකාලිකව මේ කාර්යයෙන් ඉවත් වෙමුයි කියන එක. ඒ අනුව අපි ඉවත් වුණා. නමුත් ඉන්පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ කාර්යය අද වෙනකම් කරගෙන යනවා. පාර අලුත්වැඩියා නොකර සෆාරි ජීප් රථ ධාවනය කරන්න එපා කියලා අපිට කියලා, ඔවුන් ඒක කරගෙන යාමේ අසාධාරණයක් තියෙනවා. මේ කාර්යය කරන්න තමන්ට භාරදෙන්න කියලා නුවරඑළිය ප්‍රාදේශීය සභාවත් ඉල්ලනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය තියෙන්නේ මහ නගර සභාවටයි. ඒකට අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය වගේම බැකෝ, බවුසර් වගේ යන්ත්‍රත් අපට තියෙනවා. භාරදෙනවා නම් භාරදිය යුත්තේ අපටයි. එම කාර්යයේදී යම් ගිවිසුමක් තුළින් ලැබෙන ආදායමෙන් නුවරඑළිය ප්‍රාදේශීය සභාවටත් යම් ප්‍රතිශතයක් ලබාදෙන්න අපි සූදානම්.*
2018 නව පාලනය ආරම්භ වූ දා සිටම සඳතැන්නේ අයිතිය තමන් වෙත ලබාදෙන ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාව ඉල්ලා සිටියි. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී එහි සභාපති වේලු යෝගරාජා මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.
&අලුත් සීමා නීර්ණය යටතේ සඳතැන්න පාරිසරික සංචාරක කලාපය අයිති වුණේ අපිටයි. නමුත් එහි පරිපාලන කටයුතු කළේ මහ නගර සභාව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. 2018 වසරේ අගදි නුවරඑළිය මහ නගර සභාව ඒකෙන් අයින් වුණා. ඊට පස්සේ මම කෘෂිකර්ම නිලධාරීන් හමුවෙලා සාකච්ඡා කළා අපිට මේ දේ භාරදෙන්න කියලා. ඒ අය කිව්වේ පාර හදලා පටන්ගන්න, අපි දෙගොල්ලො එකතු වෙලා මේක කරමු කියලයි. මේ වසරේ ජූනි මාසයේදී පාර හදන්න කෘෂිකර්ම අමාත්‍යවරයාත්, සංචාරක අමාත්‍යවරයාත් මුල්ගල තිබ්බා. නමුත් තවමත් පාර හදලා නෑ. එහෙම තියෙද්දි මේ දක්වාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ජීප් රථ ධාවනය කරනවා. ඒ ආදායම ඔවුනුයි ලබාගන්නේ. ප්‍රාදේශීය සභාවක් හැටියට අපිට කිසිම ආදායමක් ලැබෙන්නේ නෑ. එහෙම ආදායමක් ලැබුණොත් තමයි අපිට මහජන සේවා පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අද කුණු ටික විතරක් අදින්න වෙලා. අපිට ලැබෙන්න ඕන ආදායම වෙනත් ආයතන ලබාගන්නවා. අපේ බල ප්‍රදේශය තුළ තියෙන හෝර්ටන්තැන්නෙන්වත්, හග්ගල උද්භිද උද්‍යානයෙන්වත්, අඹේවෙල ගොවිපළ වලින්වත් අපිට ආදායමක් ලැබෙන්නේ නෑ. ඒක නිසයි අපි ඉල්ලන්නේ සඳතැන්න පාරිසරික කලාපයට අපිවත් මැදිහත් කරගන්න කියලා. ඒකට නුවරඑළිය මහ නගර සභාව මැදිහත් වුණාට ගැටලුවක් නෑ. ඒ කාර්යය කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඇතුළු වෙනත් දේවල් අපිට නෑ. ඉල්ලන්නේ ලැබෙන ආදායමෙන් කොටසක් දෙන්න කියලයි.*
මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී, මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, නුවරඑළිය මහ නගර සභාවත්, නුවරඑළිය ප්‍රාදේශීය සභාවත් එක්ව සාකච්ඡා කොට මේ සඳහා එකඟතාවයකට පැමිණෙන ලෙසයි.
