ත්‍රිපිටක ග්‍රන්ථය ජාතික උරුමයක් බවට පසුගියදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එයට අදාළව එයින් පසු ජනතාව අතර පැවැති කතාබහ හේතුවෙන් මේ සම්බන්ධයෙන් ඔබ වෙත අදහස් දැක්වීමට සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සම්බන්ධ කර ගැනීමට අද අපි සිතුවෙමු.
ත්‍රිපිටක ග්‍රන්ථයට අදාළව එදාමෙදාතුර මූලික විමසීමක් කළොත් ?
මෙහිදී අපි අතීතයට මඳක් හැරී බලමු. එදා බැමිණිටියාසාය සමයේ ඇතිවූ දුර්භික්ෂයන් හේතුවෙන් මෙරට නිර්මල වූ බුද්ධ ශාසනය සහ මහරහතන් වහන්සේලාටත් අත්වූ අවාසනාවන්ත ඉරණම අප හැමදෙනාම දන්නා කරුණක්. එහෙම වෙනකොට එවැනි පසුබිමක් තුළ කවදාටත් ලේඛන ගතවූ මෙවැනි උතුම් ග්‍රන්ථයක වටිනාකම මෙපමණකැයි කීමට නොහැකියි.
මෙහිදී බුද්ධ ධර්මය පාඩම් තිබූ භික්ෂූන් වහන්සේලා එසේ කටපාඩමෙන් ගෙන ආ දේ ලේඛනගත කළා. තවත් පරම්පරා ගණනාවක් වෙනුවෙන් ඒවා මෙසේ ලේඛන ගතවීමේ අවශ්‍යතාව මෙහිදී තවදුරටත් තහවුරු වුණා. ඇතැම් අවස්ථාවලදී මෙය ඉතා දුෂ්කර අභියෝගයක් වුණා. මෙයට මා එක උදාහරණයක් දෙන්නම්.
මෙසේ ධර්මය රැස් කරන අතර එක් භික්ෂූන් වහන්සේ නමක දුෂ්ශීල නිසා කිසිවෙකු උන්වහන්සේ ළඟට ගොස් උන්වහන්සේ සතුව තිබූ දැනුම ලබා ගැනීමට කැමති වුණේ නැහැ. ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ පෞද්ගලිකත්වය නොව උන්වහන්සේ සතුවූ දැනුමෙහි වටිනාකම සලකා එම තොරුතුරු ලබාගන්නා ලෙස වියත් හිමිවරු පෙන්වා දුන්නා. එහෙත් ඒ වනවිට උන්වහන්සේ මරණාසන්නව වැතිර සිටියේ. පසුව මහවැලි ගඟේ වැල්ලේ හාරන ලද කොටසක උන්වහන්සේ තැබුවා. හෙමින් මුමුණන දේ නොඇසෙන නිසා වැල්ලට කණ තබා සවන්දී ඒවා සටහන් කරගත්තා. ධර්මය රැකගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය එදා සිට කැපවීමෙන් කටයුතු කර තිබෙනවා.
මෙවැනි අසීරු ක්‍රියාදාමයන් ඇසුරෙන් සහ සමාජ, ආගමික, ආර්ථික, දේශපාලන වාතාවරණයන් තුළ මෑත අතීතයේද රටේ බුදුදහම පවත්වාගෙන යෑමට රාජ්‍ය නායකත්වය සහ භික්ෂූන් වහන්සේලා අතර පවා යම් බාධක තිබුණා. ඒ අනුව ගැළපීමේදී එදාමෙදාතුරදී ආරක්ෂා කරගත් ධර්මය දැවැන්ත විදිහට සිදුවන සමාජ සංස්කෘතික ලක්ෂණ සමග අපට පාලනය කරගැනීමට නොහැකි මට්ටමට පත්වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට මතිමතාන්තර අදහස් වෙනස් කරමින් බුද්ධ වචනයට හානිකර තත්ත්වයන්ද මතුවුණා.
