ජෛව විවිධත්වයෙන් සපිරි සුන්දර හෝටන් තැන්න


ශ්‍රී ලංකාවේ ඉහළම බිම්කඩක විවිධ වූ දේශගුණික තත්ත්වයන් සමග රැඳෙන්නට ඔබත් කැමති නම් ඒ සඳහා ඔබ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය සිට කිලෝමීටර් 32ක් දුරින් පිහිටි  හෝර්ටන්තැන්න හෙවත් ලෝකාන්තය වෙත යා යුතුය. මෙය ජාතික වනෝද්‍යානයක් වන අතර, තවත් සුවිශේෂී කරුණු ගණනාවක් අනුව ජෛව විවිධත්ව ලක්ෂණයන්ගෙන් අනූන බිම් යායකි. ලෝකාන්තයට ඔබට පිවිසිය හැකි ප්‍රධාන මාර්ග තුනකි. එකක් නුවරඑළිය සිට අඹේවෙල හරහා මාර්ගයයි. අනෙක තලවකැලේ පසුකර ලිඳුල හන්දියෙන් ආගරපතන සිට ඇති මාර්ගයයි. අනෙක ඔහිය ඉදල්ගස්හින්න හරහා ඇති මාර්ගයයි. මෙයට අමතරව බලන්ගොඩ නන්පේරියල් වතුයාය සිට තවත් මගක් තිබේ. එය මේ වන විට වැඩිදියුණු කිරීමට සබරගමු පළාත් සභාව කටයුතු කරමින් සිටී.


මෙම බිම 2010 අගෝස්තු 02 දින ලෝක උරුමයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලදී. එයටත් පෙර 1969 ජනවාරි 15 දින මෙය ස්වාභාවික රක්ෂිතයක් ලෙසත්, 1988 මාර්තු 16 වැනි දින වනෝද්‍යානයක් ලෙසත් නම් කර තිබේ. 
මෙය මුහුදු මටට්මේ සිට අඩි 6,900-7,500 අතර හෙක්ටෙයර් 3,160ක විහිද ගිය ස්වභාවධර්මයාගේ  අපූර්වතම නිර්මාණයක් වන අතර, මෙහි වාර්ෂික වර්ෂාපතනය මි.මී.2,000ක් වේ. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 12-13 දක්වා පමණ වූ කාලගුණික තත්ත්වයක් ඇති අතර, ඔබ මවිතයට පත් කරමින් විටෙක එය  සෙ.ග්‍රේ. අංශක 5 දක්වා පහළ යන අවස්ථාද තිබේ. 

ලෝකාන්තයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. හතහමාරකට ආසන්න දුරක් මෙහි ඇතුළත එක් පසෙකින් ඇතුළත්ව අනෙක් පස මාර්ගයෙන් පිටවන අවස්ථාව දක්වා පයින් ඇවිද යෑමට ඔබට සිදුවන අතර, එනිසා ලෝකාන්තයට ඇතුළුවන අවස්ථාවේදී පොලිතින්, ප්ලාස්ටික් අැසුරුම් එය ඇතුළට ගෙන යෑ නොහැකි තරමට ආරක්ෂක අංශ දැඩි සෝදිසියට ලක් කරයි. එසේම විඩීයෝ කැමරා, ගුවන්විදුලි යන්ත්‍ර, කැමරා ආදියද එය තුළට ගෙන යෑම තහනම්ය. සංචාරකයන්ගේ ශබ්ද, යම් ආලෝක කිරණ ආදිය වනසතුන්ට ඇතිකරන හානිය හේතුවෙන් එය සිදුකෙර්.

