තලේබාන් ප්‍රථම පාලනය ඇරඹේ : නජිබුල්ලා එල්ලා මරයි


බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කළේද?  8 කොටස

ජනාධිපති කර්මාල්ගේ රජයද ඔත්තු බැලීම සඳහා බොහෝ රහස් පොලිස් සේවකයන් විදේශවල සිය රාජ්‍යතාන්ත්‍රික ආයතනවල සේවයේ යෙදෙව්වේය. 1980 දශකයේ මැද භාගයේදී, ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය ආයතන මෙහෙයවීම සඳහා එරට රහස් පොලීසිය එනම් ප්‍රධාන බුද්ධි අංශය වූ ඛාඩ් ආයතනය බලවත් මැදිහත්වීමක් සිදු කළේය. මෙය සමාජය පුරා භීතිය ගෙන දුන් කාරණයක් වූ අතර, තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මිස රාජ්‍යයේ දිගුකාලීන පැවැත්ම ගැන බොහෝ දෙනෙකු සිතුවේ නැත. ඒ  නිසා ඇෆ්ගනිස්තානය හුදු ලෝක බලවතුන්ගේ දේශපාලන ආශා පිනවන පරිවාර රාජ්‍යයක් බවට පත්වෙමින් තිබුණි.

මේ අතර, 1986දී කර්මාල් බලයෙන් පහකොට නජිබුල්ලා ජනාධිපති බලයට පත්වීමේ මෙහෙයුම එරට බුද්ධි අංශවල මෙහෙයුමකි. නව ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ නජිබුල්ලා කර්මාල්ගේ පාලනයේ සිටි ඉතාමත් වැදගත් හා බලවත්ම පුද්ගලයෙක් විය. ඒ සෝවියට් සංගමය ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමට සූදානම් වූ දින කිහිපය විය.

1989දී සෝවියට් සංගමය ඉවත් වුවද, පාකිස්තානය සහ එක්සත් ජනපදයේ සහාය ලැබූ මුජාහිදීන්වරුන්ට එරෙහිව යුද්ධ කළ ජනාධිපති නජිබුල්ලාගේ ආණ්ඩුවට සෝවියට් දේශය දිගටම සහාය දුන්නේය. එසේම නජිබුල්ලා පාලන තන්ත්‍රයට ශක්තියක් වනු පිණිස සෝවියට් දේශය කේජීබී නිලධාරීන් සහ හමුදා උපදේශකයන් දහස් ගණනක් ඇෆ්ගනිස්තානයේ ස්ථානගත කිරීමට අමතක නොකළේය.

1990දී ව්‍යවස්ථා සංශෝධනයකින් පසු ජනාධිපති නජිබුල්ලා එක්සත් ජාතීන් සමග සම්බන්ධීකරණ කටයුතු ආරම්භ කරමින් සංහිඳියා ක්‍රියාවලියක් ආරම්භ කළේය. ජනාධිපති  නජිබුල්ලාට රටේ සාමය ස්ථාපිත කොට ගැටුම් නවතා දැමීම සඳහා විශාල උවමනාවක් තිබුණි. එසේම ඊට පෙර රට පාලනය කළ දාවුඩ්, ටරාකි, අමින්, සහ කර්මාල් සිදුකළ  බොහෝ වැරදි ගැන ඔහුට ගැඹුරු අවබෝධයක් තිබුණි. මේ නිසා එක්සත් ජාතීන්ගේ සහයෝගය ඇතිව මුජහිදීන්වරුන් එක වේදිකාවකට ගෙන ඒමට ඔහු කටයුතු කළේය. නමුත්, ඔහුගේ උත්සාහයට මුජහිදීන්වරුන් සහ තිරය පිටුපස සිටිමින් ඔවුන් මෙහෙයවනු ලැබූ අයවලුන් සාධනීය ප්‍රතිචාර ලබාදුන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවාගැනීම මිස ඇෆ්ගනිස්තානයේ සාමය ස්ථාපිත කිරීම සඳහා සහාය වීම නොවේ. එබැවින්, නජිබුල්ලාගේ ව්‍යායාමය අසාර්ථක වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය සහාය දැක්වූ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට රටේ බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය විය. නජිබුල්ලාට සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා දිගින් දිගටම බල කෙරුණි.