මේ තත්ත්වය පිළිබඳ කලක් තිස්සේ අස්ගිරි මල්වතු ප්‍රධාන මහානායක හිමිවරුන් ශාසනාරක්ෂක මණ්ඩල ප්‍රධානීන් රජයට මෙහි ඇතිවිය හැකි ආදීනව අවධාරණය කළා. එහි ප්‍රතිඵලයක් හැටියට රජය විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් හැටියට පත් කිරීමට තීරණය කළා.
ජාතික උරුමයක් ලෙස පත්කළ ත්‍රිපිටකය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළොත්?
මෙහිදී 1956 බෞද්ධ ජයන්තිය නිමිත්තෙන් ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයක් පත්කළා. විනයධර, ධර්මධර නායක ස්වාමීන් වහන්සේලා මෙම සම්පාදක මණ්ඩයේ කටයුතු හොබවනවා.
මූලික වශයෙන් අතීතයේ පැවැති %අට්ඨකතා^, ටීකා ආදියද සමාලෝචනය කරමින් උන්වහන්සේලා මෙහිදී ලංකාවේ තිබෙන ත්‍රිපිටකය පමණක් නෙවෙයි. බුරුමය වැනි රටවල ත්‍රිපිටකයද පරීශීලනය කර, මේවායේ එකිනෙක යම් වෙනස්කමක් තිබෙනවා නම් ඒවාද මැනවින් අධ්‍යයනය කොට මෙහිදී පවතින වෙනස්කම්ද අධ්‍යයනය කරමින් ත්‍රිපිටකය සම්පාදනය කර තිබෙනවා. යම් වෙනසක් දුටු තැනකදී එහි ලංකාව සහ බුරුමය අතර පවතින වෙනස වෙනම විවරණය කර දක්වා තිබෙනවා. ලේඛනගත කළ ත්‍රිපිටකය අපේ රටින් බුරුමයට සහ තායිලන්තයටත් ගෙන ගොස් තිබෙනවා.
මෙතෙන්දී අප අවධාරණය කළයුතු වැදගත් කරුණ තමයි මාගධී, ඒ කියන්නේ පාලි ජාත්‍යන්තර භාෂාවක් ලෙස භාවිත කර තිබීම. එසේ සම්පාදනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව රජය මගින් පිළිගත් ග්‍රන්ථය ලෙස අප විසින් පිළිගැනීමට ලක් කර අද භාවිත කරනවා.
මෙහිදී අදහස් වන්නේ 1956 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සකස් කළ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අපේ ගෞරවාදරයට සහ පිළිගැනීමට ලක්ව ඇති බවයි. මගේ දැනුමේ හැටියට මෙය එක්දහස් නවසිය අසූගණන් දක්වා මහත් පරිශ්‍රමයක් දරා සම්පාදනය වුණා.
දැන් මෙය ජාතික උරුමයක් වගේම රාජ්‍ය පොදු දේපොළක් බවට පත්වෙනවා. ඒ නිසා මෙය ජාතික උරුමයක් නම් එය සිංහල ජනකොටසට හෝ බෞද්ධයන්ට පමණක් අදාළ දෙයක් නොව හැම රට වැසියෙකුටම අයත් දෙයක් බවට පත්වෙනවා. ඒක රටවැසියන් පිළිගත යුතු කාරණාවක්. මෙය එක් මූලික පියවරක් පමණයි.
ඒ කියන්නෙ තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගණනාවක් තිබෙනවාද?
මෙය පළමු පියවර ලෙස ජනාධිපතිවරයා විසින් ජාතික උරුමයක් ලෙස නම් කර, සන්නසකින් පිළිගැනීම කර එය ගෞරවනීය මහානායක හිමිවරුන් හරහා සංඝයාට පිළිගැන්වීම කළා. දැන් එතැනින් නතරවිය නොහැකියි. එසේ නම් මෙය දැන් කිසියම් ගැසට් පතකින් සහ පසුව පාර්ලිමේන්තු පනතක් යටතේ නීතිමය රාමුවකට යටත් කළ යුතුයි. එයින් පසු එයට අදාළව නෛතික ස්වරූපය සම්බන්ධයෙන් නිසි ලේඛන සම්පාදනය කළ යුතුයි. එතෙන්දී එම කටයුතු සම්පාදනයේදී ජනාධිපතිවරයාගේ සිට අදාළ අංශයන් විසින් ත්‍රිපිටක සම්පාදන මණ්ඩලයෙන් අවසර ගත යුතුයි.
