ජීවයේ පැවැත්ම සාගරය මතයි ආත්මාර්ථයෙන් මිදී සාගරය රැක ගනිමු


මුහුදට කැළි කසළ බැහැර කිරීම ඇතුළු මානව ක්‍රියාකාරම් හේතුවෙන් සිදු වන සාගර දූෂණය ගෝලීය ගැටලුවක්ව තිබියදී, ගතවූ සති කිහිපයක කාලයක සිට මේ දක්වා ශ්‍රී ලංකාවද එය අත්දකිනුයේ ඉන්දියාවේ කේරළයේ සිට ගසාගෙනවිත් පුත්තලම සිට මන්නාරම දක්වා වූ මුහුදු තීරයට ගොඩගසා ඇති අපද්‍රව්‍ය හේතුවෙනි. කෙසේ වුවද, මෙහිදී අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ ශ්‍රී ලංකාව විසින් බැහැර කෙරෙන අපද්‍රව්‍යද ‍මුහුද හරහා වෙනත් රටවල පරිසර පද්ධතිවලට බලපෑම් ඇතිකළ හැකි නොවේද යන්න පිළිබඳවය. සියල්ලට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවාසීන් ලෙස අපි, අප අවට මුහුද  රැක ගැනීමට හැකි සෑම අයුරකින්ම උත්සාහ දරමු. ඒ පිළිබඳ අද කතාබහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය අධ්‍යනාංශයේ, ආපදා කළමනාකරණය පිළිබඳ කථිකාචාරිනී කල්පනා අඹේපිටිය මහත්මිය සමගය.


සාගරය ඇයි අපිට වැදගත්?

සාගරයේ වැදගත්කම පිළිබඳ කතා කිරීමේදී ඉන් ලැබෙන ප්‍ර‘යෝජන 07ක් ප්‍රධාන වශයෙන් දැක්විය හැකියි.

01.වායුගෝලය පිරිසුදු කිරීම 

වායුගෝලය පිරිසුදු කිරීම සඳහා වනාන්තර හා සමාන දායකත්වයක් සාගරය මගින්ද ලබා දෙනවා. එනම්, සාගරය මගින් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනු ලබනවා. සාගරයේ වෙසෙන පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්, බැක්ටීරියා හා ඇල්ගී වර්ග (Phytoplankton) විසින් මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබනවා.

02.දේශගුණය මනාව පවත්වා ගැනීමට දායක වීම

ගෝලීය දේශගුණය පාලනය කිරීමේ ක්‍රියාවලිය (Global Climate Control System) සාගරය මගින් සිදු වෙනවා. එහිදී, සමකය ආසන්නයේ උණුසුම් වායුව, ජලය මුහුද හරහා ජල ධාරා ඔස්සේ උතුරු හා දකුණු ධ්‍රැවීය ප්‍ර‘දේශයන්ට රැගෙන ගොස් එහි ඇති සිසිල ජලය හරහා සමකයට රැගෙන ඒමක් සිදු වෙනවා. ඒ අනුව, සිසිල් ස්ථාන උණුසුම් කිරීමත් උණුසුම් ස්ථාන සිසිල් කිරීමත් යන කාර්යය සාගරය මගින් ඉටු වෙනවා.

03.ආහාර අවශ්‍යතාව සපුරා දීම

බිලියනයකට අධික ජනතාවක් මේ මොහොතේදීත් සාගරය මගින් ප්‍රෝටීන අවශ්‍යතාව ලබා ගන්නවා. ඊට අමතරව වැඩි වන ජනගහන‍ෙය් ඖෂධ අවශ්‍යතාවද ඉන් සපුරනවා.

04.වාසස්ථානයක් ලෙස ක්‍රියා කිරීම

මිනිසාගේ පැවැත්ම සඳහා ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටු කර දෙන්නා වූ සාගරය ජීවීන් විශාල ප්‍රමාණයකගේ වාසස්ථානයක් ලෙස සාගරය දැක්විය හැකියි. ඊට අමතරව ලොව ප්‍රධාන දියුණු නගර බොහොමයක් වෙරළ ආශ්‍රිතව ගොඩනැගී තිබෙනවා. ලෝක ජනගහනයේ 60% ජීවත් වෙන්නේ වෙරළ ආශ්‍රිතවයි.

05.දැනුම ලබාදීම

සාගරය විශ්ව කෝෂයක්. ඒ හරහා ලැබෙන දැනුම බොහෝ පර්යේෂණ හා නිගමනයන්ට දායක වනවා.

