නොසිතූ මොහොතක සිදුවන අනතුරක් හේතුවෙන් සිය ජීවිත කාලය පුරාවට ආබාධයකින් පෙළී ජීවත් වීම බොහෝදෙනා සිතනුයේ සෘණාත්මක ආකල්පයක් කියාය. නමුත් එලෙස ආබාධයන්ට ලක්ව, කිසිවෙකුට අතනොපා ජීවත් වීමට උත්සාහ දරන, ජීවත් වන පුද්ගලයන් ලෝකයේ එමටය.
ඇතැමෙක් උපතින් ආබාධයන්ට ලක්වූවන්ය. ඇතැමෙක් හදිසි අනතුරකින් ආබාධයන්ට ලක්වූවන්ය. නමුත් ඔවුන් මේ පොලව මත ජීවත් වීමට ඔවුන් දරන වෙහෙස ඇගයිය යුතුය. අද (03දා) ලෝක ආබාධිත පුද්ගලයන්ගේ දිනයයි.
මේ එවැනි ආබාධයන්ට ලක්ව ජීවිතය ජයගැනීමට ස්වයං රැකියා කරන පුද්ගලයන් කිහිපදෙනෙකුගේ කතාවයි.
දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත රංජිත් මහතා හිටපු හමුදා සෙබළෙකි. යුද බිමේදී පාදයක් අහිමි වුණු ඔහු මේ වනවිට තේක්ක මුල් භාවිත කරමින් ගෘහ භාණ්ඩ නිර්මාණකරණයේ යෙදේ.
“මම 1997දී වගේ තමයි යුද හමුදාවට එක් වුණේ. මුතූර් සමයේදී මට බට්ටෙක් පෑගුනා. ඒකේදී මගේ කකුල කැඩිලා වෙන්වෙලා ගියා. ඊට පස්සේ තමයි මම හමුදාවෙන් අයින් වෙන්නේ. ඒ 2008 වසරේදී. ඊට පස්සේ තමයි මම මේ විදියට ගෘහ භාණ්ඩ හදන්න පටන් ගත්තේ.
ත්‍රීවිල් එකක් අරගෙන පාර අයිනේ රස්තියාදු වෙනවට වඩා මේ වගේ දෙයක් කරලා කීයක් හරි හොයාගන්න එක හොඳයි කියලා හිතලා තමයි මම මේ වැඬේ පටන් ගත්තේ. දැනට අවුරුදු හයක් හතක් විතර මම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.
ඇඳන්, කණ්ණාඩි මේස, පුටු සැටි වගේ ගෘහ නිර්මාණ මම තේක්ක මුල්වලින් හදනවා. ඉනාමළුව රක්ෂිතයේ තේක්ක වගාව තියෙනවා. ඒ තේක්ක වගාවේ කාල සීමාව ඉවරවුණු ගස් කපලා කඳන් දැව සංස්ථාවට දාලා ඉතිරි මුල් ලබාගන්න මම පර්මිට් අරගෙන තියෙනවා. මම එක මුලකට රුපියල් 100ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවනවා.
තේක්ක මුලකින් ඇඳන් හදන්න මට දවස් පහක් විතර යනවා. බිරිඳයි ලොකු පුතයි තමයි මට මේ වැඩවලට උදව් කරන්නේ. තේක්ක කඳන් පටවාගෙන අරගෙන එන්න මගේ යාළුවෝ උදව් වෙනවා.