එහෙම වුණොත් මෙම කටයුතු පරිපාලනය, කළමනාකරණය සහ ව්‍යාප්තිය, ගවේෂණය සම්බන්ධයෙන් යම් රාජ්‍ය ආයතන උසස් අධ්‍යාපන ආයතන වැනි යාන්ත්‍රණයක් මැදිහත් කරගැනීමක් සිදුවෙනවාද?
මෙහෙමයි. දැන් මෙම කාර්ය විශාල වගකීමක්. එසේම ඒ වටා විශාල කාර්ය සම්පාදනයක්ද රැඳී තිබෙනවා. ඒක අවධානය යොමුකළ යුතු වැදගත් කරුණක්. උදාහරණයක් හැටියට අපිට අනුරාධපුර භික්ෂු විද්‍යාලයත්, බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයත් තිබෙනවා. මෙය පොදුරාජ්‍ය මණ්ඩලයය පවා පිළිගත් ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයන් දෙකක්. මෙහි පශ්චාත් අධ්‍යාපන මට්ටම දක්වා කටයුතු සිදුවෙනවා. එහෙම අධ්‍යාපන ආයතන දෙකක් මේ ඊයේ පෙරේදා ඇති කළ කැබිනට් සංශෝධනයන් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරලා තිබෙනවා. එය එම ආයතන දෙක පහත් තත්ත්වයකට පත්කිරීම සහ ඒවා නොසලකා හැරීමක් ලෙස මෙරට උගත් විනයධර භික්ෂූන් වහන්සේලාත්, ගිහි විද්වත්වතුනුත් අවධාරණය කරනවා. එම අදහසට අපිත් එකඟයි. ඒ නිසා වහාම මෙම තත්ත්වය නිවැරදි නොකළොත් අප දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරනවා. එම තීන්දුවට එරෙහිව අප උද්ඝෝෂණය කරනවා. පශ්චාත් උපාධි ආයතනයක් පාසල් මට්ටමින් සැලකීම කිසිසේත්ම නුසුදුසු බව පාසල් දරුවා පවා නොදන්නා දෙයක් නෙවෙයි. අනෙක මේ තුළ විදේශ ශිෂ්‍යයන් පවා ඉගෙනුම ලබනවා. පාලි සංස්කෘත භාෂාවන් පිළිබඳ අධ්‍යයනයන් පර්යේෂණයන් සිදු කරනවා. එහෙම වෙනකොට එවැනි ආයතන පාසල් මට්ටමට ඇද දැමීම බරපතළ වරදක්.
මෙතෙන්දී ත්‍රිපිටකය පෝෂණය කිරීමට නම් මෙවැනි උසස් මට්ටමේ ආයතනයන්ට අවශ්‍ය පහසුකම් සපයාදෙමින් ඒවා දිරිගැන්වීම පාලකයන්ගේ වගකීමක් වෙනවා. නමුත් ඒ ඇසුරෙන් පවතින අධ්‍යයනයන්ට ඇති අවස්ථාව වළකාලමින් ත්‍රිපිටකය පමණක් ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් එකී කාර්යට නිසි වටිනාකමක් දිය නොහැකියි. එතෙන්දී මෙවැනි ආයතන මගින් මෙම ත්‍රිපිටකය පෝෂණය, විකාශනය සහ ගවේෂණය සඳහා වන අනුබලය, උපදෙස් ලබාදිය හැකි විද්වත් බුද්ධිමත් උගත් පඬිවරුන් පිරිසක් බිහිකිරීමේ කාර්යයට රජය දායක විය යුතුයි. ජාත්‍යන්තර ලෙස ථේරවාදී බුදුදුහම රැකගත යුතු නම් පවතින ධර්මය පිළිබඳ විද්වතුන්ට ඇති අවස්ථාව අහිමිකර ලෝකයට ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් එය කළ නොහැකියි.
