තලේබාන් යළි වැඩ අරඹයි: රැවුල බෑම තහනම් - කාන්තාවන්ට කාබුල් විශ්වවිද්‍යාලය වැසෙයි


බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කළේද?   අවසාන කොටස

“අපේ ජනතාවට පිළිගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී හෝ සාම්ප්‍රදායික යාන්ත්‍රණයක් තුළින් ස්වයං නිර්ණය කිරීමේ අයිතිය නැවත ලබා ගැනීමට ඇෆ්ගන් ජාතිකයන්ට අවශ්‍යයි. ... මෙම උදාර අරමුණ කරා යාමට අපි කැමැත්තෙමු. නොඉවසීම, ප්‍රචණ්ඩත්වය සහ උමතුව යන වසංගතයෙන් මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම අපගේ යුතුකමක කොටසක් ලෙස අපි මෙය සලකමු. ”

- අහමඩ් ෂා මසූඩ්, 1998

​ඤඔහු තලේබාන් සංවිධානය සහ එහි මිත්‍ර සංවිධානයක් වන අල්කයිඩා නිසා ලෝකයට වන්දි ගෙවීමට සිදුවන ආකාරය ගැන මාස ගණනක් තිස්සේ අනතුරු ඇඟවීය.   

නමුත් යුරෝපය හෝ ඇමෙරිකා එක්සත් ජනපදය ඔහුගේ හඬට කන් දුන්නේ නැත. ඔහුගේ අනතුරු ඇඟවීම්වලට අවනත වුවහොත්, පාකිස්තානය සමග සිදු කළ ආයුධ ගනුදෙනුවලට සිදුවිය හැකි බලපෑම් නිසා එම නොසලකා හැරීම සිදුවූයේද? එසේ නොමැති නම්  ආරක්ෂාවට වඩා ආර්ථික අවශ්‍යතා මුල් තැන ගත්තාද? 9/11 මසූඩ්ගේ  අනතුරු ඇඟවීම්වලට සවන් දී අවශ්‍ය පූර්වාරක්ෂක වැඩපිළිවෙළක් සකස් කළේ නම් ලෝකයේ ඉරණම වෙනස් කළ සැප්තැම්බර් 11වැනිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගත හැකිව තිබිණි. නමුත් මුළු ලෝකයම භීතියට පත් කරමින් එම ප්‍රහාරය සිදු කිරීමට අල් කයිඩා සංවිධානය සමත් විය. ඉන්පසුව එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයේ ආරම්භ කළ ත්‍රස්තවාදයට එරෙහි සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය පසුගිය අගෝස්තු මාසයේදී නව කාලපරිච්ඡේදයක් ආරම්භ කළේය. 

එනම්, පසුගිය අගෝස්තු මාසයේ තුන්වැනි සතියේ සිට තලේබාන් (තලිබාන්) ඇෆ්ගනිස්තානයේ බලය යළිත් තහවුරු කර ගත්තේය. වසර විස්සක් තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බලවත්ම රාජ්‍යයන්වල එකතුවෙන් අටවාගත් සන්ධානයට සාර්ථකව මුහුණදුන් තලේබාන් අන්තවාදීන් රටේ බලය තහවුරු කරගැනීමට සමත් වූහ. "අපි ඉස්සර වගේ නෙමෙයි; අපි හරි වෙනස් විදිහට ඇෆ්ගනිස්තානය පාලනය කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයි බලය ලබාගත් තලේබාන් ත්‍රස්තවාදීහු සඳහන් කළහ. නමුත් ජනතාවගේ නිදහස මර්දනය කිරීම ඔවුන්ගේ මූලික පාලන මෙවලම ලෙස භාවිත කළ තලේබාන් ව්‍යාප්ත කළ බියජනක අතීතය යළිත් එරට වර්තමානය බවට පත් වී තිබේ. අන්තවාදය නැතිකොට තම ජාතිය බේරාගැනීමට පැමිණි ගැලවුම්කරුවා දූෂිත දේශපාලනඥයන් කිහිපදෙනෙකු සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් වසර කිහිපයක් තිස්සේ නඩත්තු කිරීමෙන් පසු රට සහ එහි සාමාන්‍ය ජනතාව විනාශ මුඛයට ඇදදමා පැනගොස් ඇත. 