මම හදන බඩු අරගෙන පිට පළාත්වලට ගිහිල්ලා සති ගණන් නැවතිලා බඩු විකුණගෙන එන්නේ. එහෙම ගිහිල්ලා පේමන්ට් එකේ තමයි මම බඩු විකුණන්නේ. අපිට වෙළෙඳ පොළක් නැහැ. කකුලකුත් නැතුව දවස් ගාණන් පේමන්ට් එකේ නැවතිලා මේ බඩු විකුණන්නේ. වෙළෙඳ පොළක් තියෙනවා නම් මට බඩු හදලා දෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ස්වයං රැකියා කරන අයට රජයෙන් උදව් කරනවානේ. ඒත් මට මේ වෙනකල් රජයෙන් කිසිම දෙයක් ලැබුණෙත් නැහැ. මේ වෙනකල් මාව බලන්න ඇවිත් තියෙන්නේ අනුරාධපුරේ බ්‍රිගේඩියර් කෙනෙක් විතරයි. ඒ ඇරෙන්න කිසිම හමුදා නිලධාරියෙක් මාව බලන්න දුක සැප බලන්නවත් ඇවිත් නැහැ. මම තවමත් ජීවත් වෙන්නේ කුලියට. අවුරුදු 13ක් මම කුලියට ජීවත් වෙන්නේ. මේ පසුගිය අවුරුදු 13ටම මම ඉඩම් ඉල්ලලා හැම තැනටම ලියුම් ලිව්වා. හිටපු ජනාධිපතිතුමාව මම තුන් පාරක් ගිහිල්ලා හම්බෙලා කිව්වා ඉඩමක් ලබාදෙන්න කියලා. ඒත් මට හම්බුනේ නැහැ. ජනාධිපතිතුමා දෙන ලියුම අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනල්ලා දුන්නම ඉඩම් නැහැ කියනවා. ඊට පස්සේ ඔවුන් කියනවා හිස් ඉඩම් හොයාගෙන එන්න කියලා. මම ඉඩම් හොයනවා නම් මම මේ කරන ව්‍යාපාරයට ගැළපෙන තැනක් වෙන්න ඕනේ. ඉතින් මම පාර අයිනේ තිබුණ ඉඩම් හොයාගෙන ගියාට පස්සේ ඒවා මට දෙන්න බැහැ කියනවා. හැබැයි ඒවා ව්‍යාපාරවලට බදු මුදලට ලබාදීලා. මේ සියලුදේම වුණේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්න කාලේ. එතුමා ගියාට පස්සේ අලුතෙන් ආව ලේකම්තුමා මගේ ප්‍රශ්නේ අහලා මට ඉඩමක් බලන්න කිව්වා. ඊට පස්සේ මම දිගන්පතාන රණවිරු ගම්මානයේ ඉඩමක් බැලුවා. එතනින් මට දැන් ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමා ඉඩමක් ලබාදුන්නා. හැබැයි එතන විදුලිය, ජලය කිසිම පහසුකමක් නැහැ. අලිත් ඉන්නවා. මම වගේ ආබාධිත කෙනෙක්ට එතන ජීවත්වෙන්න අමාරුයි. ඒ නිසා මම දැනට මාස දෙකකට විතර කලින් බැංකු ණයක් අරගෙන දඹුල්ලේ ඉනාමළුවට ටිකක් ඇතුළතින් පොඩි ඉඩම් කෑල්ලක් අරගත්තා. නමුත් මට ඒකෙන් මගේ ගේ හදාගන්න සල්ලි නැහැ.
දැන් මම ගන්න මුල් වන සංරක්ෂණ නිලධාරීන් පුච්චනවා අලුත් වගාවන් හදන්න කියලා. හැබැයි ඒ මුල් පුච්චන්නේ නැතිව අලුත් වගාවන් හදන්න පුළුවන්. මේ විදිහට ගියොත් තව අවුරුදු තුන හතරක් යනකොට මේ ව්‍යාපාරය කරගෙන යන්න බැරිවෙන තත්ත්වයක් උදා වෙනවා.”
අජිත් ප්‍රියන්ත මහතා උපතින් මාස තුනකට පසු පෝලියෝ රෝගයට ගොදුරු වී තිබේ. නමුත් ඔහු වැඩිවියට පැමිණෙත්ම එම ආබාධය බාධාවක් කර නොගනිමින් වේවැල් කර්මාන්තයේ රැකියාවක් කරයි. ඉන් අනතුරුව එයින් ඉවත්ව තමන්ගේම ස්වයං රැකියාවක් ලෙස විසිතුරු භාණ්ඩ සෑදීමට ඔහු පටන් ගෙන තිබේ.