අදාළ ගමන සම්පූර්ණයෙන්ම පාගමනේ යෙදෙන ඔබට බෑවුම් සෝදා යෑම් සහිත තැන්ද තැනෙක හමුවෙනු ඇත. එනිසා රෝගී, මහලු, හෘද රෝගී හෝ අධිරුධිර පීඩනය ඇති අය සම්බන්ධයෙන් ඔබ ප්‍රවේශපත් කවුන්ටරය අසලදීම විමසිලිමත් විය යුතුය. වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය වියළි කාලගුණික තත්ත්වයක් පවතින නිසාම මෙම ස්ථානය නැරඹීමට එම කාලය තෝරා ගනී.
මෙම තැන්න ඇසුරෙන් නිර්මාණය වී ගලා බසින ජල ධාරාවන් කිහිපයකි. චන්ද්‍රිකා වැව, බෙලිහුල්ඔය, අග්‍රාඔය, උමා ඔය බගවන්තලා ඔය ඒවාය.

ක්‍රි.ව.1831-1837 කාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සර් රොබර්ට් විලියම් හෝර්ටන් සහ සබරගමුව රටේ රාළ සතුන් දඩයමේ පැමිණි අවස්ථාවක මේ ස්ථානය සොයාගෙන තිබේ. මෙම ස්ථානය 1836දී එසේ හඳුනා ගැනීමෙන් පසු එය හෝර්ටන්තැන්න ලෙස නම් කෙරිණි. එහෙත් එයට පෙර මහ එළියතැන්න යනුවෙන්ද  ලේඛනයන්හි මෙය දක්වා ඇතැයි පරිසරවේදීහු පවසති. දුරාතීතයේ මෙහි මිනිසුන් ජීවත්ව ඇතැයි පැවසෙන අතර, රාවණා චරිතයට අදාළ සිදුවීම් පිළිබඳවද ඒ අතර පැවසේ. 

ඈත අතීතයේ මෙම තැන්න පුරාවට විශාල අලි ගහනයක් වාර්තා වී ඇති අතර, බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මේජර් තෝමස් රොජර් විසින් එකල මෙහි සිටි අලි ඇතුන් 1400ක් දඩයම් කළ බව ඔහුගේ 1850 පමණ රචිත ග්‍රන්ථයක් උපුටා දක්වයි. කළ පවු පලදෙනවා යැයි කියන ලෝදහම අනුව තෝමස් රොජර් අකුණු සැර වැදී මිය ගොස් ඇති අතර,  ඔහුගේ සිරුර මිහිදන් කර ඇති නුවරඑළිය ගොල්ෆ් පිටියේ ස්මාරකයටද අකුණු සැර වැදී ඇති බවට ඇතැම්හු පවසති.

අදාළ වාර්තා  අනුව යටත් විජිත සමයේ සිට 1960 මාර්ගය ඉදිකරන තුරු අශ්වාරෝහකයන් මගින් ප්‍රවාහන පහසුව සපයාගෙන ඇති මෙම ප්‍රදේශය තුළ දුම්රිය සේවයට අවශ්‍ය සිල්පර කඳන් වෙනුවෙන් යුකැලිප්ටස් වගාව සිදුකර තිබේ. එය මෙහි පුවරුවක දක්වා තිබේ. 
ආක්‍රමණික ශාකමෙහි ආක්‍රමණික ශාක කිහිපයක් හඳුනාගෙන ඇතත්, බරපතළ හානි සිදුකරන විශේෂ දෙකක් කෙරෙහි ඔබ දැනුම්වත් කළ හැක. තැන්න පුරා පැතිර යමින් තිබෙන කහපැහැති මල් හටගන්නා කටු සහිත උස යුරෝපීය කටු පඳුරු (ulex euvopaeus) මෙහිදී ඔබ නෙත ගැටෙනු ඇත. එය එක් ආක්‍රමණික ශාකයකි. අනෙක දීප්තිමත් කොළ ඇති පර්ණාංග ශාකයක් වන (pteridium aqulinium) යනුවෙන් හැඳින්වෙන ශාකයයි. මේ වර්ග දෙකම ලංකාවට ආවේණික ශාක නොවේ.

ලෝකාන්තය ජෛව විද්‍යාත්මක සහ ශාක පරිසර සත්ත්ව ආදී වශයෙන් විවිධ අංශ යටතේ නිරීක්ෂණය කළ යුතු පරිසර පද්ධතියකි. අප යම් හැදෑරීමක් කළයුත්තේ ඒ සාධක තුළ රැඳෙමිනි. ලෝකාන්තය වලාකුළු වනාන්තර ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමට මෙන්ම එය ඇඟ කිලිපොලා යන සීතල විඳ ගැනීමටද  සුදුසු ස්ථානයක් ලෙස ඔබට සිතිය හැක.

