රට පුරා කොන්ක්‍රීට් පාරවල්, අධිවේගී මාර්ග ඉදිවුණද, මේ වනතුරුත් තම ගම්මානයට යාමට අඩිපාරක් හැර වෙනත් කිසිදු මාර්ග පහසුකමක් නොමැති බව පස්සර මඩුගස්තලාව පේරපිටිය ගම්වාසීහු පවසති.
පස්සර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පේරපිටිය, සාරවත්ව ගම්මිරිස් වගා කෙරෙන ඉතා සශ්‍රීක ගම්මානයකි. මෙම ගමට යාමට පස්සර නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ දුර බස් රථයකින් මඩුගස්තලාව දක්වා ගොස්, එතැන් සිට කිලෝමීටර් හතරක් පමණ දියකඳුරු තරණය කරමින් දුෂ්කර මාර්ගයක පා ගමනින්ම යා යුතුය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වාසීහු මෙසේ පැවසූහ.
ඩී.එම්.චන්ද්‍රදාස මහතා
පේරපිටිය වගේම මේ ආසන්න ගම්මානත් හොඳ සරුසාරයි. අපට වෙන කිසිදේකින් අඩුවක් නෑ. භවභෝග, වතුර, ඉඩකඩම් මේ හැමදේම තියෙනවා. වී, ගම්මිරිස් අස්වනු සරුයි. ඒත් පාරක් හරියට නැති නිසා අස්වැන්නක් නගරයට ගෙනියන්න විදිහක් නෑ. මඩුගස්තලාවට යනකල් තවලමක ගෙන යනවා. තවලමට ගමේ සිට මඩුගස්තලාවට කිලෝවකට රුපියල් 15- 20ක් ගන්නවා. එතැන ඉඳලා ත්‍රිරෝද රථයක හෝ අරන් යන්න තවත් දාහක් හමාරක් යනවා. එහෙම වියදම් කළාම අපේ මහන්සියෙන් ඵලක් නෑ. යන අඩි පාරෙත් දිය කඳුරු තුනක් තිබෙනවා. ඒවාට පාලම් නැතිව වැසි කාලෙ නම් කොහොමවත් එහා මෙහා යන්න බෑ. වැඩිහිටි අපිට වඩා හැමදාම උදේ හවස කිලෝමීටර් දහයක් විතර ඉස්කෝලෙට පයින් යන අපේ දරුවො කොච්චර දුකක් විඳිනවද? අපි රජයෙන් රැකියා හෝ වෙනත් කිසිදෙයක් ඉල්ලන්නේ නෑ. පිංසිද්ධ දැන්වත් අපේ පාර හරියට හදා දෙන්න.
කුමාරි දිසානායක මහත්මිය
මඩුගස්තලාවට යනකල් පයින්ම යන්න ඕන නිසා පාසල් යන අපේ දරුවො පාන්දර පහට පහහමාරට විතර යවන්න ඕනෑ. ආපහු එනකොට හවස් වෙනවා. දැන් කාලෙ පොඩි දරුවන් මේ පාළු පාරවල්වල කිලෝමීටර් තුන හතරක් පයින් යැවීමම කොච්චර අවදානමක්ද. යන පාරෙ දියකඳුරු තුනක් තියෙනවා. වැහි කාලෙට ඒවායින් එගොඩ මෙගොඩ වෙන්නත් බෑ. ඒ වගේමයි කෙනෙකුට හදිසි අසනීපයක් වුණොත් මරාපු සතෙක් ගෙනියනවා වගේ කඳක බැදගෙනයි මඩුගස්තලාවට යනකල් අරන් යන්නේ. ඒ නිසා මේ රජයෙන් හරි අපට පාර හදා දෙන්න කියා අපි ඉල්ලනවා.
කවීෂා රුවන්ති දියණිය
ඉස්කෝලෙ යන්න අපි පාන්දරම යන්න ඕනෑ. හැමදාම කැලෑ පාරවල්වලින්, දියකඳුරුවලින් ගිහිල්ලයි ඉස්කෝලෙට යන්නේ. වෙන ළමයින්ට වගේ අපට බස් නෑ. තාර පාරවල් නෑ. හැමදාම පයින් යන්නේ. පාරේ තියෙන කඳුරුවල වැහි දවස්වලට ලොකු වතුරක් එනවා. ඒ දවස්වලට අපිට පාසල් යන්න වෙන්නෙ නෑ. බස් එකක පාසලට යන්න, හොඳට ඉගෙන ගන්න අපිත් ආසයි. ඒ නිසා මම ඉල්ලන්නේ අනේ අපේ පාර හදා දෙන්න.
ආර්.එම්. කිරිබණ්ඩා මහතා
අවුරුදු පහ- හයකට කලින් එක ගමකට එක වැඩක් කියලා මඩුගස්තලාවේ සිට හිඟුර, පාළුවත්ත හරහා පේරපිටිය දක්වා කිලෝමීටර් හතරක් විතර පස් කපල පාරක් හැදුවා. ඒත් ඉන් එහාට ඒ පාර සංවර්ධනය වුණේ නෑ. ඒ නිසා ඒ පාරත් දැන් කැලෑ වෙලා අඩිපාරක් බවට පත්වෙලා. නුගදණ්ඩාවෙල කඳුර හරහා අවුරුදු 15කට පමණ පෙර හැදූ පාලමත් 2018දී කැඩී ගියා. පාලම් තට්ටුවට දාල තිබුණේ පොඩි කම්බි කීපයක් විතරයි. පාලම් නැති නිසා දිගටම මහ වැසි තියෙනකොට අපි ගමේම හිරවෙනවා. ඒ නිසා කඳුරුවලට පාලම් දමලා අපේ පාර හදා දෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නේ.
මේ පිළිබඳව විමසීමේදී මෙම ප්‍රදේශය නියෝජනය කරන පස්සර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ( ශ්‍රී ලං.පො.පෙ.) අනිල් දුෂාන්ත පුෂ්පකුමාර මහතා මෙසේ පැවසීය.
"මෙම මාර්ග ගැටලුව පිළිබඳව මම පෞද්ගලිකවම සොයා බැලුවා. ඇත්තටම සංවර්ධනය විය යුතු ඉතා දුෂ්කර ගම්මානයක්. එසේම මේ වගේ මාර්ග සංවර්ධනය වීම ගම්වාසීන්ගේ වගේම රටේ ආර්ථිකයටද විශාල පිටිවහලක් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ සියලු විස්තර මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ අවධානයට යොමු කළා. අමාත්‍යවරයාගේ උපදෙස් මත පාලම් තුනක් සහිතව මෙම මාර්ගය සංවර්ධනය කිරීමට අදාළ ඇස්තමේන්තු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සකසමින් පවතිනවා. ඒ අනුව වත්මන් රජය යටතේ ඉතිහාසයේ පළමුවරට පේරපිටිය ගම්මානයට කඩිනමින්ම මාර්ග පහසුකම් ලබාදිය හැකි වනු ඇතැයි විශ්වාස කරනවා."
හාලිඇල- විජේරත්න රත්නායක