“මම උපතින් අංගසම්පූර්ණ දරුවෙක්. නමුත් ඉපදිලා මාස තුනක් යනවිට මම පෝලියෝ රෝගයට ගොදුරු වුණා. ඒ කාලේ පෝලියෝ එන්නත විදින්නේ උණුවතුරවලින් හෝදලානේ. මගේ එන්නතේ විෂබීජ තිබිලා තියෙනවා. මට පහ වසරට විතරයි පාසල් යන්න පුළුවන් වුණේ. මට අවුරුදු දොලහක් වෙනකල් මගේ අම්මයි තාත්තයි තමයි මාව උස්සගෙන ගිහිල්ලා මගේ වැඩ හැම එකක්ම කළේ. මගේ උකුල් ඇටය හැමතිස්සෙම පනිනවා. 1984දී මට ශල්‍යකර්මයක් කළා. ටික දවසක් ඇවිදින්න පුළුවන් වුණා. ආයෙත් වැටෙන්න ගත්තා. මගේ තාත්තයි අම්මයි තමයි මාව මේ තැනට ගෙනාවේ. මම විවාහවෙලා ඉන්නෙත් ආබාධිත කෙනෙක් සමගයි. ඇයට මේ දවස්වල වකුගඩු රෝගයක් වැලඳිලා තිබෙනවා. ඒවාටත් බෙහෙත් කරනවා. මගේ බාබාලා දෙන්නෙක් නැති වුණා. දැනට මමයි මගේ නෝනයි මගේ තාත්තයි ජීවත් වෙන්නේ. මගේ මල්ලිලාත් ටිකක් එහායින් පදිංචිවෙලා ඉන්නවා.
මම පොල්කටු, ලීවලින් විවිධ නිර්මාණ කරනවා. බිත්ති සැරසිලි, පහන් වර්ග, වගේ දේවල් තමයි මම හදන්නේ. මේ කෝවිඩ් කාලයේදී මම තවත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි පත්තර සහ කාඩ්බෝඩ් භාවිත කරලා පලතුරු, එළවළු දාන්න පුළුවන් බාස්කට් හදනවා. දැනට අවුරුදු අටක් විතර වෙනවා මම මේ විදිහට ලී වලින් නිර්මාණ කරන්න පටන් අරගෙන.
මම ජීවත් වෙන්නේ කොලොන්නාවේ ‘මල්පුර’ ග්‍රාමසේවා වසමේ. මම කොලොන්නාව ස්වශක්ති සංවිධානයේ සාමාජිකයෙක්. ස්වශක්ති සංවිධානය කියන්නේ අපි වගේ ආබාධිත අය එකතු වෙලා වැඩ කරන සංවිධානයක්. ආබාධිත අය, අඩු බුද්ධි මට්ටමේ ළමයි 150ක් පමණ අපේ සංවිධානයේ ඉන්නවා. එහේ බොහෝ දෙනෙක් මේ වගේ නිර්මාණ හදා විකුණනවා. අපේ අඩු බුද්ධි මට්ටමේ ඉන්න ළමයි බොහෝ දෙනෙක් අපි ගොඩදාලා තිබෙනවා. ස්වශක්ති සංවිධානයේ 2017දී කොළඹ දිස්නත්‍රික්කයේ ීඵ්ඍඔ නව නිපැයුම්කරුවන් අතුරින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට හැකිවුණා. ඒකට නිර්මාණය කළේ පහනක්. මේ පාරත් නව නිපැයුම් අංශයෙන් ඉදිරිපත් වෙලා පළමු ස්ථානය දිනා ගත්තා. මෙවර මම ඉදිරිපත් කළේ පත්තර කොළවලින් හදපු නිර්මාණයක්.
මම ගෙදර තමයි මේ වැඩ කරන්නේ. මගේ ළඟ මේවා හදන්න පොඩි පොඩි යන්ත්‍ර ටිකක් තියෙනවා. මම මුලින්ම හදන්න පටන් ගත්තේ බුදු මැදුරක්. ලංකාවේ හැම තැනටම මගේ ඒ බුදු මැදුරු අලෙවි කරලා තිබෙනවා. මම මේ හැම දෙයක්ම කරන්නේ තනියම. මේවා කරන්න පටන් ගන්න කලින් මම වේවැල් බඩු හදන තැනක රැකියාවක් කළා. අවුරුදු 12ක් විතර එහි සේවය කළා.
