බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කළේද? - කොටස 3
තලේබාන් දේශපාලනයට පෙර ඇෆ්ගනිස්තානයේ දේශපාලනය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන ප්‍රධාන දේශපාලන චරිත පහකි. එනම්, මොහොමඩ් සහීර් ෂා, මොහොමඩ් ඩාවුඩ් ඛාන්, මීර් අක්බර් කයිබර්, නූර් මුහම්මද් තාරකි, සහ හෆීසුල්ලා අමීන් ය.
මොහොමඩ් සහීර් ෂා 1933 සිට 1973 දක්වා ඇෆ්ගනිස්ථානයේ රජු වූ අතර ඔහුගේ පරිපාලන කාලය තුළදී විශාල සමාජ ප්‍රතිසංස්කරණ රාශියක් සිදුවිය. කාබුල්හි ප්‍රථමික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා ප්‍රංශයට ගිය ඔහු නව යොවුන් වියේ සිටම සිය රට නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස ප්‍රංශයේ සේවය කළේය. ඉන් වසර කිහිපයකට පසු යළිත් ඇෆ්ගනිස්ථානයට පැමිණ රාජාණ්ඩුවේ විවිධ තනතුරු හෙබවූ හෙතම 1933 දී තම පියාගේ ඝාතනයෙන් පසු රාජ්‍යත්වය පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 19කි.
තමන්ට වඩා පළපුරුදු අව්‍යාජ බුද්ධිමතුන්ට ( තම මාමාවරුන් දෙදෙනා ඇතුළු) නිසි ගෞරවය ලබාදෙමින් රට පාලනය කිරීමට කටයුතු කළේ යැයි කියන ඔහු 60 දශකය මුල්භාගය වන විට ඉතාම සාර්ථක පාලකයෙක් වී සිටියේය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට වැඩි ඉඩක් ලබා දෙමින් ඇෆ්ගන් රාජ්‍ය පරිපාලනයේ නව යුගයක් ආරම්භ කළේය. නව පාර්ලිමේන්තුවක් පිහිටුවා රට නිවැරදි දිශාවට ගමන් කිරීමට අවශ්‍යය බොහෝ දේ සිදු කළේය. ඔහුට අවශ්‍යය වූයේ ඇෆ්ගනිස්ථානය නවීකරණය කරමින් ජන ජීවිතය උසස් කිරීමටය. පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය කළ මහා පාවාදීමේ ප්‍රතිඵලය ලෙස තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය යළිත් අල්ලා ගැනීමෙන් පසු බොහෝ ජනමාධ්‍යය සහ සමාජමාධ්‍යය ජාලාවල ප්‍රසිද්ධ වූ ඇෆ්ගනිස්ථානයේ පැරණි සේයාරු බොහෝමයක් ඔහුගේ පරිපාලනයේ සාර්ථකත්වයට සම්බන්ධ ඒවාය.
1973 දී තම ඥාති සොහොයුරෙකු වූ මොහොමඩ් ඩාවුඩ් විසින් සහීර් ෂා අක්ෂි සැත්කම් සඳහා ඉතාලියට ගොස් සිටියදී රජය පෙරලා දමා නව රජයක් පිහිටුවන ලදී.ඉන් පසු දශක ගණනාවක් තිස්සේ ඔහු ජීවත් වූයේ ඉතාලියේය. ඇෆ්ගනිස්ථානයේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කළ මොහොමඩ් සහීර් ෂා ඇෆ්ගනිස්ථානයට නව ව්‍යවස්ථාවක් ලබා දුන්නේය, නිදහස් මැතිවරණ, සිවිල් අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් සහ සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නේය. නමුත් 1973 පසු බලයට පත්වූ නව ආණ්ඩුව යටතේ ඇෆ්ගනිස්ථානය ක්‍රමයෙන් දිරාපත් වීමට පටන්ගත්තේය.
පසුගිය කොටසේ සඳහන් කළ පරිදි මොහොමඩ් සහීර් ෂාගෙන් පසු බලයට පත්වන මොහොමඩ් ඩාවුඩ් සහ නූර් මුහම්මද් තාරකි යටතේ ඇෆ්ගන් දේශපාලනය වෙනත් දිශානතියකට ගමන් කළේය. සීතල යුද්ධයේ අවශේෂ වල ඛේදජනක ගොදුරක් බවට ඇෆ්ගනිස්ථානය පත්විය.
