මෙතුවක් කල් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ජලභීතිකාව තුරන් කිරීමේ වැඩසටහන නැවත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාරදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. මේ ඒ සම්බන්ධයෙන් අද අප කළ සොයා බැලීමකි.
65 වසරක කාලයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පැවැති ජලභීතිකා මර්දන වැඩසටහන පසුගිය අප්‍රේල් මාසයේ සිට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. එයද කලක සිට කල්යල් මරමින් සිදු වූ ක්‍රියාවක් බව ඇතමුන් පවසන්නේ 2015 සාකච්ජා කළද 2016 කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත්ව 2018 අප්‍රියෙල් දක්වාම එය ක්‍රියාත්මකවීමට යම් කාලයක් ගතවීම හේතුවෙනි. 2018 අප්‍රේල් මාසයේ සිට එකී වගකීම ඔවුන්ට පැවරුණද එම කටයුතු යම් විධිමත් ප්‍රවේශයක් කරා යොමු කර ගැනීමට හැකි වූයේ මෙම වසරේ ජුනි මාසයේ සිට බවද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග දක්වයි.
නව වෙනසට පසු අයාලේ යන සුනඛයන්ට අදාළව ක්‍රමවේද දෙකක් සම්බන්ධයෙන් කටයුතු සිදුවූ බවද එම දෙපාර්තමේන්තුව ගතවූ මාස කිහිපයේ අවධාරණය කළේය. ඒ අනුව තම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු හරහා වන්ධ්‍යකරණය සහ ජලභීතිකා එන්නත් ලබාදීමේ කටයුතු ව්‍යාප්ත කිරීමට ඔවුහු පියවර ගෙන තිබේ.
මාස අටක ප්‍රගතිය
ඒ අනුව ගෙවී ගිය ජුනි මාසයේ සිට ගත වූ මාස 8ක කාලය තුළ සුනඛයන් ලක්ෂ 12කට පමණ මෙම එන්නත ලබාදීමට කටයුතු කළ බව පශූ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි. එම කාලය තුළ අයාලේ යන සුනඛයන් 68,000ක් වන්ධ්‍යකරණ සැත්කමට යොමු කර තිබේ.
මේ අවුරුද්ද අවසානයට පෙර තවත් ජලභීතිකා එන්නත් ලක්ෂ 10ක් ගෙන්වීමට බලාපොරොත්තු වන බවද, ගත වූ ඔක්තෝබර් මාසයේ මහනුවරදී පැවැති ජාතික ජලභීතිකා දින වැඩසටහනකදී ප්‍රකාශ විය.
එම එන්නත් පළාත් සභාවලට භාර දෙන බවත් ඒ වනවිටත් එන්නත් ලක්ෂ පහක් පමණ ගෙන්වා ඇති බවත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් වෙදසිංහ මහතා එහිදී %අද^ ට පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම සුනඛයන්ගේ සැපීමට ලක්වන්නේ පාසල් ළමුන් බව තහවුරුවී ඇති බැවින් පාසල් ඉලක්ක කරගත් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් දීපව්‍යාප්ත මට්ටමින් පළාත් පශු වෛද්‍යවරුන් හරහා සිදුකිරීමට තම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් මෙහිදී සත්ත්ව සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ සරත් හෙට්ටිආරච්චි මහතා අනාවරණය කළේය.
පශූ වෛද්‍ය හිඟය
නමුත් දිවයිනේ පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර, එසේ තිබියදී සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ කාර්ය ඉටු කරන්නේ කෙසේදැයි මෙම අවස්ථාව නැවත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු යැයි යෝජනා කරන පාර්ශ්වයෝ විමසති. සාමාන්‍යයෙන් පශු වෛද්‍යවරුන්ගේ 30%ක පමණ හිඟයක් ප්‍රතිශතයක් වශයෙන් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයාද පවසයි. එහෙත් මෙම හිඟය අදාළ ජලභීතිකා මර්දන වැඩසටහන සඳහා ඉලක්ක නොවන බව එම දෙපාර්තමේන්තුව ගෙවී ගිය මාස අට තුළ සැලසුම් කර ඇති අනාගත සැලසුම් අනුව පැහැදිලිවන බව පශු වෛද්‍යවරු පෙන්වා දෙති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන මතු සාක්ෂි විමසමු.