පාලි හෙවත් මාගධී භාෂාවෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර තිබෙනවා. එසේම එංගලන්තයේ පාලි සමාගමේ අදටත් ලෝකයේ පිළිගත් ත්‍රිපිටකයක් තිබෙනවා. එයත් අපට අවශ්‍ය විටෙක ඇසුරු කළ හැකියි. එම %පාළි ටෙක්ස්ට් සොසයිටි^ ඒ කියන්නේ %PTS^ ආයතනය වගේ ආයතනයන්හි ප්‍රධානත්වයෙන් අපේ ත්‍රිපිටකය තවදුරටත් යහපත් ආකාරයෙන් හැදෑරීමට අවශ්‍යයි. එහෙම වෙනකොටත් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පාලි භාෂාව පිළිබඳ මගපෙන්වන භික්ෂු අධ්‍යාපන ආයතන අපේ රට තුළ ශක්තිමත් කළ යුතුයි.
දැනටත් ත්‍රිපිටකයට අදාළව සිදුකර ඇති ඇතැම් පරිවර්තනයන්හිදී ජනතාවට තේරුම්ගත නොහැකි තැන්ද තිබෙනවා. එනිසා සාමාන්‍ය ජනතාව අතර පරිශීලනයේදී ජනතාවට ඒවා නිරවුල්ව තේරම් ගැනීමට නොහැකි බවටත් මැසිවිල්ලක් තියෙනවා. ඒ කාරණයේ ඇත්තක් තියෙනවා. ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය මෙය සරල සුගම ලෙස සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි පරිදි සකස් කළ යුතුයි කියන යෝජනාව අදටත් තියෙනවා. ඒක එහෙම විය යුතුයි.
දැනටත් එවැනි කාණ්ඩ කිහිපයක් සකස්වී තිබෙනවා. එසේ නොවීම හේතුවෙන් ඇතැමුන් එවැනි අවස්ථා තමන්ට වාසිදායක ආකාරයෙන් තම අභිමතය අනුව භාවිතයට යොමු වෙනවා. ඒක බරපතළ වරදක්. ධර්මය විකෘති කිරීමක්.
ත්‍රිපිටකය යන්න ජනතාවට වඩාත් සමීපවන පරිදි එදිනෙදා සමාජයේදී භාවිතයට ගතහැකි පරිදි සරල ආකාරයෙන් සම්පාදනය වීමේ අවශ්‍යතාව තිබෙනවා. එහෙම නැතිව එය ජාතික උරුමයක් බවට පත්කර කොතැනක හෝ තැම්පත් කර තිබීමෙන් පමණක් ඵලක් වන්නේ නැහැ.
ජාතික උරුමයක් බවට පත්කිරීම සහ පොදුවේ ත්‍රිපිටකය තුළ ඇති බලපෑම දිසානුගත වන්නේ කිනම් පාර්ශ්වයකටද?
මෙතෙන්දී ත්‍රිපිටකයේ වැඩි බලපෑම තියෙන්නේ පැවිදි පාර්ශ්වයටයි. ගිහියන්ටත් යම් වගකීමක් තියෙනවා. මොකද බුදුදහම කියන්නේ ජාති ආගම් භේදයෙන් තොරව සෑම මිනිසෙකු සඳහාම පොදු වූ දර්ශනයක්. නමුත් මේ දර්ශනය ජනතාව අතරට පත්කිරීමේදී පැවිදි පාර්ශ්වයට ඇති වගකීම සහ කාර්යභාරය වැඩියි.