ඒ සඳහා හේතු වූ ප්‍රධාන සිදුවීම වන්නේ මීර් අක්බර් කයිබර්ගේ ඝාතනයයි. කයිබර්ගේ ඝාතනය සැබවින්ම සිදුකළේ කවුරුන් විසින්ද යන්න අදටත් විවාදයට තුඩු දී ඇති කාරණයකි. ඝාතනයේ ප්‍රතිඵලය ලෙස නූර් මුහම්මද් තාරකි සහ හෆීසුල්ලා අමීන් ප්‍රමුඛ කණඩායමට බලය ලබා ගැනීම සඳහා අවශ්‍යය මාර්ගය විවර විය.
මොහොමඩ් ඩාවුඩ්ගේ බලය දුර්වල වී ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද උස්සන්න වන විට යළි ඇෆ්ඝනිස්ථානයට පැමිණි නූර් මුහම්මද් තාරකිට විශාල පිළිගැනීමක් තිබුණි. විශේෂයෙන් ඇෆ්ගන් බුද්ධිමතුන් සහ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් තාරකි දුටුවේ ජාතියේ නව ගැලවුම්කරුවා ලෙසය. තාරකි සහ හෆීසුල්ලා අමීන් ඇතුළු කණ්ඩයාම තම සමාජවාදී අදහස් වලට මූලිකත්වය ලබා දෙමින් බලය ලබා ගැනීම සඳහා අවශ්‍යය පසුබිම සකස් කරගතෝය. කයිබර්ගේ ඝාතනය මෙම දේශපාලන ව්‍යාපාරයට බලය ලබා ගැනීම ඉක්මන් කළේය.
එහි ප්‍රතිඵලය ලෙස 1978 අප්‍රේල් මාසයේදී නූර් මුහම්මද් තාරකිගේ රජය බලයට පත් විය. තාරකි, හෆීසුල්ලා අමීන් සහ ඇෆ්ගනිස්ථානයේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෙකුත් නායකයින් 1978 අප්‍රේල් 27 දී තැනු ආණ්ඩුව නව යුගයක උදාව ලෙස දුටුවාට සැකයක් නැත. නමුත් ආරම්භ වූ යුගය විප්ලවවාදී පොරොන්දු ඉටුකිරීමට කාලය කැපකිරීම් වලට වඩා ප්‍රචණ්ඩත්වය සහ අසමගිය ට මූලිකත්වය දුන් කාලයක් විය. පාකිස්තානයට සහ ඉරානයට පැනගිය මිලියන ගණනක ඇෆ්ගන් ජනතාවට නව ජීවිතයක් ලබා දීම හෝ පැවති දූෂිත පාලනයට එරෙහිව ආයුධ අතට ගත් දස දහස් ගණනකගේ ඉල්ලීම් වලට ගරුකිරීමට වඩා බලයට පත්වූ නව පක්ෂය පක්ෂ සම්මතයන් උල්ලංඝණය කරමින් කිහිපදෙනෙකුගේ ආශාවන් පිනවන පාරාදීසයක් බවට පමණක් පත්විය.
මෙම නව පාලනයේ පළමු හා වැදගත්ම කර්තව්‍යය වූයේ මිනිසුන් ඒ සඳහා පෙළ ගැස්වීමෙන් එහි "විප්ලවය" සාර්ථක එකක් බවට පත්කර ගැනීමයි. නමුත් ඒ සඳහා අවශ්‍යය කටයුතු සිදු වූයේ නැත. එසේම, තාරකි සහ ඔහුගේ පාක්ෂිකයින් තමන්ට හමුදාවේ සහය හැරෙන්නට පැහැදිලි ජනපදනමක් නොමැතිබව දැනසිටියෝය. ඩාවුඩ් ඔවුන්ට එරෙහිව යළි හිස එසවීමට පටන් ගත් දා පටන්, ඔවුන්ගේ ප්‍රධාන උපායමාර්ගය වූයේ බලය ලබගැනීමට සහ එය පවත්වා ගැනීම සඳහා කෙටිමාර්ග අනුගමනය කිරීම බව පැවති මාධ්‍ය හමුවකදී තාරකී විසින්ම පිළිගත්තේය.