ක්‍ෂේත්‍රයේ සේවා ව්‍යාප්තිය
මේ තත්ත්වය ප්‍රජා පාදක අඛණ්ඩ ක්‍රියාදාමයක් ලෙස සිදුවිය යුතු හෙයින් ඒ වෙනුවෙන් අයාලේ යන සුනඛයන් අල්ලා ගැනීම, එන්නත් ලබාදීම, තාක්ෂණය පිළිබඳ දැනුමැති අය පුහුණු කිරීම වැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද ඔවුහු පවසති.
පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මේ සම්බන්ධයෙන් පසුගියදා මෙසේ මාධ්‍යයට අවධාරණය කළහ.
“ අපි අංශ ගණනාවක් යටතේ නිවාරණ කටයුතු ව්‍යාප්ත කරනවා. එන්නත් ලබාදීම එක් ක්‍රියාකාරකමක්. දෙවනුව බෝ වීම පාලනය සඳහා වන්ධ්‍යකරණය සිදු කරනවා. තුන්වැනුව ප්‍රජා මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සම්පාදනය කර තිබෙනවා. තවදුරටත් රාජ්‍ය නිලධාරීන් සහ ක්‍ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කරමින් සිටිනවා.
පසුගිය කාලයේ ජලභීතිකා රෝගයට ගොදුරු වූ අයගෙන් 30%ක් පාසල් ළමුන් බව කිව යුතුයි. අනෙක් පැත්තෙන් උතුරු නැගෙනහිර, උතුරු මැද වැනි පළාත්වල ගොවි ජනතාව මෙයට බහුලව මුහුණදෙනවා. මෙය කාර්යක්ෂමව පවත්වා ගෙන යෑමට කණ්ඩායම් 17ක් දිවයින පුරා දිස්ත්‍රික් 25ක් පුරාවට ජාතික මට්ටමින් කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් සතුන්ගේ වන්ධ්‍යකරණ කටයුතු සඳහා යොදනවා. එක් කණ්ඩායමක වෛද්‍යවරුන් දෙදෙනකු බැගින් සිටිනවා.
දීපව්‍යාප්තව පිහිටා ඇති අපගේ පශු වෛද්‍ය මධ්‍යස්ථාන 328න් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 600කට වැඩි ප්‍රමාණයක පැවැත්වීමට හැකිවී තිබෙනවා. පාසල් 2000ක ළමුන් වෙත සහ ගුරුවරුන් දැනුම්ත් කිරීම සඳහා කටයුතු කරනවා.
නගරබද වීදියේ තවමත් සුනඛයෝ
සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එසේ පැවසුවද අදටත් නගරවල අයාලේ යන වීදිගත වූ සුනඛයන් මර්දනයට නිසි වැඩපිළිවෙළක් නැති බවට මේ වනවිට ඇසෙන තවත් කතාබහකින් නැගෙන චෝදනාවකි. එනිසා සුනඛගහනයේ වර්ධනයක් පවතින බවත්, ඒ තත්ත්වය තුළ සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ කටයුත්ත නිසි කළමනාකරණයකට යටත්ව සිදු කිරීමට අපොහාසත්ව ඇති බවටත් තවත් කතාබහකි.
අප කළ හැදෑරීම් අනුව නාගරික සීමාවන් තුළ වෙසෙන සුනඛ ගහනය පිළිබඳ සංවාදයේ දෙපැත්තකි. පළමුවැන්න ගමේ සුනඛයන්ට පැටවුන් බෝවීම සමග ඔවුන් ගෙනවිත් දමන්නේ නගරයටය. දෙවැන්න ලෙස ඔවුන් එම නගර තුළ වෙසෙමින් පැටවුන් බෝකිරීමේ ප්‍රවණතාව නිසා ඒ සමගම වර්ගයා බෝවීමද තවත් වර්ධනය වේ.
එහිදී ඒ සම්බන්ධයෙන් සත්ත්ව අවිහිංසා සංවිධාන දරන්නේ මෙබඳු මතයකි.
