ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමේ යෝජනාව පිටුපස මෙරට ඉහළ පෙළේ දේශපාලකයෙකු සිටින බවට ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරයි. ඔවුන්ට අනුව, ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමේ යෝජනාව ගෙන ඒමේ අරමුණ වූයේ ඊළඟ මහ ඡන්දයට ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ සහාය එම දේශපාලන නායකයා වෙත ලබා ගැනීමය. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වන සියලු යෝජනා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත හකුළා ගැනීමට සිදුවනු ඇති බව පැවසුණද, එවැන්නක් සිදු නොවීය.

අද වනවිට සියල්ල අංශක එකසිය අසූවක් ආපස්සට කැරකී ඇත. රජය දැන් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට සැරසෙයි. රජයේ එම තීරණයේ ප්‍රතිවිපාක විග්‍රහ කරනු පිණිස, ත්‍රස්තවාදය කුමක්ද යන්නත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කෙබඳු ආකාරයේ බලවේගයක්ද යන්තත් සහ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමේ අතුරු විපාක කවරේද යන්නත් අපි අද සාකච්ඡාවට භාජනය කරමු.

ත්‍රස්තවාදය යන වදනෙහි නෛතික නිර්වචනය වනුයේ කිසියම් ප්‍රතිලාභයක් ලබනු පිණිස නීත්‍යනුකූල නොවන ලෙස මිනිසුන් බියවැද්දීම හෝ සාහසික ක්‍රියාවල නිරත වීමය. ත්‍රස්තවාදය දේශපාලන, ආගමික හෝ වෙනත් සාමාජීය අවශ්‍යතාවන් මත ක්‍රියාත්මක විය හැකිය. එබැවින් සෑම ත්‍රස්තවාදී සංවිධානයක්ම දේශපාලන අරමුණු මත ක්‍රියා කිරීම අනිවාර්යය නොවේ. 

ඇතැම් විට ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනු ලබනුයේ රජයේම අදිසි හස්තයන් මගිනි. 1973 මාර්තු මාසයේ නැගෙනහිර පාකිස්තානයේ සිදු කරන ලද ඔපරේෂන් සර්ච්ලයිට් මෙහෙයුම මීට කදිම නිදසුනකි. මෙම මෙහෙයුමට සහභාගි වූ නැගෙනහිර පාකිස්තානු රජයේ හමුදා විසින් බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් ලක්‍ෂ ගණනක් සමූල ඝාතනය කරනු ලැබීය. අදිසි හස්තයන් මගින් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම බොහෝ රාජ්‍යයන්ට හුරු පුරුදු දෙයකි. මීට කදිම උදාහරණය පසුගිය 88-89 අවුරුදුවල ක්‍රියාත්මක වූ %ප්‍රා^ කල්ලියයි. ප්‍රබල දේශපාලකයන් ඇසුරේ සිටි පාතාල නායකයන් ප්‍රා කල්ලිය නමින් පෙනී සිට ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කරනු ලැබීය. ‘‘ ප්‍රා කල්ලිය පිටුපස තිබුණු දේශපාලන න්‍යාය වනුයේ %‘ත්‍රස්තවාදියාට ඔහුට දැනෙන භාෂාවෙන් ආමන්ත්‍රණය කළ යුතුය යන සුප්‍රකට සිද්ධාන්තයයි.

සමහර අවස්ථාවල රාජ්‍යයන් ඍජුවම සහ ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරය දක්නට ලැබෙයි. සිරියාවේ සහ ඉරාකයේ කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන ක්‍රියාත්මක වන අයිසිස් නැතහොත් අයි.එස් සංවිධානය ත්‍රස්තවාදී රාජ්‍යයක් සඳහා කදිම නිදසුනකි. රජයේ අනුග්‍රහය ඇතුව, නැතහොත් රජය විසින්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නියැළීම ත්‍රස්තවාදී රාජ්‍යයන්හි මූලික ස්වභාවයයි.

‘‘ත්‍රස්තවාදී සංවිධාන පෙරකී ආකාර දෙකට වඩා වෙනත් ආකාරයක් ගනියි. ඇතැම් වාර්ගික හෝ ආගමික එකතු වීම් පසුකාලීනව ත්‍රස්තවාදී සංවිධාන බවට පරිණාමය වීම බහුලව සිදුවෙයි. කොරියාවේ අවුම් ශින්රික්යෝ සංවිධානය එවැන්නකි. 1984දී පිහිටුවන ලද අවුම් සංවිධානය ලෝකප්‍රකට මහායාන සංවිධානයකි. එහි ශ්‍රී ලංකා ශාඛාව ගාල්ලේ, අඟුළුගහ ප්‍රදේශයේ පිහිටුවනු ලැබීය. භාවනාවට මුල් තැන දුන් අවුම් සංවිධානය හදිසියේම ත්‍රස්තවාදය වෙත හැරිණි. අවුම් සංවිධානයේ නායක ෂෝකෝ අසහාරාගේ නියෝගය මත 1995 වර්ෂයේ ජපානයේ ටෝකියෝහි උමං දුම්රිය මාර්ග තුළ සරේන් නම් විෂ වායුව මුදා හරිනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක වැසියන් ගණනාවක්ම මරණයට පත්වූ අතර, දහස් ගණනක් රෝගාතුර වූහ. එතැන් සිට අවුම් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා තහනම් කෙරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ජපන් අධිකරණය ෂෝකෝ අසහාරාට එරෙහිව මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය. ඒ අනුව ෂෝකෝ අසහාරා ඇතුළු අවුම් සංවිධානයේ  හත්දෙනෙකු සම්බන්ධව පසුගිය ජූලි මස 06 වැනිදා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරිණි. තවත් එවැනිම සාමාජිකයන් හයදෙනෙකු පසුගිය ජූලි මස 26 වැනිදා මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබීය.

