රටක අනාගතය වන්නේ රටක දරු පරපුරයි. තමන් ජීවත් වන රටේ තිබෙන ගැටලු, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට, ඒ පිළිබඳව කතා කිරීමට දරුවන්ටද අයිතියක් තිබේ. නමුත් රටක අනාගතය කෙසේ විය යුතුද යන්න පිළිබඳව දරුවන්ගේ හඬට සවන්දීමට ලැබෙන අවස්ථා ඉතා විරලය. මේ නිසා ඔවුන් තුළ තිබෙන විසඳුම් හෝ මතයන් රාජ්‍ය පාලනයට යොදාගන්නා අවස්ථාද විරලය. නමුත් මෙම ගැටලුවට තිත තබමින් ලංකාව තුළ ළමා පාර්ලිමේන්තුවක් පිහිටුවීමට SUNFO සංවිධානය තීරණය කර තිබේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපති වශයෙන් කටයුතු කරන යොවුන් සංගීතවේදී මාරියෝ ආනන්ද මහතාව අපි සම්බන්ධ කර ගැනීමට සිතුවෙමු.
තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ ශ්‍රී ලංකා ළමා පාර්ලිමේන්තුව යනු
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල සංහිඳියාව, මිත්‍රත්වය, සාමය වෙනුවෙන් ක්‍රියා කරන ආයතනයක් තමයි SUNFO සංවිධානය කියන්නේ. SUNFO සංවිධානය තමයි තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ ශ්‍රී ලංකා ළමා පාර්ලිමේන්තුව පිහිටුවීමට මූලිකත්වය ගන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 195ක් අතුරින් තමයි අපට මුලින්ම මේ අවස්ථාව ලැබුණේ.
ළමුන් 75දෙනෙක් ළමා පාර්ලිමේන්තුව සඳහා අපි තෝරාපත් කරගනු ලබනවා. මේ වනවිටත් ඒ සඳහා ළමුන් දෙදෙනෙකු තෝරාගෙන ඉවරයි. ළමා මනසින් ලෝකය දැකීම, ප්‍රතිපත්ති සකස්කිරීම, ලංකාව දියුණු කරන්න පුළුවන් ආකාරය ගැන ළමයින් හිතන විදිහ වැනි දේවල් තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. තිරසර සංවර්ධනයේ අරමුණු පිළිබඳ දැනුමක් ලබාගැනීමට කැමති මෙන්ම, එම අරමුණු ඉටුකර ගැනීමේ අපේක්ෂා කරන, නායකත්වයක් ලබාගත හැකි ළමුන්ව දිරිමත් කිරීමක් තමයි අපි මෙහිදී සිදුකරන්නේ.
පාර්ලිමේන්තුව පිහිටුවීමේ අරමුණ
මේ පාර්ලිමේන්තුව පැවැත්වීම සඳහා රටවල් 195ම එකඟ වුණු මාර්ගෝපදේශන තිබෙනවා. ඒ ඔස්සේ තමයි මේ ළමුන් 75 දෙනාම තිරසර සංවර්ධනය පිළිබඳ කතා කරන්නේ, ප්‍රතිපත්ති සකස් කරන්නේ. 2030 වනවිට ලෝකයට අත්වන ඉරණම සහ ඒ කාලයේදී පැමිණෙන ගැටලුවලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී ළමුන් කතා කරනවා. මේ අයට ඉලක්කයක් තිබෙනවා. ඒ අය වැඩ කරන්නේ ඒ උදෙසායි.
2030 - 2030 වනවිට රටේ දේශපාලනය, රටේ අනාගතය තමයි අපි අරමුණු කරගන්නේ. ඒ වගේම මේ වනවිට රටේ තිබෙන ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමත්, ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමත් සිදුකරනවා. අපි මේ වයසේදී මේ අයට අත්දැකීම් ලබාදීලා, ලෝකය ගැන අවස්ථාව ලබාදීලා මෙයාලට ඉස්සරහට යන්න තල්ලුවක් දුන්නොත් අපිට 2030 වෙද්දි පාර්ලිමේන්තුවට යවන්න හොඳ නායකයෝ ටිකක් බිහිකරන්න පුළුවන්. අපි මේ හදන 75 දෙනා තව අවුරුදු දහයක් යද්දි 7500ක් වෙයි. මේ අය තව මේ විදිහේම අලුත් පරපුරක් හදයි. ඒ අය එකතුවෙලා අලුත් රටක් නිර්මාණය කරයි. ඒක තමයි අපේ අරමුණ.
