තිස් වසරක් පැවැති කුරිරු යුද්ධයෙන් ශ්‍රී ලංකා මාතාව මුදවාගෙන නැවත රට එක්සේසත් කළ රණවිරුවන්ට ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමදා ගෞරව කළ යුතුය. අප ඔවුන්ට ණයගැතිය. කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීමට අභීත රණවිරුවෝ සිය ජීවිත, අත් පා ඇතුළු ශරීර කොටස් දන් දුන්හ.
එසේ අපේ රණවිරුවන් යුද්ධය නොකළා නම් සමස්ත ශ්‍රී ලංකාව තවමත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් බැට කන රටක් බවට පත්ව තිබීමට අවස්ථාව තිබිණි. එහෙයින් රට ජාතිය මුදවාගැනීම වෙනුවෙන් රණවිරුවන්ගේ දායකත්වය අපට වචනවලින් පැහැදිලි කළ නොහැක.
ඉන් අනතුරුව අප ක්‍රමයෙන් ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ගමන් කරන විට 2015 වසරේ පත් වූ රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් නැවතත් රටේ ආරක්ෂාව ගැටලුවකට පත්ව තිබේ.
එය රට මේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ අපේ රණවිරුවන්ට වාවාගත නොහැකි දුකක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඔවුන් සිය ජීවිත, ශරීර දන්දෙමින් ත්‍රස්තවාදයෙන් රට මුදවාගත්තේ තම දුවා දරුවන් වෙනුවෙන් දීප්තිමත් රටක් ගොඩනැගීමේ සිහිනය අනුවය.
අනාගතයේ දුවා දරුවන් දකින සිහින වෙනුවෙන් වර්තමානයේ තම සිහින කැප කළ එකී රණවිරුවන් වෙනුවෙන් අප දිගින් දිගටම කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය.
යුද්ධය පැවැති කාලයේදී බොහෝ රණවිරුවන් මෙන්ම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ අත්පා අහිමි විය. තමන්ගේ අත්-පා අහිමි වීමේ වේදනාව කෙතෙක්දැයි දන්නේ එයට මුහුණදුන් පුද්ගලයන්ය. එය ඔවුන්ගේ ලෝකයම කඩාවැටුණා හා සමාන බව නිසැකය. යුද්ධයෙන් වසර 10ක් ගත වනවිටත් තවත් එසේ අත්පා අහිමිව කෘත්‍රිම අත්පා ලබාගැනීමට නොහැකි වූ රණවිරුවන් මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බොහෝ පිරිසක් සිටින බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
මේ සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ කෘත්‍රිම අත්පාවල පවතින ඉහළ මිල අධික බවයි. එම මිල අධික බව හේතුවෙන් බොහෝ දෙනෙකුට කෘත්‍රිම අත්පා මිලදීගැනීමද සිහිනයක් බවට පත්ව තිබේ. අපේ සිහින ඉටුකිරීමට කටයුතු කළ මෙම සැබෑ විරුවන්ගේ අහිංසක සිහින ඉටුකිරීමට අප කටයුතු කළ යුතුව තිබේ.
අපගේ රණවිරුවන්ට හා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අමතරව දිනපතා විවිධ හේතු නිසා අත්පා ඉවත් කිරීමට සිදුවන පුද්ගලන් සංඛ්‍යාව සාමාන්‍යයක් ලෙස 07ක් බවට ගණන් බලා තිබේ. මේ සඳහා ප්‍රධාන හේතු දෙකක් වන්නේ සෞඛ්‍යමය ගැටලු හා විවිධ අනතුරුය. ඒ අනුව යම්තාක් දුරකට ඒවා අවම කරගැනීමටද ඉඩක් තිබේ. අපේ ජනගහනය මිලියන 21කි. දවසකට දිනකට පුද්ගලයන් 07කගේ අත් හෝ පාද අහිමි වන්නේ නම් වසරකට එම අගය 2600කට ආසන්නය. ඒ අනුව අපේ ජනගහනය හා සලකා බලන විට එය තරමක අවධානය යොමු කළ යුතු කරුණක්ද වෙයි.
