ජිනීවා යෝජනාව සම්මත වුණා කියලා එක රැයකින් ලංකාවට මොකුත් වෙන්නෙ නැහැ


ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පෙරේදා (23දා) වැඩි ඡන්දයෙන් සම්මත විය. ඡන්ද විමසීමේදී පක්ෂව ජන්ද 22ක් ලැබුණු අතර, විපක්ෂව ජන්ද 11ක් ලැබිණ. ඉන්දියාව ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමද මෙහිදී කැපී පෙනුණ තත්ත්වයකි. මෙම යෝජනා සම්මත වීමත් සමග අපේ රටට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබදව මානව හිමිකම් පිළිබඳ පෘථුල දැනුමක් ඇති, වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සමග සිදුකළ සාකච්ජාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී අපේ රටට එරෙහිව සම්මත වූ යෝජනාව නිසා කුමක් සිදුවේද?

දැන්ම කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ.

ඒ කියන්නේ අපිට බයවෙන්න දෙයක් නෑ කියන එකද?

අපි බැලුවොත් 23 හවස ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් මානව හිමිකම් කොමිසමේදී සම්මත වුණා. එහිදී අපිට උදව් කළ රටවල් ගැන බැලුවොත් වෙනිසියුලාව, කියුබාව, චීනය, රුසියාව වගේ සමාජවාදී රටවල් තමයි අපිට උදව් කළේ. අනෙක් පැත්තෙන් බැලුවොත් අරාබිකරයේ රටවල් තමයි අපිට උදව්වට හිටියේ. මේ රටවල් 11 නිසා තමයි අපි මේ තත්ත්වෙ හරි ඉන්නේ. දැන් කෙසේ හෝ අපේ රටට විරුද්ධව යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. මේ අවස්ථාවේ ඉඳන් අපිට මොකද වෙන්නේ කියන එක ගැන අපි බලමු. මේ යෝජනාව සම්මත වුණා කියලා එක රැයකින් ලංකාවට මොකුත් වෙන්නෙ නැහැ. මේ අය සම්මත කළ යෝජනාවේ නිර්දේශ 16ක් ඇතුළත් කර තිබෙනවා. ඒ නිර්දේශ 16 ඉෂ්ට කරන්න අපිට අවම වශයෙන් වසරක හෝ කාලයක් ලබාදෙනවා. මේ කාලය තුළ ලංකාව නිරන්තරයෙන් මේ නිර්දේශ 16 ඉෂ්ට කරනවද කියන එක අන්තර්ජාතික වගවීමකින් සොයා බලනවා. එවිට ඒ රූප රාමු තුළ ලංකාව ඇත්ත වශයෙන්ම පරිවාසයට දාලා තමයි දැන් තියෙන්නේ. ඒ නිසා යෝජනාවෙන් එකපාර ලංකාවට මොකුත් වෙන්නෙ නෑ. මානව හිමිකම් කවුන්සිලය කියන්නේ අධිකරණයක් හෝ පර්ෂදයක් නොවෙයි. රටක මානව හිමිකම් දියුණු කරන්න ,ඒවා ආරක්ෂා කරන්න හා අධ්‍යාපනය සම්බන්ධයෙන් උදව් කරන තැනයි. ඒ වගේම ඔවුන්ගේ නිර්දේශ තුළ නීත්‍යානුකූල බැඳීමක් නැහැ. තිබෙන්නේ සදාචාරාත්මක බැඳීමක් පමණයි. හැබැයි ඊළඟට සිදුවෙන දේ තමයි, අපිට ලබාදෙන කාලසීමාව තුළ මේ දේවල් සිදුවෙන්නේ නැත්නම් ඔවුන් මහ සමුළුව හරහා ආරක්ෂක මණ්ඩලය හමුවට 2023 වර්ෂය වෙද්දී අපේ රට අරගෙන යන එක. එතැනදීත් අපිට බයවෙන්න දෙයක් නෑ. චීනය අපි වෙනුවෙන් නිශේධ බලය පාවිච්චි කළොත් මොකුත් කරන්න බැරි වෙනවා. නමුත් අපි බලන්න ඕන මේ යෝජනාව අපි පරදින්න හේතු වුණේ මොනවද කියන දෙය.  ඉන්දියාව අපට සහය නොදීම හා නිහඬව සිටීම තමයි ප්‍රධාන හේතුව. ඒ වගේම ජපානය. මම කවුන්සිල කිහිපයකටම සහභාගි වෙලා ලබාගත් දැක්ම අනුවයි කියන්නේ. ඉන්දියාව අපිට මොන වෙලාවෙද සහය දුන්නේ? ඉන්දියාව දිහා බලාගෙන අපිට සහය දෙන රටවල් ගොඩක් ඉන්නවා. ඒ නිසා අපිට මෙවර බැරිවෙලා තියෙනවා ඉන්දියාව දිනාගන්න.