නුවරඑළිය සීතාඑළිය බිජ අර්තාපල් ගොවිපළ ආරම්භ වන්නේ 1958 වසරේදීය. සඳතැන්න පාරිසරික සංචාරක කලාපයට, සීතාඑළිය ගොවිපළ ප්‍රවේශ දොරටුවේ සිට කිලෝමීටර් හතර හමාරක පමණ දුරක් යායුතුව ඇත. එය ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 6200ක උසකින් යුක්ත වූ තැනිතලා භූමියකි. එම ස්ථානයට ගිය විට අංශක 360ක කෝණයකින් සුවිශාල භූමි භාගයක් දර්ශනය වන අතර, ඒ තුළින් ලංකාවේ උසම කඳු දහයෙන් නවයක්ම දැක බලා ගැනීමට හැකි වීම සුවිශේෂීය. එම කඳු වන්නේ පිදුරුතලාගල, සිංගල් ට්‍රී, කිකිලියාමාන, ග්‍රේට් වෙස්ටර්න්, කොනිකල් හිල්, කිරිගල්පොත්ත, තොටුපළ කන්ද, හග්ගල සහ නමුණුකුලයි.
මීට අමතරව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජීවත් වෙන ගෝනුන්, වලස් වඳුරන්, ඕලු මුවන් සහ කුළුහරක් රංචුද මෙම භූමි භාගයේදී දැකගත හැකිය. ඊට අමතරව කහකන් කොණ්ඩයා, ශ්‍රී ලංකා සිතෑසියා හෙවත් කඳුකර මල්කුරුල්ලා, ශ්‍රී ලංකා මයිලගොයා, නිල්මැසිමරා හෙවත් කෝපි කුරුල්ලා, දෑ දෙමලිච්චා වැනි මධ්‍යම කඳුකර වනාන්තර වලදී දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂද මෙහිදී නිරීක්ෂණය කළ හැක.
අද එම ස්ථානයේ විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදිකර ඇත. සීතාඑළිය ගොවිපළ හරහා වැටී ඇති මේ සඳහා යුතු මාර්ගයේ පා ගමනින් යාම හෝ පිටස්තර වාහනයකින් ගමන් කිරීම සපුරා තහනම්ය. පාරිසරික කලාපයේ පිවිසුම් දොරටුව ආසන්නයේ ඇති සෆාරි ජීප් රථ සේවාව මගින් සංචාරකයන්ට මෙම ස්ථානයට යාමට පහසුකම් සලසා ඇත. විශේෂ අවස්ථාවකදී හැරුණුකොට මේ සංචාරය අතරතුරදී වාහනයෙන් බිමට බැසීමට අවසර නැත.
වසර ගණනාවක් මිනිස් දෑසින් වැසී තිබුණු මෙම ස්ථානය ප්‍රවර්ධනය කරනු ලබන්නේ එවකට නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා විසිනි. 2014 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගිවිසුම්ගත වූයේ ඔහුයි. එහි මූලික කාර්යභාරය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.
&මූලිකව මේ කාර්යය ආරම්භ කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අපිත් අතර හොඳ සහයෝගීතාවයක් තිබුණා. ඇතිකරගත් ගිවිසුමේ දෙපාර්ශ්වය කරන කාර්යයන් පැහැදිලිව දක්වලා තිබුණා. නුවරඑළිය මහ නගර සභාව හැටියට අපි පිවිසුම් මාර්ගය අලුත්වැඩියාව, සනීපාරක්ෂක පහසුකම් සැපයීම, කසළ ඉවත් කිරීම, සෆාරි ජීප් රථ රියදුරන් පුහුණු කිරීම හා පරිපාලනය කිරීම, ප්‍රවේශපත් මුද්‍රණය වැනි කටයුතු කළයුතු වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් එවැනිම කාර්යයන් පැවරුණා. දෛනිකව එකතුවෙන මුදල ගණනය කර, මාසය අවසන් වූ පසු මුළු ආදායමෙන් 50෴ක මුදලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර කළයුතුව තිබුණා.
