වර්තමානයේ ආණ්ඩුව මුහුණපා සිටින අර්බුද අතරින් වඩාත්ම තීරණාත්මක ප්‍රශ්නය වනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් නව රජයක් පිහිටුවීම පිළිබඳ සිදු කරන්නේ යැයි කියනු ලබන මෙහෙයුමයි. සැබැවින්ම එබඳු මෙහෙයුමක් සාර්ථක වීමට පවත්නා ඉඩකඩ පිළිබඳ මෙම විග්‍රහය ගෙනඑන්නේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසිනි.
මතුපිටින් බලන කල මෙම ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයකි. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජවිපෙ සහාය ඇතිව ඉදිරිපත් කරන ලද්දේ බලතල බෙදීම නව මානයන් කරා ගෙනයෑමේ අභිලාෂයෙන් බව පුන පුනා කියැවිණි. එනමුත් එම සංශෝධන කෙටුම්පතේ නීත්‍යනුකූලභාවය බොහෝ දෙනෙකුගේ සැකයට භාජනය විය. ඒ සැකය තහවුරු කරමින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු වෙයි. මේ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර තවදුරටත් බලතල බෙදාහැරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වැනි වගන්තිය ප්‍රකාරව ජනමත විචාරණයක් පැවැත්වීමට රජයට සිදුවනු ඇත.
එබඳු ජනමත විචාරණයකින් ජනතා තීරණය සොයාගන්නා අන්දම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85(3) වගන්තියේ සවිස්තරව දැක්වෙයි. එනම්, අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයේදී ඒකාන්ත බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත විය යුතුය. එනමුත්, වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද හිමියන්ගේ මුළු සංඛ්‍යාවෙන් 2/3ක් නොඉක්මන විටකදී ගැටලුවක් මතු වෙයි. එවන් විටක මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවක් හෝ පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබා දී ඇත්නම් පමණක් එය නීතියක් බවට පත්වෙයි.
මෙතැනදී මතුවන මූලික ගැටලුවකි. එය නම්, උතුරු නැගෙනහිර ජනතාවගෙන් එක් කොටසක් පමණක් නියෝජනය කරන බෙදුම්වාදී දේශපාලකයන්ගේ උවමනා එපාකම් පිරිමැසීමට රටෙහි බහුතර ජනතාව ඉදිරිපත් වේද යන්නයි. 2011 වර්ෂයේදී විශ්ලේෂණය කරන ලද දත්ත අනුව මෙරට සිංහල ජනතාව ප්‍රතිශතයක් ලෙස 70෴ක් පමණ වෙයි. එපමණ වන සිංහලයන්ගෙන් අතිබහුතරයක් 20 වැනි සංශෝධනයට පක්‍ෂව සිය මනාපය ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩකඩ අල්පය. එබැවින් ජනමත විචාරණයකට ගියහොත්, 20 වැනි සංශෝධනයේ එල්ලී ගොඩයෑමට බලාපොරොත්තු වූ බෙදුම්වාදී නායකයන්ගේ බලාපොරොත්තු ලත් තැනම ලොප් වන බව අමුතුවෙන් කිව යුතු නැත.
අපි දැන් අසාර්ථක වී පණ අදිමින් සිටින 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙහොතකට අමතක කරමු. 19 වැනි සංශෝධනයේ ප්‍රතිවිපාක ගැන අපි මොහොතකට අවධානය යොමු කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා වන අතර අගමැතිවරයාට අතිරේක බලතල එකතු වෙයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි යහපත් ලක්‍ෂණ මෙන්ම අහිතකර ලක්‍ෂණද පෙන්වා දිය හැකිය. 19 වැනි සංශෝධනයේ වැදගත්ම ලක්‍ෂණය වනුයේ ජනාධිපතිවරයාගේ නැවත පත්වීමේ අයිතිය පිළිබඳ නිශ්චිතවම සීමාවක් පැනවීමයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 04 වැනි වගන්තියෙන් ප්‍රතියෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2) වගන්තිය මෙසේය.
‘‘31(2) ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරාපත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරා පත් කරගනු ලැබීමට සුදුස්සකු නොවන්නේය.