භික්ෂූන් වහන්සේ කියන්නේ ඒ ධර්මය වෙනුවෙන් කැප වූ අයයි. නමුත් එයින් ගිහියන්ට ඉවත්විය නොහැකියි. ගිහියන්ද ධර්මයට අනුගත විය යුතුයි. ගිහියන් වෙනුවෙන් මංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, ව්‍යාඝපඡ්ඡ සූත්‍රය ආදී දේ එහි තිබෙනවා. වත්පිළිවෙත් අැවතුම් පැවතුම් තිබෙනවා. එහෙම වෙනකොට ඒවා ක්‍රමානුකූලව හදාරමින් තම ජීවිතයට ගළපා ගැනීම තුළ ගිහියන්ටද ගතහැකි ප්‍රයෝජන විශාලයි. භික්ෂුව ගිහියා යනුවෙන් වෙනසක් නැහැ. කාගේත් උත්සාහය දුකින් නිදහස්වීම සහ සසර කෙළවර අමාමහ නිවන්සුව විඳීම නම් ත්‍රිපිටකය ඒ කාටත් නිසි මග පෙන්වීමක්.
මෙහිදී ඉදිරි නෛතික ක්‍රියාදාමය කෙසේ විය යුතු දැයි පැහැදිලි කළොත්?
මෙය පනතක් ලෙස ඉදිරිපත් කිරීම වැදගත්. එතෙන්දී අන්‍යාගමිකයන් ලෙස ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ගේ බයිබලයත් ඉස්ලාම් දහමට අනුව කුරානයත් ලෝක සම්මත ලෙස භාවිතවන පිළිවෙළක් තියෙනවා.
අපි හිතන්නේ ත්‍රිපිටකය ජාතික උරුමයක්වීම වගේම එය නිසි විමසුමකට යටත් නොවීමෙන් සිදුවන හානිය කුමක්දැයි සහ එහිලා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බැලිය යුතු බවයි. තවදුරටත් නීති පද්ධතිය සම්පාදනය විය යුත්තේ ඒ අනුවයි.
එතෙන්දී ධර්මයේ විකෘතිතා ඇතිකරන අයට එරෙහිව නැවත එවැනි දේ නොකරන ලෙස අධිකරණයෙන් දඬුවම් දීමේත්, එවැනි විකෘතිතා ඇති කිරීමට එරෙහිව විරුද්ධතාව දැක්විය ආකාරයේත් යම් ක්‍රියාවලියක් අවශ්‍ය වෙයි. එයින් ධර්මය විකෘති කිරීමට වැට බැඳීමට සහ නිසි මගට යොමු කිරීමට මාර්ගයක් සැකසෙනවා. රජය මෙහිදී මැදිහත්විය යුතුයි.
දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය අනුව ආගමට එරෙහිව සිදුවන වැරදිවලදී දඬුවම් පැමිණවීමට යම් ප්‍රතිපාදන නැතිවා නෙවෙයි. නමුත් ත්‍රිපිටකය සම්බන්ධ කරුණුවලදී එය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යා යුතු ආකාරයෙන් නීතිය සම්පාදනය විය යුතුයි. උදාහරණයක් හැටියට දැනට පුරාවිද්‍යා පනත අනුව එවැනි දේට හානිකරන විට ඇප නොදී උපරිම දඬුවම් දිය හැකි ප්‍රතිපාදන තියෙනවා.
ඒ පිළිබඳව පැහැදිලි කළොත්?
මෙයින් ත්‍රිපිටකයට පටහැණිව සිදුවන ධර්මය විකෘති කරන පොතපත ලිවීම, වැරදි මත ප්‍රචාරයට පවතින ඉඩකඩ ඇහිරෙනවා. එහෙත් එයින් ධර්මය දේශනා කිරීමට සහ පොතපත ලිවීමට ග්‍රන්ථකරණයට පවතින අවස්ථාව අහිමි වියයුතු නැහැ. වැළැක්විය යුත්තේ බුදුදහම විකෘති කරමින් කෙරෙන නොමනා කටයුතු වැළැක්වීම පමණයි.