නමුත් 2018න් පස්සේ මේ කාර්යයන් නගර සභවෙන් හරි හැටි ඉටුවුණේ නෑ. මම ඉන්න කාලේ කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වයන් මාසෙට අඩුම තරමින් දෙවරක් හෝ රැස්වෙලා ගැටලු සාකච්ඡා කරලා මේ කාර්යය සුහදශීලිව ඉදිරියට අරගෙන ගියා. නමුත් නගර සභාව මේ කාර්යයෙන් ඉවත් වෙන වකවානුව වෙනකොට මාස දහයකින්වත් එවැනි හමුවක් වෙලා තිබුණේ නෑ. ගැටලු උග්‍ර වෙන්න හේතුව ඒකයි. මෙතනින් පාඩු ලබනවා කියන එක මම පිළිගන්නේ නෑ. සංඛ්‍යාලේඛන අරන් බැලුවොත් පේනවා, 2018 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය වෙනකොට සඳතැන්නෙන් ලක්ෂ පනහක පමණ ආදායමක් ලැබිලා තියෙනවා කියලා. සඳතැන්න තාමත් තියෙන්නේ ළඳරු වියේ. සමහර මාසවල හෝර්ටන් තැන්නේ එක් දිනක ආදායම ලක්ෂ 25ක් පමණ වෙනවා. සඳතැන්නටත් ඉදිරියේදී ඒ වගේ ආදායමක් ගන්න පුළුවන්. මේ මාර්ගය හදන්න කලින් මම කරපු ඉල්ලීමක් අනුව ලක්ෂ 75ක පමණ මුදලක් සංචාරක අමාත්‍යාංශයෙන් වෙන් කරලා තියෙනවා. ඒ සඳහා පසුගිය ජුනි මාසයේදී මුල්ගල තැබුවා. ඉදිරියේදී පාර හැදෙයි. අපි යෝජනා කළේ පාර හැදුණොත් විදුලි බලයෙන් ධාවනය වෙන මෝටර් රථ යොදවන්නයි. එහෙම වුණොත් ගොවිපළට මුදාහැරෙන විෂ වායුන් අවම වෙනවා. අපි මේ කටයුත්ත ආරම්භ කිරීමේදී පවා නගර සභාව වශයෙන් මුදල් යෙදෙව්වේ නෑ. මූලිකව ලක්ෂ 14ක මුදලක් දුන්නේ මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යාංශය. ඊට පස්සේ තවත් මුදල් ප්‍රතිපාදන ඔවුන් ලබාදුන්නා. මගේ පාලන කාලයෙන් පස්සේ නගර සභාව මෙතනින් ඉවත් වෙන්නේ දේශපාලන උවමනාවටයි. ඒ සඳතැන්න මම ගෙනාපු ව්‍යාපෘතියක් නිසයි. ඒක මම වගකීමෙන් කියනවා.*
සීතාඑළිය ගොවිපළ පිවිසුමේ සිට සඳතැන්න පාරිසරික සංචාරක කලාපය දක්වා සංචාරකයන් ප්‍රවාහනය සඳහා සෆාරි ජීප් රථ 21ක් යොදවා ඇත. එම ජීප් රථ හිමියන්ගෙන් සමන්විත සඳතැන්න පාරිසරික සංචාරක ප්‍රවාහන සංගමයේ සභාපති ටී.ඒ.ඩී. විපුල මහතා අප හමුවේ දොඩමළු වූයේ මේ ආකාරයෙනි.
