පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යමින් තිබෙන අතර, මේ වන විට වසර තුනකට වැඩි කාලයක් එය කල් දමමින් තිබේ. පළාත් සභා මැතිවරණය පිළිබඳ තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැති අතර, වසර තිස්තුනක් පුරාවට ක්‍රියාත්මක වූ පළාත් සභා ප්‍රතිඵලදායකද, නොවේද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුය. මේ සම්බන්ධයෙන්, පළාත් සභා පිළිබඳ අත්දැකීම් ඇති මුදල් කොමිෂන් සභාවේ හිටපු සභාපති අශෝක ගුණවර්ධන, උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් කේ.ඒ තිලකරත්න සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර යන මහත්වරුන් සාකච්ඡාවකදී දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසේ.
පළාත් සභාවල වියදම් සිදුකරන්නේ කෙසේද කියා සොයා බලන්න - මුදල් කොමිසමේ හිටපු සභාපති අශෝක ගුණවර්ධන
සුදු අලියෙක් කියල කියන්නේ සාමාන්‍යයෙන් යම් වියදම් අධික දෙයක්, පවත්වාගෙන යාම බරක් වන සහ පවත්වාගෙන යාම වැඩක් නැති, කරදරකාරී දෙයකට. පළාත් සභා මධ්‍යම රජයට කරදරකාරියි කියන කතාව නම් ඇත්ත. පළාත් සභා සහ මධ්‍යම රජය අතර සම්බන්ධතා ධනවත් විදිහට වර්ධනය කරගන්න වසර 32ක් ගිහිල්ලත් බැරිවෙලා තිබෙනවා. පළාත් සභාවේ බලය වැඩි උනොත්, එහි කාර්යභාරය පුළුල් උනොත්, කාර්යභාරය මහජනයාට සමීපව අර්ථවත් උනොත්, මධ්‍යම රජයේ පිළිගැනීම අඩුවෙන්න සහ සීමා වෙන්න පුළුවන් කියලයි මධ්‍යම රජය දකින්නේ.
පළාත් සභා පිහිටුවපු කාලයේ සහ පළාත් සභා අමාත්‍යාංශය ඇති කළ කාලයේදී බලය බෙදීම සම්බන්ධයෙන් වර්තමානයේ තිබෙන අවබෝධය අපිට තිබුණේ නැහැ. පළාත් සභාවලට මුදල් වෙන් කිරීම සහ කාර්යමණ්ඩල වෙන් කිරීම සම්බන්ධයෙන් තමයි ඒ කාලයේදී විශාල වශයෙන් අවධානය යොමු කළේ. එහිදී සෑම විෂයකම ප්‍රාදේශීය වශයෙන් සිදුකළ කාර්යයන් පළාත් සභාවලට පැවරුවා. ආපසු හැරී බලන විට අපි මෙම කාර්යයන්වලින් ඉවත් වුණත් තවදුරටත් එම කාර්යයන් සිදුකරගෙන යනවා. පළාත් සභාවලට මූල්‍ය බලය පැවරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරලා යෝජනා මාලාවක් අපි ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිවක් ක්‍රියාවට නැංවුණේ නැහැ. කොහොම උනත් රජයේ සේවාවන් සැපයීම පහළ මට්ටමට ලබාදීම මා දකින්නේ සංවර්ධනය මහජනතාවට ලබාදීමක් වශයෙන්.
අද තිබෙන සංවර්ධන අර්බුදයේ විශේෂ කරුණු තුනක් මම දකිනවා. එයින් එකක් කේන්ද්‍රීයකරණය. සම්පත් යෙදවීම, ප්‍රජාවට වග වීමේ ප්‍රශ්න සහ අකාර්යක්ෂමතාවේ ප්‍රශ්නත් තිබෙනවා. තිරසර සංවර්ධනයේදී එය ප්‍රාදේශීය මට්ටමට ගෙන යා යුතුයි කියන දේ තමයි අද ජාත්‍යන්තර වශයෙනුත් පිළිගනු ලබන්නේ. නමුත් මේ කරුණු සැලකිල්ලට අරගෙන නැහැ. ඒ වගේම මූල්‍ය කරුණු පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත්.
