ත්‍රිකෝණමඩුව රක්ෂිතය තුළ සිදුවන තවත් විනාශයක්


අප රටේ වනසතුන් සඳහා වෙන්කෙරූ රක්ෂිත මෙන්ම ජාතික වනෝද්‍යාන, අභය භූමි ඇතැම් පරිසර පාළුවන් විසින් වනසනුයේ අද ඊයේ සිට නොවේ. එය ගහකොළ මෙන්ම පරිසරයේ උපතේ සිට සිදුවන්නකි.

මෑත කාලයේ විල්පත්තුවෙන් පත්තු වූ මහා වන සංහාරය සේම වර්තමානය වනවිට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති ඇතැම් රක්ෂිත එක් රැයකින් බිම හෙළන්නට තරම් මේ රටේ ඇතැම් දේශපාලකයන්ගේ සිට ජාවාරම්කරුවන් සමත්ව ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස මහා වනාන්තරවල රූස්ස ගස් මහ පොළව සිප ගනිද්දී අසරණ වනසතුන් අලි ඇතුන් සේම මිනිසාද මරණය කරා ගමන් කරන්නේය. මිනිසා පරිසර වැනසීමේ ප්‍රතිඵලය ලෙස එහි සිටින සියලු වනසතුන්, අලි ඇතුන්, ආහාර, ජලය සොයා මිනිසාගේ වාසභූමි වෙත ඇදී ඒම නොහරසකි. මෙම තත්ත්වය මත එහි ඇදී එන වනසතුන් විවිධ අනතුරුවලට ලක්ව මරුවාට තුරුලු වෙනවා සේම ඇතැම් දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව සත්ත්ව විශේෂ පරපුරද අපෙන් තුරන් වනවා නිසැකය. මෙලෙස වනසතුන්ගේ නිජභූමි මිනිසාගේ වාසස්ථාන බවට පත්කර ගැනීමත් සමග අප රටේ දරුණු ජාතික ගැටලුවක් වී ඇත්තේ අලි මිනිස් ගැටුම් බව මැනවින් පැහැදිලිය.

අප රටේ අලි මිනිස් ගැටුම් වැඩි වශයෙන් වාර්තා වන වයඹ පළාත මෙන්ම උතුරු මැද පළාතේ අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිදුවන පරිසර විනාශයන්ද සුළුපටු නොවේ. ස්වභාව ධර්මයා පවා කම්පාවට පත්කරමින් අහස පොළව නුහුලන මහා වන සංහාරයන් පිටුපස සිටිනුයේ කවුරුන්ද? ජනතාවගේ උත්තරය වන්නේ දේශපාලකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් සේම බලපුළුවන්කාර මහා ධනවතුන් යන්නය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයට අයත් ත්‍රිෙකා්ණමඩුව ස්වභාවික රක්ෂිතයේත්, ඒ අවටත් පරිසරයේ ගහකොළ වන බුරුත, මිල්ල, පලුගස් මහ පොළවට කඩා හැළෙන්නේ ඈත අතීතයේ සිටය.

ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයත්, සෝමාවතී ජාතික වනෝද්‍යානය මෙන්ම ත්‍රිකෝණමඩුව ස්වභාවික රක්ෂිතයත් එකට බද්ධව පවතින අතර, මොවුන්ගේ පරිසර මිතුරන් ලෙස අවට වස්ගමුව හා මාදුරු ඔය ජාතික වනෝද්‍යානයත් නම් කිරීමට හැකිය. ඉන් ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේත්, සෝමාවතිය සෑ රදුන් පිහිටා ඇති ජාතික වනෝද්‍යානය තුළත් සිදුවන පරිසර විනාශයන් අප පසුගිය කාලවල පිටු ගණනින් මෙරටේ බලධාරීන්ට හෙළිදරව් කර දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස පරිසර වනජීවී අමාත්‍යාංශ භාරව ක්‍රියා කළ මැති ඇමැතිවරුන්ටත් විශේෂයෙන් පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා ඇතුළු මනම්පිටිය පොළොන්නරුව වනජීව නිලධාරීන්ටත් පින් සිදුවෙන්නට එකී පරිසර විනාශයන් බොහෝ දුරට අවම වී තිබේ.

