තනි තනිව ගෝල්ෆේස් ආ අරගලකරුවෝ දේශපාලන කඳවුරුවලට?


ගෝල්ෆේස් අරගල භූමිය ඉවත් කරගත්තද තවමත් අරගලය අවසන් වී නැත. එහි සිටි අරගලකරුවෝ තවමත් වෙන වෙනමත්, තමන් නියෝජනය කළ සංවිධාන වශයෙනුත්, ඇතැම් ඒකාබද්ධ ක්‍රියාමාර්ගත් හරහා තවදුරටත් අරගලය ඉදිරියට රැගෙන යති. කෙසේ වුවද සංවිධාන වශයෙන් ගාලුමුවදොරටනොපැමිණි, නැතහොත් එහිදී සංවිධානගත නොවූ තනි තනි අරගලකරුවන්ගේ ඉදිරි දිශානතිය කුමක්දැයි බොහෝ දෙනා විමසති. නොඑසේ නම් කුඩා කණ්ඩායම්වල ඉදිරි ගමන කෙබඳුදැයි අසති. සැබැවින්ම එය විමසා බැලිය යුතු කාරණයකි.

ඉකුත් අප්‍රේල් 09 වැනිදා රට වටින් දහස් සංඛ්‍යාත ජනීජනයා ⁣ගාලුමුවදොරට පැමිණියේ යම්කිසි සංවිධානයක මෙහෙයවීමෙන් නොවේ. නොඑසේ නම් සංවිධානගත වීද නොවේ. එදින එහි පැමිණි සාතිශය බහුතරය එතැනට පැමිණියේ තනි තනි පුද්ගලයන් වශයෙනි. හුදෙක්ම හුදෙකලා පුරවැසියන් ලෙසිනි.

ගාලුමුවදොර අරගලයට මුලින්ම දේශපාලන, කලා සහ සමාජ සංවිධාන වශයෙන් පැමිණි පිරිස් කීපයක් වූහ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, වෙනසක තාරුණ්‍යය, බේකරියෙ කට්ටිය ආදී සංවිධාන අරගලයට පෙර සිටම මෙරට තුළ ක්‍රියාකාරීව සි⁣ටි සංවිධාන විය. ඊට අමතරව ලිබරල් සාමූහිකය, බ්ලැක් කැප්ස්, RYUවැනි සංවිධානද එහි විය.

එයින් පසු ගෝඨාගෝගම ආශ්‍රිතව සිටි පිරිස් එක්ව නිර්මාණය කරගත් සංවිධානද කිහිපයක් අරගලය පුරා ක්‍රියාකාරී විය. සර්වපාක්ෂික අරගලකරුවෝ, නිර්පාක්ෂික අරගලය, ප්ලස් වන්, අරගල බිමේ තාරුණ්‍යයආදී සංවිධාන ඒ අතර විය.

කෙසේ වුවද මේ කිසිවකට සම්බන්ධ නොවූ තනි පුද්ගල අරගලකරුවන් සහ කුඩා කණ්ඩායම් රැසක්ද එහි විය. සාමාන්‍ය වශයෙන් ගත්කල සමස්ත ගාලුමුවදොර අරගල භූමිය තුළ එකිනෙකට වෙනස් පාර්ශ්ව 100කට ආසන්න ප්‍රමාණයක් භුමිගතව, ක්‍රියාකාරීව සිටියහ.

ඉහත කී සියලු පාර්ශ්ව කුමන අදහස්, කුමන දේශපාලන මතවාද දැරුවද ගෝල්ෆේස් අරගලය පැවැති සමස්ත කාලය එක් පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටියහ, ඒ වෙනුවෙන් එක්ව සංවාද, වාද විවාද කළහ, වැඩ කළහ, සටන් කළහ. ජූලි මාසයේ අග අන්තිම අරගලකරුවාත් එම භූමියෙන් ඉවත් වනතුරුත් ඒ සාමූහිකතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූහ.

කෙසේවුවද දැන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වූ පසු පෙර සඳහන් කළ දේශපාලන පක්ෂවලට අයත් අනු සංවිධානවලට, අනිකුත් දේශපාලන සංවිධාන සහ සමාජ සංවිධානවලට තවදුරටත් කරන්නට වැඩ සහ ව්‍යාපෘති තිබේ. ඔවුහ දැනටත් ඒවා ඉදිරියට ගෙන යති. එහෙත් කිසිදු සංවිධානයකට අයත් නොවන හෝ කුඩා කණ්ඩායම් වශයෙන් අරගලයේ සිටි පිරිස මේ වනවිට කොතැනකවත් ඉස්මතු වනු පෙනෙන්නට නැතැයි බොහෝ දෙනා කියති. සැබෑවටම ඒ පිරිස් දැන් සිටින්නේ කොතැනකද? ඔවුන් සිය ඉදිරි ක්‍රියාමාර්ග සහ අරගල මාදිලි තෝරන්නේ කෙසේද?

