තව අවුරුද්දකින් දෙකකින් දකින්න ලැබෙන්නේ ශාරීරික ආබාධ වලට ලක්වූ දරුවන් පිරිසක්


අද (11දා) දිනයේ 2021 වර්ෂය සඳහා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. නමුත් මෙම තීරණය කෙරෙහි දෙමාපියන් හා වැඩිහිටියන් තුළ විවිධාකාර ගැටලුසහගත අදහස් පැන නැගී ඇති බව නොරහසකි. මේ නිසාම පාසල් ආරම්භ කිරීමේ තීරණය හා එම තීරණය සාර්ථක කර ගැනීමට දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් හා පරිපාලකයන් සිදුකළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් විද්වතුන් සම්බන්ධ කරගත් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. මේ එහිදී අනාවරණය වූ කරුණුයි.

දරුවාව පාසලට නොයවා ගෙදර තබා ගැනීමෙන් දරුවාට ඇතිවන හානිය දීර්ඝකාලීනව ඉහළයි- මහාචාර්ය, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා

අපි දන්නවා අපේ රටේ පාසල් බොහෝ කාලයක් වසා දමා තිබූ බව. 2020 වර්ෂයේ පාසල් වසා දමා තිබූ නිසා ඔන්ලයින් ක්‍රමවේදය අනුව තමයි බොහෝ පාසල්වල ඉගැන්වීම් සිදුකළේ. නමුත් අපි ඒ ආකාරයෙන් අධ්‍යාපනය සඳහා වන කරුණු කාරණා ළමයාට ළඟා කර දුන්නත්, අපි දන්නවා ළමයෙක්ට අධ්‍යාපනය කියලා කියන්නේ කරුණු කාරණා පමණක් ලබාදෙන දෙයක් නොවන බව. මෙලෙස පාසල් වසා දැමීම නිසා ළමයින්ට සෞඛ්‍යමය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් ගැටලු ගොඩක් ඇතිවී තිබෙනවා. අපි හිතුවට ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිලබස් එක ආවරණය කළා කියලා ඇත්තටම එය කරන්න බැහැ. දරුවෙකුගේ සමාජය ගැන බැලුවොත් නිවසට පසුව තිබෙන්නේ පාසල් සමාජයයි. ඒ අනුව පාසල් සමාජය සමග වසරක් වගේ කාලයක් මිශ්‍ර වෙන්නට නොලැබෙන එක විශාල වශයෙන් ගැටලු සහගත තත්ත්වයක්. මීළඟට ඔන්ලයින් ක්‍රමවේදය තුළින් අධ්‍යාපනය ලබාදෙන විට එක්කෝ දුරකථනයක්, ටැබ් පරිගණකයක්, පරිගණකයක් ආධාරයෙන් තමයි කරන්න සිදුවෙන්නේ. මේ හරහා ඇතිවන සෞඛ්‍ය ගැටලු ගැන කතා කරලා ඒ ගැන හැමෝම දැනුම්වත් ඇති. ප්‍රධාන වශයෙන් තිරය නිසා ඇතිවන මානසික ගැටලු, කාමරේට, නිවසට හිරවෙලා ඉද්දී ඇතිවන මානසිකපීඩනය දැකගත හැකියි. මුල් කාලයේ දරුවන්ට මෙය නව අත්දැකීමක් නිසා ආසාවෙන් ඉගෙන ගන්න යොමු වෙනවා. නමුත් පසුකාලීනව එය වෙනස් වෙලා පීඩනකාරී තත්ත්වයක් ඇති කරනවා. මේ නිසා සිදුවන්නේ හුඟක් වෙලාවට තමන්ගේ ශරීරයේ ශක්තිය පිටකරගන්න බැරිව ලොකු මානසික පීඩනයන්ට දරුවන් ලක්වෙනවා. අපි මේ තත්ත්වය ලෝකයේ තැනින් තැන දකිනවා. ලොක්ඩවුන් තත්ත්වය මත දරුවන්ට මානසිකව ඇතිවන පීඩාවන් අපි දැන් හඳුනාගනිමින් ඉන්නවා. ඒ වගේම අපි දකිනවා ශාරීරික වශයෙනුත් ළමුන් විවිධ පීඩාවන්ට ලක්වෙනවා. අපි දන්නවා අනෙකුත් රටවලට සාපේක්ෂව අපේ රටේ ළමයින් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ අඩුවෙන් බව. එය තවදුරටත් වැඩි වෙනකොට අපිට තව අවුරුද්දකින්, දෙකකින් දකින්නට ලැබෙන්නේ ශාරීරික ආබාධ වලට ලක්වූ දරුවන් පිරිසක්. ස්ථුලතාවයෙන් පෙළෙන ළමුන්, හන්දි ආබාධවලට ලක්වන ළමුන්, විටමින් ඩී ඌණතා හා ඒ ආශ්‍රිත ගැටලු වලට මුහුණ දෙන ළමුන් අපිට වැඩි වශයෙන් දකින්නට ලැබේවි.

