තායි රජතුමාගේ මූලිකත්වයෙන් එරට සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ථේරවාදී බුදුදහම වෙනුවෙන් අතිමහඟු සේවයක් කළ ලෝකයේ ගිහිපැවිදි දෙපාර්ශ්වයේ අැගයීම සඳහා වන සියාමරාජ සම්මානයෙන් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ශ්‍රී චන්දානන්ද ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධිපති ධුරන්ධර ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ ශ්‍රී ලාංකිකයෙකු ලෙස පළමුවරට බුහුමන් ලැබූහ. මේ එම අගනා අවස්ථාව සහ වත්මන් ශාසනික අර්බුදයන් සම්බන්ධයෙන් උන්වහන්සේ සමග ‘අද කෙරෙන විමසුමකි.
ඔබවහන්සේ ලද මෙම අගනා අවස්ථාව සම්බන්ධයෙන් පැහැදිලි කළොත්?
තායි රජතුමාගේ 60 වන සංවත්සරය 1999 දෙසැම්බර් 8 වන දින පවත්වන විට රජතුමා තීරණය කර තිබෙනවා ජාතික සහ ආගමික කටයුතුවල නිරතවන ගිහි පැවිදි දෙපර්ශ්වයටම ඒ අයගේ සේවය ඇගයීම වෙනුවෙන් රනින් සාදා මැණික් ඔබ්බවන ලද ධර්ම චක්‍රය සහිත ස්තම්භයක් ප්‍රදානය කළ යුතුයි යනුවෙන්.
ඒ අනුව එතුමා මිය ගිය පසු එම රජ පවුලේ අය විසින් එම කර්තව්‍යය දිගින් දිගටම කරගෙන එනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ භික්ෂූන්වහන්සේ නමක් වශයෙන් එය පළමුවරට මා හට ප්‍රදානය කිරීම සිදුවුණා. එය ථේරවාදී බුදුදහම අදටත් පවත්වාගෙන යන සහ ඒ වෙනුවෙන් ඇපකැප වූ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් කරන ලද අතිවිශාල ආගමික සේවය ඇගයීමක් ලෙස දැක්විය හැකියි.
එතෙනදි ආසියාවේ ථේරවාදී බෞද්ධ ධර්මය පවතින රාජ්‍යයන්හි ජාතික සහ ජාත්‍යන්තර සේවාවන්හි නිරත භික්ෂූන්වහන්සේලා ඉටුකරන කාර්යභාරය සුවිශේෂී නිර්ණායක යටතේ ඇගයීමට ලක්කර තිබුණා.
ඒ අනුව මාහට එම උපහාරය හිමිවන්නේ එකක් දේශීය වශයෙන් ථේරවාදී බුදුදුහම ආරක්ෂා කිරීම වෙනුවෙන් කර ඇති මෙහෙවරයි. අනෙක ජාත්‍යන්තර වශයෙන් කර ඇති මෙහෙවරයි.
ඒ වගේම දේශීය වශයෙන් පිරිවෙන, උසස් අධ්‍යාපන ආයතන ස්ථාපනය, බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කර ඇති කාර්යභාරය විමසුමට ලක්වුණා.
ඊළඟට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය වැනි ආයතනයන් සමග එම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කර ඇති දායකත්වයද සලකා බලා තිබෙනවා. එසේම අස්ගිරි මහා නිකායේ කාරක සංඝ සභාවේ කාර්යභාරයට කෙරෙන මැදිහත්වීම් සහ ආගමික මැදිහත්වීම තවත් මිනුම්දණ්ඩක් වුණා.
වර්තමානයේ මවිසින් අස්ගිරි මහා විහාරය යටතේ පවත්වාගෙන යන ශ්‍රී චන්දානන්ද ජාත්‍යන්තර පාසලේ ගුණාත්මක ප්‍රමිතිය මෙන්ම හබ්බේගමුව රජ මහා විහාරයේ පුනරුදය සඳහා වන ශාසනික මෙහෙවරද ඇගයීමේදී සලකා බලන ලද කරුණක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දින ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ පසු තායිලන්තයේ චූලාලංකොන් රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර වෙසක් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඉටුකරන කාර්යභාරයද එහිදී තවත් කරුණක් ලෙස දැක්විය යුතුයි.
කොරියාවේ මොලියේසාං සංඝ මූලස්ථානය මුල් කර ගනිමින් ලංකාවේ මීරිගම පවත්වාගෙන යන අසරණ දරුවන් සඳහා වන විශේෂ මධ්‍යස්ථානයද එහිදී ඇගයුමට ලක්වූ අතර, චීනයේ යූත්නාල් කලාපයේ ථේරවාදී බුදුදහම ව්‍යප්ත කිරීමේ බෞද්ධ සංගමය සමගද කටයුතු කරනවා.