මේ පිරිස අතුරින් බොහෝදෙනා පොදුවේ ගෝඨාගෝගම පිරිස් ඒකාබද්ධව සිදු කරන ක්‍රියාකාරකම් සඳහා එක්වෙති. නොඑසේ නම් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සමාජවාදී තරුණ සංගමය හෝ වෙනසක තාරුණ්‍යය වැනි සංවිධානයක් සංවිධාන කරන වැඩසටහන් සඳහා එක්වෙති. ඒ හැරෙන්නට ඇතැම් පිරිස් සිය සමාජ මාධ්‍ය ගිණුම් සහ වර්චුවල් අවකාශය හරහා සිය මතවාදීමය අරගලයේ නිරත වෙති.

කෙසේ වුවද බහුතරයක් වන තනි තනි අරගලකරුවන් මේ වනවිට තෝරාගත හැකි වේදිකාවක් හෝ ක්‍රමවේදයක් නොමැතිව යම් අතරමංවීමක සිටින බවද පෙනෙන්නට තිබේ. %නිර්පාක්ෂික^ ලෙස තමන් හඳුන්වාගනිමින් කිසිදු කණ්ඩායමක් සමග එකතු නොවූ පිරිස මේ තත්ත්වයට පත්වූ අය අතර කැපී පෙනෙයි. ඒ හැරෙන්නට අනිකුත් අරගලකරුවන් අරගලය නියෝජනය කළ හෝ පිටස්තර සංවිධාන සමග එක්වීමද පෙනෙන්නට තිබේ.

දැනටත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී තරුණ සංගමය, ජනතා කලාකරුවෝ, වෙනසක තාරුණ්‍යය වැනි දේශපාලන මතවාද සහිත සංවිධාන හැරෙන්නට අරගලය වෙනුවෙන් සක්‍රියව දායක වන ගෝඨාගෝගම සිටි සංවිධාන ඇත්තේ කිහිපයක් පමණි. %සර්වපාක්ෂික අරගලකරුවෝ^, %බ්ලැක් කැප්ස් මූව්මන්ට්^ ඒ අතර සැලකිය යුතු කාර්යයක් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ හැරෙන්නට ලිබරල් සාමූහිකය, අරගල බිමේ තාරුණ්‍යය, ප්ලස් වන් ඇතුළු බොහෝ සංවිධාන මේ වනවිට නිශ්ක්‍රීය තත්ත්වයේ පවතින බව පෙනෙන්නට තිබේ. එක්කෝ ඔවුන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සහාය පළ කරමින් නිහඬව සිටිති, නැතහොත් මේ මොහොතේ තෝරාගත යුතු දේශපාලන උපක්‍රමය කුමක්දැයි සිතාගත නොහැකිව පසුබා සිටිති. එමෙන්ම නිර්පාක්ෂික අරගලකරුවෝ, ගේට්සීරෝ වැනි ගෝඨාගෝගම සිටි අනු කණ්ඩායම්ද දැන් යම් මට්ටමකින් විසිර ගොස් ඇති අතර, ගෝල්ෆේස් අරගලයේ ඇතැම් සාමාජිකයන් විවිධ දේශපාලනික ව්‍යාපෘති සහ කණ්ඩායම් සමග එකතු වෙමින් සිටිනු පෙනෙයි.

