දකුණු පළාතට අයත් මිරිස්ස, නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය සහ බටහිර කලාපයේ කල්පිටිය ආදී කලාපයන් ආශ්‍රිතව තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති සංචාරක කර්මාන්තයකි. නමුත් අද වනවිට මෙහි ක්‍රියාත්මක වන සංචාරක බෝට්ටුවල අහිතකර බලපෑම නිසා තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් මෙරට සාගර කලාපයෙන් ඉවත්ව යෑමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබේ. පාරිසරික, ආර්ථික මෙන්ම සාමාජීය වශයෙන්ද අහිතකර බලපෑම් රාශියක් එල්ලවිය හැකි මෙම තත්ත්වය පිළිබඳ මෙම සාකච්ඡාව ගෙන එන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සමගිනි.
ලෝකයේ අනෙකුත් සාගර කලාපවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ තල්මසුන් සහ ඩොල්ෆින් වැඩි වශයෙන් දැකගත හැකිවන්නේ ඇයි?
ලෝකයේ අනෙකුත් රටවල වෙරළාශ්‍රිත කලාපවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙරළ කලාපවල වැඩි වශයෙන් තල්මසුන් සහ ඩොල්ෆින් දැකබලා ගැනීමට හැකියි. මෙම කලාපවල මුහුදේ ගැඹුරු ආගාධ පිහිටා තිබෙනවා. එය විශේෂයෙන්ම තල්මසුන්ට හිතකර පිහිටීමක්. ඒවගේම ගංගා ඔස්සේ පැමිණෙන පෝෂකාංග මෙම කලාපවල බහුලව පවතින නිසා තල්මසුන්ට සහ ඩොල්ෆින් මසුන්ට අවශ්‍ය ආහාර ප්‍රභවයන් සුලභ වෙලා තියෙනවා. මේ නිසයි ශ්‍රී ලංකාව අවට මුහුදේ මෙම සතුන් වැඩි වශයෙන් දැකගන්න හැකියාව තිබෙන්නේ.
තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම කර්මාන්තයක් බවට පත්වුණේ කොහොමද?
මෙම කර්මාන්තය ආරම්භ වෙන්නේ 2004 වසරේ සුනාමියෙන් පසුවයි. තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ සැරිසැරීම මුල්කාලයේ දැනසිටියේ සුළු පිරිසක් පමණයි. 2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් පස්සේ විදේශිකයන් අතර මෙය ප්‍රචලිතවීමත් සමගයි මෙම සංචාරකයන් ඉලක්ක කරගත් කර්මාන්තය ආරම්භ වුණේ.
මීටත් පෙර තිබුණු තත්ත්වයක් තමයි ශ්‍රී ලංකාව ලෝකයේ කතාබහට ලක්වුණා ඩොල්ෆින් මසුන් මරන, ඩොල්ෆින් මසුන් අනුභව කරන රටක් බවට. මේ තත්ත්වය රටේ ප්‍රගමනය වෙනුවෙන් එතරම් හිතකර නොවන නිසා දැඩි නීතිරීති සම්පාදනය කළා එම තත්ත්වය පාලනය කිරීම සඳහා. එහි ප්‍රතිඵලයක් ලෙසි 2004 වසර වනවිට ඩොල්ෆින් මසුන් මැරීම අවම කරගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
නෞකාවක ගැටීමෙන් තුවාල ලැබූ තල්මසෙක්
මේ වන විට සංචාරක බෝට්ටු නිසා තල්මසුන්ට සහ ඩොල්ෆින් මසුන්ට අහිතකර බලපෑම් ඇතිකරන තත්ත්වයකට පත්ව තිබෙනවා නේද?
පැහැදිලිවම එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙනවා. බෝට්ටු කිහිපයකට පමණක් සීමා වුණු මේ කර්මාන්තය කාලයත්, තරගකාරීත්වය වැඩිවීමත් එක්ක බෝට්ටු ප්‍රමාණය වැඩි වෙලා ඒවාට පනවා තිබෙන නියාමනයන්, සීමාවන් සහ නීති උල්ලංඝනය වෙන තත්ත්වයකට මේ වෙද්දි පත්වී තිබෙනවා. මේ සංචාරක බෝට්ටු අතර මේ වෙද්දි විශාල තරගයක් දකින්නට ලැබෙනවා.
