ඩෙංගු රෝගය පිළිබඳව පළමුවරට අප රට තුළ විද්‍යාත්මක තහවුරුවක් සිදුව තිබෙන්නේ 1962 වසරේදීය. ඩෙංගු රෝගය මරණය ගෙන දෙන රෝගයක් වුවත් අදටත් එය රටින් තුරන් කිරීමට නොහැකි වී ඇත. මේ නිසා වර්තමානය වන විට පොදුවේ වසරකට පුද්ගලයන් පනස්දහස ඉක්මවා රෝගීන් බවට පත්වන අතර, පුද්ගලයන් පනහකට (50) වැඩි ප්‍රමාණයකට ජීවිත පූජා කිරීමටත් සිදුව තිබේ. ඩෙංගු මර්දනය කිරීම සඳහා රජය මැදිහත්ව ගෙවී ගිය කාලය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද අඛණ්ඩව එම වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම නිසා අද දවසේදීත් ඩෙංගු ගැන කතා කිරීමට සිදුව තිබේ. ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යනවිට එය මර්දනය කිරීමට රට තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් සමග ඩෙංගු උවදුර අඩු වන විට එම වැඩපිළිවෙළ අතරමග නවතා දැමීම අද වන විට මෝස්තරයක් බවට පත්කරගෙන ඇත.
නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ ඩෙංගු රටින් තුරන් වන තෙක් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලැබුවේ නම තිස් අවුරුදු යුද්ධය ජයගත් ආකාරයටම ඩෙංගුවලින් තොර රටක් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබුණි. එහෙත් ගෙවී ගිය කාලය තුළ ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළද, ඩෙංගු රටින් තුරං වනතුරු එම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නැත. මීට අමතරව ඩෙංගු රෝගය ජනජීවිතයට කොතරම් බලපෑම් කළද අප රටේ ජනතාවගෙන් බහුතරයක් දෙනා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇතිවීම වැළැක්වීමටත් කටයුතු නොකරයි. ලෝකයේ නිපදවනු ලැබූ අවි ආයුධවලින් ක්‍රියාත්මක වූ තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට අපට හැකි වුවත්, දින 14ක් 15ක් ජීවත්වන මදුරුවෙකු විසින් සිදුකරන විනාශය නවතා ගැනීමට අදටත් නොහැකි වී ඇත.
ඩෙංගු උවදුර ඉහළ යනවිට ජනතාව පවතින ආණ්ඩුවට, සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කළද, ආණ්ඩුවත්, බලධාරීනුත් ඩෙංගු ඉහළ යනවිට සිදුකරනු ලබන්නේ ඩෙංගු මදුරුවා බෝවිය හැකි ස්ථාන පවත්වාගෙන ගිය බව සඳහන් කරමින් ජනතාවට දඩගැසීමය. මේ නිසා ඩෙංගු උවදුර මේ රටින් කවදා තුරන් කිරීමට හැකියාව ලැබේදැයි කිසිවෙකුටත් කිව නොහැක. ඩෙංගු රටින් තුරන් කිරීම ආණ්ඩුවට හෝ සෞඛ්‍ය බලධාරීන්ට පමණක් සිදුකළ හැකි ක්‍රියාවක් නොවේ. මේ නිසා ආණ්ඩුව, සෞඛ්‍ය බලධාරීන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පොදුවේ සාමාන්‍ය ජනතාව එක්ව සාමූහික ක්‍රියාවක් ලෙස ඩෙංගු රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
එසේ නොමැති වුවහොත් මේ වසරට වඩා ලබන වසරේදී ඩෙංගු රෝගයට ගොදුරු වන ප්‍රමාණය හා මරණයට පත්වන ප්‍රමාණය ඉහළ යා හැකිය. අපේ රටේ ජනතාවගෙන් බොහෝ පිරිසකට තමන්ට හෝ පවුලේ හිතවතුන්ට අනතුරක් සිදුවන තෙක් කොතරම් භයානක අනතුරක් හෝ වළක්වා ගැනීමට කටයුතු කරන්නේ නැත. නමුත් ඩෙංගු උවදුර රටේ ප්‍රශ්නයක් නොව තමන්ගේ ප්‍රශ්නයක් බවට පත්කර ගැනීමට සියලුමදෙනා එකට අත්වැල් බැඳගත යුතුය. මෙවැනි සමගියක් නොතිබීම නිසා මේ වසරේ ජනවාරි පළමුවන දින සිට මේ මස 28 වන දින දක්වා කාලය තුළදී රට තුළින් ඩෙංගු රෝගීන් හැත්තෑ අටදහස් දෙසිය හැටක් වාර්තා වී තිබේ.