අප මේ හෙළිදරව් කරන්නට යනුයේ වනසතුන්ගේ අලි ඇතුන්ගේ සංවේදී පරිසර කලාපයක් ලෙසත්, නිජභූමියක් ලෙසත් සැලකෙන පොළොන්නරුව ත්‍රිෙකා්ණමඩුව රක්ෂිතය තුළ මහදවල් සිදුවන තවත් අහස පොළොව නුහුලන වන විනාශයක් පිළිබඳවය.

1986 ඔක්තෝබර් 24 වැනිදා ස්වභාවික රක්ෂිතයක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිෙකා්ණමඩුව රක්ෂිතය විශාලත්වයෙන් හෙක්ටයාර් විසිපන්දාස් දහනවයකින් සමන්විත වේ. ජෛව විවිධත්වයට වැඩි දායකත්වයක් ලබාදෙමින් ආසියාවේ අලංකාරම වනඅලි ඇතුන් ජීවත්වන මෙම සුන්දර ත්‍රිෙකා්ණමඩුව ස්වභාවික රක්ෂිතයත් වනසා දමන්නට ජාවාරම්කරුවන් මේ මොහොත වනවිට මුල්ගල් තබා හමාරය.

ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේත්, සෝමාවතී ජාතික වනෝද්‍යානයේත්,  මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේත් අලි ඇතුන්ගේ ගමන් මාර්ගය පිහිටා තිබෙනුයේ මේ මොහොත වනවිට මහා පරිමාණයෙන් ඩෝසර් කර දමා ඓළි පෙහෙළි කරන මෙම ත්‍රිෙකා්ණමඩුව රක්ෂිතය හරහාය. වන අලින්ගේ ප්‍රකට ගමන් මාර්ගයක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණමඩුව රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර 100ක පමණ කොටසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පොළොන්නරුවේ සුප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකුට බඩඉරිඟු වගා කිරීමට නිදහස් කර ඇති බව පොළොන්නරුව කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පවසන්නේය.

ස්වභාවික රක්ෂිතයක් පිහිටා ඇති එම ත්‍රිෙකා්ණමඩුව රක්ෂිතයේ මායිම් එකී සහල් මෝල් හිමියා දේශපාලන බලයද පොරවා ගෙන බුල්ඩෝසර් බැකෝ ආදී යන්ත්‍ර සූත්‍ර යොදමින් එහි දැවමය වටිනාකම් ඇති අහස උසට වැඩුන රූස්ස ගස් මෙන්ම ශාක වර්ග මහ පොළවට පතිත කරනුයේ කිසිදු හිතක් පපුවක් නොමැති මිනිසෙකු සේය.

එකී ඉඩම් කොටස මෝල් හිමියාට ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට කිසිදු නෛතික බලයක් නොමැති බව පෙන්වාදෙන පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා මෙම පරිසර විනාශය නිසා අලි ඇතුන් ප්‍රමුඛ වනසතුන්ගේ චර්යා රටාවන්ට විශාල  බාධා තර්ජන එල්ල වී ඇති බවද පෙන්වා දෙන්නේය. මෙකී ස්වභාවික රක්ෂිතවලත් ජාතික වනෝද්‍යාන තුළත් ඇතැම් ධනවත්, බලවත් බලලෝභීන් විසින් සිදුකරනු ලබන පරිසර විනාශයන් හේතුවෙන් බැට කෑමට සිදුව ඇත්තේ වනය තුළ වෙසෙන සතා සිවුපාවන්ටත් ඒ අවට ගම්මානවල දිවිගෙවන අසරණ ජනතාවටත්ය.

ඇතැම් දේශපාලකයන්ගේ හා ආධාරකරුවන්ගේ අතකොලු බවට පත්ව සිටින සමහරක් මහවැලි වනජීවී නිලධාරීන් තමන්ගේ බූදලයක් යැයි සිතමින් මෙකී බලවතුන්ට ධනවතුන්ට මහා පරිමාණයෙන් රක්ෂිත, කැලෑ, පරිසර ඉඩම් වසන්නට දිවා රාත්‍රී බලපත් ලබාදෙනවා යනු නීතියෙන් ඒ අවට අලි මිනිස් ගැටුම් වර්ධනයට අවසරය ලබාදෙනවා යන්නය. මෙම රක්ෂිත වනාන්තර විනාශ වීමේ ප්‍රතිඵලයක් නිසාම දෝ ගතවූ කාලය තුළ වැලිකන්ද ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 3ටම එක හා සමාන වන අලි තර්ජන බලපා ඇත්තේය.