"ඇෆ්ගන් ජනතාවගේ විමුක්තිය උදෙසා බොහෝ ක්‍රම තිබු අතර ඒවා අතර කම්කරුවන්ගේ හා ගොවි පන්තියේ මතවාදය මත පදනම් වූ සම්භාව්‍ය ක්‍රමය ද තිබුණා. මෙම සම්භාව්‍ය මාර්ගය ඉතාම දිගු එකක්. නමුත් ඇෆ්ගනිස්ථානයේ ජනතාවගේ ඉරණම වෙනස් කළ හැකි කෙටි මාර්ගයක් සෙවීමට අපි තීරණය කළා. වාසනාවකට මෙන් අපි මේ කෙටි මාර්ගය සොයා ගත්තා. පළමුවෙන්ම පක්ෂයක් ආරම්භ කළ යුතු වූ අතර එම පක්ෂය තුළින් ඒ සඳහා වැඩ කළ යුතු වුණා. . . . හමුදාව තුළට විනිවිද යාමටත්, ඔවුන්ට දේශපාලන හා පන්ති විඥානය ලබා දීමටත්, පක්ෂ පදනම මත ඔවුන් සංවිධානය කිරීමටත් අපට හැකි වුණා," තාරකී මාධ්‍යය හමුවේදී සඳහන් කළේය. එම කෙටි මාවත් ඔස්සේ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා දරදඬු සමාජ ප්‍රතිසංස්කරණ සඳහා ඔහු යොමු විය. නමුත් එය ආණ්ඩුව තුළ අභ්‍යන්තර විරෝධතා ඇතිවීමට හේතුවිය. එම විරෝධයන් අන්තවාදී සංවිධාන වලට සරු පොළොවක් බිහි කරනු ලැබීය. ආණ්ඩුව ඉස්ලාමීය ආගමේ මූලධර්ම උල්ලඝනය කරන බවට අන්තවාදීන් චෝදනා නැගූහ. මෙම ආණ්ඩු විරෝධය ක්‍රමිකව තියුණු ස්වභාවයක් ගනු ලැබීය. එසේම ඒ සඳහා අසල්වැසි රටවල් සහයෝගය ලබා දුන්නේය.
1978 අගෝස්තු මාසයේදේ තාරකි ඉස්ලාමීය විරෝධතා ව්‍යාපාරය තුළින් මතු වන තර්ජනය පිළිබඳ සිය පළමු පුළුල් විවරණය ලබා දුන්නේ මෙසේය.
"අපේ පක්ෂය දේශපාලන බලය අතට ගත් මොහොතේ පටන් සූරාකන ධනපති පන්ති සහ ප්‍රතිගාමී බලවේග ක්‍රියාත්මක වුණා. ඔවුන් අපට එරෙහිව භාවිතා කරන එකම මෙවලම නම් අපේ මව්බිමේ ප්‍රගතිශීලී ව්‍යාපාරයට එරෙහිව ආගමේ නාමයෙන් අන්තවාදය දේශනා කිරීමයි. මෙම මෙවලම මළකඩ කා ඇති පරණ එකක්. පැරණි හා නව අධිරාජ්‍යවාදයේ සපත්තු ලේවකන්නන් අපේ ජනප්‍රිය ආණ්ඩුව පරළ කිරීමට දේශද්‍රෝහී ලෙස කටයුතු කරනවා. ඔවුන් සිතන්නේ අපි පැය 10 න් බලය ලබා ගත් හෙයින්, ඔවුන්ට එය පැය 15 කින් ලබාගන්න පුළුවන් කියා යි. නමුත් අපි ඉතිහාසයේ දරුවන් බව ඔවුන් දැනගත යුතුයි. අපව මෙතැනට ගෙනාවේ ඉතිහාසයයි. ජාත්‍යන්තර කුමන්ත්‍රණ වල නියෝජිතයන් දැනගත යුත්තේ මේ ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් ඔවුන් ගඩොල් බිත්තියක හිස ගසා ගන්නා බවයි. ඔවුන් වසර ගණනාවක් තිස්සේ මේ ආකාරයෙන් ප්‍රගතිශීලී ව්‍යාපාරවලට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ කටයුතු වලින් කාර්යබහුල වී සිටිනවා. ඊජිප්තුවේ සහ අනෙකුත් අරාබි රටවල ඔවුන් විවිධ ස්වරූප වලින් සිදු කළ අපරාධ ඔබට මතක ඇති. දැන් ඇෆ්ගනිස්ථානයේ සිටින ඔවුන්ගේ අවශේෂ සහ ගෝලයින් ආගමේ වෙස් මුහුණ යටතේ අන්තවාදය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක කරනවා. ශල්‍යකර්මයකදී රෝගියෙකුගේ ශරීරයෙන් පිළිකා ගෙඩියක් ඉවත් කරන ආකාරයෙන් ඔවුන් ( මේ සමාජයෙන්) ගලවා ඉවත් කළ යුතුයි."
තාරකීගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ තම ආණ්ඩුව මුල් අවධියේදීම නොසලකා හැරිය නොහැකි හෝ මවාපෑමක් කළ නොහැකි ලෙස ප්‍රතිරෝධයක් වර්ධනය වී තිබුණු ආකාරයයි. මෙම තර්ජනයට තාරකීගේ ප්‍රවේශය එතරම් බුද්ධෝගෝචර නොවීය. එසේම, රටේ මේ ආකාරයෙන් සමාජ ව්‍යාකූලත්වයක් වර්ධනය වන විට පක්ෂය තුළද නව ආකාරයක අර්බුදයක් ඇතිවෙමින් තිබුණි. තමන්ට එරෙහිව හෆීසුල්ලා අමීන් කුමන්ත්‍රණය කරන බව දැනගත් පසුව තරාකි ඒගැන විවෘතව කතා කළේය.
" බලය කෙසේ හෝ ලබා ගැනීමේ ආශාවක් අමින් තුළ ඇති බව මම බොහෝ කලකට පෙර දුටුවා. නමුත් මම ඊට විශේෂ වැදගත්කමක් දුන්නේ නෑ.. කෙසේ වෙතත්, මෑතකදී ඔහුගේ එම නැඹුරුව අනතුරුදායක මට්ටමට පැමිණ තිබෙනවා," තාරකී කිව්වේය. කෙසේ වෙතත්, තාරකීට මෙම පක්ෂ අභ්‍යන්තර අර්බුදයට මුහුණදීමට සිදුවූයේ ඔහු කෙරෙහි ජනතාවට තිබු විශ්වාසය බිඳ වැටී තිබුණු මොහොතකය. මේ නිසා සතුරු පාර්ශ්වයට තාරකී දඩයම් කිරීම ඉතාම පහසුවිය.
එදිනෙදා ජීවිතයේ සියුම් තත්වයන් වල හා ගොවීන් සහ කම්කරුවන්ගේ සැබෑ ගැටළු හඳුනා ගැනීමේ කෞශල්‍යය නිසා තාර්කී සමාජ-යථාර්ථවාදී ලේඛකයෙකු ලෙස ගත කළ වෘත්තීය ජීවිතය මහත් ප්‍රසංසාවට ලක්විය. බලයට පත්වූ පසු එම අදහස් අනුව ඔහු කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුහ. නමුත් ඉතාම කෙටි කාලයකින් ඔහුගේ පාලනය ජනතාව විසින් පිළිකුල් කිරීමට පටන් ගැනීම පුදුම සහගතය.
සෝවියට් සංගමය ඔහුගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ඔහුට ගැඹුරු විශ්වාසයක් තිබුණා විය හැකිය. නමුත් ඇත්ත තත්වය ඊට වඩා වෙනස් විය. ඔහුගේ මෙම දේශපාලන අන්ධභාවය සඳහා ඇති එකම සාර්ථක පැහැදිලි කිරීම විය හැක්කේ කුමක්ද? සමහර විට ඔහු මහපොළවේ ක්‍රියාත්මක කිරීමට නොහැකි හුදු දේශපාලන දෘෂ්ටිවාදයේ කරුණු වලට කෙතරම් වසඟ වී ඇත්ද යත්, ඔහුට එරෙහිව ගොඩ නැගුණු සමාජ යථාර්ථයන් නොපෙනීම ඔහුගේ අන්ධබාවයට හේතු විය හැකිය. එම අන්ධබව පකිස්තානය වැනි රටවල් විසින් පෝෂණය කරනු ලැබූ අන්තවාදීන්ට ඉතා හොඳ පරිසරයක් සකස් කළේය. එහි මීලඟ පියවර වූයේ හෆීසුල්ලා අමීන් බලයට පැමිණීම සහ සෝවියට් සංගමය යුදමය වශයෙන් මැදිහත්වීමයි. හෆීසුල්ලා අමීන්ගේ දේශපාලනයේ නැගීම සහ වැටීම මෙන්ම ඇෆ්ගන් භූමියේ සෝවියට් ආක්‍රමණය ගැන මීළගට අවදානය යොමු කිරීම වැදගත් වේ.
නිලන්ත ඉලංගමුව
පළමු කොටස - https://www.ada.lk/opinion/බටහිර-ශිෂ්ටාචාරය-ඉස්ලාමීය-ත්%E2%80%8Dරස්තවාදය-පෝෂණය-කළේද-/2-384621
දෙවන කොටස - https://www.ada.lk/opinion/ඇෆ්ගන්-ත්%E2%80%8Dරස්තවාදයට-පාර-කැපූ-සෝවියට්-කොමියුනිස්ට්වාදය/2-384676
හතරවන කොටස - https://www.ada.lk/opinion/අමීන්ගේ-නැගී%E2%80%8Bම/2-384988