ජෛව කොල්ලය සහ ශ්‍රී ලංකාවේ ජෛව සම්පත්


ස්වභාවික සම්පත් කොල්ල කෑම තෙවැනි ලොව සංවර්ධනය වන රටවලට අලුත් අත්දැකීමක් නොවේ. තෙවැනි ලෝකය නැතහොත් සංවර්ධනය හෝ ඌන සංවර්ධිත යැයි නම් කරන ලද රටවල් බොහොමයක අතීතය සලකා බැලුවහොත් පෙනී යන පොදු සාධකය නම් මෙම රටවල් යටත් විජිත වශයෙන් පැවැති රටවල් වීමයි. 

යටත් විජිතවාදයේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස මෙම රටවල ස්වභාවික සම්පත් බොහෝමයක් යටත්විජිත හිමි රටවල අභිවෘද්ධිය සඳහා යෙදී තිබෙන අතරම එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට එම රටවලට දේශපාලන නිදහස නාමිකව ලැබී තිබුණද අතීත සම්පත් සූරා කෑමෙන් ලද පරිපීඩනයෙන් මිදී ගත නොහැකිව එම රටවල් පසුවේ.

ශ්‍රී ලංකාවේද අතීත අත්දැකීම මේ ආකාරයමය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් උපයෝජනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන බලපෑම විවිධ ස්වරූපයන්ගෙන් වර්තමානයේදීද හඳුනාගත හැකි අතර, මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සුලබ සහ වඩාත් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබෙන %ජෛව කොල්ලය^ (Bio-piracy) ඇතැම් විචාරකයන් හඳුන්වන්නේ යටත් විජිත වාදයේම නව යටත්විජිතවාදී ස්වරූපයක් ලෙසටය. 
ඉන්දියානු පරිසර ක්‍රියාකාරිනියක වන ආචාර්ය වන්දනා ශිවාට අනුව ජෛව කොල්ලය යටත්විජිතවාදයේම දිගුවක් වන අතර, ගෝලීයකරණ ක්‍රියාවලිය හරහා එය ඍජු යටත් විජිතවාදයටත් වඩා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරය වඩා තාර්කික ලෙස පෙන්වා දේ.

ජෛව කොල්ලය යනු ?

යම් රටක ජෛව විවිධත්වය සහ ජෛව සම්පත් එම සම්පත්වල අනාගත උපයෝජනයන්ට බාධා කරමින් සහ එම සම්පත් භාවිත කළ ප්‍රජාවන්ට හෝ රටකට ප්‍රමාණවත් හානිපූර්ණයක් නොකරමින්, විශේෂයෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගනිමින් වාණිජමය අරමුණු වෙනුවෙන් සූරාකෑම ජෛව කොල්ලය ලෙස සරලව හැඳින්විය හැකිය. බොහෝ විට මෙම ක්‍රියාවලියේදී එම ජෛව සම්පත් සමග බැඳී තිබෙන දේශීය දැනුමද කොල්ල කෑමට ලක්වේ. මෙය නීතිවිරෝධී සහ ආචාර ධර්මීය වශයෙන් වැරදි ක්‍රියාවකි. 

1993 දී පමණ bio –piracyයන යෙදුම් මෙවැනි සංසිද්ධි හැඳින්වීම සඳහා භාවිතයට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව පමණක් නොව බොහෝ සංවර්ධනය වන ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් මෙම තර්ජනයට ගොදුරු වී තිබේ.

මෙම ක්‍රියාවලි‍ෙය් පසුබිම ලිකවම මෙහි අදියර තුනක් හඳුනා ගත හැකි අතර, ජෛව සම්පත් එකතු කිරීම නැතහොත් සොරා ගැනීම, සැකසීම හා අයිතිය ලබා ලබාගැනීම සහ වාණිජමය අරමුණු වෙනුවෙන් යෙදවීම, එහි මුල් භාවිත ප්‍රජාවන්ට බාධා ඇතිකිරීම යන්න එම අදියර තුනයි. මෑතකදී සිංහරාජයෙන් වාර්තා වූ සිද්ධිය සැලකිය හැක්කේ මෙම ක්‍රියාවලියේ පළමුවන පියවර ලෙසටයි. මෙය සිංහරාජයෙන් වාර්තා වූ පළමු වන සිද්ධියද නොවේ. 