මේ තුළින් ළමුන්ට ලැබෙන ප්රතිලාභ
මෙතනට එන ළමුන්ට සාමූහිකව, පරාර්ථකාමීව වැඩකරන්න අවස්ථාව ලැබෙනවා. පොහොසත්, දුප්පත් කියලා භේදයක් ඇතිවෙන්නේ නැහැ. විවිධ ජාතීන්වල අය හමුවෙනවා, විවිධ ආගම්වල අය හමු වෙනවා. ඉතින් මෙතන ලොකු සමබරතාවයක් ඇතිවෙනවා. ඒක ගොඩක් වටිනවා අපේ රටේ අනාගතයට. ඒ වගේම එයාලට ලෝකය ගැන දකින්න අවස්ථාව ලැබෙනවා. තමන්ගේ පාසලේ ඉන්න යාළුවන් සමග එකතු වෙලා තමන්ගේ අසල්වැසියාගේ, පාසලේ, ගමේ තිබෙන ගැටලුවකට විසඳුම් සොයන්න ශක්තියක්, හැකියාවක් ලැබෙනවා. මේ පාර්ලිමේන්තුව නිසා මුළු ලංකාවෙම ඉන්න ළමුන් මේ 75 දෙනා සමග එකතු වෙලා ළමා අවධියේදීම රටේ ප්‍රශ්න ගැන, ගැටලු ගැන සොයා බලන්න පටන් ගනියි. ඒ වගේම මේ ළමා පාර්ලිමේන්තුව නිසා එයාලගේ අධ්‍යාපනයට බලපෑමක් ඇතිවෙන්නෙත් නැහැ. අධ්‍යාපනයට අවශ්‍ය වන දැනුම මේ තුළින් ලැබෙනවා. මේ සැසිවාරවලින් පසු වෙනත් රටවල්වලින් මේ ළමයින්ට ආරාධනා එයි. එතකොට ඒ අත්දැකීම් පවා මෙයාලට ලැබෙනවා.
මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවාද?
පළමුවෙන්ම අපි මේ 75 දෙනාට පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ කොහොමද කියලා පුහුණුවක් ලබා දෙනවා. පසුව මේ සම්බන්ධ වැඩිහිටියන් මෙයින් ඉවත් වෙලා ඒ අයට ඒ අය එක්ක කතා කරලා එයාලගේ මත ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙනවා. ඒ අය කතාබහ කරලා රටේ එයාලට දැනෙන, එයාලා දකින ගැටලුවලට විසඳුම්, ප්‍රතිපත්ති සකස් කිරීම සිදුකරනවා. ළමා පාර්ලිමේන්තුවේ සැසිවාරයෙන් අනතුරුව අප ඔවුන්ට ජනාධිපතිතුමා මුණගස්වලා ඔවුන් සකස් කළ ප්‍රතිපත්ති ලබාදෙන්න තීරණය කරලා තිබෙනවා. ඒ වගේම ලංකා පාර්ලිමේන්තුවටත් ගිහින් එතන ඉන්න දේශපාලනඥයන්වත් මුණගස්වන්න අප බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියේදී මේ සඳහා යම් මට්ටමකින් රාජ්‍ය අනුග්‍රහයක් ලබාගන්න උත්සාහ කරනවා. එතකොට මේ දරුවන්ගේ දැක්මට වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම ඒ අයට එතකොට එයාලාගේ අනාගතය පිළිබඳව ආරක්ෂාවක් ලැබෙනවා. ජනාධිපතිතුමා සහ රජය ඒ ප්‍රතිපත්ති සහ ළමා පාර්ලිමේන්තුව පිළිබඳව එදින අවධානයක් යොමු නොකළත් මුළු ලංකාවේම ළමුන්ගේ අවධානය මෙතැනට යොමු වෙනවා. ඒ අයට ශක්තියක් ලැබෙනවා. අපි මේ කරන්නේ මුළු ලංකාවේම ළමයින්ගේ අනාගතය වෙනුවෙන් දෙයක්. අපි හිතනවා මේ ගැන අනිවාර්යෙන්ම රජය ලොකු උනන්දුවක් දක්වයි කියලා.