මේ වනවිට විශ්ලේෂණය කර ඇති කරුණු අනුව තමන්ගේ අත්පා අහිමි වන පුද්ගලයන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභී පවුල්වලට සම්බන්ධ අයයි. ඒ අනුව ප්‍රතිකාර සඳහා විදේශගත වීමට හෝ කෘත්‍රිම අත්පා ලබාගැනීමට ඔවුන්ට ඇත්තේ ඉතාමත්ම සීමිත ඉඩකි.
මෙය තවත් ගැටලුවක් බවට පත්වන්නේ යම්කිසි පවුලක ගෘහමූලිකයා, එසේත් නොමැති නම් ආදායම් උත්පාදනය කරන්නා ගැටලුවකට පත් වූ විටය. යම් කරුණක් හේතුවෙන් පවුලක ආදායම් උත්පාදනය කරන්නාට මේ ආකාරයේ ගැටලුවක් ඇති වූයේ නම් එම පවුලට ඇතිවන ගැටලු පිළිබඳ ඔබ අමුතුවෙන් දැනුවත් කිරීම අවශ්‍ය නොවේ.
මේ පිළිබඳ අවධානය යොමුකළ අපි දහස් සංඛ්‍යාත රණවිරුන්ටත්, සාමාන්‍ය ජනතාවටත්, එමෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ටත් අවශ්‍ය කෘත්‍රිම අත්පා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළෙමු. #MeforYou (ඔබ වෙනුවෙන් මා) වැඩසටහන හා සහෝදරත්වයේ පියසටහන් පදනම එක්ව %ජීවය’ නමින් කෘත්‍රිම අත්පා අවශ්‍යම පුද්ගලයන් වෙත ඒවා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.
මේ හරහා වසරකට කෘත්‍රිම අත්පා 1000ක් ලබාදීමට අප සැලසුම් කර තිබේ. සහෝදරත්වයේ පියසටහන් පදනමේ නිර්මාතෘ වන්නේ කෘත්‍රිම අත්පා නිර්මාණය කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ පේටන්ට් බලපත්‍රය හිමි පුද්ගලයාය. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන ඔහු නැගී එන ව්‍යාපාරිකයෙක්ද වෙයි. එමෙන්ම මෙම පදනමට කළුතර ප්‍රදේශයේ රෝහලක්ද ඇති අතර, එය කෘත්‍රිම පාද ඇති පුද්ගලයන්ට නැවත ඇවිදීම සඳහා හුරු කිරීමට කටයුතු කරයි. එයින් නොනැවතී ඔවුන්ට පාපැදි පැදීමට හා දිවීමට හුරු කරවන අතර, මේ සියල්ලම කරන්නේ නොමිලයේය. මෙයින් ප්රතිලාභ ලබාගන්නා පුද්ගලයන්ට පහසුවෙන්ම තම සාමාන්‍ය ජීවිතයට පිවිසීමට අවස්ථාව ලැබෙයි.
ජීවය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒකාබද්ධ කමිටුවක් පත්කර ඇති අතර, එම කමිටුවට කෘත්‍රිම අත්පා අවශ්‍ය අයට ඉල්ලුම් කිරීමට අවස්ථාව තිබේ. පසුව කමිටුව ඒවා සලකා බලමින් වසරකට 1000 දෙනෙකුට කෘත්‍රිම අත්පා ලබාදීමට කටයුතු කරනු ඇත.
අපගේ මෙම කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය උපකාර කිරීමට මෙය විවෘත කර තිබේ. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට මෙම පදනම වෙත ආධාර ලබාදීමේ අවස්ථාව තිබේ. එම සියලුම ආධාර විනිවිදභාවයෙන් යුතුව භාවිත කරමින් අපගේම තවත් පිරිසක් හෙට දිනය වෙනුවෙන් දකින සිහින යථාර්ථයක් බවට පත් කිරීමට අවස්ථාව උදාකර දී තිබේ. ජීවය දැනටමත් පරිත්‍යාග කිරීම ආරම්භ කර තිබේ. පසුගිය මාසයේ අප පුද්ගලයන් 25 දෙනෙකු වෙනුවෙන් කෘත්‍රිම අත්පා ලබාදුන් අතර, මේ මස පොහෝ දිනයේදී එවැනි පුද්ගලයන් 07 දෙනෙකුට අපි කෘත්‍රිම අත්පා ලබාදුනිමු. ඉදිරියේදී එන සෑම පොහෝ දිනකම මෙම වැඩසටහන දියත් කිරීමටද සැලසුම් සකස් කර තිබේ.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!