ජපානය වැනි රටවල ථේරවාදී බුදුදහම ව්‍යප්තිය වෙනුවෙන් කර ඇති මෙහෙවරද එහිදී අවධානයට යොමු කරමින් මෙවැනි පුළුල් වූ වපසරියක් කෙරෙහි අවධානය යොමුකර තායි රජයේ තායි රජකුමාරියගේ ප්‍රධානත්වයෙන් සහ එරට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්, ශ්‍රී ලංකාවේ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය ඉකුත් සතියක එරට සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පැවැත්වුණා.
එයට ශ්‍රී ලංකාව වෙනුවෙන් අස්ගිරි මහා විහාරයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නිංයගොඩ විජිත සිරි හිමි, බුද්ධ ශාසන ඇමතිතුමා, බෞද්ධ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ජනාධිපති කාර්ය මණ්ඩල ලේකම් දෙදෙනෙකුද ප්‍රධාන තායිලන්තයේ ශ්‍රී ලංකාවේ එම තානාපතිනී ෂෙනුකා සෙනවිරත්න මහත්මියත් සහභාගී වුණා.
ඔබවහන්සේ ලංකාවේ විශාලතම සිංහල බෞද්ධ ජාත්‍යන්තර පාසල නිර්මාණය කිරීම මෙහිදී ඇගයුමට ලක්ව තිබෙනවා. ඒ ගැනත් කෙටි විවරණයක් කළොත්?
මහනුවර නගරයේ ජාත්‍යන්තර පාසල් 17ක් පමණ තිබියදී මම මේ ස්ථානය ස්ථාපනය කිරීමට මගේ ගුරු හාමුදුරුවන් වහන්සේගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක වුණා. අවුරුදු 15ක් තරම් කෙටි කාලයක් තුළ සිසුන් 3000ක් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර පාසලක් බවට එය පත්වෙනවා. නමුත් ඒවා අපට අභියෝගයක් වුණේ නැහැ.
ගුණාත්මකව විමසීමේදී පොදුවේ වෙනත් පාසල් අභිභවා මෙම ප්‍රගතිය දැකීමට හේතු වූ සුවිශේෂී කරුණ කුමක්ද?
එහිදී සිංහලකම සහ බෞද්ධකම රැකෙන පරිසරයක් තුළ අපි අධ්‍යාපන කටයුතු කරනවා. වෙනත් පාසල් සැලකීමේදී මේ අවස්ථා දෙකම එකසමානව ලබාගැනීමේ අපහසුව දෙමව්පියන් දකිනවා. අප පාසල තුළ මේ දෙකම කේන්ද්‍ර කළ අධ්‍යාපනයක් සැපයෙනවා. නමුත්
බොහෝ පාසල්වල තිබෙන්නේ ක්‍රියාවට මුල්තැන දීම පමණක් නිසා ළමයින් අධ්‍යාපන හැදියාවෙන් ඉවත්ව තිබෙනවා. එනිසා මේ පාසල ළමයින් සහ දෙමව්පියන් අතර ජනප්‍රිය වුණා.
රජයෙන් ලැබෙන අනුබලය පැහැදිලි කළොත්?
අපට රජයෙන් නිලඇඳුම්, පෙළපොතේ රජයේ විෂය මාලාවට අදාළ පුහුණු ආදිය සැපයෙනවා. විෂය බාහිර ක්‍රියාකාරකම් සියල්ල පාසල් කාලයෙන් පසු කෙරෙනවා. වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයටත් අපේ සිසුන් නියෝජනය වෙනවා.
කාලපරිච්ඡේද 8ක් තිබුණත් එයින් හතරක් පමණයි පන්ති කාමරයේ කරන්නේ. තාක්ෂණ විද්‍යාගාර ස්මාර්ට් රූම් සංකල්පය පවා අප සතුයි. අපි පූර්වාදර්ශයක් ලෙස රජයේ අධ්‍යාපන බලධාරීන් පිළිගන්නවා ඇතැයි මම හිතනවා. මේ වන විට බස්නාහිර පළාතේ අධ්‍යාපන
අධ්‍යක්ෂවරුන් 40ක් පැමිණ නිරීක්ෂණය කළා. මම හිතනවා ඒක හොඳ ඇගයීමක් කියලා.අභියෝගයක් නැතිද?
අපි කරන දේ ගැන උගත්හු, වියත්හු නිරීක්ෂණය කර තවදුරටත් අදහස් යෝජනා තියෙනවා නම් ඒකත් අපි ගරු කරනවා. දැන් අපට අභියෝගයක් නැහැ කියන එක පැහැදිලියි.