නව පාලකයා තම සුපුරුදු පාලන විධික්‍රමය ක්‍රියාවට නංවා ඇත. තලේබාන් සංවිධානය පසුගිය සඳුදා දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේ බාබර් සාප්පුවලට නියෝගයක් නිකුත් කරමින්  පිරිමින්ගේ රැවුල කැපීම මින් මතුවට එම පළාතේ තහනම් බව ප්‍රකාශ කළේය. ඒ,  රැවුල කැපීම ෂරියා නීතියට අනුකූල නොවන බව පවසමිනි. එසේම එරට මාධ්‍ය වාර්තා කරන පරිදි පසුගිය සෙනසුරාදා, තලේබාන් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගැනීම්වලට සම්බන්ධ යැයි චෝදනා එල්ල කළ සිවුදෙනෙකු ඝාතනය කර පසුව ඔවුන්ගේ සිරුරු හේරත් නගරයේ පොදු චතුරශ්‍රයේදී මහජන ප්‍රදර්ශනය සඳහා එල්ලා තැබීය.

මේ අතර කාබුල් විශ්වවිද්‍යාලය තුළ ඉස්ලාමීය පරිසරය සම්පූර්ණයෙන් නිර්මාණය වනතෙක් කාන්තාවන් සඳහා  තහනම් කිරීමට තලේබාන් සංවිධානය විසින් විශ්වවිද්‍යාලයේ  නව උපකුලපතිවරයා  ලෙස පත් කෙරුණු මොහොමඩ් අෂ්රෆ් ගයිරාත් තීන්දු කළේය. ඔහුගේ පත් කිරීමෙන් පසු විශ්විද්‍යාලයේ කාර්යමණ්ඩලයේ සේවය කළ හැත්තෑදෙනෙකු පමණ ඉල්ලා අස් වී ඇත. "ඉස්ලාමයට මුලින්ම අනුකූල සැබෑ ඉස්ලාමීය පරිසරයක් නිර්මාණය නොවන තාක්කල් කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට පැමිණීමට හෝ සේවය කිරීමට ඉඩ නොදෙනු ඇත"  යැයි ඔහු නිවේදනය කොට ඇත. තලේබාන් ත්‍රස්තවාදීන්ට යළිත් බලය ලබාදීමෙන් පසු පසුගිය වසර විස්සක කාලය පුරා ප්‍රසිද්ධ වූ පුවත්පත් මුද්‍රණය මුළුමනින්ම නැවතී ඇත. මීට පෙර පුවත්පත් විස්සක් පමණ මුද්‍රණය කොට බෙදා හැරි කාබුල් නගරයේ එකදු මුද්‍රිත පුවත්පත්ක් හෝ මේ වනවිට දක්නට නැත.

ඇෆ්ගනිස්තානය යළිත් 2001ට පෙර පැවැති තත්ත්වයට ගමන් කරමින් සිටින බව අවබෝධ කරගැනීමට මෙම සාක්ෂි ප්‍රමාණවත් වේ. ඇමෙරිකා එක්සත් ජනපදය තම දේශපාලන සිතැඟි මුදුන් පමුණුවාගැනීම සඳහා ඉතිහාසය පුරාම ඉතාම අවලස්සන ලෙස පාවිච්චි කළ ඇෆ්ගනිස්තානය අතිශය බැරෑරුම් අඩියකට තල්ලු කොට තිබේ.

එක්සත් ජනපද ඉතිහාසයේ බිහි වූ ඉතාම දුර්වල පාලකයන්ගෙන් අයෙකු ලෙස ඉතිහාසයට එකතුවීමට නියමිත ජනාධිපති ජෝ බයිඩන් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය තුළින් ඔප්පු වන්නේ එක්සත් ජනපදය ලෝකය ඉදිරියේ මුහුණදී සිටින දැවන්ත සදාචාරාත්මක බිඳවැටීමයි. තම බලය අනෙකුත් රටවල් හමුවේ පැතිරවීම සඳහා සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය එකම මෙවලම ලෙස භාවිත කළ එක්සත් ජනපදයට තවදුරටත් තම පැරණි ක්‍රමෝපායන් සහ ව්‍යාජ පුවත් ප්‍රචාරණය කිරීම ඔස්සේ කළ නොහැකිය. එම ව්‍යාජ බලාධිකාරියට එරෙහි මතවාදය මොහොතින් මොහොත ශක්තිමත් වෙමින් පවතින අතර, ඊට එරෙහිව විකල්ප විවිධ පරාමිතීන් අතර බිහිවෙමින් තිබේ.

බිඳ වැටෙමින් තිබෙන තම බලය යළි ලබාගැනීම සඳහා එක්සත් ජනපදයට ලෝක පිළිවෙළට %බලපෑම් කළ හැකි^ සිදුවීමක් අවශ්‍ය වේ. ඒ සඳහා තම සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය පතුරුවා හැරීම ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සාධාරණීකරණය කළ හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතුව ඇත. එක්සත් ජනපදය, ප්‍රජාවන් දියුණු කොට ඔවුනට නව ජීවිතයක් ලබාදීමේ වගකීම දැරීමට වඩා ඉලක්කගත ප්‍රජාවන් විනාශ කොට පලායෑමට සමත් රාජ්‍යයක් බව ඉතිහාසය පුරාම ඔප්පු කොට ඇත.