ෂෝකෝ අසහාරා ඇතුළු අවුම් ශින්රික්යෝ සාමාජිකයන් කෙසේ හෝ ශ්‍රී ලංකාවේ උපන්නේ නම්, තත්ත්වය හාත්පසින්ම වෙනස් වන බව පැහැදිලිය. එසේ වීනම්, ෂෝකෝ අසහාරාට දේශපාලන සමාවක් ලැබී ඇමති තනතුරක් අනිවාර්යයෙන්ම හිමිවනු ඇත. ඔහුටත්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත්, අවුම් සංවිධානයේ සෙසු සාමාජිකයන්ටත් බදු ගෙවන අහිංසක ජනතාවගේ මුදලින් වන්දි ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ තරම් ත්‍රස්තවාදීන්ට සහන හා ත්‍යාග දෙන වෙනත් රටක් ලෝක සිතියමෙහි නොමැති තරම්ය. දැනට හදිසි ස්වාභාවික ආපදාවකදී මිය යන අයෙකුට රජය විසින් ලබා දෙන වන්දි මුදල ඉලක්කම් පහේ සොච්චම් මුදලකි. එසේ තිබියදී මුළු රටම බියපත් කළ, උතුරු නැගෙනහිර පමණක් නොව මුළු රටම ලේ විලක් කළ,  මුළු රටෙහිම ආර්ථිකය දශක ගණනාවක් ආපස්සට යැවූ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්නේ කුමන සූත්‍රයක් අනුවදැයි රජය විසින් බදු ගෙවන ජනතාව වෙත පහදා දිය යුතුමය.  

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය අනුව කිසිදු රාජ්‍යයක් ත්‍රස්තවාදී ක්‍රියාවන් අනුමත කිරීම හෝ ඊට අනුග්‍රහය දැක්වීම නොකළ යුතුය. ශ්‍රී ලංකාව එම ප්‍රඥප්තියට අත්සන් තබා ඇති අතර, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියට අදාළව දැනට පනතක්ද සම්මත කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයන්හි සක්‍රිය වූ ජාතිකවාදී ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා දින නියමයක් නොමැතිව සිරගෙට යවන ලද්දේද සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය දඩමීමා කරගෙනය. එම පනතේ විධිවිධාන අනුව ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දීම, පෙළඹවීම ආදී ක්‍රියා සම්බන්ධයෙන් ඇප ලබාදිය හැක්කේ සුවිශේෂී අවස්ථානුගත කරුණු මත මහාධිකරණයක් මගිනි. 

දැනට ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධාන හතරක් වෙයි. ඒවා %අයි.එස්.^ (අයිසිස්) හෙවත් අයි.එස්.එල්, බොකො හරාම්, තලේබාන් සහ අල්කයිඩා නම් වෙයි.  මේ ප්‍රධාන ත්‍රස්තවාදී සංවිධාන හතරම එකිනෙකා හා සහයෝගයෙන් ක්‍රියා කරන හා ඔවුන්ගේ පොදු අරමුණ වූ සුල්තාන්වරයෙකුගේ ලෝක රාජ්‍යය බිහිකිරීමට වෙරදරන සංවිධානයන් වෙයි. බොකෝ හරාම් සංවිධානය මෑතකදී අයි.එස්. සංවිධානය සමග එක්වූ අතර, දැන් ඔවුන්ගේ නාමය බටහිර අප්‍රිකානු ඉස්ලාමීය රාජ්‍යය ලෙස වෙනස් කර ඇත. 

මෙයාකාරයෙන් ත්‍රස්තවාදී සංවිධාන එකිනෙක සම්බන්ධ වෙමින් එනුයේ හොඳ පොටකට නොවන බව මෙරට පාලකයන් විසින් අවබෝධ කරගත යුතුය. විශේෂයෙන්ම, අයි.එස්. සංවිධානය 2020දී නිර්මාණය කිරීමට නියමිත කල්පිත රාජ්‍යයේ සිතියම මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇත. එය අත්වැරදීමක් ලෙස සලකා බැහැර කළ නොහැකිය. මන්දයත්, ශ්‍රී ලාංකිකයන් තිස්තුන් දෙනෙකුම අයි.එස්. සටන් බිමට එක්ව ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බැවිනි. 