පවතින නීති රෙගුලාසි අනුව ඩොල්ෆින් මත්සයෙක් සිටින තැනකට බෝට්ටුවක් පැමිණීමේදී එම සත්ත්වයා සිටින ස්ථානයට මීටර් 50 පමණ දුරින් බෝට්ටුව නැවැත්විය යුතුයි. තල්මසෙක් නරඹනවා නම් ඒ තල්මසා සිටින ස්ථානයට මීටර් 100ක් පමණ දුරකින් බෝට්ටුව නැවැත්විය යුතුයි. මේ සම්මත පරතරය නිරන්තරයෙන්ම සත්ත්වයා සහ බෝට්ටුව අතර තබාගත යුතුයි.
ඒ වගේම එම තල්මසා හෝ ඩොල්ෆින් මත්සයා පිහිනන දිශාව හරස් කරමින් ඔවුන්ට අවහිර වන ආකාරයෙන් කිසිදු අවස්ථාවක බෝට්ටු පැදවීම සිදු නොකළ යුතුයි.
නමුත් අවාසනාවකට මේ සංචාරක බෝට්ටුකරුවන් මේ නීති සහ රෙගුලාසි නොතකා හරිමින් මුදලට තිබෙන ගිජුකම නිසා තල්මසෙක් හෝ ඩොල්ෆින් මසුන් රංචුවක් දැක්කොත් සියලුම බෝට්ටු එම ස්ථානයට ඔවුන්ගේ ආසන්නයටම හෝ ඇතැම් අවස්ථාවල තල්මසුන්ගේ සිරුර උඩින්ම බෝට්ටු ගමන්කරවන බව බොහෝ සංචාරකයන් මේ වනවිට නිරීක්ෂණය කර තිබෙනවා.
තල්මසෙකුගේ මග හරස්කර ඇති ආකාරය
මෙයින් තල්මසුන්ට සහ ඩොල්ෆින් මසුන්ට ඇතිවන්නේ කුමනාකාරයේ අහිතකර බලපෑමක්ද?
මේ සත්ත්වයන් ජලය මතුපිටට පැමිණෙන්නේ ශ්වසනය සඳහායි. හුස්ම ගන්න එන සතාට මේ ආකාරයෙන් පීඩා කිරීමෙන් සිදුවෙන්නේ එම සත්ත්වයා ඉතා කෙටි හුස්මක් අරගෙන කිමිදෙමින් වෙනත් ස්ථානයකට යනවා තවත් හුස්මක් ලබා ගන්න. එවිට නැවතත් අර සංචාරක බෝට්ටු එම සත්ත්වයා ලුහුබැඳ යනවා. මේ පීඩාකාරී බව නිසා තල්මසුන්ට සහ ඩොල්ෆින් මසුන්ට ආතති තත්ත්වයක් ඇති වෙනවා. එය එම සත්ත්වයාගේ පැවැත්මට එතරම් හිතකර වෙන්නේ නැහැ.
ඒ වගේම බෝට්ටු පතුල වැදීම නිසා සහ අවරපෙති ගැටීම නිසා මෙම සතුන්ට තුවාල සිදු වෙනවා. 70 දශකය පමණ කාලයේදී ගොඩබිම ඉඳලා තල්මසුන් නරඹන්න අපට හැකියාව තිබුණා. එතරම්ම තල්මසුන් අපේ වෙරළ කලාපය අවට නිදහසේ සැරිසැරුවා වගේම අපේ වෙරළ කලාපය අවට තල්මසුන් හිටියා. ඒ වගේම පෙරදී මෙම සතුන් වෙරළට ඉතාමත් ආසන්නයෙන් විනාඩි 45ත් පැයක් අතර කාලයකදි නැරඹීමේ හැකියාව තිබුණා. නමුත් අද වනකොට පැය 5ක් 6ක් බලාගෙන සිටියත් මෙම සතුන් දැකගන්න හැකියාවක් නැතිවෙලා තිබෙනවා.