ඔන්ලයින් ක්‍රමවේදය හරහා විශය මාලාවක් ආවරණය කළාට ඒ විෂය කරුණු වලට අනුබද්ධිත ක්‍රියාකාරකම් නැත්නම් කුසලතා වර්ධනය කරගන්න ළමයින්ට අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ හරහා ළමයින් අධ්‍යාපනයේ පසුබෑමේ තත්ත්වයක් දකින්නට ලැබෙනවා. අපි බැලුවොත් පළමු, දෙවන හා තෙවන ශ්‍රේණි වලදී සිදුකරන්නේ ළමයාගේ අතපය හුරු කිරීමයි. එනම් ළමයෙක්ට අකුරු ලියන්න, අත්වැඩ කරන්න අවශ්‍ය හුරුව තමයි ලබාදෙන්නේ. ඒ හැසිරීම් මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම දරුවෙක්ට අහිමි වෙනවා. බොහෝදෙනා හිතන්නේ ඉහළ පන්තිවලට තමයි විශාලම පාඩුව සිදුවෙන්නේ කියලා. නමුත් කුසලතා හා හැකියාවන් දියුණු කිරීම සම්බන්ධයෙන් ඇති අවස්ථාව ප්‍රාථමික ශ්‍රේණි වල ළමුන්ට අහිමි වීම බරපතළ කාරණයක්. ඒඅනුව දරුවෙක්ට පාසල් වසා තැබීම නිසා මානසික ගැටලු, ශාරීරික ගැටලු වගේම අධ්‍යාපනයේ විශාල පසුබෑමක් ඇතිවෙන්නට හැකියි. ඒ නිසා හැම අවස්ථාවකදීම අපි උත්සාහ කරන්න ඕන පාසල් විවෘත කර තබන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි. අපි දන්නවා පාසල් පමණක් නෙවෙයි, විශ්වවිද්‍යාල වල පවා ඔන්ලයින් ක්‍රමවේදය අනුව අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන ගියා. නමුත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ඉගැන්වීම් කරන්න හැකි වුණේ නැහැ. වෛද්‍ය විද්‍යාල වලත් ප්‍රායෝගික සායනික ක්‍රියාකාරකම් සීමා සහිතවයි අපිට කරන්න සිදුවුණේ. මාර්තු මාසයේ ඔවුන්ට විභාග පවත්වන්න සූදානම් කර තිබෙනවා. අපි දකිනවා මාර්ගගත ක්‍රමයට ඉගෙන ගත්ත විශ්වවිද්‍යාල දරුවන් තුළිනුත් ඉතා විශාල වශයෙන් මානසික පීඩාමය ලක්ෂණ. මේ නිසාම අපිට දෙමව්පියන්ගෙන් හා ශිෂ්‍ය සංගම් වලින් ඉල්ලීම් ලැබෙනවා විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසට. මොකදඅධ්‍යාපනය අහිමි වෙනවා වගේම මානසිකව හා ශාරීරිකව රෝගී වෙන හා අපහසුතාවයට පත්වන පිරිසක් අපිට ඇති වෙන නිසා.

