තනියෙන් ඉගෙන ගත්තෝ


ලෝකයේ බොහෝ දෙනෙකුට ගුරුවරුන් ඇත. බොහෝ දෙනෙකු පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු ආයතනික පද්ධතියක් මගින් අධ්‍යාපනය ලබා ඇත. එහෙත් එවැනි ආයතන පද්ධතියක් හෝ ගුරුවරුන් නොමැතිව අධ්‍යාපනය ලැබූ පිරිසක්ද ‍ලෝකයේ සිටිති. මෙවැනි සුවිශේෂිත වූ චරිත ලෝකයේ සෑම සමාජයකින්ම පාහේ දැකගැනීමට ලැබේ. එබැවින් මෙම සංසිද්ධිය ස්වයංඋපදේශකත්වය (Autodidacticism) වශයෙන් හඳුන්වනු ලැබේ.

තනිවම ඉගෙන ගන්නා මෙම පුද්ගලයන් ඉගෙනුම ලබන්නේ තමන්ගේම රිද්මයකටය. සාමාන්‍ය පාසල්වල මෙන් කාලසටහන් අනුව ව්‍යූහගත වූ ක්‍රමයක් ඔවුහු අනුගමනය නොකරති. විෂයයන් තෝරා ගන්නේද තමන්ගේ වුවමනාව මතමය. 

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ජර්මානු සම්භවයක් ඇති හර්මන් හෙස එලෙස තනිවම ඉගෙනුම ලැබූ සාහිත්‍යකරුවෙකි. ඔහු පොත් සාප්පුවක කම්කරු සේවයක් ඉටු කරමින් පොත් කියැවීමේ යෙදුනෙකි. ඔහු ඒ සමයේදී දිනකට පැය 12ක් වැඩ කළ අතර, සති අන්තයේ සහ විවේකයක් ලැබුණු විට පොත් කියවීය. %සිද්ධාර්ථ^ නම් ලෝකප්‍රකට කෘතියේ ඔහුගේ නිමැවුමකි. 
ඉංග්‍රීසි මහා කවියෙකු වන විලියම් බ්ලේක් ද කාගේවත් පිහිටක් නොමැතිව ‍ඉගෙන ගත්තෙකි. ඔහුට මුල් අකුරු කියා දෙන ලද්දේ ඔහුගේ මවය. කිසිදු දිනෙක පාසල් අධ්‍යාපනයක් විලියම් බ්ලේක්ට තිබුණේ නැත. 2002 වසරේදී බී.බී.සී.ය කළ සමීක්‍ෂණයකදී එතෙක් මෙතෙක් මහා බ්‍රිතාන්‍ය නිර්මාණය කළ විශිෂ්ටයන් 100 දෙනා අතරට ඔහු පත් විය. 

මැක්සිම් ගෝර්කි ද තම උත්සාහයෙන්ම උගත් තැනැත්තෙකි. ඔහු අනාථ දරුවෙකි. වරක් 1887දී ඔහු සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගත්තේය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ බිහි වූ විශිෂ්ටතම සාහිත්‍යවේදියෙකු වන මාර්ක් ට්වේන්ද කිසිදු නිල අධ්‍යාපනයක් ලැබූවෙකු නොවේ. පසු කාලයක ඔහු ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යන විරුදාවලියද ලැබීය.  ඔහු මුද්‍රණාලයක සේවය කරන අ‍තරේ අධ්‍යාපනය ලැබූවෙකි. 

අතිවිශිෂ්ට ඇමෙරිකානු නවකතාකරුවෙකු වූ අර්නස්ට් හෙමින්වේ ද ස්වාධීන ලෙස ඉගෙනුම ලැබූවෙකි. ඔහු සෑම දිනකම නින්ද යෑමට පෙර පැය හතරක් පොතපත කියැවීය. ඔහු මහජන පුස්තකාලයේ සියලු පොත් කියවා අවසන් කළේය. ඔහුගේ පියාට ඔහු වෙත නිල අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය වුවද, ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය. 

ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ෆැරඩේ, නිකොලා ටෙස්ලා, චාල්ස් ඩාවින්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ඒබ්‍රහම් ලින්කන් ආදී ලෝක ඉතිහාසය වෙනස් කිරීමට දායක වූ අතිවිශාල පිරිසක් මෙලෙස තම උත්සාහයෙන්ම දැනුම දියණු කරගත් කාණ්ඩයට අයත් වෙති. මෙම තත්ත්වයට ඇතැම් දේශපාලනික සහ ආර්ථික සාධකද බලපෑවේය. විශේෂයෙන් 18 සහ 19 වැනි සියවස්වල බටහිර ලෝකය තුළ පැවැති අස්ථාවරභාවයන් මිනිසුන්ගේ ජීවිතවලට බලපෑවේය.

කෙසේ වෙතත් තනිවම අධ්‍යාපනය ලැබීම අධ්‍යාපන ක්‍රමයක් වශයෙන් අත්හදා බැලීමක්ද මේ වන විට සිදු වෙයි. බොහෝ රටවල දුරස්ථ අධ්‍යාපන ක්‍රම හඳුන්වා දෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කරුණු කෙසේ වෙතත් තනිවම ඉගෙන ගත් පුද්ගලයන් ලෝකයට ලබාදී ඇති දායකත්වය මැනිය නොහැකි තරම්ය. 



Recommended Articles