මෙම වගන්තිය මගින් පැහැදිලිවම අපේක්‍ෂා කර ඇත්තේ දේශපාලකයන්ගේ ඒකාධිපති වියරුව නම් මනෝව්‍යාධිය සුවපත් කිරීමයි. තුන්වැනි ලෝකයේ රාජ්‍යයන් ණය උගුල් තුළ සිරකර දැමීම ප්‍රබල රාජ්‍යයන් විසින් සිතාමතාම අටවන ලද උගුලක් බව ඔබ තවමත් නොදන්නවා විය හැකිය. හැත්තෑව දශකයේ බ්‍රිතාන්‍ය දේශපාලන කරළියේ ප්‍රබල භූමිකාවක් කළ එඩ්වර්ඩ් හීත් අද බොහෝ දෙනෙකුට අමතකව ඇති චරිතයකි. වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ හෙතෙම පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවලට ණය ලබාදීම පිළිබඳ ඉතා ලිහිල් ආකල්පයක් දැරීය. තුන්වැනි ලෝකයේ දුප්පත් රටවලට සංවර්ධිත රටවලින් මහා පරිමාණ ණය ලබාදීම සම්බන්ධයෙන් හීත් පළකළ අදහස ඇසුවොත් ඔබ පුදුම වනු ඇත.
එඩ්වර්ඩ් හීත්ගේ මතය වනුයේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉල්ලන වාරයක් පාසා සංවර්ධිත රටවල් දුප්පත් රටවලට ණය ලබාදිය යුතු බවයි. එලෙස ණය ලබාදීමෙන් ඇතිවන ප්‍රධානතම වාසිය නම්, බ්‍රිතාන්‍යයේ නිපදවන භාණ්ඩ විකුණාගැනීමට වෙළෙඳ පොළක් දියුණුවන රටවල පහසුවෙන් නිර්මාණය කළ හැකි බවයි. මන්දයත්, ණය දෙන රාජ්‍ය ඉල්ලන පහසුකම් සලසාදීමට ණය ලබාගන්නා රාජ්‍යයට සිදුවන බැවිනි.
එඩ්වර්ඩ් හීත්ගේ න්‍යාය ශ්‍රී ලංකාව තුළ කෙතරම් සූක්‍ෂ්ම ලෙස ක්‍රියාත්මක වී ඇත්ද යන්න පහසුවෙන් ඔප්පු කර පෙන්විය හැකිය. අද මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් හත්ලක්‍ෂයකට අධික වේ යැයි ගණන් බලා ඇත. ඒ ණය රාජ්‍ය පාලකයන් විසින් ලබාගෙන ඇත්තේ‘‘ රට දියුණු කිරීමේ පොරොන්දුව මතය. එයාකාරයෙන් ලබාගත් ණය මුදලින් රට දියුණු වීම වෙනුවට සිදුව ඇත්තේ ණය දෙන රටවලින් අපනයනය කෙරෙන භාණ්ඩ සහ සේවා සඳහා දැවැන්ත වෙළෙඳ පොළක් රට තුළ නිර්මාණය වීමයි. අද වනවිට අත්යන්ත්‍ර රෙදි හැර අනෙකුත් රෙදිපිළි, අත් කරත්ත හැර අනෙකුත් වාහන, සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ හා උපාංග ඇතුළු විශාල පරාසයක භාණ්ඩ විදේශ රටවලින් ආනයනය කරන තත්ත්වයකට පත්ව ඇත. එම භාණ්ඩ නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයෙකු ඉදිරිපත් වුවහොත් ඔහු අධෛර්යයට පත් කිරීම පිණිස කළ හැකි සෑම අලගුත්තේරුකමක්ම රජයේ පාර්ශ්වයෙන් කරනු ලැබෙයි.
එඩ්වර්ඩ් හීත් නිවැරදිය. අප මේ වනවිට දියුණු යැයි සම්මත රාජ්‍යයන්හි ආර්ථික වහලුන් බවට පත්ව අවසන්ය. සත්තකින්ම, මේ ආර්ථික මරඋගුල්වලින් මිදිය හැකි සරල සමීකරණයක් ඉදිරිපත් කළ හැකි ජගතෙක් තුන් ලෝකයේම නැත.
වර්තමාන රජය මුහුණපා ඇති අර්බුදය ආර්ථික, දේශපාලන හා ආරක්‍ෂාව යන අංශ තුළට ශීඝ්‍රයෙන් ඔඩුදුවමින් පවතියි. දැනට විවාදයට භාජනය වෙමින් පවතින ‘‘ මෛත්‍රී-මහින්ද හවුල් ආණ්ඩුව පිළිබඳ යෝජනාව ඒකාධිපති න්‍යාය පත්‍රයෙහි සහ එඩ්ගේ ආර්ථික මරඋගුල් න්‍යායෙහි සමුච්චිත ප්‍රතිඵලයකි.