මෙසේ රැස් කෙරෙන ජෛව සම්පත් සංවර්ධිත හර කලාපීය රටවල ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික අංශවල සංවර්ධනය, විසිතුරු ශාක හා සුරතල් සතුන් ලෙස සහ පෞද්ගලික එකතූන් හෝ වෙනත් ජෛව විද්‍යාත්මක වැඩිදියුණු කිරීම් සඳහා යොදා ගැනේ.

ගෝලීයකරණය තුළ මෙම ක්‍රියාවලියට බොහෝ විට මැදිහත් වී තිබෙන්නේ බහු ජාතික සමාගම්ය. ඊට අමතරව ශාක හා සත්ත්ව නිදර්ශන එකතු කරන්නන්, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතනත් මෙයට බද්ධ වී තිබේ. ජෛව සම්පත් කොල්ලය ලොව මුදල් සංසරණය වන ප්‍රධාන ක්‍ෂේත්‍රයකි. ඒ නිසා පර්යන්ත කලාපීය අප වැනි රටවල ජෛව සම්පත් එම මුදල් භාවිත කරමින් කොල්ලකෑමට ඔවුන් කටයුතු කරයි. 

දේශීය වශයෙන් ගතහොත් විශ්වවිද්‍යාල, ඒවායේ ආචාර්යවරුන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, සංචාරක ප්‍රවර්ධන ආයතන, නීතිවේදීන් දේශීය තැරැව්කරුවන් ආදී පුළුල්ව විහිදී ගිය ජාලයක් මෙම ජාවාරම් පිටුපස සිටි. ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු මෙම ක්‍රියාවලිය වඩා සක්‍රීය වී ඇති බව හඳුනාගෙන තිබේ. මෙහි මුහුණුවර සමහර අවස්ථාවලදී ඉතා සුමට සහ විදග්ධ ස්වරූපයක් ගනු ලැබූවත් ඇතුළත සිදුවන්නේ ජාවාරමක් බව තේරුම් ගැනීම අතිශය වැදගත් කාරණාවකි.

ශ්‍රී ලංකාව ඉලක්ක වීම

නිවර්තන කලාපීය කුඩා දූපතක් වශයෙන් ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. එසේම ජෛව භූගෝල විද්‍යාත්මකව ශ්‍රී ලංකාවේ දක්නට ඇති විශේෂවල විවිධත්වය සහ ආවේණිකතාව සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගනී. මෙම කොල්ලකරුවන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වීමට මෙය ප්‍රධානතම හේතුවකි. ඊට අමතරව මේ සම්බන්ධව වගකිවයුතු නිලධාරීන්ට, බලධාරීන්ට සහ මහජනතාවට අවබෝධයක් නොමැති වීම යන කරුණුද, මුදල් යෙදවීම මගින් නීති උල්ලංඝනය කර ක්‍රියා කිරීමට තිබෙන හැකියාව වැනි සාධකද ඔවුන් ආකර්ෂණය වීමට හේතු විය හැකිය.

නෛතික සහ ආයතනික පසුබිම

වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂිත ආඥා පනත සහ වන සංරක්ෂණ ආඥා පනත අනුව ඉන් බලය පැවරූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි ක්‍රියාවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාව තිබේ. ඊට අමතරව තවත් පනත් කිහිපයකම ඒ ඒ ක්‍ෂේත්‍රවල දී සිදුවන මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට බලය ලබාදී තිබේ. නමුත් ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කිරීමේදී මුහුණදෙන ගැටලු බොහොමයක් තිබෙන බව කිව යුතුය.

1998.09.28 වැනි දින ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය^ ස්ථාපිත කිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. එය ආරම්භ කරන්නේ හිටපු රේගු අධ්‍යක්ෂවරයෙකු වන සමන්ත ගුණසේකර මහතාගේ මූලිකත්වයෙනි. එවැනි ඒකකයක් රේගුව තුළ ඇති කරන්නේ ලොව පළමුවැනි වතාවටය. මෙම හරිත රේගු සංකල්පය ඇති කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වුණත් පසුගිය කාලයේ දැඩි දේශපාලන බලපෑම් ඇතිකර මෙම ඒකකයේ ‍ක්‍රියාකාරීත්වය අඩපණ කර තැබීමට දේශපාලනඥයන් කටයුතු කළ බව ප්‍රකට කාරණයකි.