ඉන්දියාවේ ඡන්දය ඒ තරම් වටිනවා නම් ඇයි අපිට ඉන්දියාව දිනාගන්න බැරිවුණේ? ඇයි අපිට මිත්‍ර රටක් වන ජපානය නිහඬ වුණේ?

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය අප්‍රේල් මස 6 වෙනිදා පවත්වනවා. කමලාහසන් දැඩිව කිව්වා ලංකාවට පක්ෂව ඡන්දය දුන්නොත් භාරතීය ජනතා පක්ෂය පරද්දවන බව. මේ නිසා තමයි භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයා 23 වැනිදා අපිට ජන්දය නොදී පැවසුවේ 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න, උතුරු නැගෙනහිර  ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන්න යනුවෙන්. මෙලෙස ඉන්දියාව අපිට ඡන්දය නොදීම නිසා ඒ දෙස බලාගෙන බොහෝ රටවල් අපිට ඡන්දය නොදී සිටියා. ඒ ඡන්ද ටිකත් ආව නම් අපි සම සමව හෝ ඉන්න තිබුණා. ඒ නිසයි කියන්නේ ඉන්දියාව දිනාගන්නේ නැතිව අපිට මොකුත් කරන්න බෑ. අපි මේක දකින්නේ අද ඊයේ නොවෙයි. 2009 වර්ෂයේ සිටයි. ඉන්දියාව තමයි අපිට සමාන්තරව ගන්න බැරිවුණ රට. අපි ඉන්දියාවත් එක්ක එකඟවෙලා හිටියා වරායේ නැගෙනහිර ජැටිය ඔවුන්ට ලබාදෙනවා කියලා. යහපාලන ආණ්ඩුව කාලේ අවබෝධතා ගිවිසුමකුත් අත්සන්කර තිබුණා. නමුත් ඒ සියල්ල අතහැර අපි බටහිර ජැටිය ලබාදුන්නා. එයින් ඇතිවූ හිත් අමනාපය තදින්ම ඔවුන්ට තිබුණා. ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් ලංකාවට ආව වෙලාවේ කිව්වා වහාම පළාත් සභා ඡන්දය අලුත් හෝ පරණ ක්‍රමයට පවත්වන්න කියලා. ඒ වගේම 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලු බලතල ලබාදෙන්න කියලා. මෙන්න මේ කාරණා දෙක අපිට ඉෂ්ට කරගන්න බැරිවුණා. මේ නිසාමදෝ ඉන්දියාව නිහඬව සිටියේ. නමුත් ඔවුන් තේරුම් ගන්න ඕන ඔවුන් නිහඬව සිටීම තුළ රටවල් විශාල ගණනක් නිහඬව සිටි බව. එහි අවාසිය අපිට ආ බව.

ජපානය ගැන බැලුවොත් 'නහී වේරේන වේරානී' එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජපානය වෙනුවෙන් එකහෙලා සටන් කළා. ඔවුන්ගේ සාම නියෝජිතයන් ඉන්නවා. ඔවුන් බොහෝ වෙලාවට සාමය වෙනුවෙන් වැඩ කරනවා. නමුත් ලංකාවේ දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව තොරතුරුවත් ඔවුන්ට දීල තිබ්බේ නෑ. ලංකාව මොනවද කරන්නේ කියලවත් ඔවුන් දන්නෙ නැතිව ඇති. මම දන්නෙ නෑ ජපානයේ තානාපතිවරයා කවුද කියලවත්. ඇත්තටම මේ දුර්වලතාවයන් තමයි ඡන්ද පරදින්න හේතු වුණේ. මේ ඡන්ද පරදින්න ප්‍රධාන හේතු තුනක් බලපානවා. එකක් තමයි තානාපති කාර්යාලවලට සුදුසු හා මේවා පිළිබඳ දන්න හා ඒ රජයන් සමග සාකච්ඡා කළ හැකි පුද්ගලයන් පත් නොකිරීම. දෙවැන්න තමයි අපි කරන දේ පිළිබඳ කෙටි වාර්තා චිත්‍රපට හෝ ඒවායේ වීඩියෝ වලින් ආමන්ත්‍රණය කරන්න අපිට නොහැකි වීම. මීළඟට ජපානයේ සහයෝගිතාවය තහවුරු කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් හැකියාව අපි මඟහැර ගැනීම. අපි බැලුවොත් නිහඬව සිටි රටවල් 11ම ඉන්දියාව අපිට ඡන්දය දුන්නා නම් අපිට ඡන්දය ලබාදෙන්න බලාගෙන හිටපු රටවල්. හැබැයි අපිට මේ ඡන්ද විමසුමේදී බලාගන්න පුළුවන් වුණා සැබෑවටම මිතුරු රටවල් කවුද කියන එක.