“ මේ ක්‍රමදෙකම මර්දනය කළ යුතු අතර, එහිලා විධිමත් සියුම් ක්‍රමවේදයක් අනුගමනය නොකර එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීම අවදානම්. ගමෙන් නගරයට සතුන් එන ප්‍රමාණය අඩුකිරීමේ ක්‍රමයක් සිදුකිරීම වැදගත්. එයින් පසු නගරයේ සතුන් වන්ධ්‍යකරණ ක්‍රම සමග ගමේ සතුන්ද වන්ධ්‍යකරණයට අප්‍රමාදව කටයුතු කළ යුතුයි. දැනට රාජ්‍ය නොවන සංවිධාන සමග එක්වී එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සතුන් මරාදැමීම වෙනුවට මෙය ඉවසීමෙන් කළ යුතු දෙයක්.
සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිය කාර්යභාරය පිළිබඳ ගත වූ කාලයේ මාධ්‍ය හමුවේ පැවසුවේ මෙවැනි කතාවකි.
“අපි අයාලේ යන සතුන් අල්ලා වන්ධ්‍යකරණ එන්නත් කිරීම, සෞඛ්‍ය සායන සේවා පැවැත්වීම වැනි කටයුතු කරනවා. එයට පුහුණු නිලධාරීන් ඉන්නවා. අයාලේ සතුන් අල්ලා ගැනීමට අවශ්‍ය පිරිස ඉදිරියේ තවත් බඳවා ගෙන පුහුණු කරනවා.
මෙම වැඩසටහන් කාර්යක්ෂමව කිරීමටද කණ්ඩායම් 17 දිස්ත්‍රික් 25ක් පුරා කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් වන්ධ්‍යකරණ කටයුතු සඳහා එක් කණ්ඩායමක වෛද්‍යවරුන් දෙදෙනකු බැගින් සිටිනවා.
පෙර සේවකයන්ගෙන් නව මැසිවිල්ලක්
ඒ අතර තවත් කසුකුසුවකින් ඇසෙන්නේ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මෙම කාර්ය පැවරීමේදී එතෙක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම වැඩසටහනට අදාළව සේවය කළ ඇතැම් සේවකයන්ට තම පත්වීම් සම්බන්ධයෙන් යම් අවදානමක් ඇති වූ බවට වෙනත් අවනඩුවකි.
එහෙත් තවකෙකු පවසන්නේ හැමදෙනාටම පොදුවේ එක්වීමට අවස්ථාව තිබුණද ඇතමුන් තමන්ගේ කැමැත්තෙන් එම තනතුරු වෙනුවෙන් එකතු නොවූ පුවතකි. එහි ඇත්ත නැත්ත කුමක් වුවද එවැනි ප්‍රමාදයකින් යමෙකු අපහසුතාවකට පත්ව සිටින්නේ නම් එවැනි අවස්ථාවන් වහා නිවැරදි කිරීම නිසි බලාධිකාරියේ වගකීමකි.
ජනතාවට හිතෙන දේ
ජනතාව අතරද මෙම කාර්ය කෙසේ විය යුතුද යන සංවාදය මතුව තිබේ. එහිදී ජනතාව පවසන්නේ එය අදාළ කාර්යභාරය සහ වගකීම් ඇසුරෙන් මෙම අර්බුදය විනිශ්චය කළයුතු කරුණක් වශයෙනි.
අපට ඇමතිකම්, ලේකම් තනතුරු, ඩොක්ටර් රේට් නැහැ. නමුත් මෙහෙම ගියොත් අපේ මරණ සහතිකය ලියවෙන්නෙත් බල්ලන් සපාකෑමෙන් සිදුවූ මරණයක් හැටියටයි. කෝකටත් දේශපාලන කඹ ඇදිල්ලක් යනුවෙන් ජනතාව පවසති.
එහිලා අනුබලයක් ලෙස පශු ක්‍ෂේත්‍රය පිළිබඳ විද්වත්හු දක්වන සංවාදයන්ට අප මෙසේ අවදානය යොමු කරමු.
පශු ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ අවධානය
“ මේ අර්බුදය මතුපිටින් දැක විසඳුම් සෙවිය හැකි කරුණක් නෙවෙයි. පක්ෂ පාට යටි අරමුණ හෝ වෙනත් ඉලක්ක ඔස්සේ නොව එහි අභ්‍යන්තරයට ගොස් විසඳුම් සෙවිය යුතුයි.
කොහෙන්ද සතුන්ට මේ රෝගය වැළඳෙන්නේ. කැලයේ සිටින නරියන් හෝ නරි බල්ලන් වැනි සතුන්ගේ සපාකෑමට එහි වෙසෙන සතුන් ගොදුරු වෙනවා. අනතුරුව එම ප්‍රදේශවල ජනතාව මෙම සතුන්ගේ සපාකෑමට ලක්විය හැකියි. එයින් වගාවන්හි නිතර ගොවියන්ට එම සතුන්ගේ සපාකෑම නිසා අනතුරට පත්වෙනවා.
ඒ සමගම එම වනාන්තරයන්ට සීමා නොවී එම සතුන් ගම්මානවලට එනවා. ගමේ සතුන්ද සපාකනවා. මෙසේ තත්ත්වය ව්‍යාප්ත වෙනවා. එහෙම නම් මූලික නිමිත්ත වැළැක්විය යුතුයි. මෙය කළ හැක්කේ සෞඛ්‍ය දෙපාර්මේන්තුවටද නැතිනම් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැයි යන ප්‍රශ්නය පවතිනවා.
අනෙක මෙම සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් සතු රාජකාරි වගකීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමනය අනුව මෙහෙම දක්වන්න පුළුවන්. එකක් හියුමන් රේබීස් පැත්ත. අනෙක ඇනිමල් රේබීස් පැත්ත. තුන්වැනුව ඒ සියල්ල වෙනුවෙන් පවතින ලීගල් පැත්ත. පළමුව කියන්නේ මානවයාගේ පැත්ත. දෙවැන්න සතුන්ගේ පැත්ත සහ තුන්වෙනුව නෛතිකව ගතහැකි ක්‍රියා මාර්ග අවධාරණය විය යුතුයි.
නෛතිකව ගතහැකි ක්‍රියාමාර්ග පළාත් පාලන ආයතන මට්ටමෙන් ඒවායේ පශු වෛද්‍ය ඒකක හෝ මහජන සෞඛ්‍ය අංශ හරහා කෙෙරනවා. සැක සහිත සතුන් අල්ලා කූඩු කිරීම වැනිදේත් කරනවා.
සතුන්ගේ සපාකෑමට ලක්වූ මිනිසුන්ට රෝහලෙන් ප්‍රතිකාර සපයනවා. එය සෞඛ්‍ය දෙපාර්තෙම්න්තුවේ වගකීමක්.
සතුන්ගෙන් මිනිසාට සිදුවන හානි වෙනුවෙන් විසඳුම් සෙවීම සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරිය යුතු වගකීමක්. ඒකනේ ඒක සත්ත්ව සෞඛ්‍ය කියලා ගැසට් වෙන්නේ. ඔවුන්ට එන්නත් නිර්දේශ කළ යුතුයි. සතුන්ගේ රෝග ව්‍යාප්තියට හේතු සෙවිය යුතුයි. හානිකර සතුන්ගෙන් ජනතාව වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි. නියමිත එන්නත් නිසි ප්‍රමිතිය යටතේ ඒ කියන්නේ නියම උෂ්ණත්වයන් යටතේ තබාගෙන අවශ්‍ය විට පාවිච්චි කිරීමට වගකිව යුතුයි.
එහෙම වෙනකොට ඔය කියන වෙනත් පුහුණු අධ්‍යාපනික වැඩසටහන් රෝගී සතුන් හඳුනා ගැනීම වැනි දේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රෝහල් හරහා කළ හැකිද කියන සාධාරණ තර්කය මතුවෙනවා. එතැනයි අප සිතිය යුත්තේ. ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනට පවතින රාජකාරි බහුලතාව තුළ සහ විශාල සේවක හිඟය වාහන පහසුකම්, වාට්ටු සහ බෙහෙත් හිඟය වැනි අර්බුද තිබියදී තවදුරටත් සතුන්ට අදාළ කටයුතු භාරගැනීම කෙතෙක් දුරට ප්‍රඥාගෝචර දැයි විමසිය යුතුයි. අනෙක එහෙම වෙනකොට අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම්වල ගුණාත්මක බවට මොකද වෙන්නේ.*
තර්ක මිස අවශ්‍යතාව ගිලිහී යෑම
හැටපස් අවුරුද්දක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ වැඩසටහන පැවතියද එවැනි ගැටලු මෙතෙක් මතු නොවූ බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පාර්ශ්වයේ ඇතමුන්ගේ තර්කයකි.