&දිගින් දිගටම ගොවිපළයි, නගර සභාවයි අතර ගැටලු තිබුණා. ආරම්භයේදී උදේ 6ටයි මේ ස්ථානය විවෘත කරන්න හිටියේ. ඒකට හේතුව වුණේ වැඩි වශයෙන් සත්තු බලන්න පුළුවන් වෙන්නේ ඒ වෙලාවට ගියාමයි. නමුත් නගර සභාවේ ටිකට් කඩන නිලධාරිනියට එන්න අපහසුයි කියලා ඒ වෙලාව 7 වුණා. පස්සේ ඒ වෙලාව 7.30 වුණා. හවසටත් යන්න අපහසුයි කියලා 4ට වැහුවා. නැත්නම් 6ටයි වහන්න තිබුණේ. මේ තත්ත්වය තුළ පැය තුනහමාරක වගේ කාලයක් සංචාරකයන්ට අහිමි වුණා. ඒක ආදායමටත් බලපෑවා. බීජ අර්තාපල් හදල තියෙන කොටසේ මාර්ගයට පායන කාලෙට වතුර ඉහින්න ඕනේ. නැත්නම් දූවිලිත් එක්ක විෂබීජ අර්තාපල් වගාවට එකතු වෙනවා. නගර සභාවයි ඒක කළයුතුව තිබුණේ. වතුර ඉහිනකම් ගොවිපළ නිලධාරීන් ජීජ් රථ ධාවනයට ඉඩදෙන්නේ නෑ. නගරාධිපති කෙනෙක් හිටියත්, ඒ ගොල්ලෝ කිව්වත්, අපිට වතුර දාගන්න අපහසුතාවයක් තිබුණා. වෙලාවට වතුර ගේන්නෙ නෑ. මුල්ම ගමන් වාරය උදේ 7.30 වුණාට, බවුසරේ එනකොට දවල් එකොළහ, දොළහ වෙනවා. ඒ වෙනකම් උදේ ආපු සංචාරකයන් රස්තියාදු වෙන්න ඕනේ. ඒ අය අපිට බැනලා ගිය වාර අනන්තයි. එක වතුර බවුසරයක් ගෙන්න ගන්න අපි එකතුවෙලා නිල නොවන වශයෙන් ඒ අයට රු.500ක මුදලක් දුන්නා. පස්සෙ ඒක 1000 වුණා. එහෙම වැඩිවෙලා, වැඩිවෙලා අන්තිමට අපිට වතුර බවුසරයක් ගෙන්න ගන්න රු.5000ක් දෙන්නත් වුණා. ඒ හැමදේම කළේ අපි ජීවත් වෙන්නෙ මේකෙන් නිසා. එහෙම සංතෝසමක් දුන්නෙ නැත්නම් බවුසරේ එන්නෙ නෑ. අලුතින් පත්වුණ නගර සභාව මේක පාඩුයි, අපිට නඩත්තු කරන්න බෑ කියලා මේ කටයුත්තෙන් ඉවත් වුණා. ඊට පස්සෙයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේකෙ පරිපාලනය භාරගත්තේ. ඒ අය වතුර දාන්න බවුසර් එකක් හැදුවා. දැන් ඒකෙන් අවශ්‍ය ඕනම වෙලාවක වතුර ඉහිනවා. නිලධාරීන් ඉන්නෙ ගොවිපළ ඇතුළෙම නිසා ටිකට් නිකුත් කිරීමේදී වුණත් ගැටලුවක් නෑ. ඒ අය 5.50 වෙනකොට ටිකට් කවුන්ටරයට ඇවිත් ඉන්නවා. තවමත් ප්‍රමාද පාර හදන එකයි. ඒකත් ඉදිරියේදි සිද්ධ වෙයි කියලා අපි හිතනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (බීජ) එච්.සී. ජයසිංහ මහතා පළ කළේ මෙවන් අදහසකි.
&ලෝකයේ කොහේවත් බීජ ගොවිපළකට පිටස්තර පුද්ගලයන්ට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ. සීමිත සංඛ්‍යාවක් ඇතුල් කරගත්තත්, එහෙම ගන්නේ විෂබීජහරණය කරලයි. මේ විදිහට පිටස්තර පුද්ගලයන් හා වාහන ගමන් කරන ලෝකයේ ප්‍රථම බීජ ගොවිපළ සීතාඑළිය වෙන්න පුළුවන්. මේක ආරම්භ කිරීමේදී නොයෙක් මතිමතාන්තර ඇතිවුණත් අද වෙනකොට මේ වැඩේ ආරම්භ වෙලා තියෙනවා. සංචාරක ගමනාන්තයක් හැටියට සඳතැන්න ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අද ඒක සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. නගර සභාව මේ කාර්යයෙන් ඉවත් වුණාට පස්සෙ අපි මොකුත්ම කරලා නෑ කියන එක පිළිගන්නෙ නෑ. මාර්ගයේ අබලන් ස්ථාන පිළිසකර කරලා තියෙනවා. අවශ්‍ය ඕනෑම වෙලාවට වතුර දාන්න බවුසරයක් වෙන් කරලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක එකතුවෙලා