සිය ධුරයෙන් 1992 දී ඉල්ලා අස්වූ නජිබුල්ලා කාබුල් නුවරින් කෙසේ හෝ පලා ගොස් තම ජීවිතය රැක ගැනීමට උත්සාහ කළේය.

1992 අප්‍රේල් 17වැනිදා පාන්දර 3.00ට පමණ කාබුල් නුවරින් පැන යෑමට කළ උත්සාහයක් අසාර්ථක විය. සති දෙකකට පෙර නවදිල්ලියට පැනගිය ඔහුගේ බිරිඳ සහ දියණියන් සමග එකතු වීමට සිහින දුටු ඔහු ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ආධාර අංශයේ ප්‍රධානී බෙනන් සෙවන් සමග ඉන්දියාවට පලායෑම සඳහා රහසිගත ගුවන් ගමනක් සැලසුම් කළේය.

නජිබුල්ලා නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති ද්විපාර්ශ්වික සබඳතාවලට බලපෑම් සිදුවීම වැළැක්වීම සඳහා, ඇෆ්ගනිස්තාන ජනාධිපතිට දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමට පෙර පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ විශ්වාසය දිනාගැනීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කටයුතු කොට තිබුණි. සියලු කටයුතු අවසන් කොට අදාළ මෙහෙයුම ගැන ඉන්දීය අගමැති දැනුවත් කොට ඔහුගේ අනුමැතිය ලබාගත්තේය. එකල ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සේවය කළ නරසිම්හ රාඕ අදාළ පණිවුඩය ලැබීමෙන් පසු පැයක් ඇතුළත සියලුම කටයුතු සූදානම් කොට නජිබුල්ලාට ඉන්දියාවේ දේශපාලන රැකවරණ ලබාදීමට කැමැත්ත පළ කළේය.

කෙසේ වෙතත්, එම දෛවෝපගත උදෑසන ඔහුගේ සන්නද්ධ ආරක්ෂකයන් සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කණ්ඩායමක් සමග ගිය ඔහු සිටි රථවාහනවලට කාබුල් ගුවන්තොටුපොළට ඇතුළු වීම තහනම් විය. නිවසේ සිට ගුවන්තොටුපොළ දක්වා යන ගමනේදී ඔහු භාවිත කළ මුරපදය අවසාන මුරපොළේදී වැඩ කළේ නැත.

කාබුල් ගුවන්තොටුපොළ උස්බෙක් උරුමයක් සහිත ඇෆ්ගන් ජාතිකයෙකු වූ අබ්දුල් රෂීඩ් දොස්තම්ගේ පාලනය යටතේ පැවැති අතර, ඔහු උතුරු පළාතේ ජොව්ජාන්හි මුජාහිදීන්ට එරෙහිව ප්‍රාදේශිය මිලීෂියාවකට නායකත්වය දුන්නේය. එසේම කලක් නජිබුල්ලාගෙන් දේශපාලන, මූල්‍ය හා හමුදා අනුග්‍රහය ලැබීය. එම නිසා ඔහුට අවශ්‍ය ආරක්ෂක කාඩ්පත් ලබාදීමටත්, මාර්ගය අවහිර නොකොට තිබීමටත් කටයුතු කරනු ලැබීය. නමුත්  අවසන් මොහොතේ කුමන හෝ හේතුවක් නිසා දොස්තම් ගුවන්තොටුපොළ වසා දැමීමට තීරණය කළේය. එකල කාබුල්හි සේවය කළ ඉන්දියානු තානාපති විජය කේ. නම්බියාර් පවසන පරිදි දොස්තම් තම පැරණි මිතුරා සමග හිටිහැටියේ අමනාප වී ඊළඟ පැය 24 සඳහා ගුවන්තොටුපොළ වසා දැමීය. ඒ වන විට ගුවන්තොටුපොළේ ධාවන පථයේ ගුවන්යානයක් සූදානම් කොට තිබුණු අතර, එහි හත්දෙනෙක් නජිබුල්ලා ප්‍රවේශමෙන්  රැගෙන යෑම සඳහා සූදානම් වී සිටියෝය. නමුත් එම මෙහෙයුම අසාර්ථක විය.