ක්‍රියාකාරී වැහි වලාකුළු

 නිරතුරු පවතින සහ ක්ෂණිකව වෙනස්වන මීදුම නිසා තැන්නේ පහත් ප්‍රදේශවල ඇතිවන වලාකුළු පැහැදිලි දිනයක පවා එම කාලගුණ වෙනසට අනුබල සපයයි.මීදුම මගින් පාසි සහ ලයිකනවලට අවශ්‍ය තෙත් හා ශීත ස්වභාවය ඇති කරන අතර, එසේම හෝර්ටන්තැන්න ලංකාවේ කඳුකර වනාන්තරවලින් ඉතිරිව ඇති විශාලතම ප්‍රවේශයකි. 

පහත් බිම්වල සිට ඉහළට නගින ජලවාෂ්ප රැගත් උණුසුම් වාතය ඝනීභවනය වී වලාකුළු බවට පත්වේ. ඉතා උස් වූ කඳුමුඳුන් ඇතිවිට මෙම වාලාකුළු කඳු ආවරණය කර ගැනීමෙන් බොහෝවිට සවස් කාලයේ වැසි හට ගනියි. එසේ වුවද ශාක සහිත පරිසරයකදී මෙම වලාකුළු ශාක සමග ගැටීමෙන් ජල බින්දු වෑස්සීම සිදුවේ. සමහර ප්‍රදේශවල මෙසේ ජල බින්දු වෑස්සීම හේතුවෙන් ලැබෙන ජල ප්‍රමාණය වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප්‍රමාණයද බොහෝ සේ ඉක්මවයි.

වලාකුළු නිර්මාණය වී ඒවා කඳුමුඳුන් මත එතීමේදී ශාක සමග ගැටෙයි. එවිට ඝනීභවනය සිදුවී ජලය බින්දු වශයෙන් ශාක දිගේ වෑස්සෙයි. එය ඔබට ලෝකාන්තයේදී දැනෙනු ඇත. මෙසේ ලැබෙන ජල සැපයුම හේතුවෙන් වෙනත් ශාක මත වැඩෙන පැලෑටිවල වර්ධනය සඳහා සුදුසු තත්ත්වයක් නිර්මාණය වේ. මෙම ශාක පිහිටීම හේතුවෙන් වලාකුළුවල  ඇති ජලය ලබාගෙන සංචිත කර එය පසට ලබාදී ජනාවාස පෝෂණය කරනු ලබන ගංගා නිර්මාණයට දායක වේ.


කුඩා ලෝකාන්තය

ලෝකාන්තය නැරඹීමට යන අතර, කුඩා ලෝකාන්තය තවත් එක් සුන්දර ස්ථානයකි. ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිශාව වෙත ඉතා ඈතට විහිදී යන දර්ශනයක් ජීවිතයේ ඔබ පළමුවරට අත්විඳින්නේ නම් ඒ කුඩා ලෝකාන්තය අභිමුව බව ඒ පිළිබඳ ඒ අසල ප්‍රදර්ශිත පුවරුව කියවන ඔබේ දෙනත නිසැකයෙන්ම ඈත එපිට කඳුවළල්ල වෙත යොමු වනු ඇත. මෙම කඳු ප්‍රපාතය උසින් මීටර 270කි. ලෝකාන්තය මෙය මෙන් තුන් ගුණයකි. මෙතැන් සිට කි.මී.0.5ක් දුරින් ලෝකාන්තය හමුවේ. කුඩා ලෝකාන්තයට ගියද, ලෝකාන්තයට ගියද මිහිදුම් පිරි මොහොතක එය නැරඹීම ඔබට අපහසුවනු ඇත. එහෙත් සුදුසු මොහොතක්වන තුරු එතැන ඉවසීමෙන් රැඳී සිටීම ඔබගේ වගකීමකි. මෙහිදී පය පැටළුනොත් ඔබ අවදානම් තත්ත්වයකට පත්විය හැකිය.