ඇෆ්ගනිස්තානයේ ජනතාව අතරමං කොට එරටින් පලායෑමට තීරණය කිරීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ හැසිරීම ගැන ඇෆ්ගනිස්තාන් ටයිම්ස් පුවත්පත වැදගත් විශ්ලේෂණයක් ප්‍රසිද්ධ කළේය. "සත්‍යය නම් එක්සත් ජනපදය කියන්නේ  ඇෆ්ගනිස්තානයේ  නරකම සගයා වීමයි. වොෂිංටනය කළ යුතුව තිබුණේ ඇෆ්ගනිස්තානයේ යුද්ධ කරන පාර්ශ්වයන්ට දේශපාලන විසඳුමකට යෑමට ඒත්තුගැන්වීමයි. ඒ සඳහා, කැරලිකාර කණ්ඩායම් කළමනාකරණය කිරීම සඳහා පාකිස්තානයට ගතික බලයක් ඇති හෙයින් පාකිස්තානයට බලපෑම් කළ යුතුව තිබුණි. ඇෆ්ගනිස්තානුවන් පෙර නොවූ විරූ නරකම තත්ත්වයට වැටෙමින් සිටිති. ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය ජනතාවගේ හඬට කන් දීමට කාලය පැමිණ ඇත. එවිට, සෑම අඳුරු රාත්‍රියකටම පසුව උදෑසන ඇතිවන්නා සේ බලාපොරොත්තුවක් ඇති වේවි* එම පුවත්පත තම කතුවැකියකින් අවධාරණය කළේය.

එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානය යළිත් අන්තවාදීන්ට භාරදීම පමණක් නොව ඇෆ්ගන් ආර්ථිකය කඩා දැමීමට අවශ්‍ය පසුබිම සකස් කොට තිබේ. මෙවැනි තත්ත්වයකදී සිදුවන්නේ ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට නව පිබිදීමක් ඇතිවීම සහ ඔවුන්ට ජනතාවගේ සහාය ලබාගැනීමට හැකි පරිසරයක් සකස් වීමය.

අගෝස්තු 15වැනිදා තලේබාන් සංවිධානය කාබුල් නගරයට ඇතුළු වී බලය ලබාගැනීමෙන් දින කිහිපයකට පසු, එහි නියෝජිතයන් එරට මහ බැංකුව වන %දා ඇෆ්ගනිස්තාන්^ බැංකුවේ %වත්කම් සහ ඒවා ඇති තැන්^ ගැන විමසීමට පටන් ගත් අතර, එහි මුළු වත්කම ඩොලර් බිලියන 09ක් පමණ බව අනාවරණය විය.

මහා බැංකුවේ නිලධාරීන් තලේබාන් සංවිධානයට පැවසුවේ ඩොලර් බිලියන 09ක් වූ තම වත්කම නිව්යෝර්ක්හි ෆෙඩරල් සංචිතයේ ඇති බවයි. එනම් ඇෆ්ගනිස්තානයේ ධනය එක්සත් ජනපදයේ බැංකුවක තිබෙන බවයි. තලේබාන් සංවිධානය එම මුදල් ලබාගැනීමට උත්සාහ කිරීමටත්, පෙර එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මේ වනවිටත් ඇෆ්ගන් මහ බැංකුවේ වත්කම් අත්හිටුවා ඇත. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇෆ්ගනිස්තානයට ලබාදීමට යෝජිතව තිබූ මුදලද අත්හිටුවා ඇත. මෙම තත්ත්වය හමුවේ ඇෆ්ගනිස්තානයේ මුදල් ඒකකයේ වටිනාකම  බරපතළ ලෙස පහත වැටෙමින් තිබේ.

මෙම තත්ත්වය යටතේ ඇෆ්ගනිස්තානය යළිත් ලෝක බලවතුන්ගේ බල අරගලයේ සහ අන්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වීම වැළක්විය නොහැකිය. මෙම තත්ත්වය හමුවේ බටහිර රටවල් තම බලය රැකගැනීම සඳහා මුහුණදී සිටින අර්බුදය සුළුපටු නැත. පසුගිය දින කිහිපය පුරා ඇෆ්ගනිස්තානය මූලික කරගනිමින් බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය අන්තවාදීන් පෝෂණය කළ ආකාරය විමසීමට ලක්කළේය. ලෝක බලවතුන් තම බලය පෙන්වීම සඳහා කුඩා රාජ්‍යයන්වල වෙසෙන අහිංසක මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන ආකාරය තේරුම්ගැනීම සඳහා ඇෆ්ගනිස්තානය තරම් සුදුසු බිමක් තවත් නැත.

