ජිහාඩ්වාදය යනු දීර්ඝ ඉතිහාසයක් නොමැති යෙදුමකි. එය සත්‍යය වශයෙන්ම නිර්මාණය වන්නේ 21 වැනි සියවසේදීය. ඉස්ලාමීය සටන්කාමී සංවිධාන හැඳින්වීම සඳහා බටහිර ලෝකය තුළ මෙම යෙදුම භාවිත වී තිබේ. එයින් පැහැදිලි වන කරුණක් නම්, ජිහාඩ්වාදය යනු නූතන සන්දර්භයක් තුළදී ගොඩනගන ලද්දක් බවයි. සියවස් ගණනාවකට ඉහත දී තිබූ මුස්ලිම් ව්‍යාප්තවාදය සහ ජිහාඩ්වාදය සන්දර්භීය වශයෙන් වෙනස් වේ.
ජිහාඩ් යන යෙදුමෙන් අදහස් කෙරෙන්නේ අරගලය යන්නය. එය ශුද්ධ වූ යුද්ධයක් වන අතර, මිථ්‍යා දෘෂ්ටිකයන්ට එරෙහිව ශුද්ධ වූ ලෝකයක් නිර්මාණය කිරීම මෙම අරගලයේ අරමුණය. ජිහාඩ්වාදීන්ගේ අරමුණ වන්නේ දෙවියන්ගේ පාලනය පොළොව මත (God's rule on Earth) ක්‍රියාත්මක වීමට ඇති සියලු බාධක ඉවත් කිරීමය. එසේත් නොමැති නම්, ලෝක ව්‍යාප්ත මුස්ලිම් උම්මාව හෙවත් මුස්ලිම් ලෝකයට එරෙහිව මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් ඇති විය හැකි අභියෝග ඉවත් කිරීමය.
ජිහාඩ්වාදය සඳහා නිශ්චිත තනි තේරුමක් නොමැත. එක් එක් සන්දර්භයන් තුළදී විවිධ තේරුම් ලැබෙන ස්වභාවයක් ඊට පවතී. කෙසේ වෙතත්, මෙම අදහස වඩාත් ප්‍රචලිත වන්නට ගන්නේ 2001 සැප්තැම්බර් මස 11 වැනි දින ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල් ඛයිඩා ප්‍රහාරයෙන් පසුවය.
1979-1989 කාලවකවානුවේදී සෝවියට් දේශයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමී සංවිධාන විසින් ක්‍රියාත්මක කරන ලද අරගලයද ජිහාඩ්වාදය වර්ධනය වීමේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සැලකීමට පුළුවන. සලාෆිවාදයෙන් අනුප්‍රාණය ලබමින් මෙම සමයේදී ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වූ සටන්කාමීන් වෙත අවි පුහුණුව ඇතුළු විශාල ශක්තියක් හිමි වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ජිහාඩ්වාදයේදී මූලික අපේක්ෂාවක් වන්නේ මුස්ලිම් උම්මාවට එරෙහිව කිසියම් ආකාරයකට අභියෝගයක් එල්ල වන්නේ නම්, එය හුදෙක් සාමූහික වගකීමක් (fard kifaya) වශයෙන් පමණක් සැලකීම නොකළ යුතුය. එය ශාරීරික දුර්වලතාවකින් තොර සෑම තනි පුද්ගලයෙකුගේම වගකීමක් (fard ayn) බවට පත් වේ. මුස්ලිම් උම්මාව රැක ගැනීම සඳහා මුස්ලිම්වරයෙකු ඇති කැපවීම රාමසාන් සමයේදී උපවාස කිරීම හෝ එදිනෙදා යාඥා කිරීමට සමාන වේ.
කෙසේ වෙතත්, මේ වනවිට ජිහාඩ්වාදය සමග බැඳී ඇති බිහිසුණු ක්‍රියා හේතුවෙන් සාමාන්‍ය මුස්ලිම් ලෝකය යෙදුම භාවිත කිරීමෙන් ඈත් වී සිටීමද සිදු වෙයි. ජිහාඩ්වාදී දෘෂ්ටිවාදයන්ගෙන් බලපෑමට ලක්ව භීෂණකාරී සටන් ව්‍යාපාරවල නිරත වන විවිධ ඉස්ලාමීය සටන්කාමී සංවිධාන තම තමන්ගේ ප්‍රදේශවලට අනන්‍යව වෙන් වෙන් වශයෙන් ඉස්ලාමී රාජ්‍යය නිර්මාණය කිරීමේ අරගලයක නිරතව සිටියි. උදාහරණයක් ලෙස බෝකෝ හරාම් සංවිධානය නයිජීරියාවේ එවැනි අරගලයක නිරත වී සිටින අතර, අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ අරගලයක නිරත වී සිටියි. අල් ඛයිඩා සංවිධානයේ අවශ්‍යතාව වූයේ උතුරු අප්‍රිකාව, චීනය, ඉන්දියාව සහ ස්පාඤ්ඤය ආවරණය කරමින් කිලාෆතයක් නිර්මාණය කිරීමය.