ශ්‍රී ලංකාව ආසන්නයේ වැටී ඇති අන්තර්ජාතික මුහුදු මාර්ගය
මේ වන විට ඩොල්ෆින් මසුන් සහ තල්මසුන් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඈතට ගිහින් ක්‍රමක්‍රමයෙන් ගැඹුරු මුහුදට සංක්‍රමණය වෙමින් පවතිනවා තමන්ගේ නිදහස සඳහා. මේ ආකාරයෙන් මෙම සතුන් වෙරළ කලාපයෙන් ඔබ්බට තල්ලු කිරීම නිසා මේ වනවිට මෙම සතුන් ගිහින් නැවතිලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව හරහා වැටී තිබෙන ලෝකයේ නැගෙනහිර හා බටහිර යාකෙරෙන අන්තර්ජාතික මුහුදු ගමන් මාර්ගයෙයි. එම මාර්ගයේ වසරකට ගත්තොත් නෞකා විශාල ප්‍රමාණයක් ගමන් කරනවා. මේ නෞකාවල තල්මසුන් ගැටී මියයාමට ඇති සම්භාවිතාව මේ වෙද්දි වැඩි වෙලා තිබෙනවා. මේ තත්ත්වය තවතවත් උග්‍ර වුණොත් ශ්‍රී ලංකාවට තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් අහිමි වේවි.
තල්මසුන් ආසන්නයටම ගොස් නැරඹීම එම සතුන්ට පීඩාවකි
තල්මසුන් නෞකාවල ගැටීම අවම කිරීමට අන්තර්ජාතික මුහුදු ගමන් මාර්ගය මෙරට මුහුදු සීමාවෙන් තවත් ඔබ්බට ගෙනයන්න එක්තරා පිරිසක් යෝජනා කර තිබෙනවා. එය කොතරම් දුරට ප්‍රායෝගිකද?
එම යෝජනාව කිසිම ලෙසකින් ශ්‍රී ලංකාවට සුබදායක වෙන්නේ නැහැ. මේ වනවිට කොළඹ වරාය විශාල සංවර්ධනයකට ලක්වෙමින් තිබෙනවා. ඒ වගේම හම්බන්තොටට වරායක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව පවතින්නේ නාවික ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක් විදිහටයි. එයින් අපට ආර්ථික වශයෙන් විශාල ප්‍රතිලාභ ලැබෙනවා.
එවැනි තත්ත්වයක් යටතේ මෙම මුහුදු මාර්ගය තවත් ඈතට යොමු කිරීමෙන් සිදුවෙන්නේ මෙරටට පැමිණෙන නෞකාවලට වැඩි ආයාසයක් ගැනීමට සිදුවීම සහ සේවා ලබාගැනීමට විශාල වශයෙන් පැමිණෙන නෞකා ශ්‍රී ලංකාව මගහැරලා වෙනත් රටවල වරායන් වෙත යෑමයි. එයින් ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව අතිවිශාලයි.
රටක සංවර්ධනය සහ එම රටේ ජීවී සම්පත් ආරක්ෂා කරගැනීම අතර තුලිතතාවක් තිබිය යුතුයි. එම නිසා විද්‍යාඥයන් සහ කළමනාකරුවන් වශයෙන් අපි යෝජනා කරන්නේ මෙම අන්තර්ජාතික මුහුදු මාර්ගය මෙම ස්ථානයේම තබාගෙන ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා මෙම මාර්ගයේ ගමන් කරන නැව්වලට වේග සීමා පනවන්න. ඒ වගේම ඔවුන්ට විධාන ලබාදිය හැකියි නැවේ ඉදිරිපස නිරීක්ෂකයෙකු භාවිත කරමින් තල්මසුන් මගහරිමින් නෞකාව ගමන්කරවන ලෙසට.
ඒ වගේම තල්මසුන් හා ඩොල්ෆින් මසුන් නැරඹීමේ සංචාරක බෝට්ටුවලට පනවා ඇති නීති රෙගුලාසි තව තවත් දැඩි කරමින් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් වළක්වාගන්න නම්. ඒ සඳහා අනෙකුත් වගකිව යුතු අංශවලත් නිසි අවධානය යොමු විය යුතුයි. මේ ඔස්සේ අපිට පුළුවන් තල්මසුන්ට වන හානිය අවම කරමින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි විශාල ආර්ථිකමය පාඩුවක් මගහරවා ගන්න.
නඳුන් ශ්‍යාමාල්
නෞකාවක ගැටී මිය ගිස තල්මසෙක්
ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර