තරබාරුව කියන්නේ කිසිම වෙදකමකින් නිරෝගීබවට හේතුවන්නේ යැයි පිළිගත් තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම තරබාරු බව නිසා තවත් අතුරුඵල රාශියක්ම ඇතිවන නිසා තරබාරුකම අඩුකරගන්න සියළු දෙනාටම මහත් ඕනෑකමක් ඇති බව කීවොත් එය වරදක් නොවෙයි.
අතීතයේ සිටි පුද්ගලයින් දැන් ඉන්න අයට වඩා හොඳ බත් පිඟානක් අනුභව කළත් දැනටත් වඩා තෙල් කෑම ආහාරයට ගත්තත් ඔවුන් මහත් වුණේ නැති බව අප හැමෝම දන්නා කාරණයක්. විශේෂයෙන් දරුවන් ලැබූ පසු කාන්තාවන් වුවත් එසේ අධික මහත සිරුරකට හිමිකම් කියූවේ නැහැ. ඒ අය ගේ ආහාර රටාව මෙන්ම ඇවතුම් පැවතුම් මේ තත්ත්වයට හේතුවූවා යැයි පාරම්පරික හෙළ වෙදකම පවසනවා. අද සෞඛ්‍ය පිටුව වෙන්වනුයේ හෙළ ඔසු ඇසුරෙන් තරබාරුව මට්ටු කරන රහස් පිළිබඳවයි.
තරබාරුව ඇතිවෙන්නේ කෑම නිසා යැයි කිවහොත් එය එතරම්ම සත්‍යයක් නොවේ. සමහරු කොතරම් අඩුවෙන් කෑම ගත්තත් ඔවුන් අතරිනුත් මහත් වෙන පිරිස සොයාගන්නට හැකියි. පළමුව අප විමසා බැලිය යුත්තේ මහත් වෙන්නට හේතුවන ජීවන රටාවේ තිබේ යැයි කියන වැරදි වලට පසුබිම් වූ හේතු පිළිබඳවයි.
අතීතයේ සිටි කාන්තාවන් උදෑසන තේ කෝප්පයක් බොන්නට හුරු පුරුදුව සිටියේ නැහැ. ඔවුන් රණවරා, පොල්පලා, හෝ බෙලි මල් වැනි ඖෂධීය පානයක් නිරන්තරයෙන් ලිප මත පැසෙන්නට ඉඩ දී තිබුණේ නිවසට පැමිණෙන කොයි කාට වුවත් හකුරු කැබැල්ලක් සමග එයින් වතුර කෝප්ප්යක් පිළිගන්වා පිළිගැනීමට ඔවුන් හුරුපුරුදුව සිටි නිසයි. ඔවුන් බොහෝ විට උදෑසන ආහාරය ලෙස පිළියෙළ කරගත්තේ කුරක්කන් තලපයක් හෝ බතක් බත් ඉදෙන විට එය පෙරන්නට හුරුපුරුදුව සිටි නිවෙස්වල ඒ කැඳ උදෑසන තේ කෝප්පය වෙනුවට පානය කළ බව බොහෝ දෙනාට මතක ඇති ලුණු කැඳ කෝප්පය ලෙස ඔවුන් හැඳින්වූවේ මෙයයි.
ලුණු කැඳ කෝප්පය පානයෙන් පසුව ඔවුන් කැත්තේ උදැල්ලේ වැඩවලට පිටත්ව යන්නේ කුරහන් තලපයක් හෝ කුරහන් ආශ්‍රිතව සකස් කළ කුමන හෝ ආහාරයක් රැගෙනයි. කුරහන් ආහාරයට ගැනීමෙන් එහි ඇති ශක්තියත් එදිනෙදා කය වෙහෙසවා කරන රාජකාරිවලට වැය වූ නිසාවෙන් සමට යටින් මේදය ලෙස තැන්පත් වෙන්නට යමක් ඉතිරි නොවී පැවතීම නිසා ඔවුන්ගේ අතපය ඉතා ශක්තිමත්ව සහ සිරුරේ නියමිත හැඩය හා පැවතුණ බව නොරහසක්. දහවල ඇඹුල ලෙස ඔවුන් ආහාරයට එක් කරගත් දෑ අතර අනිවාර්යෙන් පළා වර්ගයක් වැව් මාළු, කොස් හෝ පොළොස් ,මුං ඇට හෝ කවුපි වැනි ධාන්‍ය වර්ගයක්, දඹල හෝ මෑකරල් වැනි රනිල කුලයේ එළවළුවක් නොවැරදීම එක්වීම තුළ ඔවුන්ට අවශ්‍ය නිසි පෝෂණය ලැබීම නිසා ඔවුන්ගේ එදිනෙදා පෝෂණය සම්පූර්ණ වුණා.
එකළ ඇතැම් ගෙවල්වල තැම්ඹුම් හොඳි ලෙස හඳුන්වන හොද්ද වැරදුනේ නැහැ. එය සියළුම තුණපහවර්ගවල එකතුවක් වූ අතර කිසිම අයෙකුට ආහාර දිරවීම පිළිබඳ ගැටළුවක් පැමිණිල්ලක් නොඑන්නට එය හේතුවක්ව තිබුණා. එදවස කිසිවෙක් දිවා කාලයේ නින්දට නොගිය අතර දිවා කාලයේ කය වෙහෙසවා හොඳින් දහඩිය වැගිරෙන ලෙස වැඩපලවල යෙදුන බැවින් ආහාර නිසි ලෙස ජීර්ණය වනු මිස ආහාර පැසවීම ප්‍රමාද වුණේ නැති බව සත්‍යයක්. මේ නිසා ඔවුන් නිරෝගී දේහය අධික මහත් වුණ අය නෙවෙයි.
ආහාර ගත් සැණින් ඔවුන් උණුසුම් ජලය මිස අද මෙන් අයිස් වතුර භාවිත නොකිරීම නිසා ආහාර ඉක්මණින් පැසවා එහි අඩංගු තෙල් කොටස් ඉවත් වෙන්නටත් මග පෑදුණු නිසාම තෙල් අධික බව නිසා හටගන්නා රෝග බොහෝ දුරට එකළ සුළබ වූයේ නැහැ. ආහාර ගන්නට පෙර ඔවුන් අතර මැදි කාලයේ කිසියම් ඖෂධීය පානයක් පානය කිරීම නිසා අනවශ්‍ය තරම් ආහාර ගන්නට ඉඩක් නොවීමත් තැම්බුම් හොද්ද බොහෝ විට එසේ පානය කිරීම තුළින් ඔවුන්ට නිරන්තරයෙන්ම ආහාර අජීර්ණය වීමේ හැකියාවද නැතිවී තිබූ බව සත්‍යයක්.
ආහාර නිසි ලෙස පැසවා ජීර්ණය නොවීමත් නිසිපරිදි මළ පහ නොවීමත් බොහෝ ස්ථූලතාවයට පත් අය විසින් අත්විඳි තත්ත්වයක්. මේ ගැටළුව නිසියාකාරව නිරාකරණය කර නොගත් අය ස්ථූලතාවයට පත්වීම බොහෝ විට දවසින් දවස වැඩිවෙන්නට හැකියි.මේ නිසා ස්ථූල අය විසින් නොකළ යුතු දෑ පිළිබඳව අප වඩාත් හොඳින් අවධානය දැක්විය යුතුයි. ස්ථූල අය විසින් වැඩිපුර බත් ප්‍රමාණයක් ආහාරයට නොගත යුතු අතර කෙසේවත් පාන් ආහාරයට නොගත යුතුයි. පොල්සම්බෝල වැනි ආහාර ලබාගන්නේ නම් ඒවාද ස්වල්ප වශයෙන් ගත යුතු ආහාර අතරට එක් විය යුතුය.