අපි දැන් වර්තමාන දේශපාලන අර්බුදයේ වඩාත් සංවේදී තැන් කිහිපයක් ගැන අවධානය යොමු කරමු. වර්තමාන පාර්ලිමේන්තුව සංයුතිය අනුව ගත් කල පවතිනුයේ ඉතා අස්ථාවර තත්ත්වයකය. එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු ගණනින් 106ක් පමණ වෙති. (අතුරලියේ රතන හිමි ස්වාධීන තත්ත්වයෙන් දිගටම සිටන්නේ යැයි සැලකීමෙන් මෙම ගණන ලැබෙයි.) එයින් 12 දෙනෙකු පමණ මෛත්‍රී පාලනයට සහාය දීම හේතුවෙන් වර්තමාන රජයේ විවිධ අමාත්‍ය ධුර දරති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 58ක් පමණ වෙයි. ජවිපෙ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 07ක් පමණ වෙයි. ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10ක් පමණ වෙයි.
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නිශ්චිතව කිව හැකි නොවේ. ඒ ගණන ආසන්න වශයෙන්වත් කිව නොහැක්කේ දේශපාලන සුරතලුන් හදාවඩා හීලෑකර ගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ බවක් මෙතෙක් දැනගන්නට නැති බැවිනි. එය වඩාත් හුරුපුරුදු පසුගිය රජයේ ප්‍රධානීන්ට බව සිහිපත් කළ යුතුය.
දැන් අපි යථාර්ථයට මුහුණ දෙමු. මෛත්‍රී-මහින්ද හවුල් ආණ්ඩුවක් තැනීමට මන්ත්‍රීවරුන් එක්වන්නේ යැයි සිතමු. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් පෙන්වීමට අවම වශයෙන් මන්ත්‍රීවරුන් 113ක්වත් එක්විය යුතුය. එසේම, ඒ මන්ත්‍රීවරුන් එක්ව වාර්ෂික අයවැය හෝ විසර්ජන පනතක් පරාජය කළ යුතුය. නොඑසේනම් දැනට පවත්නා රජය වෙනුවට නව රජයක් තැනීමේ ප්‍රශස්ත ක්‍රියාමාර්ගයක් නොමැත. ගණනින් 106ක් වන එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් මෛත්‍රී පාලනයට සහාය දෙන දොළොස් දෙනා ඉවත් කළහොත් ලැබෙන උත්තරය 94කි. මේ අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය තවමත් හිමිවනුයේ එක්සත් ජාතික පක්‍ෂයටයි. මෛත්‍රි පාලනයට රුකුල් දෙන එජාප මන්ත්‍රීවරුන් 12 දෙනාද මහින්ද පාක්‍ෂිකයන්ට එක් වී යැයි උපකල්පනය කරමු. එවිට එන උත්තරය වනුයේ 58ට 12ක් එක් කළ විට ලැබෙන අගයයි. එනම්, උත්තරය 70කි.
දැන් අප ඉදිරියේ ඇති ගැටලුව පහේ ශිෂ්‍යත්ව පන්තියේ සරල ගණිත ගැටලුවක් බවට පත්ව ඇත. ගණනින් 70ක් වන මන්ත්‍රී පිරිසකට පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් පෙන්වීමට තවත් 43 දෙනෙකුගේ සහාය ලබා ගත යුතුය. එලෙස ආණ්ඩුවක් පිහිටුවීමට ගන්නා ප්‍රයත්නය අතර සිදුවන පැතිමාරු කිරීම් දෙපැත්තේම සම වාසියට ඇතැයි සංඛ්‍යාන විද්‍යාත්මකව උපකල්පනය කළ හැකිය. එලෙස උපකල්පනය කිරීම අතිශය විද්‍යානුකූලය.
මේ අනුව මෛත්‍රී රනිල් දීගය දෙදරා යමින් තිබියදී වුව මෛත්‍රී-මහින්ද දීගයක් සිදුවීමට සසම්භාවී අවකාශය තුළ ඇති ඉඩ ප්‍රමාණය අල්පය. ඒ සත්‍යය මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් පුරෝකථනය වෙමින් පැවතීම තුළින් මෙතෙක් කරන ලද කරුණු විශ්ලේෂණය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෛත්‍රී- මහින්ද හවුල් පාලනයක් ගැන වැඩි බලාපොරොත්තුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2018-10-11 වැනිදා වනවිට මාධ්‍යයන්ට ප්‍රකාශ කර ඇත.