ඩෝසර් යකඩ ඇත්තු මහ දවල් මෙන්ම රාත්‍රි‘යේ වනයට රිංගා ගහකොළ පෙරළද්දී එහි සත්තු අලි ඇත්තු අවට ගම්බිම් කරා කෑ මොරදී කඩා පැන මිනිස් ජීවිත හා දේපළට හානි කරනුයේ බලවත්, ධනවත්, පාපතර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසාමය. මීට අමතරව මෙකී සුප්‍රකට සහල් මෝල් හිමිකරුවා තම මෝලෙන් ඉවත් කරන නොදිරන අපද්‍රව්‍ය මෙන්ම දහයියා මෙකී අලි ගමන් කරන මාර්ගයටත් ත්‍රිෙකා්ණමඩුව රක්ෂිතයටත් බැහැර කර ගිනි තැබීමෙන් වනසතුන් අලි ඇතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජන එල්ල වී ඇති බවද ඒ අවට ජීවත්වන සිංහපුර පැරකුම් යාය, සූරියවැව, ගම්මානවල ජනතාව පෙන්වා දෙති.

බලයට පත්වන දේශපාලකයන්ට උදවු උපකාර කර මිල මුදල් යාන වාහන ලබාදී එහි පොරොන්දු ලෙස මහා පරිමාණ ඉඩම්, වැලි මංකඩ, සුරාසැල් බලපත් ලබාගන්නා මෙකී දේශපාලන ආධාරකරුවන්ට ගොදුරු වන දේශපාලකයන්ද මෙම ජාතික මහ අපරාධවලට වගකිවයුතුය යන්න ජනතාවගේත් පරිසරවේදීන්ගේත් මතයයි. පොළොන්නරුවේ එදා මෙදා තුර බලයට පත් වූ සමහර දේශපාලකයන්ගේ න්‍යායපත්‍රය එලෙස ලියවෙද්දී මේ පිටුපස සිටින ජාවාරම්කරුවන් සිදුකරන අපරාධ නිසා පුලතිසිපුර ජනතාවට කියන්නට ඇත්තේ දෙවියන්ගේම පිහිට කියාය.

මේ සුප්‍රකට සහල් මෝල් ව්‍යාපාරිකයා අතින් වැනසෙමින් පවතිනුයේ ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති ස්වභාව රක්ෂිත හතරෙන් විශාලතම රක්ෂිතය වන ත්‍රිෙකා්ණමඩුව රක්ෂිතය බව අප මෙරටේ බලධාරීන්ට නැවත නැවතත් සිහිපත් කරන්නෙමු. ත්‍රිකෝණමඩුව  ස්වභාව රක්ෂිතය හැරුණු කොට අපට ඇත්තේ මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්ෂිතයත්, ගංගාධාර රක්ෂිතය මෙන්ම වැටහිර කන්ද ස්වභාව රක්ෂිතයත් පමණි.

මෙකී රක්ෂිතවල උදෑසනට හිනහෙමින් අවදි වන ගහකොළ, වැල්, සතා සිවුපාවන් අකීකරු මිනිසුන්ගේ ශාපලත් පාපකාරී ක්‍රියාවන් නිසා හරිත වර්ණයෙන් බැබළෙන වනාන්තර හඩා වැළපෙමින් ලෝකයාට වෛරය කරන්නේය. එසේනම් එකී ස්වභාව ධර්මයාගේත් පරිසරයේත් කාරුණිකත්වය දිනා ගැනීමට නම් වහා අප කළ යුත්තේ සමස්ත ධරණිතලයේ මිහිකත මත සිදුවන පරිසර විනාශයන් වළක්වා ගැනීමය.