කුරක්කන් පිටිවලින් සැකසූ නමුත් අමතරව සීනි සහ පොල් වැඩිපුර යෙදූ ආහාර ගැනීම නිසා එයින් බලාපොරොත්තුවෙන ගුණය ලබන්නට නොහැකිය .වැඩිපුර පොල් යෙදූ පිට්ටු . රොටි. ආදිය මහත්වීම අඩුකරන්නට උදව් නොදේ. අද බොහෝ දෙනා බටහිර ක්‍රමය අනුව අමතර ආහාර වේල් දෙකක් ප්‍රධාන ආහාර වේල් අතරට එක්කර ගනී. නමුත් එය නිසි ආකාරයට කරන්නේ නම් වරදක් නොවන අතර ඒ අමතර ආහාර වේල්, පැටිස් ,කට්ලට් වැනි තෙල් සහිත ආහාර සමග සිදුවන ගණුදෙනුවක් නම් කිසිම ආකාරයකින් ඔබේ ස්ථූල බව මැඩලීමට නොහැකිය.
හෙළ වෙදකම අනුව ඔබට සිහින් වෙන්නට අවශ්‍ය නම් වඩා කෙඳි සහිත ආහාර හා ගණු දෙනු කරන්නට සිදුවෙයි. කොහිල අල ,පලා වර්ග ආදී දෙය ඔබේ කැම වේලේ නිරන්තරයෙන් අඩංගු නම් ඔබට එයින් කුස තුළ ඇති ආහාර නිසිපරිදි දිරවා මළ කොටස් ලෙස නිර්මාණය වීමට උපකාරයක් කළ හැකිය. බොහෝ දුරට ඔබට කළවම් පලා වලින් අනවශ්‍ය කෑම රුචියද පාලනය කරගත හැකියි. උදෑසන ආහාරවේලට කළින් ඔබට බෙලිමල් හෝ බෙලි කටු තැම්බූ වතුර වීදුරුවක් පානය කළ හැකි නම් එයින් ඔබේ උදරයේ ඇති ආම්ලික බව ආහාර පැසවීම කෙරෙහි සහය ලබාගැනීමට හැකි අයුරින් සකස් කරගත හැකිය. කොල්ලු තැම්බූ ජලයද මහත අඩුවීමට වඩාත් ප්රශස්ත අයුරින් යොදාගත හැකි පිළියමකි. නමුත් ආහාර සම්බන්ධයෙන් ඔබ අවධානය දැක්විය යුතු තවත් කාරණයක් පවතී.
ඒ ආහාර හොඳින් දිරවීමට පහසුවන පරිදි ඒවාට තුණපහ යොදා සකස් කර ගැනීමය. ආහාර රස ගන්වන්නට එකළ යෙදුවේ ආහාර දිරවීමට උපකාර කරන කඩසරක්කු ලෙස හඳුන්වන සූදුරු මහදුරු, කොත්තමල්ලි උළුහාල් සුදු ලූනු රතුලූණු කරපිංචා ගම්මිරිස් ආදිය සහ ගොරකා සියඹලා වැනි ඇඹුල් වර්ගයන්ය. නමුත් අද මේවා වෙනුවට යොදනු ලබන්නේ යම් යම් රසායනිකයන් පමණි. මිරිස් කහ වැනි ස්වභාවික කුළුබඩු වර්ගවලට අද තැනක් නැති තරම්ය.නමුත් පාරම්පරිකව සකස් කළ ඖෂධ පන්ති මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර හොඳින් ආහාර දිරවා පෝෂක කොටස් සිරරට උකහා ගන්නා පරිද්දෙන්ද හොඳින් මළ කොටස් ඇති කර බඩ පිපීම, පුරවා දැමීම ආදී සිරුර මහත්වීමට තුඩු දෙන තත්ත්වයන් වළකා සිරුර මහත්වීමෙන් තොරව පවත්වා ගන්නට පාරම්පරික හෙළ වෙදකමේ ප්‍රතිකාර ක්‍රමවේදයන් රාශියක්ම පවතී.
මේ ප්‍රතිකාර ක්‍රමවේදයන් යෙදිය යුත්තේ සිරුර මහත්වීමට බලපෑ ඇති හේතුව නිසි පරිස්සෙන් නිර්ණය කිරීමෙන් අනතුරුව මිස හිතු මතයට නොවේ. මේ ඖෂධ පංති යෙදීම තුළ සිරර සිහින් වුවත් ඒ සිහින්වීම ඇතිවන්නේ සිරුර වැහැරී යන පරිද්දෙන් නොවේ. එයට හේතුව මේ ක්‍රමය මගින් සකස් කරනු ලබන්නේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට ආහාරවලින් ශක්තිය නිපදවා ගැනීමත් අනවශ්‍ය කොටස් මළ කොටස් ලෙස විධිමත්ව පිටත යැවීමේ ක්රමවේදයත් අනුව වීමෙණි. සමහරුන් සිරුර සිහින්වෙනවා යැයි කී විට ඕනෑම දෙයක් පරිහරණයකරන්නට පෙළඹෙයි. එය අතිශය භයානක ක්‍රියාවක් වනුයේ මේ මොනවා වුවත් ඔබ යොදන්නේ ඔබගේම ශරීරයට වීම නිසාය. එසේ යොදන ඇතැම් ද්‍රව්‍ය සිරුරේ නිරෝගීතාවයට බලපෑම් කරයි.
සමහරුන් මී පැණි සහ දෙහි යුෂ ආදිය සිහින්වීම සඳහා යොදාගත්තද එය ඔබේ සිරුරේ වකුගඩු ආදී අවයවවලට ඉතාම අහිතකර විදිහට බලපානු ඇති. මේ නිසා ඔබේ වෙද මහතා හෝ මහත්මිය විසින් ඔබගේ මහත්වීම කිනම් හේතුවක් නිසා ඇතිවී දැයි සොයාබලා යොදන බෙහෙත් පන්ති මිස හිතුමතයේ බෙහෙත් යෙදීම නිරෝගී අයෙකු රෝගීබවට පත්කරවන්නට දැන දැනම යොදන තල්ලුවක් විය හැකිය. නමුත් සමස්තයක් ලෙස කොල්ලු තැම්බූ වතුර එසේ වකුගඩුවට අහිකර පිළියමක් නොවන්නේ එය සිරුරේ ශක්තිය සඳහා හොඳින් ඉවහල්වන ස්වභාවික ධාන්‍යයක් වන බැවිණි.
යම් අයෙකුට සිරුර ස්ථූලවීම විශාල ගැටලුවක්ව පවතින්නේ නම් ඒ සම්බන්ධව වෙද මහතා සමග සාකච්ඡා කරන්නට අවස්ථාව පවතී කඩවත ගනේමුල්ල පාරේ කුමාරගේ ඖෂධාලයේ වෛද්යාචාර්ය ඩී ඒ කුමාරගේ මහතාවෙතින් 0112975003 හෝ 071 2294489 දුරකථන අංකයෙන් ඔබේ ගැටලුවට තවදුරටත් උපදෙස් ලබන්නට අවස්ථාව පවතී .
ඔබ දැනටමත් උසට සරිලන බර ඉක්මවා ගිය අයෙක් නම් දවල් කාලයට නිදාගැනීමෙන් වහාම වළකින්න. එමෙන්ම රාත්‍රී ආහාර ගත් විගසම නින්දට යාමෙන් වළකින්න.ඔබ කාන්තාවක් නම් ඔබේ මහතට ඔබේ මාසික ඔසප්වීමේ සම්බන්ධයක් තිබිය හැකිය. එවැනි ගැටලුවක් පවතින්නේ නම් පළමුව එක් මාසයකට පමණක් අශෝක අරිෂ්ටය ගෙන පානය කර බලන්න. දිනකට කිලෝමීටරයක පමණවත් දුරක් ඇවිදින්න උත්සහ ගන්න . හැකිතාක් පිටතින් ආහාර ගැනීම නවතන්න. එළවළු පලතුරු වැඩිපුර ආහාරයට එක්කර ගන්න. බත් කැඳ ඉතාම හිතකර පානයකි. එය ඔබේ කුසගින්න අවම කරන අතර හොඳින් ආහාර දිරවීමටද උපකාර කරයි.
නාලිකා රාජපක්ෂ
උපදෙස් - කඩවත ගණේමුල්ල පාරේ පළවෙනි සැතපුම් කණුව, ,කුමාරගේ ඖෂධාලයේ - වෛද්යාචාර්ය ඩී ඒ කුමාරගේ මහතා