මෙයින්, තවත් වැදගත් සත්‍යයක් අනාවරණය වෙයි. එනම්, මෛත්‍රී-මහින්ද හවුල් ආණ්ඩුවක් ගැන මහින්ද රාජපක්‍ෂ මහතා තුළ වැඩි විශ්වාසයක් නැත. එබඳු හවුල් ආණ්ඩුවක හිස ඔබා ගැනීම තුළින් දැනට බලපා ඇති ආණ්ඩුක්‍රම අර්බුදය අවසන් නොවන බව වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද නොදැන සිටින්නට හේතුවක් නැත. මන්දයත්, තවම කඩුව ඇත්තේ වර්තමාන ජනාධිපතිවරයා අතය. ඔහු දක්‍ෂ ලෙස කඩුව වනන්නට පටන් ගත්තොත් වර්තමානයේ කලකෝලාහල කරමින් සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට විශ්‍රාම වැටුපත් නොමැතිව පාරට බැසීමට සිදුවනු ඇත. ඔහු තවමත් විධායක ජනාධිපති වන බැවිනි. අනිත් අතට වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමාද වී හෝ නිවැරදිව තම බලතල ක්‍රියාත්මක කරමින් දැනට මන්දගාමීව ක්‍රියාත්මක වන දරුණු අපරාධ නඩු කටයුතු අප්‍රමාදව විභාග කරන්නට සැලැස්වුවහොත් සිදුවන ධනාත්මක පරිවර්තනය සිතා ගැනීමටවත් නොහැකි තරම් එකකි. ඉන් ලැබෙන ආසන්න ප්‍රතිඵලය නම්, හවුලේ දීගකෑමකින් තොරව ස්වාධීනව පාලනය කිරීමේ හැකියාව ඉතා ඉක්මනින්ම ලැබීමයි. එහි දෙවැනි ප්‍රතිඵලය නම් ජනතාවගේ විශ්වාසය දිනාගෙන දෙවැනි ජනවරමක් වෙනුවෙන් සූදානම් වීමේ භාග්‍යය වර්තමාන ජනාධිපතිවරයා වෙත ලැබීමයි.
වර්තමාන ආණ්ඩුක්‍රම අර්බුදය දෙස ගණිතමය දෘෂ්ටිකෝණයකින් දැකීම වෙනුවට දේශපාලන න්‍යායාත්මක දෘෂ්ටිකෝණයකින් බැලුවද පිළිතුරෙහි වෙනසක් නොවේ. ඉන්දියානු දේශපාලන විචාරක එම්.පී. ජායින් ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශ්ලේෂණය කරමින් ශ්‍රී ලංකා නිව් කන්ස්ටිටියුෂන් නමින් කෘතියක් සම්පාදනය කළේය. ජායින්ගේ මතය අනුව, රටක අභිවෘද්ධිය හෝ අවාසනාව සිදුවනුයේ තනිකරම ආණ්ඩුක්‍රමය මත නොවේ. ආණ්ඩුක්‍රමය මෙහෙයවන්නා මතය. ආණ්ඩුක්‍රමය සෑම කල්හිම එය මෙහෙයවන්නා විෂයයෙහි පරායත්ත වෙයි. දක්‍ෂ පාලකයෙකු ප්‍රබල ආණ්ඩුක්‍රමයකින් එක් ආකාරයක වාසි ලබන අතර, ඔහු සැබෑම දක්‍ෂයෙකු නම්, දුබල ආණ්ඩුක්‍රමයක වාසියද ඔහු ලබනු ඇත. ඒ වාසිය හොඳ අතට පෙරළෙන්නේද නැතහොත් නරක අතට පෙරළෙන්නේද යන්න තීරණය වන්නේ පාලකයාගේ දක්‍ෂ බව හා හොඳහිත මතය.