අපේ නිර්මාණ ස්වශක්ති සංවිධානය හරහා සිදුකෙරෙන වෙළෙඳ පොළවල්වල අලෙවි කරනවා. දිසාපති කාර්යාලයෙන් තමයි ඒවා මෙහෙයවන්නේ. සහකාර දිසාපතිතුමා අපිට ගොඩක් උදව් කරනවා. ඉදිරියටත් මම මේ නිර්මාණ අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ දේවල්වලට අමතරව මට වඩු වැඩත් පුළුවන්. මම වඩු වැඩ පාඨමාලාවක් කරලා තිබෙනවා. ඒක වසර තුනක පාඨමාලාවක්. දැනට අපි හදන දේවල් අලෙවි කරන්න කඩවල් නැහැ. අපේ ස්වශක්ති සංවිධානයේ පැවැත්වෙන සල්පිල්වලට අමතරව ගෙදරට ඇවිත් මිනිස්සු බඩු අරගෙන යනවා.”
ඇය වැල්ලම්පිටියේ පදිංචි ෆාතිමා නසීරායි. උපතින් නිරෝගී කාන්තාවක් වූ නසීරාට වයස අවුරුදු 28දී සෞදි අරාබියේදී සිදුවූ අනතුරකින් සුෂුම්නාව අබාධයකට ලක්ව එක්තැන් වීමට සිදුවෙයි. ඇය පවසන්නේ එම අනතුරින් පසුව තමන් දෙවැනි වරට නැගී සිටින්නට ධෛර්යය ලබාගත් බවයි.
“මම අනතුරින් පසුව එක්තැන් වුණා. ඊට පස්සේ මම පුනරුත්ථාපන රෝහලක ප්‍රතිකාර ලැබුවා. එහි ප්‍රතිකාර ලබන අතරේදී සුබපැතුම් පත් නිර්මාණය කරන්න ඉගෙන ගත්තා. මම එහිදී වෘත්තීය පුහුණුව ලැබුවා. අපේ වාට්ටුවේ හිටපු මිස් තමයි මේ විදිහට සුබ පැතුම්පත් හදන්න කියලා දුන්නේ. ඇත්තටම එහෙම ආබාධයකට ලක්වෙලා ඉන්නකොට මේ වගේ දෙයක් කරද්දී ඒකෙන් මානසික සුවයක් දැනෙනවා. දැන් මම මේක මගේ ව්‍යාපාරය කරගෙන ඉන්නේ. ආබාධයකට ලක්වුණා කියලා අපි නිකම්ම කාලය ගතකරන්න ඕනේ නැහැනේ. ගොඩක් ආබාධයන්ට ලක්වුණ අය හැම තිස්සෙම කියන්නේ අපිට මොකුත් කරගන්න බැහැ කියලානේ.
හැබැයි මම හිතන්නේ අපිට සිහි කල්පනාව තිබෙනවා නම් බැහැ කියලා දෙයක් නැහැ කියලා. අපිට ජීවිතේ අලුතින් පටන්ගන්න පුළුවන් ඕන වෙලාවක. අවශ්‍ය වෙන්නේ උත්සහය පමණයි. මම දැන් කිහිලිකරුවලින් ගේ ඇතුළ් ඇවිදිනවා. එළියට යද්දී නම් රෝද පුටුව භාවිත කරනවා.
මම මේ ව්‍යාපාරය දැන් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහාත් සිදුකරගෙන යනවා. ඒ වගේම අවට තිබෙන පොත්කඩවලටත් දානවා. ළඟදී කොල්ලුපිටියේ සාප්පුවකටත් මගේ සුබපැතුම් පත් ලබාදෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම පිටරට යවන්න ඇනවුමකුත් ලැබිලා තියෙනවා.
මමත් ස්වශක්ති සංවිධානයේ සාමාජිකාවක්. අපිට එතැනින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපිට ආබාධයක් තිබුණත් ඒක ගැන පසුතැවෙන්නේ නැතිව අලුතින් හිතලා අලුත් ගමනක් යන්න පටන් ගන්න ඕනේ. මම ඒක මම වගේම ආබාධවලට ලක්වෙලා ඉන්න හැමෝටමත් කියනවා.”