කාලයෙන් කාලයට හිස ඔසවන ඩෙංගු උවදුර යළිත් වතාවක් රට තුළ හිස ඔසවමින් තිබෙන බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙමින් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය අඩුවී තිබුණද මේ වසරේ ජනවාරි පළමුවන දින සිට දෙසැම්බර් 06 වන දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 45,701 ක් වාර්තාවී ඇති අතර, ඉන් මියගිය ප්‍රමාණය 51කි.
පසුගිය වසර තුළදී රෝගීන් 186,101 ක් වාර්තා වූ අතර, මියගිය ප්‍රමාණය 200 ඉක්මවිය. වසරවල් දෙක සංසන්දනය කරමින් යම් සතුටක් ලැබිය හැකි වුවත් රටට ජීවිත 51ක් අහිමි වී ඇත. රෝගීවූ ප්‍රමාණය 45,701ක් බවට සඳහන් වුවත් එයද සැලකිය යුතු ප්‍රමාණයකි.
මීට අමතරව සෑම වසරකදීම ජනවාරි, පෙබරවාරි මාසවලදී ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගෙන තිබේ. පසුගිය වසර ගතහොත් ජනවාරි මාසයේදී රෝගීන් 10,927ක් වාර්තාවී ඇත. පෙබරවාරි මාසයේදී රෝගීන් 8,724ක් මාර්තු මාසයේදී රෝගීන් 13,540ක් වාර්තාවී තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 7,278ක් පෙබරවාරි මාසයේදී රෝගීන් 4,488ක් මාර්තු මාසයේදී රෝගීන් 3,380ක් වාර්තාවී තිබේ. මේ අනුව ජනවාරි මාසය ලැබීමට ඉතිරිව තිබෙන්නේ සති 03ක කාලයකි.
ඩෙංගු උවදුර ශීඝ්‍ර‘යෙන් ව්‍යාප්ත වීමට වර්ෂා තත්ත්වයන්ද බලපාන අතර, මේ වනවිට ඊසාන දිග මෝසම් ඇතිවෙමින් තිබෙන නිසා ඉදිරියට අධික ලෙස වැසි ලැබිය හැකි කාලයක් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා ඩෙංගු මර්දනය කිරීම සඳහා මේ වනවිට බොහෝ කටයුතු සිදුකළ යුතුය.
සෑම දෙයක්ම දිනක් දෙකක් මතක තිබෙන ශ්‍රී ලාංකිකයන්ට යම් දෙයක් වළක්වා ගැනීමට මතක් වන්නේ රටට තමන්ට මහා විනාශයක් සිදුවූ පසුවය. මේ නිසාම ඩෙංගු උවදුර රටින් තුරන් කිරීම සඳහා ජනතාවට පවා මතක් වන්නේ ඩෙංගු නිසා ජීවිත කිහිපයක් බිලිගත් පසුවය. ඩෙංගු උවදුර යනු අදටත් රටේ ජනතාවට තනි තනිවම බලපෑම් එල්ල කළ හැකි දෙයක් වුවත් රටේ බොහෝ ජනතාව සිතා සිටිනුයේ %ඩෙංගු^ යනු අනුන්ගේ ප්‍රශ්නයක් ලෙසිනි.
මේ නිසා ඩෙංගු උවදුර රටින් තුරන් කිරීම යම් දුෂ්කර කාර්යක් බවට පත්වී ඇත. මේ නිසා සමස්ත රටේම ජනතාව ඩෙංගු යන්න තමන්ගේ ප්‍රශ්නයක් සේ සලකා කටයුතු කළ යුතුය.
කුඩා දරුවෙකුට අතින් බත් කෑමට පුරුදු පුහුණු කරන ආකාරයටම පරිසරය කැළි කසළවලින් තොරව තබාගැනීමට පුරුදු පුහුණු කළ යුතුය. ශ්‍රී ලාංකිකයන් ලෙස ලෝකයා ඉදිරියේ කොතරම් දක්ෂ පිරිසක් වුවත් කැළි කසළ බැහැර කිරීමේදී ශ්‍රී ලාංකිකයින් අසමත් පිරිසක් බවට පත්ව තිබේ.
මේ නිසාම නගර සභාවේ, ප්‍රා‘දේශීය සභාවේ, මහනගර සභාවේ ට්‍රැක්ටර් නගරය පුරා ගමන් කිරීම දිනක් දෙකක් ප්‍රමාද වුවහොත් අදාළ බල ප්‍ර‘දේශයම කැළි කසළවලින් පිරි දුර්ගන්ධය වහනය වන ප්‍ර‘දේශ බවට පත්වේ.