දැන් අපි නැවත එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් වෙත හැරෙමු. 

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මෙරට තුළ අත්පත් කරගෙන සිටි යුද බලයද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන්ට හිමිව තිබූ තත්ත්වයද අප විසින් යළි සිහිපත් කළ යුතුය. 1976 මැයි මාසයේ ආරම්භ කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය විසින් අන්ත පරාජයකට ලක්කරනු ලැබීය. ඒ කාලවකවානුව තුළ  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මරා දමන ලද පාර්ලිමේන්තු නියෝජිතයන් ගණන 22ක් වේයැයි ගණන් බලා ඇත.

2009 වර්ෂයේදී ලද අන්ත පරාජයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් 11,664 දෙනෙකු හමුදාවට භාරවූ බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. එනමුත්, එලෙස භාර නොවී විදේශ රටවලට පලාගිය එල්.ටී.ටී.ඊ. නායකයන් සංඛ්‍යාව 150ක් පමණ වේයැයි ගණන් බලා ඇත. පලාගිය මැද මට්ටමේ නායකත්වය හිමි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්‍යාව 1,000ක් පමණ වේ. රජය විසින් විවිධ හේතු මත යළි නිදහස් කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්‍යාව 8,000කට අධික වෙයි.

දැනට නිදහස්ව ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ සංඛ්‍යාවත්, විදේශ රටවල සිට ක්‍රියාත්මක වන 
එල්.ටී.ටී.ඊ. සංවිධාන සාමාජිකයන් සංඛ්‍යාවත් එකතු කළ කල්හි ලැබෙන අගය දසදහසකට අධික වෙයි. රජය විසින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට වන්දි ලබාදීමට කළ තීරණයේ බැරැරුම්කම තේරුම් ගත යුත්තේ මෙකී දත්ත සමග ගළපා ගැනීමෙනි. දසදහසක් ඉක්ම වන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ නැගීසිටීමට සුළු තල්ලුවක් ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි දීමට තීරණය කිරීම තුළින් ‘‘නිදාගෙන සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළි නැගිටින බව සැකයක් රහිතව කිව හැකිය. මහජනයා විසින් ගෙවනු ලබන බදු මුදල්වලින් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය. වන්දි ලැබිය යුතු අනාථයන් අතිවිශාල සංඛ්‍යාවක් සිටියදී, ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම කිසිසේත් සාධාරණීකරණයට ලක් කළ නොහැකිය.

අද වනවිට මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ හටගෙන ඇත්තේ පෙර කිසි කලෙක නොඇසූ තරම් අස්ථාවරභාවයකි. හිටපු අගවිනිසුරුවරයෙකු මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම අර්බුදය සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගකිව යුතු බවට ප්‍රකාශ කළේය. දැනට පවත්නා දේශපාලන අර්බුදය මත ජනාධිපතිවරයා අනුක්‍රමයෙන් තනිකර දැමීමක් දක්නට ලැබෙන අතර, ජනාධිපතිවරයාද ඒ බව නිරීක්‍ෂණය කර ඇති බව ඔහු සිදු කරන ප්‍රකාශවලින් හඳුනාගත හැකිය. දේශපාලන විචාරකයන් බහුතරයකගේ මතය වනුයේ මේ අර්බුදකාරී අවස්ථාව තුළ ජනාධිපතිවරයාට ස්වකීය බලය ආරක්‍ෂා කර ගැනීමට ගත හැකි එකම ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුව විසුරුවා හැර මහඡන්දයකට යෑම බවයි.

එනමුත්, මේ තරම් අවිනිශ්චිත කාලසීමාවක් තුළ ප්‍රතිසංවිධානය වීමකින් තොරව මහමැතිවරණයක් තැබීමෙන් සිදුවන අනර්ථය කිව නොහැකි තරම් මහත්ය. මන්දයත් බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම් එම මහමැතිවරණයේ උපරිම වාසිය ගන්නා බැවිනි. ඉදිරි මහමැතිවරණයකින් පසු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එකක් සමග බෙදුම්වාදී කණ්ඩායම්වල නායකයන් එක්වීම පෙර වතාවන්හි මෙන්ම එයාකාරයෙන්ම සිදුවනු ඇත. ඒ සඳහා තවත් ප්‍රදාන, වරදාන සහ කැපකිරීම් රාශියක් කිරීමට ආණ්ඩුව පිහිටුවන පක්‍ෂයට සිදුවනු ඇත. එහි ප්‍රතිඵලය ඊළම දීම තරම්ම භයානක වනු ඇත.

නීතිඥ නිලන්ත හෙට්ටිගේ‍ 

 



Recommended Articles