කනස්සල්ල සමග එකතු වූ භීතිය නිසා දොස්තම්ගේ සගයින්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් නජිබුල්ලා සිය රථ පෙළ හරවාගත්තේය. නමුත් ඔහු යළි නිවසට පැමිණියේ නැත. පැන යෑමට කළ සැලසුම කඩාකප්පල් කළ මිනිසුන් ඔහුට ජීවත්වීමට ඉඩ නොදෙනු ඇතැයි ඔහු සිතන්නට ඇත. මේ අතර, ඔහුගේ රාජ්‍ය ආරක්‍ෂක ඇමති ලෙස කටයුතු කළ ජෙනරාල් ගුලාම් ෆාරුක් යකූබි ඔහුගේ නිවසේදීම මියගොස් සිටියදී සොයාගන්නා ලදී. ඔහු සියදිවි නසාගත් බවට ඇතැමුන් චෝදනා කළ  නමුත්  නජිබුල්ලා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග සබඳතා පැවැත්වූ නම්බියාර් එය සියදිවි නසාගැනීමක් නොව  ඝාතනයක් බව විශ්වාස කරන්නේය. මෙම තත්ත්වය ගැන අවබෝධයෙන් නජිබුල්ලා ජනාධිපති මන්දිරය වෙනුවට එක්සත් ජාතීන්ගේ සංකීර්ණය වෙත කැඳවාගෙන යෑමට තීරණය කරන ලදී. 1996 දක්වා නජිබුල්ලා එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළ ජීවත් විය.

පැරණි මිතුරා වූ දොස්තම් පමණක් නොව නජිබුල්ලාගේ පාක්ෂිකයන්ගෙන් වැඩි දෙනෙක් ඔහු අත්හැර දමා ඇත. විදේශ ඇමති අබ්දුල් වකීල් සහ හමුදා ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් නබි අසිමි වැනි ඔහුගේ සමීපතම දේශපාලන සගයන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මුජහිදීන් ත්‍රස්තවාදීන්ට සිරකරුවෙකු ලෙස නජිබුල්ලා ඉදිරිපත් කිරීම සඳහා කුරුමානම් ඇල්ලුවේය. කාබුල් ගුවන්තොටුපොළ වසා දැමීම සඳහා දොස්තම් සමග කටයුතු කළේ ඔවුන් දෙදෙනා බව කියනු ලැබේ.

එක්සත් ජාතීන් ලබාදෙන රැකවරණ නිසා තම නායකයා පාවාදීමට බාධා එල්ල වී ඇතිවීම වකීල්ගේ කෝපයට තියුණු කළේය. වහාම කාබුල් ගුවන් විදුලිය ඔස්සේ පණිවුඩයක් නිකුත් කළ ඔහු  “නජිබුල්ලා පැන යාමට උත්සාහ කළ නමුත් සන්නද්ධ හමුදාව විසින් එය නැවැත්වූ බවත්… ඇෆ්ගනිස්තානු ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහු අල්ලාගත යුතු බවත්" අවධාරණය කළේය. ඔහුව මරා දැමීමට රජයට කිසිදු අදහසක් නැති බව ඔහු කිව්වේය. මරා දැමීමේ අදහස තිබේ නම් ගුන්තොටුපොළේ මුරපොළේ සිටි සොල්දාදුවන්ට ඔහු මරා දැමිය හැකිව තිබූ නමුත් එසේ කළේ නැති බව ඔහු කීවේය. පැය කිහිපයක් ඇතුළත තම නායකයා වූ නජිබුල්ලා වාකිල්ගේ 'වෛරයට පත් ඒකාධිපතියෙකු' බවට පත් වූ අතර, මුජාහිදීන්වරුන්ට කාබුල් අල්ලාගැනීම සඳහා නායකත්වය දුන් මැසුඩ් ඔහුගේ 'ගෞරවනීය සහෝදරයා' බවට පත්විය.

දේශපාලනයේ නීරස පැත්ත එයයි. දේශපාලනයේදී සදාකාලික මිතුරන් මෙන්ම සතුරන්ද නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි. නජිබුල්ලා බේරා ගැනීම සඳහා එක්සත් ජාතීන් උපරිම උත්සාහය ගත්තේය. ඉන්දියාව ඊට සහයෝගය පළ කළේය. නමුත් එවකට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වූ ජේ.එන්. ඩික්ෂිත් මේ සම්බන්ධයෙන් විවේචනාත්මකව දුටුවේය. ඔහු සිතුවේ නජිබුල්ලාට සහාය දීම මුජහිදීන්වරුන් තනන ආණ්ඩුව සමග සම්බන්ධතා පළුදු වී ඉන්දියාවට අනවශ්‍ය බලපෑමක් එල්ල විය හැකි බවයි.