ඕනෑම පුද්ගලයෙකු කැළි කසළ ප්‍රතිචක්‍රීකරණය කරගැනීම හැකියාව තිබුණත් කඩදාසි, කාඩ්බෝඩ් වැනි ද්‍රව්‍ය පවා මහපාරේ විසිකර දැමීමට මෙරටේ ජනතාව කටයුතු කරති. එමෙන්ම පොල් කිරි මිරිකා ඉවතලන පොල්කුඩු තුළින් අතුරු නිෂ්පාදන සකස් කරගත හැකිව තිබුණද ජනතාව පොල්මුඩු ටික පවා කුණු බක්කියට දැමීමට කටයුතු කරති. මේ නිසා ශ්‍රී ලංකාව කුණු කඳුවලින් ගහණ රාජ්‍යයක් ලෙසට පත්වෙමින් තිබේ.
මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ආකාරයක්ද දක්නට නොමැත. මේ නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ඩෙංගුවලින් තොර රටක් නිර්මාණය කරගැනීමට පෙරමුණ ගැනීමට සිදුව ඇත.
රජයක් ලෙසත් ඩෙංගු මර්දනය කිරීමට දායකත්වය ලබාදීම නිසිලෙස සිදු නොවන බවට චෝදනා එල්ලවෙමින් තිබේ. එහෙත් ඩෙංගු උවදුර ගැන මෙරටේ කිසිවෙකුටත් සැහැල්ලුවෙන් සිතිය නොහැකිය.
මේ වසරේ ගෙවීගිය කාලය සැලකීමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 8,928ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,974ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,795ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,489ක්, මාතලේ දිස්ත්‍රිකක්යෙන් රෝගීන් 839ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 192ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 884ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 870ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,003ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,107ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 307ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 201ක්, වවුනියාව දිස්ත්‍රිකක්යෙන් රෝගීන් 552ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 104ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,625ක්, අම්පාර දිස්ත්‍රිකක්යෙන් රෝගීන් 1,700ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,014ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,240ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,801ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 813ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 280ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 537ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 793ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,075ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,395ක් වාර්තාවී ඇත.
මේ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක 25 න්ම රෝගීන් වාර්තාවී තිබෙන නිසා තම බලප්‍ර‘දේශවල ඩෙංගු උවදුර නොමැති බවට කිසිවෙකුටත් පැවසිය නොහැකිය.
ඩෙංගු මර්දනයට ජනතා සහයෝගය අවශ්‍යයි - සුදත් මඩුගල්ල (අධ්‍යක්ෂක ජනරාල් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය)
ඩෙංගු මර්දනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. ඩෙංගු මර්දනය කිරීම සඳහා අප සංවිධානය සතුව සිටින ලක්ෂයකට අධික ස්වේච්ඡා පිරිස යෙදවීමට සූදානම්. මෙතැනදී මේ පිරිසෙන් දස දහසකට අධික ප්‍රමාණයක් ඩෙංගු මර්දනය කිරීම පිළිබඳව පුහුණුව ලැබූ අය. 2017 වසරේදී ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සමග කටයුතු සිදුකිරීමට කටයුතු කළා. ශ්‍රී ලංකාවේ තියෙන සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම රතු කුරුස සමාජයේ ශාඛා මෙන්ම පාසලකම තියෙනවා. මේ තුළ දරුවන් විශාල පිරිසක් සිටිනවා.
ඩෙංගු මර්දනය කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළත් සමහර අවස්ථාවලදී සේවක හිඟය නිසා ඔවුන් යම් යම් ගැටලුවලට මුහුණ දෙනවා. ඒ හිඩැස පිරවීමට අපි සූදානම්. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල අපි මූලික වශයෙන් ඩෙංගු මර්දනයට දායක වුණා. ඉන්පසුව යාපනය, මඩකලපුව, කුරුණෑගල, කෑගල්ල, මහනුවර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඩෙංගු මර්දනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. ඩෙංගු මර්දන කටයුතුවලට දායක වීමට අමතරව පරිසරය පිරිසිදු කිරීම ජනතාව දැනුවත් කිරීම්ද සිදුකළා.
පාසලක් හරහා දරුවන් 600ක් දැනුවත් කළහොත් ඔවුන් නිවසට ගිහිල්ලා ඒ හා සමාන ප්‍රමාණයක් දැනුවත් කරනවා. මීට අමතරව දූමායන යන්ත්‍ර පවා ලබාදීලා තියෙනවා. මීට අමතරව ඩෙංගු උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි සම්මන්ත්‍රණ සිදුකරනවා.
මහා පරිමාණ ඉදිකිරීම් ස්ථානවලට ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා - වෛද්‍ය හසිත තිසේරා (අධ්‍යක්ෂක ඩෙංගු මර්දන ව්‍යාපාරය)
ඩෙංගු කියන්නේ සංකීර්ණ රෝගයක් මේ තත්ත්වය නිසා රෝගය වැලඳුනහොත් යම් යම් ක්‍රම‘වේදයකට අනුව ප්‍රතිකාර කරන්න සිදුවෙනවා. ඩෙංගු මර්දනයට සෞඛ්‍ය අංශයෙන් යම් කාර්යභාරයක් සිදුකළත් ඉන් පරිබාහිරව විශාල කටයුත්තක් සිදුකරන්න ඕන. ඒක නිසාම ජනාධිපති කාර්ය සාධක බළකායක් පවා ඇති කළා.