මේ මාසයේ ගෙවී ගිය සති හතරක කාලය තුළදී ඩෙංගු රෝගීන් දාහතර දහස් හත්සිය පනස් දෙකක් වාර්තා වී ඇත. එය මේ වසරේදී මාසයක කාලයක් ලෙස සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වූ මාසය බවට පත්ව තිබේ. පසුගිය වසර තුළදී ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ පනස් එක්දහස් හයසිය පනස් නවයක් පමණි. මේ අනුව පසුගිය වසරේ මාස 12ක කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ වසරේ මාස 11ක කාලය තුළදී වාර්තා වී තිබේ. මේ වසරේ අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ අප්‍රේල් මාසයේදී වන අතර, එම මාසයේදී ඩෙංගු රෝගීන් දෙදහස් නවසිය හැත්තෑවක් වාර්තා වී ඇත. මේ වසරේ ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5580ක්, පෙබරවාරි මාසයේදී රෝගීන් 3736ක්, මාර්තු මාසයේදී රෝගීන් 3832ක්, මැයි මාසයේදී රෝගීන් 4260ක්, ජූනි මාසයේදී රෝගීන් 6019ක්, ජූලි මාසයේදී රෝගීන් 8897ක්, අගෝස්තු මාසයේදී රෝගීන් 9532ක්, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 7298ක්, ඔක්තෝම්බර් මාසයේදී රෝගීන් 11,383ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමේදී කොළඹ දිස්ත්‍රික්කය තුළින් ගෙවී ගිය කාලය තුළදී රෝගීන් 16,599ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 12,412ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 7091ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 6845ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 1366ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 326ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 6133ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 1794ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 3611ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 4567ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 220ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 129ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 343ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 178ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 1671ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 1087ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1400ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2383ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 417ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 1591ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 417ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 1366ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 333ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3422ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 2213ක් ලෙසින් රෝගීන් වාර්තා වී තිබේ.
පළාත්පාලන ආයතන බලප්‍ර‘දේශ සැලකීමේදී වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවෙන් වන අතර, එම බලප්‍ර‘දේශය තුළින් රෝගීන් මේ වන විට 3072ක් වාර්තා වී ඇත. මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 46.1෴ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාත තුළිනි. වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින කාලවලදී ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළගොස් තිබෙන අතර, මේ නිසා ඊසාන දිග මෝසම් කාලය සක්‍රීය වී තිබෙන වර්තමාන කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනු ලබයි. වෛරසයක් මගින් බෝවන රෝගයක් ලෙස සැලකෙන ඩෙංගු රෝගය ඊඩිස් වර්ගයේ මදුරුවන් විසින් මිනිසුන් වෙත ගෙන යන බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ. ප්‍රතිශක්තීකරණය දුර්වල පුද්ගලයන් ඉතා පහසුවෙන් මෙම රෝගයට ගොදුරු වේ. රෝගී වන ප්‍රමාණය ගණනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවත්, මිය යන ප්‍රමාණය ගණනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැත. මේ නිසා ඩෙංගු රෝගයෙන් වසරකට කොතරම් පිරිසක් මිය යනවාද යන්න සෞඛ්‍ය අංශ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන්නේද නැත.
කෙසේ නමුත් මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී ඩෙංගු රෝගය නිසා 50කට ආසන්න පිරිසක් මරණයට පත්ව තිබෙන බව වාර්තා වේ. ඩෙංගු මදුරුවා ඇතුළු සියලුම මදුරුවන් ස්වාභාවිකව පාලනය වීමක් සිදුවන බවට සොයාගෙන තිබෙන අතර, එම ක්‍රියාවලිය හරහා සමනළුන්, බත්කූරන් වැනි සතුන් මදුරු කීටයන් ආහාරයට ගන්නා බවටත් සොයාගෙන තිබේ. එහෙත් මේ වන විට මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා සහ වගාවන් වලට අධික ලෙස වසවිස යෙදීම නිසා බත්කූරන් හා සමනල ගහනය විශාල ලෙස වඳ වී ගොස් තිබේ. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක තුළ බත්කූරන් හා සමනලයන් විශාල ලෙස ජීවත් වන්නේ නැත. මේ නිසා එම දිස්ත්‍රික්ක තුළ විශාල වශයෙන් මදුරුවන්ට ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන අතර, මීට අමතරව අවධිමත් ලෙස කැළි කසළ බැහැර කිරීමත්, බොහෝ ස්ථානවල ජලය රැඳී තිබීමත් යන කාරණා නිසා මෙම දිස්ත්‍රික්ක තුළ මදුරුවන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේ.