ඒ සඳහා ආසන්නතම උදාහරණය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සිය දේශපාලන කඳවුර ලෙස සමගි ජනබලවේගය තෝරාගැනීමයි. %ස්වාධීන^ රංගන ශිල්පිනියක ලෙස අරලයට එක්වූ ඇය දින 100කට අධික කාලයක් ඒ වෙනුවෙන් සැලකිය යුතු කාර්යයක් කළාය. අත්අඩංගුවට පත්ව, රක්ෂිත බන්ධනාගාරගතව පවා පැමිණි ඇය හදිසියේ දේශපාලන තීන්දුවක් ගත්තාය. තමන්ට වඩාත්ම ගැළපෙන කඳවුර යැයි සිතූ සමගි ජනබලවේගය ඇය තෝරාගන්නට ඇත. ඇය සේම තනි තනිව අරගලය තුළ ක්‍රියාත්මක වූ බොහෝදෙනා මීට පෙරද ඒ විකල්පයම තෝරාගත්හ. මේ මොහොතේද එවැනි දේශපාලන සාකච්ඡාවල නිරත වන අරගලකරුවෝ සිටිති. ඉදිරියේදීද තවත් එවැනි සිදුවීම් සිදු වීමට නියමිතය. ඒ අනුව ඇතැම්හු පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, ජාතික ජනබලවේගයත් සිය දේශපාලන කඳවුර ලෙස තෝරාගත්හ. තවත් පිරිසක් එකී දේශපාලන පක්ෂ සමග එක්ව සහ සමගාමීව වැඩ කරමින් සිටිති. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පිරිසක් ඔහු දෙසට හැරුණහ. ඒ යටතේ ඇතැම්හු එක්සත් ජාතික පක්ෂ දේශපාලනය තෝරාගනිද්දී තවත් පිරිසක් ජනාධිපති කාර්යමණ්ඩලයේ සේවයට ගියහ. ඒ අතරේ දමිතා ඇතුළු පිරිසක් සමගි ජනබලවේගයෙන් දේශපාලනයට අත්පොත් තබමින් සිටිති.

ඊට අමතරව ගේට් සීරෝ හෙවත් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධාන ගේට්ටු පරිශ්‍රය නියෝජනය කළ අරගලකරුවන් පිරිසක්  ඊයේ පෙරේදා ඇරඹි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සමග එක්වූහ. පැතුම් කර්නර්ලා නියෝජනය කරන්නේද ඒ කඳවුරයි. තවත් පිරිසක් කිසිදු දේශපාලන පක්ෂයක් තෝරාගැනීම පසෙකලා අරගලයේ ජාතික ව්‍යාපාරය නමින් අලුත් සංවිධානයක් ඇරඹීය. දැන් එතැන ගෝල්ෆේස් අරගලය නියෝජනය කළ පාර්ශ්ව කිහිපයක් එක්ව අරගලය ඉදිරියට ගෙනයන අලුත් ක්‍රියාමාර්ග තෝරමින් සිටිති.

මේ අතරේ ඉහත අප කී ඇතැම් සංවිධාන සහ ගෝඨාගෝගම නියෝජනය කළ තවත් ප්‍රබල අරගලකරුවන් පිරිසක් එක්ව %නව ලිබරල් ව්‍යාපාරයක්^ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවටද තොරතුරු    වාර්තා වෙයි. දැනට කිසිදු දේශපාලන සංවිධානයක් හෝ කඳවුරක් නියෝජනය නොකරන අරගලකරුවන් සැලකිය යුතු පිරිසක් ඒ සමග එක්වනු ඇතැයිද ඉඟි පළවෙයි.

එමෙන්ම දැනටත් විවිධ හේතු නිසා කිසිදු කඳවුරක් තෝරා නොගනිමින් %නිර්පාක්ෂික^ ලේබලය යටතේ තනි තනිව සහ කුඩා කණ්ඩායම් ලෙස කටයුතු කරන අතලොස්සක්ද සිටිති.

දේශපාලනය කරන්නේද, නැද්ද යන්න සහ අරගලය සිදු කරන්නේ කුමන ක්‍රමවේදය අනුවද යන්න තීරණය කිරීමට ඕනෑම අයෙකුට පෞද්ගලික අයිතියක් සහ නිදහසක් ඇත. එහෙත් මේ සියලු දෙනා නිශ්චිත කාලවකවානුවක මේ රටේ සිය හිසට ඉහළින් කපුටෙකුට හෝ පියෑඹිය නොහැකි යැයි සිතා සිටි ප්‍රබල දේශපාලන චරිත සහ සංස්කෘති කිහිපයක මුල් සොලවා පොළොවේ ගැසූ තාරුණ්‍යයට අයත් සුවිශේෂී චරිත ය. එනිසාම ඔවුන් මෙතැනින් ඉදිරියටද මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය දායකත්වය අනලස්ව ලබාදිය යුතු බව අපේ හැඟීමයි. ඒ වෙනුවෙන් එකට එක්ව ක්‍රියා කිරීමට හැකි නම් එය වඩා වටිනා බවද අපේ අදහසයි.

එමනිසා පෞද්ගලික තීන්දු තීරණ මත කුමන පෙරමුණු තෝරාගත්තද, රට වෙනුවෙන් අවැසිම මොහොතේ යළිත් මේ සියලු දෙනා එකට එක්ව එකම පෙරමුණක සිටගනු දැකීම අපේ අපේක්ෂාවයි.

සමිත් බෝධිපක්ෂ



Recommended Articles