පළාත් සභා සුදු අලියෙක් කියල කියද්දිම පළාත් සභාවල වියදම් පැත්ත තමයි අපි බලන්නේ. පළාත් සභාවලට මිලියන 250ක් පමණ වියදම් කරනවා කියල කියනවා. මේ මුදල් අපි වියදම් කරන්නේ සේවා සැපයුම් සඳහායි. පුනරාවර්තන වියදම් සඳහා සෑම පළාත් සභාවකින්ම 80෴ක් පමණ මුදල් වියදම් වෙනවා. එමගින් සිදුවෙන්නේ සේවා සැපයීම්. එයින් ආයතනික වියදම් ලෙස සමස්ත වියදමින් 8.5෴ක් පමණයි වැය වී තිබෙන්නේ. මේවා සැලකිල්ලට ගැනීමේදී එය සුදු අලියෙක්ද නැද්ද කියන කාරණය ගැන අපි වැඩි වශයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. ඒ වගේම පළාත් සභාවල පුනරාවර්තන වියදම් ගැන කතා කරද්දි සේවා සැපයීම් තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ගුරුවරු ඇතුළු අධ්‍යාපන කාර්යමණ්ඩල, වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල වැනි සේවා සඳහා කටයුතු කරන පුද්ගලයන්ගේ වැටුප් ගෙවීමට තමයි මූලික වශයෙන්ම පළාත් සභාවල විශාල වියදමක් වැය වෙන්නේ.
පළාත් සභා සුදු අලියෙක් බවට පත් කළේ කවුරුන්ද? - උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් කේ.ඒ තිලකරත්න
මේ වන විට තිබෙන තත්ත්වය ගැන කතා කරද්දි පළාත් සභා පමණක් නෙවෙයි මුළු රටම සුදු අලියෙක්ද කියලා අපිට අහන්න වෙනවා. පළාත් සභාවලට කලින් ආණ්ඩුව සුදු අලියෙක්ද, රාජ්‍ය සේවය සුදු අලියෙක්ද කියලා අපිට බලන්න වෙනවා. එපමණක් නොවෙයි මේ අවස්ථාවේදී ජාතික වශයෙන් වැදගත් තවත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කොහොම උනත් මේ ප්‍රශ්න අතරින් පළාත් සභා ප්‍රශ්නයට දැන් අවුරුදු තිස් ගණනක් වෙනවා.
පළාත් සභා පිහිටුවීමේ ක්‍රමවේදය තුළම පළාත් සභාවලට නිසි බලතල නොදී, පළාත් සභා සුදු අලියෙක බවට පත් කළාද කියලා අපි සොයා බැලිය යුතු වෙනවා. පළාත් සභා පිහිටුවා වසර 32ක ක්‍රියාකාරීත්වය තුළ පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් බවට පත්කර ගත්තාද කියලත් හොයල බලන්න වෙනවා. උදාහරණයක් ලෙස මධ්‍යම රජයේ වගේම පළාත් සභා යටතේ විවිධ ආයතන බිහි කළා. ඒ අතර විවිධ කොමිෂන් සභා, දෙපාර්තමේන්තු, පාර්ලිමේන්තුව වගේ පළාත් සභා කාර්යාල ආදිය ඇති කළා. මේ ආකාරයට විශාල ආයතන සමූහයක් බිහිකිරීමෙන් මේ තත්ත්වයට පත්වුණාද කියල සොයා බලන්න අවශ්‍යයි. ඒ වගේම පළාත් සභා පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු නොවුණු නිසා මේවා සුදු අලියෙක් බවට පත්වුණාද කියල අපි සාකච්ඡා කළ යුතුයි. බලය බෙදීමේ අරමුණු ඉටු කරගන්න පළාත් සභා ස්ථාපිත කළා නම්, සැබෑ ලෙසම මේ කියන අරමුණු ඉටුකරගන්න බැරී වීම තුළ පළාත් සභා සුදු අලියෙක් උනාද කියන කාරණයත් සාකච්ඡා කළ යුතුයි.