එමෙන්ම අප දිගින් දිගටම පොළොන්නරුව ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් මහ කුඹුක් ගස් ඇතුළු වටිනා ශාක වර්ග වනසා කැලෑ එළිපෙහෙළි කර අන්තවාදීන් හා සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් කුඹුරු වගා කරන කතාන්දරය හෙළිදරව් කිරීමත් සමග ඊට නීතිය ක්‍රියාත්මක කර එකී විනාශය වළකා ගැනීමට පෙරමුණ ගත් පොළොන්නරුවේ සියලු වනජීවී නිලධාරීන්ටත් වැටලීම් අංශයට මෙන්ම ඒ සඳහා මැදිහත් වූ සියලු රාජ්‍ය නිලධාරීන්ට ජනතාවගේත් පරිසරවේදීන්ගේත් උත්තමාචාරය ගෞරවයෙන් පිරිනමමු.

ජාතික වනෝද්‍යාන දෙකකටත්, ත්‍රිකෝණමඩුව ස්වභාවික රක්ෂිතයේ මායිම්ව හා මැදිව අලි ගමන් කරන මාර්ගයේ අක්කර 100ක බඩඉරිඟු වගාවකට පොළොන්නරුවේ මහා පරිමාණ සුප්‍රකට සහල් මෝල් ව්‍යාපාරිකයෙකුට භූමිය නිදහස් කරදීම පිළිබඳව අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසූයේ මෙම භූමිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව පවතින බැවින් මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මීට මාසයකට පෙර නියමිත බදු මුදල් අයකර ගනිමින් අදාළ සහල් මෝල් ව්‍යාපාරිකයාට බඩඉරිඟු වගාවක් සඳහා ඉඩම ලබාදී ඇති බවයි.

එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස දහයියා සහ දහයියා අලු බැහැර කර ඇති බවත්, එම දහයියා සතියක් තුළ ඉවත් කර ගන්නා ලෙසට ඔහුට දැනුම් දීමක් කර තිබෙන බවත් නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා  වැඩිදුරටත් පැවසීය. ත්‍රිකෝණමඩුව රක්ෂිතයට හා ඊට මායිම්ව අලි ගමන් කරන මාර්ගයේ සිදුවන මෙම පරිසර විනාශය පිළිබඳව අප පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසූයේ නීතිවිරෝධී එම පරිසර විනාශය වැළැක්වීමට පියවර නොගතහොත් වහාම ආදළ පාර්ශ්වකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.   

වර්තමානයේදී අප රටේ ඇතැම් දේශපාලකයන්ගෙන් සේම ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් සහ විවිධ ජාවාරම්කරුවන්ගෙන්, දඩයම්කරුවන්ගෙන් දිනෙන් දින ‍මොහොතින් මොහොත වැනසෙන වනපෙතත් පොළොන්නරුවේ ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයත් සෝමාවතිය මෙන්ම මාදුරු ඔය සහ ත්‍රිකෝණමඩුව ස්වභාව රක්ෂිතයත් එකී නරුමයන්ගෙන් බේරාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අප රටේ ජනාධිපති, අගමැති දෙපළටත් ඊට අදාළ සියලු මැති ඇමැතිවරුන්ටත් වගකිවයුතු නිලධාරීන්ටත් බලය ශක්තිය අවධානය ලැබේවා කියා අපි පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ නාමයෙන් ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

මෙකී විනාශයන්ට වහ වහා කඩිනම් පියවර නොගතහොත් පරිසරයත් සතා සිවුපාවා, ගහකොළද වැනසී ගංගා ඇළ‍ දොළ සිඳී අපද මියැදෙන දිනය වැඩි ඈතක නොවන බව මිහිමඩලේ ජීවත් වන සියලු සත්ත්වයන්ගේ නාමයෙන් අපි පෙන්වා දීමට කැමැත්තෙමු. විල්පත්තුවේ සිදු වූ මහා වන සංහාරයට එරෙහිව මිනිසුන් ඔත්තු දෙද්දී ඊට නීතිය ක්‍රියාත්මක කර පත්තු කිරීමට නොහැකිව සත්තු ටික මිය යන තුරු නිදා සිටි පාලකයිනි ඔබත් වත්මන් රජයේ මැති ඇමැතිවරුන්ට සහය දී පොළොන්නරුවේ ජාතික වනෝද්‍යානවලත්, ස්වභාව රක්ෂිත තුළත් දිවා රෑ සිදුවන පරිසර විනාශයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ පමණක් නොව අපරාධ සිදුවන භූමියට පැමිණ හඬක් නගනු මැනවි. 

සටහන හා ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න   

    



Recommended Articles