පාසල් විවෘත කරන විට අපි දැනගත යුතු දේ තමයි මේ වෛරසය කොහේද තියෙන්නේ කියලා අපි ⁣දන්නෙ නැති බව. ඒ අනුව ඕනෑම කෙනෙක් මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ තමයි මේ දක්වා ඉගෙන ගත් සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කරන එක. ඒ නිසා වැදගත්ම වන්නේ දෙමව්පියන් දරුවන්ව පාසලට එවන විට සෞඛ්‍ය පුරුදු ටික දරුවන්ට මතක් කරන එක. ඒ සඳහා අවශ්‍ය පහසුකම් වැඩිහිටියන් විසින් සපයා දිය යුතුයි. ඒ වගේම දරුවෙක්ට යම් අසනීප තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ඒ දරුවා පාසලට නොඑවීමට වග බලාගත යුතුයි. පාසලට දරුවෙකු එවන විට පොදු ප්‍රවාහනය වෙනුවට දරුවාට පයින් යන්න පුළුවන් දුරක් නම් පයින් එක්කන් යන්න. බයිසිකලේක යන්න පුළුවන් නම් බයිසිකලයක පාසල් යවන්න. ඒ වගේ පෞද්ගලික ප්‍රවාහන ක්‍රමවේද පාව්ච්චි කරන්න. පාසලට දරුවාව ගෙනැත් ඇරලලා පාසලෙන් නිවසට දරුවා ගෙන යන විටත් අනිවාර්යයෙන් දරුවාව පිරිසුදු කර නිවස තුළට ගන්න. එවැනි ක්‍රමවේදයන් හරහා අපිට මේ රෝගය පාසල් දරුවන් අතර බෝ වීම වළක්වා ගන්නට හැකි වේවි. විශේෂයෙන් නිවෙස් තුළ වැඩිහිටි අය හා දරුවන් අතර ඝට්ටනය හැකිතාක් අවම කරන්න පුළුවන් නම් එය වඩා වැදගත්. අපි දන්නවා වැඩිහිටියන්ට තමයි මේ රෝගයේ වැඩි ආදීනව තිබෙන්නේ කියලා. ලෝකය පුරා අපි බැලුවොත් අවුරුදු 20ට අඩු පුද්ගලයන්ට මේ රෝගය හැදෙනවා අවමයි. රෝගය වැලඳුණත් රෝග ලක්ෂණ පෙන්වනවා අඩුයි. ඒ වගේම රෝගය වැලඳුණත් ඉක්මනින් සුව වෙනවා. ඒ නිසා දරුවෙක්ට කෝවිඩ් වැලඳුණත් අනවශ්‍ය විදිහට කලබල නොවිය යුතුයි. සංකූලතා මතුවුණත් සංකූලතා අඩුයි. හැබැයි එහෙම කියලා දරුවන්ටකෝවිඩ් හැදුණට කමක් නෑ කියලා හිතන්න එපා. කෝවිඩ් රෝගයෙන් වැළකෙන්න අවශ්‍ය පියවර අනුගමනය කරන්න දරුවන්ට මග පෙන්විය යුතුයි.ඒ අනුව අපි දරුවන්ට ගෙදරදීම උගන්වන්න ඕන දෑත් නිවැරදිව පිරිසුදු කරගන්න. මුව ආවරණ නිවැරදිව පලඳින ආකාරය අපි උගන්වන්න ඕන. දරුවෙක්ට යම් හේතුවක් නිසා මුව ආවරණයක් පලඳින්න අපහසුයි නම් ෆේස් ෂීල්ඩ් එකක් පලඳවන්න අපිට හැකියි. ඒ අනුව නිතරම පාසලේදී දරුවාට අත හෝදන්න පහසුකම් ලබාදිය යුතුයි. විශේෂයෙන් ඇස් මූණකට අත ගෑම නොකළ යුතු බවට දරුවන්ට පහදා දිය යුතුයි. ඒ වගේම පාසලේදී යහළුවන් සමග තමන්ගේ කෑම වේල බෙදාහදාගෙන ආහාරයට ගැනීම නොකළ යුතු බව කියා දිය යුතුයි. එසේ නොමැති වුණොත් මේ වෛරසය තවදුරටත් පැතිරිය හැකියි. යම්කිසි තත්ත්වයකට අපි අවශ්‍ය ආරක්ෂක ක්‍රම යොදාගෙන පාසල් ආරම්භ කරනවා නම් අපිට දරුවන්ව බය නැතිව පාසල් යවන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම රෝගය පැතිරීම අපිට පාලනය කරන්න පුළුවන්. අපි පසුගිය සතියේ පුවත්පත්වල දැක්කා දෙමව්පියන් හා දරුවන් පාසල් ආරම්භ කළ පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන්. ඒ දැන්වීම් වල තිබෙන තොරතුරු හා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්අඩවිය දක්වන උපදෙස් පිළිබඳව නිසි අවධානය දෙනවා නම් පාසල් විවෘත කිරීම ගැටලුවක් නොවෙයි. ලබා දී ඇති උපදෙස් බලාත්මක කර දරුවා පාසලට යැවීමත්, පාසල් නිමවී නිවසට එන දරුවා නිවස තුළට ගැනීමට පෙර අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමත් දෙමව්පියන්ගේ හා වැඩිහිටියන්ගේ වගකීමක්. මේ ක්‍රමවේද අනුගමනය කර දරුවා පාසලට යැවීමයි මේ අවස්ථාවේ හොඳම පියවර වන්නේ. මොකද දරුවාව පාසලට නොයවා ගෙදර තබා ගැනීමෙන් දරුවාට ඇතිවන හානිය දීර්ඝකාලීනව වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව දරුවාව සෞඛ්‍යසම්පන්න ලෙස පාසලට යැවීම තමයි දෙමාපියන් සිදුකළ යුත්තේ.