පළමු පර්සියන් අධිරාජ්‍යය, මහා ඇලෙක්සැන්ඩර්, නව ඉරාන අධිරාජ්‍යය, රෝමන් අධිරාජ්‍යය, මොන්ගල් අධිරාජ්‍යය, ටියුමිරිඩ් අධිරාජ්‍යය, මෝගල් අධිරාජ්‍යය ඇතුළු මානව ශිෂ්ටාචාරය වෙනස් කළ සෑම බල කඳවුරක්ම ඇෆ්ගන් භූමියේ සටන් කළහ. මෙම විවිධ  මානව සංස්කෘතීන් එකට මුණගැස්සුවා පමණක් නොව ඒවා එකිනෙක අතර ශක්තිය උරගා බැලුවේය. ඇෆ්ගනිස්තානයේ සිදු වූ මෙම ශිෂ්ටාචාර ගැටීම ඉදිරි අනාගතයේදීත් විවිධ හැඩවලින් සිදුවනු ඇත. අවසාන වශයෙන් කීර්තිමත් දේශපාලන විද්වතෙකු වූ සැමුවෙල් හන්ටිංටන් උපුටා දැක්වීම උචිත යැයි සිතේ.

අනෙකුත් ශිෂ්ටාචාරවලට සාපේක්ෂව බටහිර ශිෂ්ටාචාරයේ බලය පහවෙමින් තිබේ. බටහිරයන් තම වටිනාකම් තහවුරු කරගැනීමට සහ තම අවශ්‍යතා සපුරාගැනීමට උත්සාහ කරන විට බටහිර නොවන සමාජ ප්‍රධාන තේරීම් දෙකකට යොමු වේ. සමහරු බටහිරයන් අනුකරණය කිරීමට සහ බටහිරයන් සමග එකතු වීමට හෝ සම්බන්ධ වීමට උත්සාහ කරති. අනෙක් අය කොන්ෆියුෂියානු සහ ඉස්ලාමීය සමාජ සමග එකතු වී බටහිරයන්ට එරෙහි වීමට සහ තමන්ගේම ආර්ථික හා මිලිටරි බලය පුළුල් කරගැනීමට උත්සාහ කරති. සීතල යුද්ධයෙන් පසු ලෝක දේශපාලනයේ කේන්ද්‍රීය අක්ෂය නම් බටහිර බලය සහ සංස්කෘතිය බටහිර නොවන ශිෂ්ටාචාරවල බලය හා සංස්කෘතිය සමග අන්තර් ක්‍රියා සිදු කිරීමයි. දේශපාලන හා ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛ රටා ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට වෙනස්ය. බලය දිගු කලක් පැවැති බටහිර සිට බටහිර නොවන ශිෂ්ටාචාර වෙත මාරු වෙමින් පවතී. ගෝලීය දේශපාලනය බහු ධ්‍රැවීය හා බහු-විජාතිකකරණය වී ඇත.

එක්සත් ජනපදය වැනි රටවල සිටින ප්‍රතිපත්ති තීරකයන්ට මෙම සත්‍යය තේරුම් ගැනීමට තව කෙතරම් කාලයක් ගතවේද යන්න මෙහිදී මතුවන මූලික ගැටලුවයි.

නිලන්ත ඉලංගමුව

 

පළමු කොටස - https://www.ada.lk/opinion/බටහිර-ශිෂ්ටාචාරය-ඉස්ලාමීය-ත්%E2%80%8Dරස්තවාදය-පෝෂණය-කළේද-/2-384621

දෙවන කොටස - https://www.ada.lk/opinion/ඇෆ්ගන්-ත්%E2%80%8Dරස්තවාදයට-පාර-කැපූ-සෝවියට්-කොමියුනිස්ට්වාදය/2-384676

තෙවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ත්%E2%80%8Dරස්තවාදීන්ට-පෙර-ඇෆ්ගනිස්ථානයේ-දේශපාලනය/2-384729

හතරවන කොටස - https://www.ada.lk/opinion/අමීන්ගේ-නැගී%E2%80%8Bම/2-384988

පස්වන කොටස - https://www.ada.lk/opinion/අමින්-මරා-දැමීමේ-කේ-ජී-බී--මෙහෙයුම/2-385048

හයවන කොටස - https://www.ada.lk/opinion/ඇමෙරිකාව-ඇෆ්ගනිස්තානයට-අපහාස-කිරීම/2-385099

​හත්වන කොටස - https://www.ada.lk/opinion/කොමියුනිස්ට්වාදයට-පෙම්බැඳි-කර්මාල්/2-385240

අටවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ප්%E2%80%8Dරථම-පාලනය-ඇරඹේ-:-නජිබුල්ලා-එල්ලා-මරයි/2-385295

නවවන කොටස - https://www.ada.lk/opinion/ලෝක-බලවතුන්-ඇෆ්ගනිස්තානයේදී-දණින්-වැටුණේ-ඇයි-/2-385343



Recommended Articles