කාපට් කරන්න ඇස්තමේන්තුවක් සකස් කළා. ඒකෙ වටිනාකම මිලියන 80.4යි. එය එකවර දැරීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් නෑ. සංචාරක අමාත්‍යතුමා ඇවිත් ඒ මාර්ගයට මුල්ගල තැබුවා. ඉදිරියේදී ඒ අමත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබේවි. ඊට අමතරව අපිත් යම් මුදලක් යොදවලා මාර්ගය කොන්ක්‍රීට් කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම බීජ අර්තාපල් වගා ක්ෂේත්‍රය මගඇරලා ගොවිපළ මායිමෙන් මාර්ගය ඉදිකරන්නත් අපේ සැලැස්මක් තියෙනවා. බාහිර පාර්ශ්වයක් ගොවිපළ ඇතුළට ආවම ගැටලුකාරියි. උදාහරණයක් හැටියට ගත්තොත් මීට පෙර අපි නුවරඑළිය මහ නගර සභාවත් එක්ක අත්සන් කළ ගිවිසුමේ කරුණු ගණනාවක් උල්ලංඝනය වෙලා තියෙනවා. මූලිකම දේ තමයි අපිට මුදල් ලැබීම පවා ප්‍රමාදයි. ඒ ප්‍රමාදයන් සම්බන්ධයෙන් තෙවැනි සිහිකැඳවීමේ ලිපිය යැව්වේ 2019 අගෝස්තු 22 වෙනිදා. මේ දක්වා ඒකට උත්තරයක්වත් නෑ. ඒ පිළිබඳව ලිපි ගොනුවක්ම අපේ ළඟ තියෙනවා. ඊට අමතරව බොහෝ ගැටලුවලට මැදිහත් වෙන්න වුණා. ඒක නිසයි අපි හිතන්නේ බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීම නැතිව තනියම කරගන්න එකෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක්. අපට රට පුරා ගොවිපළවල් 24ක් වගේම තවත් ආයතන තියෙනවා. ඒ සියල්ල පරිපාලනය කරන අපට සඳතැන්න පාලනය කරන එක ගැටලුවක් නෙමෙයි.*
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනත් බාහිර පාර්ශ්වයක් මැදිහත් කරගැනීමට දක්වන අකමැත්ත අපට තේරුම්ගත හැකිය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සඳතැන්න ආරම්භයේ සිට 2018 වර්ෂය අවසානය දක්වා ආදායම්, වියදම් වාර්තාවක්, සංචාරක ප්‍රවාහන සංගමයේ සභාපති ටී. ඒ. ඩී. විපුල මහතා විසින් නුවරඑළිය මහ නගර සභාවෙන් ලබාගෙන තිබූ අතර, එහි පිටපතක් අපටද ලබාදෙන ලදී. එම වාර්තාව අනුව ආරම්භක දින සිට ලැබී ඇති මුළු ආදායම රුපියල් 26,981,086කි. එම මුදලින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදී ඇති මුදල රුපියල් 12,981,086කි. මහ නගර සභාවට ලැබී ඇති ආදායම රුපියල් 13,026,599කි. මෙතෙක් දරා ඇති වියදම යන ශීර්ෂය යටතේ සඳහන් කර ඇති මුදල රුපියල් 19,456,188කි.
එකී විදයම් මුදල දරා ඇත්තේ නුවරඑළිය මහ නගර සභාව විසින්ද, නැතහොත් අනිකුත් ආයතන ඇතුළත්වද යන්න සවිස්තරව දක්වා නැත. බැලූ බැල්මට සඳතැන්න පාරිසරික කලාපයේ මහ නගර සභාව විසින් රුපියල් දෙකෝටියකට ආසන්න මුදලකින් කළ කාර්යයක් අපට දැකගත නොහැක. කෙසේවුවත් සත්‍ය ලෙසම නුවරඑළිය මහ නගර සභාව රුපියල් 19,456,188ක් වැයකර, රුපියල් 13,026,599ක ආදායමක් ලැබුවේ නම්, නුවරඑළිය නාගරික ජනතාව ඒ පිළිබඳව දෙවරක් තෙවරක් නොව කිපවරක්ම සිතා බැලිය යුතුව ඇත. එසේම නැවතත් එහි පරිපාලනයට හවුල් වීමෙන් මහ නගර සභාවට ලැබෙන ප්‍රතිලාභය හා ඒ සඳහා ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බඳුන් කළයුතු බව අපේ අදහසයි.
සටහන හා ඡායාරූප - නුවරඑළිය සම්පත් ජයලාල්