ජායින්ගේ න්‍යාය එංගලන්තආණ්ඩුක්‍රමය සමග සංසන්දනය කිරීමෙන් එහි සත්‍යාසත්‍යතාව පසක් කළ හැකිය. එංගලන්තය අලිඛිත සහ නම්‍ය ආණ්ඩුක්‍රමයක් ඇති රටකි. කොටින්ම කීවොත් එංගලන්තයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියා දෙයක් නැත. එහි ඇත්තේ ආණ්ඩුක්‍රම සම්ප්‍රදායකි. මෙහි සරල ප්‍රතිඵලය නම්, එංගලන්ත නීති පද්ධතිය තුළ ඕනෑම වල්බූරු නීතියක් සම්මත වීමට සම්භාවී හැකියාවක් ඇති වීමයි. නමුත් කිසිදින එංගලන්ත නීති පද්ධතිය තුළ එවැනි අමනෝඥ අණපනත් සම්මත නොවේ. ඊට හේතු දෙකකි. ඉන් පළමුවැන්න නම්, එංගලන්ත දේශපාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය තුළ සෑහෙන කලක් පරිණතව සිටීමයි. දෙවැනි හේතුව බෙදුම්වාදීන්, වර්ගවාදීන්, අවස්ථාවාදීන් සහ උපන්ගෙයි ඔලමොට්ටලයන් පාර්ලිමේන්තුවට නොයැවීමට තරම් එංගලන්තයේ වැසියන් දූරදර්ශී වීමයි.
දැනට සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව මුහුණදී සිටින සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම අපහසු වුවත් ඒ සඳහා ප්‍රශස්ත විසඳුමක් සපයා නොගතහොත් ශ්‍රී ලංකාව යන නාමය තවත් වසර කිහිපයකින් ලෝක සිතියමෙන් අතුරුදන් වන බවට සැක නැත. එබැවින් වර්තමාන සමාජ-ආර්ථික-දේශපාලන අර්බුදයට වහාම පිළිතුරු සෙවීමට දේශපාලන දාර්ශනිකයන්ද සක්‍රියව දේශපාලනයේ නිරතව සිටින ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පිරිස්ද වහාම පෙළගැසිය යුතුය.
මෙරට පාලන තන්ත්‍රයෙහි ප්‍රධාන දෝෂ තුනක් මූලික වශයෙන් පෙන්වා දිය හැකිය. ඉන් පළමුවැන්න නම් දිස්ත්‍රික් නියෝජන ඡන්ද ක්‍රමයයි. දක්‍ෂ දේශපාලකයන් ගෙදර යවා පාතාල නායකයන් බලයට ගෙන ඒමට මූලික වූයේ දිස්ත්‍රික් නියෝජන ක්‍රමයයි. වැඩි වැඩියෙන් මුදල් ප්‍රමාණයක් වියදම් කළ හැකි පිරිස් පමණක් බලයට ගෙන ආ දිස්ත්‍රික් නියෝජන ක්‍රමය රටේ ආර්ථිකයට ඍජුව හා වක්‍රාකාරව පහර දුන්නේය. මෙරට පාලන තන්ත්‍රයේ දෙවැනි ලුහුඬුතාව නම්, සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමයයි. සුළු පක්‍ෂ වැපිරී ගොස් ප්‍රධාන පක්‍ෂ බංකොළොත් වූයේ සමානුපාතික නියෝජන ක්‍රමයේ ඍජු ප්‍රතිවිපාකයක් හැටියටය. බෙදුම්වාදීන් හා වර්ගවාදීන් පාර්ලිමේන්තුව තුළ හිස ඔසවන ලද්දේද සමානුපාතික නියෝජන ක්‍රමයේ ප්‍රතිවිපාකයක් හැටියටය. මෙරට පාලන තන්ත්‍රයේ තුන්වැනි දෝෂය නම්, 1998 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් සංවරණයට හා තුලනයට යටත් නොවන විධායක ජනාධිපති ධුරයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධුරයේ බලතල අවුල් කර දමන ලද අතර, අපි අද කල් නොයවාම එහි ප්‍රතිවිපාක භුක්ති විඳිමින් සිටිමු.*
ඔබටත්, මටත්, රටටත් හෙටක් අවශ්‍ය නම් පළමුව කළ යුත්තේ මහජන ඡන්ද බලය නිවැරදිව භාවිත කර දූෂණ චෝදනා ලද සියලු මහජන නියෝජිතයන් වහාම ගෙදර යැවීමයි. එම ක්‍රියාවෙහි ප්‍රතිඵල වශයෙන් යම් තරමක හෝ සාධාරණයක් රටෙහි අනාගතය සුරැකීම වෙනුවෙන් සිදුවෙතැයි බලාපොරොත්තු තැබිය හැකිය. ඒ සඳහා දේශපාලනඥයන්ගේ කූට ප්‍රයෝගවලින් කිළිටි වූ මොළ, මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට පෙර අප විසින් සෝදාගත යුතුය.
නඳුන් ශ්‍යාමාල්