06.රැකියා අවස්ථා බිහිවීම 

ලොව පුරා බිලියන 03කට අධික පිරිසක් සාගරය ආශ්‍රිත වෘත්තීන්හි නියැළෙන බවට වාර්තා වනවා. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, මුහුදු ක්‍රීඩා, වරාය කටයුතු ආශ්‍රිත රැකියා මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේදී වඩාත් ලාභදායී මාර්ගයක් ලෙස නැව් හරහා ප්‍රවාහන කටයුතු සිදු කිරීමද දැක්විය හැකියි.

07.හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරීවීම

මුහුදු වෙරළ ආශ්‍රිත විවේකී මොහොතක් ගත කිරීම යනාදීය දැක්විය හැකියි.

සාගරය දූෂණය වීමට
ප්‍රධානතම හේතු
සාගරයේ ආම්ලිකකරණය වැඩිවීම

ප්‍රධානතම හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් අධික ලෙස සාගරය මගින් උරා ගැනීම තුළ සාගරය ආම්ලිකරණයට පත්වනවා. එනම්, අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම නිසා සාගර ජලයේ සමතුලිතභාවය බිඳී ගොස් තිබෙනවා. ඉන් විශාල හානියක් සිදුව තිබෙන්නේ සාගර ජීවීන්ට හා ඔවුන්ගේ ආහාර රටාවන්ටයි.

උදාහරණයක් ලෙස විශාල ජීවීන්ගේ ආහාර බවට පත්වන කුඩා ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය වන කැල්සියම් කාබනේට්වල අඩංගු කාබනේට් මුහුදු ජලයේ අධික ආම්ලිකතා නිසා විනාශයට පත් වෙනවා. එහිදී කුඩා ජීවීන් වඳවීමකට ලක්වන අතර, එය විශාල ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් ‍ෙවනවා. ඒ වගේම, ආම්ලිකතාව වැඩිවීමෙන් කොරල්පරද විනාශයට පත් වෙනවා. මුහුදු ආහාර සපයා ගැනීමේදී මෙය වක්‍රාකාරව මිනිසාටද බලපානු ලබනවා.

අපද්‍රව්‍ය මුදා හැරීම

ප්ලාස්ටික්, රසායන ද්‍රාවණ ලෙස ඉතා දරුණු ලෙස මේ වන විට මිනිසා විසින් මුහුදට මුදාහැර තිබෙනවා. සාගරයද එක්තරා ජීව ගෝලයක්. සාරග තරංග සුළියක් (Gyre) ලෙස එක් එක් ප්‍ර‘දේශයන්වල කැරකෙනවා. ඉන් ප්‍රධාන සුළි 05ක් ඉන්දියන්, පැසිෆික් හා අත්ලාන්තික් යන සාගර ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා. මුහුදට බැහැර කරන අපද්‍රව්‍ය, විශේෂයෙන් ප්ලාස්ටික් මේ කියන ස්ථානවල රැඳෙනවා.

මේ තත්ත්වය සැටලයිට්වලට හෝ ඡායාරූපවලට හසු වන්නේ නෑ. එයට හේතුව තමයි බැහැර කරන ප්ලාස්ටික් මුහුදු වතුරේදී අංශුවලට කැඩිලා ස්ථරයක් විදියට පාවී පාවී තිබීම. ඊට අමතරව රසායනික ද්‍රාවතා පවා මේ %සුළි^ ආශ්‍රිතව පාවෙමින් තිබෙනවා කියලායි පරීක්ෂණවලින් සොයාගෙන තිබෙන්නේ.

ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍යවල ඇල්ගී සෑදීමෙන් ඒවා ආහාරයට ගන්නා මුහුදු කැස්බෑවන්, මුහුදු කුරුල්ලන් මේ අපද්‍රව්‍ය ගිල දැමීමත් සිදු කරනවා. ඒවා ශරීරයේ සිරවීමෙන් මෙම සතුන් මරණයට පත් වෙනවා.

ශබ්දය

ලෝකය වටා මුහුදු මාර්ග ඔස්සේ නැව් 60,000කට අධික ප්‍රමාණයක් ගමන් කරනවා. වාණිජ නෞකා, විශේෂයෙන් තෙල් නිධි සොයා යන නෞකා මගින් භාවිතා කරන %එයාර් ගන්^ හේතුවෙන් මුහුද යට ඇතිවන විශාල ශබ්ද මුහුදු ජීවීන්ට දැඩි තර්ජනයක් එල්ල කරනු ලබනවා. විශේෂයෙන් මුහුදු ක්ෂීරපායීන් වන ඩොල්ෆින් හා තල්මසුන් විශාල ප්‍රමාණයක් මෙම ශබ්ද හේතුවෙන් අක්‍රීයභාවයට පත්ව ඇති බවට පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. එම හේතු නිසාම මෙම සතුන් වඳවීයාමේ තර්ජනයට මුහුණපා තිබෙනවා.