යම්යම් පර්යේෂණවලදීත් බුද්ධධර්මයට අදාළව සදොස් ආකාරයෙන් ඒවා උදාහරණයක් හැටියට අර්ථ ගන්වමින් විස්තර කරමින් නිබන්ධන ලියවෙන අවස්ථා තියෙනවා. ඇතැම් ගිහිපැවිදි විශ්වවිද්‍යාල සිසුන් අතරද එවැනි නිබන්ධන පවතින බව අපට පෙනී ගොස් තිබෙනවා. ඇතැම්විට සංකල්පමය වශයෙන් තමන් සිතන දේ හෝ යම් මතයක් දක්වා එයින් වෙනත් මතවාදයන් ඔස්සේ භාවිත කිරීමට යොමුවන අවස්ථා අප දැක තිබෙනවා. එහෙම වෙලාවට ත්‍රිපිටකය සම්පාදක මණ්ඩලයේ අදහස් විමසා බැලීමෙන් එය නිවැරදිව ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. අප බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් මුල්තැන දෙනවා කිව්වට බැහැ. එය ප්‍රායෝගිකව විය යුත්තේ එතැනයි.
මෙයට පෙර ගෙන ආ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශනයට අදාළ වූ පනතට මොකද වුණේ?
අප බෞද්ධ ප්‍රකාශන පනත ගෙන ඒමට උත්සාහ කළත් එය ඉතා සංකීර්ණ කරුණු ගණනාවක් මතු වූ නිසා පමාවුණා. කොහොම වුණත් දැනට භාවිතවන නිවැරදි කරුණු ප්‍රකාශනය සඳහා මෙහිදී අදාළවන්නේ නැහැ. අප කියන්නේ වැරදි දේ සමාජ ගතකරමින් එය බුදුදහම ලෙස පෙන්වා දීමට ගන්නා වරද තවදුරටත් සිදුවිය යුතු නැහැයි කියන එකයි. ත්‍රිපිටකයට නෛතික පසුබිමක් ලැබිම සමග කවුරුවත් වැරදි විදිහට ඒවා භාවිත කිරීමට යොමුවන්නේ නැතිවෙයි.
තවදුරටත් ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන මෙන් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින බවට ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ගෞරවණීය භික්ෂූන් වහන්සේලාගේ මතය කුමක්ද ?
එය එතුමාගේ යහපත් මතයක් වුවත් ගරුතර භික්ෂූන් වහන්සේලා වශයෙන් මේ සම්බන්ධයෙන් යම් එකඟතාවක් තවමත් නැහැ. තවදුරටත් සිතා බැලිය යුතු කරුණක්. ඒ කියන්නේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ඉල්ලා සිටීම මෙතෙක් අප ලබා ඇති අත්දැකීම් අනුව තීරණය කළයුතු දෙයක් හැටියටයි අපි දකින්නේ.
මොකද අපි රාජ්‍යයක් වශයෙන් අපට ආවේණික සමාජ සංස්කෘතිය තුළ සහ ආගමික පසුබිම තුළ අපේ රටේ නීතියට අදාළ කටයුතු සම්පාදනය කරගන්නවා. නමුත් ජාත්‍යන්තරය ගත්තාම එයට වැඩි පුළුල් මාතෘකාවක්. එතෙන්දී ඒ ඒ ජාත්‍යන්තර නීති සහ ඒවා සමග කියවෙන වෙනත් ප්‍රඥප්ති ලේඛන කොන්දේසි සහ අවස්ථාවන්ට යටත්ව අපට කටයුතු කිරීමට සිදුවෙනවා. අදටත් අපේ රටේ ලෝක උරුමයන් බවට එක්සත් ජාතීන් විසින්
නම්කර ඇති ස්ථාන සම්බන්ධයෙන් කෙතරම් අර්බුදකාරී තීරණ අප අත්වින්දාද?