ඒ වගේම පළාත් සභාවලට ආදායම් සීමිත වීම නිසා ඔවුන්ට මධ්‍යම ආණ්ඩුව මත යැපෙන්නට සිදුවෙනවා. පළාත් රාජ්‍ය සේවයේ අතිවිශාල පිරිසක් පළාත් සේවයේ ඉන්නවා. කොහොම උනත් පළාත් සේවය වේවා, මධ්‍යම රජයේ සේවය වේවා වැටුප් ගෙවන්නේ මධ්‍යම රජය නම්, විශ්‍රාම වැටුප් ගෙවන්නේ මධ්‍යම රජය නම්, පළාත් සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරන්නේ මධ්‍යම රජය නම් මේ ගැනත් සාකච්ඡා කළ යුතුයි. මට තිබෙන අත්දැකීම් අනුව නම් පළාත් සභා තුළ අති විශාල ව්‍යපෘති ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මධ්‍යම රජයේ විශාල ව්‍යාපෘති තිබෙනවා. පළාත් සභා ක්‍රමය තුළ පළාත් සභා ප්‍රතිපාදන යොදවමින් ක්‍රියාත්මක වන විශාල ව්‍යාපෘති නැහැ. මෙම සියලු කාරණා ගත් විට පළාත් සභා සුදු අලියෙක් වුණා නම් එයට වගකිව යුත්තේ කවුද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. එයට වගකිව යුත්තේ ජනතාවද? ආණ්ඩුවද? මධ්‍යම රජයද? එහෙමත් නැත්නම් පළාත් සභාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.
පළාත් සභා බලතල ගැන නිශ්චිත එකඟතාවකට පැමිණිය යුතුයි -හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර
උතුරු පළාතේ බලය බෙදීමට සහ ආර්ථික සංවර්ධනයට පළාත් සභා හඳුන්වලා දුන්නා කිව්වත්, උතුරු පළාත් සභා ක්‍රියාත්මක වුණේ මෑත කාලයකදී. ඒ වගේම වසර තිහකට වැඩි කාලයක් පළාත් සභා හරහා උතුරු පළාතේ සංවර්ධන කටයුතු සිදුවණේ නැහැ කියන කාරණයත් වැරදියි. මොකද උතුරු පළාතේ පළාත් සභා ක්‍රියාත්මක වුණේ වසර 05ක පමණ කාලයක්. මුල් කාලයේදී මධ්‍යම රජයේ සහයෝගය හොඳින් තිබුණා. හැබැයි උතුරු නැගෙනහිර පළාත් සභා පිහිටුවීමෙන් පසුව මධ්‍යම රජය ලබාදෙන සහයෝගය අඩුවෙන තත්ත්වයක් තිබුණා. පළාත් සභාවලට කටයුතු කරන්න හදන අවස්ථාවලදී එම කටයුතු කරන්න බැහැ කියලා මධ්‍යම රජය විවිධ චක්‍රලේඛ නිකුත් කළා. මධ්‍යම රජයේ බලයේ ඉන්න කණ්ඩායම අනුව තමයි පළාත් සභා ක්‍රියාත්මක වීම තීරණය වෙන්නේ.
පාර්ලිමේන්තුවේ යම් පනතක් සම්මත වූ විට එය සහතික කරන්නේ කථානායකවරයා. නමුත් පළාත් සභාවක එය පැහැදිලි නැහැ. පළාත් සභාවේ හදන ප්‍රඥප්ති මධ්‍යම රජයට අනුරූප නම් පළාත් සභාවේ සභාපතිවරයා සහතිකය සටහන් කිරීම ප්‍රමාණවත්. එසේ නොවෙනවා නම් ආණ්ඩුකාරවරයාගේ සහතිකය බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාත තුළ මෙය වුණා. ආණ්ඩුකාරවරයා පත් කරන්නේ මධ්‍යම රජයේ ජනාධිපති. උතුරු පළාත් සභාව පරිසර ප්‍රඥප්තිය සම්මත කළා. නමුත් ආණ්ඩුකාරවරයා එය අනුමත කළේ නැහැ. පළාත් සභාවේ සහ මධ්‍යම රජයේ එකම කණ්ඩායමක් බලයේ හිටියොත් පළාත් සභාවට සංවර්ධන ව්‍යාපෘති වැඩියෙන් ලැබෙනවා. හැබැයි මේ කණ්ඩායම් දෙක මාරු උනොත් ඒ දේවල් සිදුවෙන්නේ නැහැ. මේ නිසා 13වැනි ව්‍යවස්ථාවේ විසදාගත යුතු ගැටලු තිබෙනවා. මොකද පළාත් සභාවේ සම්මත කරගන්න දේවල් මධ්‍යම රජය විසින් කපලා දානවා නම් එය පිළිගන්න බැහැ. එය නොකළ යුත්තක්. මේ නිසා මේ පිළිබඳ ව්‍යවස්ථා වෙනස්කම් සිදුවිය යුතුයි.