ගෑස් කැණීම්

මුහුදට සිදුවන විශාලතම හානිය ලෙස ගෑස් කැණීම් හරහා සාගර ජෛව විවිධත්වයට සිදුවන ක්‍රියාකාරකම් දැක්විය හැකියි.
ශ්‍රී ලංකාව අවට සාගර කලාපය රැක ගැනීමට අපට කළ හැකි දේ

මුහුද ආශ්‍රිත සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් එනම් කොරල්පර කැඩීම, මුහුදු ජීවීන් හොරකම් කිරීම වැනි දෑ නිරන්තරයෙන් සිදු වන්නක්. ඒ වගේම මත්ද්‍රව්‍ය වෙළෙඳාම නිසාත් සාගරය දූෂණය වීමකට ලක් වෙනවා. ප්‍රධාන සංචාරක ආයතන දෙස අවධානය යොමු කිරීමේදී අපට දැක ගන්නට ලැබෙන්නේ ඒවායේ වැසිකිළි කාණු සෘජුවම මුහුදට විවෘත වන ලෙස සකසා තිබීමයි. මෙහිදී මූලිකම දෙය තමයි ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා දරන උත්සාහය එය පදනම්ව පවතින මුහුදු වෙරළ ආරක්ෂා කිරීමට නොයෙදීම.
අනෙක් කරුණ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා තවමත් ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොමැති වීම. මේ හේතුවෙන් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කුණු කසළ හා ප්ලාස්ටික් වැඩි වශයෙන් ගොඩ ගැසීම දිනපතා සිදු වෙනවා.

වාණිජ ආයතන, කර්මාන්ත ශාලාවල කාණු පද්ධති, බොහෝ වෙලාවට හරවා තිබෙන්නේ මුහුදට ගලා යන ගංගා, ඇල මාර්ගවලටයි.
විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි වඳවී යෑමේ තර්ජනයකට ලක් වූ මුහුදු ජීවීන් සංචාරක හෝටල් ආශ්‍රිතව අලෙවියට තබා තිබීම. අනෙක් අතට සංවර්ධන කටයුතු සඳහා අක්‍රමවත්ව මුහුද ගොඩ කිරීම තුළ ආශ්‍රිත ප්‍ර‘දේශය කාලයත් සමග මඩ තට්ටුවකින් වැසී යා හැකිය එවිට එය අක්‍රීය මුහුදක් බවට පත්විය හැකියි.

අපි අවට සාගර කලාපය ආරක්ෂා කර ගැනීමට නම් අපි අපේ ආත්මාර්ථකාමී පරිභෝජන රටාවෙන් මිදිය යුතුයි. කුණු බැහැර කිරීම පිළිබඳ බොහෝ නාගරික ජනතාව දැනුවත් නමුත් ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීමේ පුරුද්දක් නෑ. අනෙක් කරුණ නම් නීතියට අප ගරු කළ යුතුයි. කුණු කියන්නේ සමාජ ප්‍රශ්නයක් නොවේ. එය තමන්ගේ ප්‍රශ්නයක්.
රට අභ්‍යන්තර ජල මාර්ග දූෂණය වුවහොත් අනිවාර්යයෙන්ම මුහුද දූෂණය වෙනවා. මුහුදු වෙරළේ කාලය ගත කරනවා නම් අප එහි ගෙන යන ප්ලාස්ටික්, පොලිතීන් නැවත ආපසු රැගෙන ආ යුතුයි. විශේෂයෙන් පරිසර හිතකාමී ඇසුරුම්වලට පාරිභෝගිකයා යොමුවීමෙන් ව්‍යාපාරිකයන්ද ඊට නැඹුරු කරගත හැකියි. බොහෝ දියුණු රටවල CCTV නෑ. පොලීසියෙන් දඬුවම් කරන්නෙ නෑ. නියමිත පරිදි කුණු බැහැර කරන්න ඒ රටවල මිනිසුන් පුරුදු වී සිටිනවා. ඒ නිසා මෙය තමන්ගේ නිවසින් තමන්ම ආරම්භ කළ යුතුයි සැමවිටම රජයට දොස් නගනවා වෙනුවට. අනෙක් අතට සාගරය ඇතුළු පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය විධිමත් ප්‍රතිපත්ති ගෙන එමින් ඒවා ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්.



Recommended Articles