කෙසේවෙතත් මේ වන විට රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමේදී යම් ගැටලු ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. එනම් ඩෙංගු රෝගීන් විශාල ලෙස රෝහල් වෙත පැමිණීම නිසා රෝහල් ඇඳන් යට හා රෝහල් කාමර කොරිඩෝවල පවා රැඳී සිටිමින් ප්‍රතිකාර ගැනීමට සමහර අවස්ථාවල රෝගීන්ට සිදුවනු ඇත. ඩෙංගු රෝගය වැළඳුන රෝගීන්ට ඖෂධ ප්‍රතිකාරය සේම ඇඳ විවේකයත් අත්‍යවශ්‍යය. එහෙත් ඩෙංගු රෝගීන් වෙනුවෙන් වෙනම රෝහල් හෝ වාට්ටු නොමැති නිසා සාමාන්‍ය රෝගීන් සමග ප්‍රතිකාර ලබාගැනීමට ඩෙංගු රෝගීන්ට සිදුව තිබේ. මේ නිසා ඩෙංගු රෝගීන්ට දෂ්ඨ කරන මදුරුවෙකු සාමාන්‍ය රෝගියෙකුට දෂ්ඨ කළහොත් සාමාන්‍ය රෝගියාටත් ඩෙංගු වැලඳීමේ අවදානමක් තිබේ. මේ නිසා ඩෙංගු රෝගය යනු තමන්ගේ නිවසේදී හෝ වත්ත හතර මායිම තුළදී පමණක් ආරක්ෂා විය හැකි රෝගයක්ද නොවේ. ජනතාව පොදුවේ මේ තත්ත්වය තේරුම් ගතයුතු අතර, තම නිවස වත්ත පිරිසුදු කළ පමණින් ඩෙංගු රටින් තුරන් කළ නොහැකිය. ගෙවී ගිය කාලය සැලකීමේදී රාජ්‍ය ආයතන තුළ, රටේ ප්‍රධාන රෝහල් අවට, පොදු ස්ථානවල, පළාත්පාලන ආයතනවලට අයත් වන කානු පද්ධති තුළ පවා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා ගෙන තිබේ. මේ සියලුම ස්ථාන සුද්ධ පවිත්‍ර කර සුරක්ෂිත ස්ථාන බවට පත්කළ යුතුය.
මෙම කටයුතු කිසිවෙකුටත් තනි තනිවම කළ නොහැකිය. ඩෙංගු රෝගය රටින් තුරන් කිරීම මූලික කරගනිමින් රට තුළ වෙනම ආයතනයක් පිහිටුවිය යුතු කාලය එළඹ ඇත. රටින් මැලේරියා උවදුර තුරන් කිරීමේදී මැලේරියා මර්දන ඒකකයක් පිහිටුවා තිබූ අතර, ඒ හරහා මැලේරියා මදුරුවා ගැන අඛණ්ඩ සොයාගැනීම් හා නිවාසවලට, පොදු ස්ථානවලට රසායනික ද්‍රව්‍ය ඉසීමද නිරතුරුවම සිදුවිය. අද වන විට මැලේරියා උවදුර පිළිබඳ බියක් රට තුළ නැත. එච්.අයි.වී රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය ඇතිකර තිබේ. ඒ හරහා මවගෙන් දරුවන්ට එච්.අයි.වී ආසාදනය වීම වළක්වාගෙන ඇති අතර, එච්.අයි.වී තුරන් කිරීම සඳහා ඉලක්කසහගත වැඩපිළිවෙළක්ද සමස්ත ලංකාවම ආවරණය වන ආකාරයට සිදුකරමින් ඇත. ඩෙංගු මර්දනය ව්‍යාපාරයක් හා වසංගත රෝග විද්‍යා අංශයක් රට තුළ ස්ථාපිත කර තිබුණද, අදටත් ඩෙංගු උවදුර පාලනය කරගැනීමට නොහැකි වී ඇත. මේ නිසා හමුදාව, පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් මූලික කර ගනිමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කරගෙන පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධකර ගනිමින් අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු කාලය එළඹ තිබේ.
එසේ නොමැතිව ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යන විට හා ඩෙංගු රෝගීන් වැඩියෙන්ම වාර්තා වන ප්‍ර‘දේශ ඉලක්ක කරගනිමින් දින දෙක තුනේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙරටින් ඩෙංගු තුරන් කළ නොහැකිය.