මේ සඳහා අවශ්‍ය සුදුසුකම් සහ ඉල්ලුම් කළ හැකි අයුරු
කොළඹ අවට ප්‍රදේශවල ළමුන් විශේෂයෙන් මේ පිළිබඳව අවධානයක් ලබාදීලා තියෙනවා කියලා අපට හිතෙනවා. මොකද කොළඹ අවට ළමුන්ගේ වැඩි ඉල්ලුම්පත් සංඛ්‍යාවක් අපට ලැබී තිබෙනවා. නමුත් කොළඹින් දුෂ්කර පළාත්වල ළමුන්ගේ අයදුම්පත් අඩුවෙන් තමයි අපිට ලැබිලා තියෙන්නේ. සමහරවිට ඔවුන් සිතනවා ඇති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මෙතනට ඒක බාධාවක් නෙවෙයි. විභාග උසස් විදිහට සමත් වන ළමුන්ම පමණක් නොවෙයි අපිට ඕන වෙන්නේ. මේ රාමුවෙන් පිට වෙනස් විදිහට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, වෙනස් විදිහකින් ලෝකය ගැන දකින අයයි අපිට ඕන වෙන්නේ. අපි මේ සඳහා මුලින්ම තෝරාගත් ළමයා බෞද්ධ දරුවෙක්. නමුත් ඔහු කුරානය, බයිබලය සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා. ඔහු මේ හැම ආගමක් පිළිබඳවම හොඳ දැනුමක්, අවබෝධයක් තිබෙන දරුවෙක්. ඒ වගේම ඔහු ටොයොටා ඩ්‍රීම් කාර් තරගාවලිය ජයග්‍රහණය කළ දරුවෙක්. අපි දැනට තෝරාගෙන තිබෙන දරුවන් දෙදෙනාම ටොයොටා ඩ්‍රීම් කාර් තරගාවලිය ජයග්‍රහණය කළ දරුවන්. උගත්කම නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුවෙත් උගත්, උපාධි තිබෙන දේශපාලනඥයෝ ඉන්නවානේ. නමුත් ඔවුන් වැඩක් කරන්නෙ නැහැනේ. ඉතින් එහෙම පොතපතට සීමා වුණු අයම වැඩක් නැහැ. ඒ වගේම අනුන්ගේ දුක හඳුනන, දුක දැනෙන, රට ගැන කැක්කුමක්, ආදරයක් තිබෙන, අනාගතය ගැන හිතන, පරාර්ථකාමී ළමුන් තමයි අපට අවශ්‍ය වන්නේ.
මේ සඳහා ළමුන් තෝරාගැනීමේදී ජාතික මට්ටමින් අපි 25ක් තෝරාගනු ලබනවා. ඉතිරි 50දෙනා තෝරාගන්නේ එක් දිස්ත්‍රික්කයකින් ළමුන් දෙදෙනා බැගින් වන විදිහට. අවුරුදු 14 - 18ත් අතර වයස් සීමාවේ ඉන්න ළමුන්ට පමණයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. (2001 මැයි 21 සිට 2004 මැයි 21 දා දක්වා උපත ලැබූ ළමයින්). ඉල්ලුම්පත් භාරගන්නා අවසන් දිනය ජුනි 30දා වුණත් අපි තීරණය කරලා තියෙනවා තව දින පහක් පමණ දින කාලය දිගු කරන්න.
මේ සඳහා අයදුම් කරන්න කැමති දරුවන්ට දෙමාපියන්ගේ / භාරකරුවන්ගේ අනුමැතිය සහිත අයදුම්පතක් අප වෙත යොමු කරන්න පුළුවන්. සම්පූර්ණ නම, උපන් දිනය, වයස, පාසල හෝ අධ්‍යාපන ආයතනය, දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය, දිස්ත්‍රික්කය, දෙමාපිය හෝ භාරකරුගේ නම සහිත තමන් විසින්ම සකස් කළ අයදුම්පතක් සහ %ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් ළඟා කරගත යුත්තේ කෙසේද සහ ශ්‍රී ලංකාව පිළිබඳ ඔබගේ අනාගත දැක්ම^ පිළිබඳව වචන 500ක රචනයක් අප වෙත එවිය යුතුයි. තිරසර සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ ළමා පාර්ලිමේන්තුවේ සන්නාම තානාපති, මාරියෝ ආනන්ද SUNFO, 20, KMV පාර, ලක්ෂපතිය, මොරටුව යන ලිපිනයට අයදුම්පතක් එවිය යුතුයි. නැතහොත් [email protected] කියන විද්‍යුත් ලිපිනයට අයදුම්පත එවිය හැකියි.
අපි ඒ රචනය කියවලා ඉන්පසුව දුරකථනය මගින් සම්මුඛ පරීක්ෂණයට සහභාගී කරගන්නවා. ඉන්පසුව අප ඔවුන්ව කැඳවලා සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. එය සිදුකරන්නේ SUNFO අධ්යක්ෂවරයා වන වෛද්‍ය දේශප්‍රිය. එස්. විජේතුංග මහතා විසින්. එතනදි තමයි අපි මේ ළමුන් තෝරා ගැනීම සිදුකරන්නේ.
වැඩි විස්තර සඳහා අමතන්න - 0774034795
Facebook - Sustainable development goals children's parliament of sri lanka
කැළුම් දේවින්ද