මීට අමතරව ගෝලීය වශයෙන් මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට විවිධ සංවිධාන සහ සම්මුතිවලට ශ්‍රී ලංකාව එකඟ වී තිබේ. සයිටීස් (CITES) එනම් වඳවී යෑමේ තර්ජනයට ලක්වී ඇති වනසතුන් සහ පැළෑටිවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය මෙයට නිදසුනකි. ඔවුන් ලොව වෙනත් සංරක්ෂණය සම්බන්ධ ආයතන සමගද සහයෝගයෙන් ක්‍රියා කරයි. ජෛව කොල්ලය ගෝලීය ජාලගත ජාවාරමක් බැවින් මෙවැනි ආයතන සමග දේශීය ආයතන සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

ජෛව කොල්ලයට එරෙහිව වැට බැඳීම

මේ වනවිටත් ශ්‍රී ලංකාව ජෛව කොල්ලයට ගොදුරු වූ රටකි. මෙයට නිදසුනක් ලෙස ඖෂධීය වටිනාකම් තිබෙන ශාක රාශියක් ඒවායේ සම්ප්‍රදායික දැනුමද සහිතව ශ්‍රී ලංකාවට අහිමි වී තිබීම පෙන්වා දිය හැකිය. ඒවාට වෙනත් රටවල්, සමාගම් පේටන්ට් බලපත්‍ර පවා ලබාගෙන තිබේ. මේවාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර සහ වියදම්කාරී වන නමුත් ඉන්දියාව වැනි රටවල් ඇතැම් පේටන්ට් බලපත්‍රවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ජයග්‍රහණ ලබාගෙන තිබේ. 

මෙහිදී මූලික වශයෙන්ම සිදුකළ යුත්තේ පවත්නා නීතිය ප්‍රායෝගික කිරීම සහ ඊට අවශ්‍ය භෞතික හා මානව සම්පත් එම ආයතනවලට ලබාදීමයි. මෙම ක්‍ෂේත්‍රවල සිටින බොහෝ නිලධාරීන් සහ සේවකයන් කටයුතු කරන්නේ අවම පහසුකම් යටතේ සහ දැඩි දේශපාලන සහ දූෂිත නිලධාරීන්ගේ බලපෑම්ද සමගය. ඔවුන්ගේ සේවය ඇගයීමට සහ සුරක්ෂිත කිරීමට එම ආයතන ක්‍රියාකළ යුතුයි. එසේම මේ ජාවාරම පිළිබඳව ඇතැම් නීතිවේදීන්ට, පොලීසියට සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්ට පුළුල් අවබෝධයක් තිබෙනා බවක් නොපෙනේ. ඔවුන් මෙවැනි ක්‍රියා අපරාධ හෝ ජාවාරම් ලෙස සලකා ක්‍රියා කිරීමට පසුබට වේ. එබැවින් ඔවුන් මේ පිළිබඳව දැනුවත් කළ යුතුය. පොදු මහජනතාව, පාසල් සිසුන්, ස්වේච්ඡා සංරක්ෂකයන් සහ සංවිධාන දැනුවත් කිරීමද මෙහිදී ප්‍රමුඛ අවශ්‍යතාවයකි. ජාවාරම්කරුවන්ට මහජනතාවගේ ඇස්වලින් සැඟවී ගොස් මෙවැනි ක්‍රියා කිරීමට හැකියාවක් නොමැත. එබැවින් ඔවුන් දැනුවත් නම් මෙවැනි ක්‍රියා පාලනය කිරීම පහසු වේ. 

මේ වසරේ සයිටීස් (SITES) සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කරගෙන යන අතර, ඊට සමගාමීව මෙවැනි විෂයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය හැකිය. විශේෂයෙන් මේවා ප්‍රාදේශීය වශයෙන් පැවැත්වීම වැදගත් වේ. මෙම වැඩසටහන්වල අපේක්ෂිත ප්‍රතිඵල අත්කරගත හැක්කේ එසේ කිරීමෙන් පමණි. 

මංජුල කරුණාරත්න
රුහුණු විශ්වවිද්‍යාලයේ 
භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය



Recommended Articles