චිමිනි විල

ලෝකාන්තය දක්වා දිවෙන මග වරින්වර වෙනස්වන ශාක පද්ධතිය අතර ගලායන ජලපහර පරිසරය මත ඇඳි සිතුවමක් සිහිපත් කරයි. කි.මී. 02ක් පමණ දුර යනවිට හමුවන චිමිනිවිල(Chimini  Lake) එම  පරිසරයේ තවත් එවැනි මනරම් දසුනකි. 


බේකර්ස් ඇල්ල

තවත් කි.මීටරයක් පමණ දුර ගිය පසු වනරොද මැදින් ඉහළට පැමිණෙන සංචාරකයන් දකින ඔබ පසෙකින් ඇසෙන හෝ හඬ සමග ඔබේ ගමන් මග වෙනතකට යොමු කරනු ඇත. බේකර්ස් ඇල්ලට යනුවෙන් දැක්වෙන කුඩා ඊතලය ඔබේ ගමන් මග වෙනස් කිරීමට සමත්විය හැක.

තුරු සෙවණ වසාගත් වනපෙත මැදින් මීටර් තිහ හතළිහක් පහළට ඇදී යන ඔබට බිනර, බෝවිටියා, මහරත්මල් යාය  අපූර්වතම සුන්දරත්වයක් ගෙනේ. මෙහිදී සිසිල මුසු සුන්දරත්වය දනවන  බේකර්ස් ඇල්ල දැකීමෙන් ඔබගේ සියලු විඩාවන් අමතක වේ.  ඉංග්‍රීසි ජාතික සැමුවෙල් බේකර්ස් විසින් සතුන් දඩයමේ යෙදෙන අතර තුරේදී මෙම ස්ථානය සොයා ගෙන තිබේ. 

මෙම ස්ථානය නැරඹීම සඳහා  ඉදිකර ඇති නැරඹුම් ස්ථානය මත රැඳෙන ඔබට තුරු සෙවණක අඳුරත්, ආලෝකයත්, මිහිදුමත්, සිසිලසත්, මහා ජලකඳක ඝෝෂාවත් මුසු වූ අපූර්ව සුන්දරත්වයක් ලැබේ. මෙහි පහළට නොබසින්න යැයි අවවාදාත්මක පුවරු ඇතත් එවා නොසලකා පහළ කොටසේ දිය සෙවල බැඳි  ගල්පර මත දිව යන ඇතැම් හිතුවක්කාර යෞවනයන් මෙන්ම කලබලකාරයන්ගේ හැසිරීම ඔබගේ නොරිස්සුමට මෙහිදී හේතුවිය හැකිය. 

බේකර්ස් ඇල්ල පසුකර කෙටි දුරක් ගිය තැන ඒ ආසන්නයේ වැසිකිළි කැසිකිළි පහසුකම් සහ ජල කරාම ඇතත් මග දිගට එවැන්නක් හමු නොවේ. මෙහි පැමිණීමේදී පානීය ජලය රැගෙන පැමිණිය යුත්තේ එහෙයිනි.


දේශීය ශාක වර්ග

හොර්ටන් තැන්නේ ලංකාවට ආවේණික දේශීය ශාක වර්ගයන් බහුලය. එහි එක් විශේෂත්වයක් වන්නේද මෙය  නිතර දක්නට නොලැබෙන ශාක කිහිපයක වාසස්ථානය වීම හේතුවෙනි.එහිදී වඩාත් අවධානය සහ සිත්ගත් අලංකාර පුෂ්පයක් සහිත මහරත්මල සුවිශේෂී තැනක් ගනී. වසරේ අප්‍රියෙල් - ජූලි කාලයේ මලින් බරවන මෙම ශාකයන්හි තද පැහැති පුෂ්පය  පක්ෂින් මගින් පරාගනය සිදු කරයි. මධ්‍යම පළාතේ පුෂ්පයද මහරත්මලයි. 