එහෙත් නූතන තාක්ෂණය, ජාත්‍යන්තර ප්‍රමිතිය, ගුණාත්මක සේවා පද්ධතියක් වෙනුවෙන් සත්ත්ව සෞඛ්‍ය සහ ඒ සමග බැඳුණු කටයුතු සියල්ල කළමනාකරණය සහ පාලනය වෙනුවෙන් පවතින සත්ත්ව සහ සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමේන්තුවට ඒ කාර්ය පැවරිය යුතු බවට යමෙකු පවසයි. පෝළිම් තුළ සිටිය යුතු රෝහල් පද්ධතියක් තුළ එන්නත් නැති නිසා බාහිරෙන් එන්නත් ලබාගත යුතු පසුබිමක වඩාත් විධිමත් ක්‍රමවේද සහ ප්‍රමිතීන් යටතේ මෙම සේවය පැවැත්වීම සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරිය යුතු බව ඔවුහු පවසති.
ඇත්ත තිත්ත විය හැකිය. සතුන්ගේ වැඩකටයුතු සඳහා එම වගකීම් අත්දැකීම් තාක්ෂණය ඇති ආයතනයන්ට එම කටයුතු පැවරිය යුතු යැයි ජනතාව තර්ක කරති. මිනිසුන්ගේ ලෙඩ හා ඒ සම්බන්ධයෙන් අත්දැකීම් දැනුම පුහුණුව ඇති ආයතනයන්ට මෙම වගකීම භාරකළ යුතුය. මිනිසුන්ගේ කාර්යන්වත් කිරීමට පහසුකම් නැති රජයේ රෝහල්, සතුන්ගේ කොටසකටත් පොර බැදිය යුතු දැයි ජනතාව ප්‍රශ්න කරති.
සැබවින්ම ඒ අරගලයේ සැඟවුණු යටි අරමුණක් තිබේ දැයි ඇතමෙකු ප්‍රශ්න කරයි. අවස්ථාවාදය වෙනුවට ජනතාවට වගකීමේ වගවීමට ආරෝවකින් තොරව යොමුවන්නේ නම් මෙවැනි කන්දොස්කිරියාවන් නොඇසනු ඇතැයි සියල්ල අසා සිටින ජනතාව පවසති.
කෙසේ වුවද පළමු වරට තමන් අත ගැසූ සහ ගත වූ මාස අට තුළ පැවැති ජලභීතිකා මර්දන වැඩසටහන්වලදී සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශය රටේ නායකයන්ට පාලකයන්ට සහ ඇමතිවරුන්ට යහපත් මගපෙන්වීමක් වනු ඇතැයි අපි සිතන්නෙමු.
“ඒ අපේ ඉලක්කය 2020දී ජලභීතිකාව සහමුලින්ම ලංකාවෙන් තුරන් කිරීමයි* යන්නයි. එසේ නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අවුරුදු 65ක් කළ නොහැකිවූ දේ තවත් අවුරුද්දකින් අවසන් කිරීමට අනාගත සැලසුම් සකස් කරමින් එම අභියෝගය භාරගෙන ඇති සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එම අවස්ථාව දෙන්නේද ? එය කවදත් ජනතාවගේ බෙහෙත් පෙත්ත, සිවිකාචය, චැනල් බිලද ගැන මානවහිතවාදී අයුරින් සිතූ සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානයට යොමු විය යුතු ප්‍රබල කරුණකි.
සංක්‍රාන්ති සමයක්
නව කැබිනට් පත්‍රිකාව නිසා මෙම වසර වෙනුවෙන් මෙතෙක් මූල්‍ය ප්‍රතිලාභ නොලැබී ඇතැයි යම් මැසිවිල්ලක් ඇසේ. එසේ වන්නේ නම් එයින් හැඟෙන්නේද මෙම ජලභීතිකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතනික මට්ට්මින් පවතින බාධාවන් අප්‍රමාදව ඉවත්විය යුතු බවකි.
විමසුම සහ සේයාරූ - ලාල් ජයසුන්දර