ඕනෑම අවස්ථාවක පාසල් පද්ධතිය තුළින් රෝගීන් වාර්තා විය හැකියි. වැදගත් වන්නේ ඔවුන්ගෙන් අන්අයට පැතිරීම වළක්වා ගැනීමයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා

පාසල් වලට සමාන්තරව සියලුම දහම් පාසල් ආරම්භ කරන්න සූදානමක් තිබෙනවා. උපකාරක පංතිත් විවෘත කරන්න කටයුතු යොදා තිබෙනවා. පොදුවේ ගත් කල මේ සෑම ස්ථානයකම අවශ්‍ය සෞඛ්‍ය විධිවිධාන නිවැරදිව වෙනසක් කර නොගත යුතුයි. ඒ වගේම මේ විධිවිධාන ගැනීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අංශවලට පරික්ෂා කිරීමට, අධීක්ෂණයට අවස්ථාව ලබාදෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මොකද සෞඛ්‍ය සේවයට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සිටිනවා. ඒ තත්ත්වය යටතේ සෞඛ්‍ය සේවකයන්ට මේ ආයතන සමග ළඟින් කටයුතු කරන්න ඇති හැකියාව අවම විය හැකියි. ඒ අනුව කුඩා පාසල් දරුවාගේ සිට වකීම් ගත යුතුයි. අපි ඒ සඳහා ඔවුන්ව සවිබලගැන්විය යුතුයි. දරුවාගේ සිට දෙමාපියන්, ගුරුවරුන්, පරිපාලකයන් ඇතුළු සියලුදෙනාම අදාළ වගකීම් දැරිය යුතුයි. ඒ හරහා තමන්ගේ පාසල, අධ්‍යාපනික ස්ථානය කෝවිඩ් වෛරසය පැතිරෙන ස්ථානයක් බවට පත් කරගන්නේ නැති ආකාරයට තබා ගන්නට වග බලාගත යුතුයි. ඕනෑම අවස්ථාවක මේ ආයතන වලින් කෝවිඩ් රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. නමුත් මේ රෝගීන් හරහා අනෙක් අයට රෝගය පැතිරීම වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. ඒ අනුව වැදගත්ම දේ තමයි අපි ලබා දී ඇති සෞඛ්‍ය පුරුදු නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම.

 



Recommended Articles