කුරුඋණ ශාකයද මෙහි පවතින අලංකාරයට තවත් අපූර්ත්වයක් දෙන පැලෑටියකි. ඔය දෙපස වගුරු බිම්වල මේ පඳුරු දැකගත හැකි අතර, ගෝනුන්ට  මෙම දලු රසවත් ආහාරයකි.මෙහි ජම්බු ගස්වල හටගන්නා ගෙඩි සහ කොළ නිසා පෙබරවාරි -මාර්තු මාසවලදී වනාන්තර රතු සහ කහපාටින් දිස් වන බව සංචාරකයන්ට තොරතුරු සපයන පුවරු මගින් පැවසේ. ජම්බු කඳුකර වනාන්තරවල නොනැසී පවතින ශාක විශේෂයක් බවද එහි දැක්වේ. එහෙත් මෙහිදී ගහකොළ පැලෑටිවල ගෙඩි කැඩීමට ගලවා ගැනීමට අපට අයිතියක් නැත. එය දඬුවම් ලැබිය යුතු වරදකි.

ගොටුකොළ, ගවරමාන, මහතුත්තිරි, මහදසුන, කුඩා දසුන, වල්ස්ට්‍රෝබෙරි, සුදුබිනර, නිල් බිනර, බෝවිටියා වැනි පැළැටි වර්ග මෙහි බහුලය. ඇතැම් ඒවායේ සුන්දර මල් තැනින් තැන දිස්වන්නේ පරිසරය තුළ රැඳ වූ මල් බඳුනක අසිරිය සිහිපත් කරවීමට මෙනි.
ශ්‍රී ලංකාවට ආ‍වේණික පක්ෂීන්වන සිතැඟියාද හෝර්ටන්තැන්න වාසස්ථානය කරගත් සතෙකි. අරංගයා, කැහැබෙල්ලා, මයිලගොයා, වලිකුකුලා වැනි පක්ෂි විශේෂ 11ක් මෙම සුන්දර වන පියස අලංකාර කරයි.

කුරුබෝදිලියා, කහමුව අංකටුස්සා වැනි උරගයන්ද මෙම වනය තුළ අතුපතර වාසය කරන අතර, ඔවුන් කලබල වන පරිදි, ඔවුන්ගේ නිදහසට අවහිර පරිදි මෙහිදී ඔබ නොහැසිරිය යුතුය.

සංචාරකයන්ට මග පෙන්වීමක්

ආපනශාලා හෝ යම් අතුරු ආහාරයක් ලබාගත හැකි කිසිම තැනක් මේ තුළ නැත. එනිසා එවැනි ආහාරපාන සහ ඇස්ප්‍රින් පෙත්තක් වැනි දේ රැගෙන යෑම නරඹන්නන්ගේ වගකීමකි. එසේම නිතර වෙනස්වන ස්වාභාවික දේශගුණය හමුවේ තොප්පි කුඩ උණුසුම් ඇඳුම් ඇදියද රැගෙන යාම වැදගත් වනු ඇත.

ජංගම දුරකථන ක්‍රියාත්මක වීම සඳහා දුරකථන සංඥා මෙහි නොමැති අතර, එනිසා යම් හෙයකින් යමෙකු කණ්ඩායමෙන් ගිලිහී ගියහොත් හමුවිය හැකි තැන් පළමුව තීරණය කළ යුතුය. සවස 4.00න් පසු මෙහි ඇතුළුවීම තහනම්ය. ඒ කාලය තුළදී මෙයින් පිටතට පැමිණීමට කාල කළමනාකරණය කර ගැනීමද වැදගත් වනු ඇත.

වනය තුළ අනවශ්‍ය ඝෝෂාවන්ට සහ තැනතැන විසර පැතිර දිව යෑමට ඇති අවස්ථාව අවම කිරීම කණ්ඩායමේ සාමාජිකයන්ගේ වගකීමකි. කඩදාසි කැබැල්ලක් තරම්වත් යමක් වනය තුළ දමා නොඒමට කාරුණික වීම පරිසරයට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ වගකීමක් බව අප සඳහන් කරමු. 

 සටහන සහ සේයාරූ -ලාල් ජයසුන්දර 



Recommended Articles