ජීවත් වෙනවාද මිය යනවාද?


ජීවිතය යනු අප අපේක්ෂා කරන ආකාරයෙන් සිදු වන්නක් නොවේ. &සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි යන ජනප්‍රිය කියුමෙන් එය පිළිබිඹු වේ. 
බටහිර දර්ශනය තුළදී විකාර රූපවාදය (Absurdism) යන දාර්ශනික ප්‍රවාහය ගොඩනැ‍ගෙන්නේ ජීවිතයේ ඇති අනිශ්චිතතාව පිළිබඳ ඇති මෙම ගැටලුව පාදක කර ගනිමිනි. 

මිනිස්සු සෑම විටම ජීවිතයක් සඳහා තේරුමක් සොයමින් සිටිති. ජීවිතය සම්බන්ධයෙන් සොයන මෙම වටිනාකම ඉටු නොවන අවස්ථාවලදී මිනිසා වෙත නිරන්තරයෙන් මානසික පශ්චත්තාපයක් ගොඩනැගේ. 
ඊට හේතුව නම් විශ්වය සෑම තාර්කික වූවක් නොවීමයි. තාර්කික මනසින් බොහෝ දේ සැලසුම් කළද විශ්වය එම තාර්කික සැලසුම් කිරීමට අනුව සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක නොවේ. 
විකාර රූපවාදයේදී සිදු වන්නේ ජීවිතය සම්බන්ධයෙන් එල්ල වන මෙම අනවරත අභියෝගය හමුවේදී ගතයුතු දාර්ශනික ආස්ථානය කුමක්ද යන්න සොයා බැලීමයි. ඇල්බෙයාර් කැමූ නම් සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයා සහ ලේඛකයා ඇසූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ අප සිය දිවි නසා නොගත යුත්තේ ඇයි ? යන්නයි.  

ඇල්බෙයා කැමූගේ අදහස වන්නේ &විශ්වය විසින් අප වෙත පමුණුවනු ලබන  සියලු අනිශ්චිතතාවන් වෙනසකින් තොරව වැලඳ ගත යුතු බවයි. එහෙත් ජීවිතයට අර්ථයක් සෙවීම සම්බන්ධයෙන් වන කරුණෙන් විතැන් විය යුතු නැති බව ඔහුගේ අදහසයි.

ජීවිතයේ ඇති අනිශ්චිතතාව සහ විකාරරූපී බව සම්බන්ධයෙන් බාහිර දෙවියෙකු හෝ වෙනත් බලවේගයක පිහිටක් නොලබමින් මිනිසා තමන්ගේ ජීවිතය තුළින්ම සටන් කළ යුතු බවට බටහිර දර්ශනය තුළදී ප්‍රබල දාර්ශනික කථිකාවක් ගෙනාවේ 19 වැනි සියවසේ ජීවත් වූ ඩෙන්මාර්ක් ජාතික දාර්ශනිකයෙකු සොරෙන් කියැකිගාර්ඩ් විසිනි. 

කියැකිගාඩ් ආරම්භ කළ එම චින්තන ධාරවා ෂෝන් පෝල් සාත්, ඇල්බෙයා කැමූ වැනි දාර්ශනිකයන් වෙත පසුකාලීනව සම්ප්‍රේෂණය වූ අතර, තවත් හොඳින් වර්ධනය වන්නට විය. විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් සිදු වූ මහා විනාශයෙන් පසු ජීවිතයේ ඇති අර්ථය සම්බන්ධයෙන් බරපතළ කථිකාවක් ඇති වූ අතර, විකාරරූපවාදය දාර්ශනික ප්‍රවාහයක් වශයෙන් ජනප්‍රිය තලයේ සාකච්ඡාවට බඳුන් වන්නට විය. 
විශ්වයේ ඇති අනිශ්චිත බවත්, මිනිස් ජීවිතයක් ඉල්ලා සිටින නිශ්චිත අර්ථයත් අතර ඇති ගැටුම විකාරරූපවාදයේදී ආකාර තුනකින් සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඇල්බෙයා කැමූ %මිත් ඔෆ් සිසිෆුස්^ නම් කෘතියේදී මිනිසුන් පැවැත්ම සම්බන්ධ ගැටලුවට සොයන මෙම තුන් ආකාර විසඳුම් ගැන විග්‍රහයක යෙදෙයි. එක් විසඳුමක් වන්නේ සියදිවි නසා ගැනීමයි. එනම් පැවැත්මෙන් පළා යෑමයි. කැමූ සහ කියැකිගාර්ඩ් යන දෙදෙනාම මෙම විසඳුම ප්‍රතික්ෂේප කරයි. 

ජීවිතයේ ඇති විකාරරූපී බව සම්බන්ධයෙන් මිනිසුන් සොයන අනෙත් විසඳුම වන්නේ ආගමික සහ ආධ්‍යාත්මික සහනයයි. එනම් තමාගේ ජීවිතයට පිටින් වූ තැනකින් වන බලයකින් සහනයක් සෙවීමයි. මෙය කැමූ දකින්නේ දාර්ශනික සියදිවි නසාගැනීමක් ලෙසයි. විකාරරූපී බව පිළිගැනීම අනෙක් උත්තරය වන අතර, විකාර රූපී බව සමග ජීවත් වීම එහිදී අපේක්ෂිතය.  මෙය කිසිදා නොනවතින අරගලයක් වන අතර, කැමූ වැනි දාර්ශනිකයන් පිළිගත්තේ මෙම තුන්වැනි විසඳුමයි.



Recommended Articles