ඇෆ්ගනිස්තානයේ සෝවියට් බලපෑමේ අවසානය සහ 1990 දශකයේ මුල් භාගයේ ඉන්දියාවේ ආර්ථික අවපාතයන් නිසා කාබුල් ගැන  නවදිල්ලියේ  විකල්ප ප්‍රතිපත්තිවලට දැඩි ලෙස සීමා පැනවිණි. වසර ගණනාවකට පසු ඉන්දීය නිලධාරියෙකු සිහිපත් කළ පරිදි, “නජිබුල්ලා බේරා නොගැනීමේ වරද ඩික්ෂිත්ට සහ කල්ලියට පැවරෙනවා. මුජාහිදීන් ඔහුට යන්න දේ යැයි සිතා අපි ගුවන්යානයක් කාබුල් වෙත යැව්වෙමු. අපි ලෝකයට කීවේ නජීබ් එළියට ගන්නා බව. නමුත් දොස්තම් ගැන අපට අවබෝධයක් තිබුණේ නෑ. ඔහු පිටතට ගෙන යාමට අපි එතරම් කාලයක් බලා නොසිටිය යුතුව තිබුණා." යනුවෙන් ඔහු කීය.

අවසානයේදී නජිබුල්ලා, ඔහුගේ සහෝදරයා සහ තවත් දෙදෙනෙක් එක්සත් ජාතීන්ගේ සංකීර්ණයේ තනි වූහ. මුජහිදීන් කණ්ඩායමක් සන්නද්ධව ඔහු සිටි සංකීර්ණයට කඩා වැදුණි. ඒ 1996 සැප්තැම්බර් 27වැනිදාය. නජිබුල්ලා ඇතුළු කණ්ඩාමට මැරෙනතෙක් පහර දුන්නේය.  ඇතැම් වාර්තාවලට අනුව මෙසේ මුජහිදීන් ලෙස වෙස් වළාගෙන පැමිණියේ පාකිස්තානයේ බුද්ධි අංශය වන අයි.එස්.අයි. සංවිධානයේ අයවලුන් බව කියවෙයි. පහර දී මරා දැමූ නජිබුල්ලාගේ  සහ ඔහුගේ සහෝදරයාගේ සිරුරු ජනාධිපති මන්දිරය අසලට රැගෙන ආ අතර, එහි තිබූ සංඝා කණුවල ඒවා එල්ලමින් මහජනයාට ප්‍රදර්ශනය කරනු ලැබීය. ඇෆ්ගනිස්තානය නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ කළේය.

නිලන්ත ඉලංගමුව

 

පළමු කොටස - https://www.ada.lk/opinion/බටහිර-ශිෂ්ටාචාරය-ඉස්ලාමීය-ත්%E2%80%8Dරස්තවාදය-පෝෂණය-කළේද-/2-384621

දෙවන කොටස - https://www.ada.lk/opinion/ඇෆ්ගන්-ත්%E2%80%8Dරස්තවාදයට-පාර-කැපූ-සෝවියට්-කොමියුනිස්ට්වාදය/2-384676

තෙවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ත්%E2%80%8Dරස්තවාදීන්ට-පෙර-ඇෆ්ගනිස්ථානයේ-දේශපාලනය/2-384729

හතරවන කොටස - https://www.ada.lk/opinion/අමීන්ගේ-නැගී%E2%80%8Bම/2-384988

පස්වන කොටස - https://www.ada.lk/opinion/අමින්-මරා-දැමීමේ-කේ-ජී-බී--මෙහෙයුම/2-385048

හයවන කොටස - https://www.ada.lk/opinion/ඇමෙරිකාව-ඇෆ්ගනිස්තානයට-අපහාස-කිරීම/2-385099

​හත්වන කොටස - https://www.ada.lk/opinion/කොමියුනිස්ට්වාදයට-පෙම්බැඳි-කර්මාල්/2-385240



Recommended Articles