ඩෙංගු මර්දනය කිරීම සඳහා මේ වනවිට ජනතාවගේ යම් නැඹුරුවක් තියෙනවා. ඒත් ප්‍රජාව බලාත්මක වීම පිළිබඳව අවධානය යොමුකරන්න වෙලා තියෙනවා. මෙතැනදී පාසල වගේම මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වය අවශ්‍යයි. මහා පරිමාණ ඉදිකිරීම් ස්ථානවලින් ඩෙංගු පැතිරයාම වළක්වා ගැනීම සඳහා අපි පරිසර හිතකාමී කීට නාශක වර්ග තුනක් හඳුන්වා දීලා තියෙන්නේ.
මීට අමතරව ඩෙංගු මර්දනයට පාසල් දරුවන් ගුරුවරුන් දායක කරගැනීමට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නේ.
අපේ අදහස නම් දරුවා පෙරපාසල් වයසේ ඉඳලම පරිසරය සුරක්ෂිත කිරීම පිළිබඳව යොමුකරන්න ඕන.
දැනට වඩා කැපකිරීමෙන් කටයුතු කරන්න ඕන - විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන (අධ්‍යක්ෂක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය)
ඩෙංගු රෝගීන්ගෙන් තුනෙන් එකක් පාසල් දරුවන්. පොදුවේ සමස්ත පාසල්වලින් 15%ක් පමණ මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පවතින බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙනවා.
පෙර වසරට වඩා ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවීමක් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවෙලා තියෙන්නේ සියලුම පාර්ශ්වවල කැපවීම නිසා. මෙම යහපත් තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැනට වඩා අවධානයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතුයි.
ඒ වගේම ඉදිරියේදී ඇති වන්නේ වැසි තත්ත්වයක්. මේ නිසා ඩෙංගු මර්දනය කරගැනීමට සියලුම දෙනාගේ සහයෝගය ලබාදිය යුතුයි.
විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි- වෛද්‍ය හරිත අලුත්ගේ (ලේකම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය)
වැසි තත්ත්වයත් සමග ඩෙංගු උවදුර ඉහළයාමේ අවදානමක් ඇතිවෙලා තියෙන්නේ. ගෙවීගිය වසරවල් සංසදය කළහොත් සෑම වසරකදීම ජනවාරි පෙබරවාරි මාසවල ඩෙංගු රෝගීන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. පසුගිය වසරවලට වඩා රෝගීන් වාර්තාවීම අඩුයි කියලා සතුටුවෙන්න බැහැ. මේ නිසා සියලුම දෙනා එකතු කරගෙන ඩෙංගු මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒ වගේම රෝගී වන ජනතාවට ප්‍රතිකාර කරන ක්‍රමවත් වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. මෙතැනදී ජනතාවට විතරක් ඩෙංගු මර්දනය කරන්න බැහැ. සෞඛ්‍ය අංශවලට පමණක් ඩෙංගු මර්දනය කරන්නත් බැහැ. ඒක නිසා සියලුම පාර්ශ්වවල එකතුවේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඒ වගේම ඩෙංගු රෝගීන් ඉහළ යනකොට පමණක් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලත් වැඩක් නැහැ. මේ නිසා ඩෙංගු මර්දනය කිරීමට අඛණ්ඩව වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඩෙංගු මර්දනයට ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ උපුල් රෝහණ - සභාපති (ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය)
ඩෙංගු උවදුර ලංකාවෙන් තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙළට විශාල බාධා තියෙනවා. ඉන් එකක් තමයි බොහෝ ජනතාව තවම කැළි කසළ බැහැර කරන්නේ අවධිමත් ආකාරයට. ඩෙංගු මදුරුවන් විශාල ලෙස ගැවසෙන ස්ථානයක් තමයි කැළි කසළ. ඒ වගේම අවධිමත් නාගරීකරණය හා දේශගුණික තත්ත්වය නිසාත් ලංකාවෙන් ඩෙංගු තුරන් කිරීමට අපහසු වෙලා තියෙනවා.
මීට අමතරව ඩෙංගු මර්දනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍ය දෙයක්. ඒත් තවමත් ඩෙංගු මර්දනය කිරීමට සහයෝගය ලබා දෙන්නෙ සීමිත පිරිසක් පමණයි. අවධිමත් ලෙස කැළි කසළ බැහැර කරන පුද්ගලයන්ට හා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරනවා.
එහෙත් සමහර පිරිස් නැවත ඒ වැරැද්ද කරනවා. ඒ වගේම ඩෙංගු මර්දනය කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්න නිලධාරීන්ට ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ.