තරු දේශපාලනය



ප්‍රජාතන්ත්‍රවාදය යනු මනුෂ්‍ය වර්ගයා විසින් මෙ‍ෙතක් නිර්මාණය කරගන්නා ලද ඉතා අගනා මෙවලමක් බවට කිසිදු සැකයක් නොමැත. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු පරිපූර්ණ වූ මෙවලමක් නොවන බව එහි භාවිතය විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. 

ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතිවිය හැකි මූලික වරදක් නම් බහුතරයකගේ තේරීම සෑමවිටම නිවැරදි විය නොහැකි වීමයි. ඇතැම් විට පුද්ගලයන් දහසක් වැරදි වී එක් පුද්ගලයෙකුගේ මතය නිවැරදි විය හැකිය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ බහුතරයගේ කැමැත්ත සදොස් වුවද පිළිගැනීම සිදුවෙයි. 

ලෝක දේශපාලනය පිළිබඳ සැලකූ විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් පවතින රටවල මතුවෙමින් තිබෙන ප්‍රවණතාවක් නම් ‘තරු (Celebrities) ‘වශයෙන් සැලකෙන පුද්ගලයන් දේශපාලනයට සෑහෙන බලපෑමක් එල්ල කරමින් තිබීමයි. වඩාත් ප්‍රබල උදාහරණයක් වශයෙන් අසල්වැසි දකුණු ඉන්දියාව ගත හැකි අතර, තමිල්නාඩු ප්‍රාන්තයේ දීර්ඝ කලක් මහ ඇමතිවරුන් හෝ මහ ඇමතිවරියන් බවට පත්ව ඇත්තේ චිත්‍රපට නළු නිළියන්ය. නැතිනම් චිත්‍රපට කර්මාන්තය වෙත වෙනයම් ආකාරයකින් සම්බන්ධිත වූ පුද්ගලයන්ය. 

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තුළදී චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය තුළින් දකින ෆැන්ටසිමය ලෝකය සැබෑව සමගින් පටලවා ගැනීම දකුණු ඉන්දියාවේ පමණක් නොව සංවර්ධිත යැයි සැලකෙන පළමු ලෝකයේ සමාජවලද සිදුවේ. මෙම දේශපාලන තරු බලය තුළදී සිදුවන්නේ දේශපාලනය නොවන ක්ෂේත්‍රයකින් බිහිවන තරුවක් තමන්ගේ කීර්තිය අනෙකාගේ දෘෂ්ටිවාදය හෝ මතවාදය කෙරෙහි බලපෑම් කිරීම සඳහා භාවිත කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වන මෙම ප්‍රවණතාව මානව සමාජයේ පැවැත්ම කෙරෙහි එතරම් යහපත් වන්නක් නොවේ. ඕනෑම කාර්යයක් කෙරෙහි නිපුණතාවක් සහ ප්‍රාගුණ්‍යයක් පැවතීම එම කාර්යයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. දේශපාලනය යනු ෆැන්ටසියකට වඩා බරපතළ හැදෑරීමකට සහ භාවිතයකට යොමු කළ යුත්තකි. තරු දේශපාලනය මඟින් සිදුවන්නේ දේශපාලනයේ ඇති වෘත්තීයභාවය දූෂණය වීමයි.  

සිනමා තරු, වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සංගීත ශිල්පීන්, රියලිටි රූපවාහිනී තරු වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ දේශපාලන කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීම ලොව පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. උදාහරණ ලෙස ඔප්රා වින්ෆ්‍රේ සහ ජෝර්ජ් ක්ලූනි 2008 වසරේදී බැරක් ඔබාමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි අතර, ඇමරිකානු සංගීතඥ හැන්ක් විලියම්ස් එම ජනාධිපතිවරණයේදීම  සෙනෙට් සභික ජෝන් මැකේන් වෙනුවෙන් පෙනී සිටියේය. 

2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරිකයෙකු හා රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වන තරුවක් වශයෙන් විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන සිටි අයෙකි.  ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තරු දේශපාලනයට මනා උදාහරණයකි. සමාජ විද්‍යා ශාස්ත්‍රඥයෙකු මෙන්ම අයර්ලන්තයෙන් බිහි වූ විශිෂ්ට දේශපාලනඥයෙකු වූ මයිකල් හිගින්ස්ගේ අදහස වන්නේ සාම්ප්‍රදායික දේශපාලනික භූමිකාව සමග සැසඳීමේදී ට්‍රම්ප්ගේ මාධ්‍ය කේන්ද්‍රීය දේශපාලනය %ව්‍යාජ ජනාධිපති ධුරයක්^ හා සමාන වේ.  ඉන්දියාවේ අමිතාබ් බච්චන් සහ ස්මර්ති ඉරානි ද තමන්ගේ සිවිල් බලය දේශපාලන උවමනාවන් වෙනුවෙන් යෙදවූහ. ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය විසින් න්‍යායගත කළ විනෝදාස්වාද කර්මාන්තය උපරිමයට නැඟීමක් ලෙස මාධ්‍ය තුළින් ඉස්මතු වන තරු මඟින් දේශපාලනය මෙහෙයවීම පෙන්වා දීමට පුළුවන.

දර්ශන අශෝක කුමාර 



Recommended Articles