තනි වෘකයන්


තනි වෘකයාගේ (Lone wolf) පහර දීම් වශයෙන් ත්‍රස්තවාදය පිළිබඳ අධ්‍යයනයේදී හැඳින්වෙනුයේ කිසියම් අණදීමේ ව්‍යූහයකින් බැහැරව ක්‍රියාත්මක වන ප්‍රහාරයකි. මෙය ශ්‍රී ලංකාවටද සම්බන්ධ කළ හැකි වන්නේ ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය එවැනි තනි වෘකයාගේ පහර දීමක් වන බැවිනි. 

තනි වෘකයාගේ පහර දීම්වලදී වෙනත් කණ්ඩායමක් වෙතින් ද්‍රව්‍යමය සහයෝගයක් ලබා නොගනිමින් බිහිසුණුකාරී ක්‍රියාව සිදු වෙයි. මෙවැනි තනි වෘකයන් බිහි වන්නේ දෘෂ්ටිවාද පදනම් කර ගනිමිනි. මෙවැනි ත්‍රස්තවාදීන්  බාහිර පාර්ශ්වයක අදහස් පද්ධතියක් තුළින් පෝෂණය වී තමන්ම භෞතික තත්ත්වයන් සකස් කර ගනිමින් පහර දීම සිදු කරයි. 

තනි වෘකයාගේ ත්‍රස්තවාදී පහර දීම් අතීතයේදී ඉතා අඩු වූ අතර, පසුගිය කාලසීමාව තුළදී වර්ධනය වෙමින් තිබෙන බවක් දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවලදී මෙවැනි තනි වෘකයන් ලෙස හැසිරෙන ත්‍රස්තවාදීන් බාහිර පාර්ශ්වයක් වෙතින් පැහැදිලි ලෙස සහයෝගයක් ලබා ඇත්ද, නැත්ද යන්න තහවුරු කර ගැනීම දුෂ්කර වේ. 

සුදු අන්තවාදීන් දෙදෙනෙකු වූ ඇලෙක්ස් කර්ටිස් සහ ටොම් මෙට්ස්ගර් යන දෙදෙනා 1990 දශකයේදී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙම අදහස ත්‍රස්තවාදී අධ්‍යයනය තුළ විශේෂයෙන් ප්‍රචලිත විය. මෙට්ස්ගර් විසින් සුදු ආර්ය ප්‍රතිරෝධය (White Aryan Resistance) අන්තවාදී සංවිධානයක් නිර්මාණය කර තිබූ අතර, ඔහුගේ සංවිධාන සැලැස්ම ඉතා රහසිගතව සිදු වූවකි. 
ඔහු තනි පුද්ගලයන් හෝ ඉතා කුඩා කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූ අතර, ඒ ඔස්සේ සිය අන්තවාදී මත ප්‍රචලිත කළේය. එබැවින් මතුපිටින් පෙනෙන ආකාරයේ කිසිදු සංවිධානයක් මෙහිදී ක්‍රියාත්මක නොවිණි. ඔහුගේ දෘෂ්ටිවාදී බලපෑමට ලක්වූ පුද්ගලයන් ත්‍රස්ත ප්‍රහාර එල්ල කළේ තනි තනි වශයෙන් හෝ කුඩා කණ්ඩායම් වශයෙනි. 

1940 දශකයේ සිට මේ දක්වා මෙවැනි තනි වෘකයාගේ ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් සාර්ථක එල්ල කිරීමට ත්‍රස්තවාදීන්ට හැකිව තිබේ. කෙසේ වෙතත්, මෙවැනි ප්‍රහාරවල විශාල වර්ධනයක් 2000 වසරෙන් පසු වාර්තා වී තිබේ. තනි වෘකයන් වශයෙන් හැඳින්වෙන ත්‍රස්තවාදීන් විවිධ වූ සමාජ, සංස්කෘතිවලට අයත් වන බව පෙනීගොස් තිබේ. විශේෂයෙන් අල්-ඛයිඩා සංවිධානයෙන් සහ අයි.එස්. සංවිධානයෙන් අන්තවාදී අදහස්වලට නතු වූ තනි වෘකයන් ලෙස හැඳින්වෙන ත්‍රස්තවාදීන් ඉතා තරුණ සහ උසස් අධ්‍යාපනයක් ලැබූ පිරිසකි. 

කෙසේ වෙතත්, මෙම තනි වෘකයන් ඔවුන් ආභාෂය ලබන ත්‍රස්තවාදී සංවිධානවලට සාමාජිකයන්ගේ ලක්ෂණවලට සමූහ ඝාතකයන්ගේ ලක්ෂණ පෙන්නුම් කිරීම විශේෂත්වයකි. ඔවුන් බොහෝ විට ප්‍රහාර එල්ල කරනුයේ පාසල් ආදියට කඩාවැදී සමූහ ඝාතන සිදුකරන පුද්ගලයන්ට සමාන වන ආකාරයකිනි. තමන් පෝෂණය වන කිසියම් සංවිධානයක දෘෂ්ටිවාදී අදහස තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් කටයුතු කරන මොවුන් අදාළ සංවිධානයේ ඍජු අධීක්ෂණය යටතේ ප්‍රහාරය ක්‍රියාත්මක නොකිරීමද විශේෂත්වයකි. 

ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට අදාළ සංවිධානය සමග ඍජු පෞද්ගලික සම්බන්ධයක්ද නොතිබීමට හැකිය. මේ හේතුවෙන් ප්‍රති-ත්‍රස්ත වැඩසටහන්වලදී තනි වෘක ප්‍රහාර මැඬලීම අතිශයින් සංකීර්ණ කාර්යක් බවට ලෝකයේ පත්ව තිබේ. එබැවින් තනි වෘක ප්‍රහාරවල වර්ධනය වීම් මැඬලීමට හැකි වන්නේද දෘෂ්ටිවාදී වශයෙන්මය. 



Recommended Articles