උදාහරණයකට රංගිරි දඹුල්ල පූජනීය ස්ථානය ගැන හිතන්න. ඒ අයගේ පවතින නීතිරීති නිර්ණායකයන්ද අවසරය සහ එකඟතාව නැතිව එහි ඇතැම් කටයුතු සිදුවන බව පවසමින් එම ලේඛනයෙන් මෙම සිද්ධස්ථානය ඉවත් කිරීමට යෝජනා කළ බව ගත වූ අවුරුද්දේ ඇසුණා. ත්‍රිපිටකයත් එක් එක් ජාත්‍යන්තර අවශ්‍යතා අනුව මෙෙහයවීමට ඉඩදිය නොහැකියි. එතැනයි මේ අර්බුදය මතුවන්නේ. කොහොම වුණත් මෙයින් පසු කිනම් තීරණයක් ගත්තද එතෙන්දී ගෞරවණීය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන්ම ත්‍රිපිටක සම්පාදන මණ්ඩලය සමග සාකච්ජා කළ යුතු වෙනවා.
රජය ව්‍යවස්ථාවට අනුව බුදුදහම පෝෂණය කිරීමට බැඳී සිටිනවා යැයි තහවුරු කරනවා ?
කඩදාසියේ මොනවා වුණත් තිබිය හැකියි. එය ක්‍රියාත්මක වන ආකාරයයි වැදගත් වෙන්නේ. දැනට රටේ සිදුවන මත්කුඩු ජාවාරම, හැමදාම ඇසෙන මිනීමැරීම් වගේ දේවල් විතරක් නෙවෙයි, දූෂණ වංචා ගැන හිතන්න. අද තරුණ පරපුර රාත්‍රී කාලයේ ගෙවල්වල නැහැ. ඒ අය රාත්‍රී සමාජශාලාවලට කොටු වෙලා. ඔවුන් එයින් තම ජීවිත ධාර්මිකව ගෙවන බව පෙනෙන්නට නැහැ. එතෙන්දී ත්‍රිපිටකය ඇසුරෙන් ජනතාවට තම ජීවිතය එයට අනුරූපව ගොඩනඟා ගන්නා තැනට පාලකයන් රටේ ක්‍රමවේදයන් සම්පාදනය කළ යුතුයි. එවිටයි බුදදුහම රැකෙන්නේ. එහෙම නැතිව අගතියට හිතකරවන දේට අනුබල තබමින් ත්‍රිපිටකය පමණක් ජාතික උරුමයක් කළ පමණින් එය යථාර්ථයක් වන්නේ නැහැ. සංවාදය අවශ්‍ය වන්නේ එතැනටයි.
දේශපාලකයන්ගේ හැසිරීම සහ ඇතමුන්ගේ ආගමික භේදය ඇවිස්සීමේ උත්සාහය පිළිබඳවත් යමක් පැවසුවොත්?
කොහොමත් බුදුදුහමේ දර්ශනය අගය කරමින් බෞද්ධයන් නොවුවද කබීර් හෂීම් ඇමතිතුමා වැනි අය යහපත් මගපෙන්වීම් කරමින් ජාතිවාදයට ඇති අවස්ථාව වළක්වන බව දුටුවා. බුදුදහමේ හරය ඔවුන් අගය කරනවා. කොහොමත් දිගන සිදුවීම එන්නේ ඔක්තෝබර් මාසයේ ජිනීවා සමුළුව ආසන්නයේ. දැන් පිළිම කැඩෙන්නේ මාර්තු මාසයේ ජිනීවා සමුළුව ආසන්නයේ. මේවා ජාත්‍යන්තරයට මානව හිමිකම් වගේම සහ ආගම්වාදය පටලවන කතා බවට පත්වෙලා. සරණාගතයන් ලෙස රට පනින්නට හදන සැලසුම් කියලයි මට හිතෙන්නේ. බෞද්ධයන් මේ යථාර්ථය තේරුම් ගෙන බුදුදහමට අනුව ඉවසීමෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ජාතිවාදී ආගම්වාදී පටු බේදයන්ට ඇති අවස්ථාවන්ට අනුබල නොදී ඉවසීමෙන් කටයුතු කළ යුතුයි කියන එක ත්‍රිපිටකය ජාතික උරුමයක්වූ අවස්ථාවේ පෙන්වා දිය යුතුයි.