අපි බැලුවොත් ඊශ්‍රායලයට, කියුබාවට විරුද්ධවත් ඕනතරම් යෝජනා මානව හිමිකම් කවුන්සලයේදී ගෙනැවිත් තිබෙනවා. නමුත් ඔවුන් මොකුත් කළේ නැහැ. අපි ඡන්ද දිහා බැලුවොත් රටවල් 48න් සමාජවාදී කඳවුරේ රටවල් අපිත් එක්කයි ඉන්නේ. බටහිර රටවල් අනෙක් පැත්තේ. කොහොම නමුත් මේ යෝජනාව ගෙනාවා කියල බයවෙන්න එපා. එක රැයකින් අපිව විදුලි පුටුවලට අරන් යන්නෙ නෑ. අපිව අන්තර්ජාතික වශයෙන් කොන් වීමකට තමයි මේ ලක්වුණේ. මේක අපේ මිනිස්සුම කරගත්ත දෙයක්. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකට ඉඳලා හඬක් නැඟුවා නම් එය ලෝකයට පේනවා. එය කරගන්න බැරි රටක් විදිහට අපි අතිශය කණගාටු විය යුතුයි.

 සම්මත වූ යෝජනාවේ නිර්දේශ ඇත්තටම අපිට අහිතකර ඒවාද?

අපි බැලුවොත් පැහැදිවම මේ නිර්දේශ 16 අතරින් 6වැනි නිර්දේශය ලංකාවේ සෛවරීභාවය වගේම ස්වාධිපත්‍යයට සම්පූර්ණයෙන්ම හානි වෙනවා. මෙය අපිට ඉෂ්ට කරන්න බැහැ. මානව හිමිකම් කවුන්සලයේ මැන්ඩේට් එකේ තියෙන්නේ රටක ස්වාධිපත්‍යයට හානි කරන්න බැහැ කියලයි. නමුත් මේ අවස්ථාවේ ඔවුන් එයත් අභිභවා ගිහින් තිබෙනවා. ඒ වගේම 16වන නිර්දේශය බැලුවම මින් පෙරත් ඉදිරිපත් කළ රණවිරුවන්ට විරුද්ධව වීසා තහනම, දේපළ තහනම, යුද අපරාධ අධිකරණයට යන එක ඉවත් කළත් යුද අපරාධ පිළිබඳ සාක්ෂි සංරක්ෂණය ඉදිරියට ගෙනත් තිබෙනවා. එය අතිභයානකයි. ඒ නිසා අපි ප්‍රවේසමෙන් මේ කාලය තුළ වැඩ කරන්න ඕන.

කොහොමද එහෙනම් මේ යෝජනාවත් එක්ක අපි ඉදිරියට යා යුත්තේ?

මානව හිමිකම් කවුන්සිලයට අපි බාරදෙන වාර්තාවක් තිබෙනවා. එය අවුරුදු 4න් 4ට තමයි ලබා දෙන්නේ. ඉදිරියේදී එනවා විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව. එහි අපිට එනවා නිර්දේශ දෙසීයකටත් අධිකව. මේ දෙසිය ගාණෙන් තෝරාගත් ඒවා අපි ඉටුකරනවා. ඒ වගේම සිවිල් හා දේශපාලන සම්මුතිය යටතේ ඉන්න කමිටුවටත් අපි වාර්තා ලබාදෙනවා. මේ කමිටුවලට වාර්තා ලබාදීලම අපේ රට දැන් හෙම්බත් වෙලා ඉන්නේ. මම හරිම කැමතියි මෙවර අපේ රට ඡන්දයකට ගිය එක සම්බන්ධයෙන්. ලංකාව ඡන්දයෙන් පරාද වුණත්, කොන්ද කෙළින් තියාගෙන තමයි පරාද වුණේ. 2015 වගේ අපි සම අනුග්‍රහයකට ගියේ නෑ. මේ රජයටත් තිබ්බා සම අනුග්‍රහයකට යන්න. නමුත් එහෙම ගියේ නෑ. ඒ නිසයි අපිට වෙනිසියුලාව හා කියුබාවේ ඡන්ද හිමිවුණේ. ඒ නිසා ලංකාව දැන් කළයුතු දෙයක් තිබෙනවා. අපි කරන වැරැද්ද තමයි අදින් පස්සේ මේ යෝජනාව අමතක කරන එක. අමතක කරලා වැඩ කරලා අපිට ආපහු මතක් වෙන්නේ ඔක්තෝබර්වල. එහෙම නෙවෙයි සිදුවෙන්න ඕන. ජනාධිපති වහාම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන ලෙස ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කරන්න ඕන. ඉන්පසු පාර්ලිමේන්තු ස්ථාවර කාර්ය සභාවක් පත්කරලා ලංකාව කොහොමද ඉදිරි අවුරුදු 10 තුළ මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කියන එක පිළිබඳ ප්‍රතිපත්තිමය සැලසුමක් සැකසිය යුතුයි. එය ජයග්‍රහණය කරන්න අපි උත්සාහ කරමු. දැන් පාකිස්ථානය, බංග්ලාදේශය අපිත් එක්ක හිටගත්තා. ඒ නිසා ලංකාවට පුළුල් මානව හිමිකම් දැක්මක් ගෙන එන්නට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම සිදුකරන්න පුළුවන්. ඒ තුළින් තමයි අපිට ලෝකය ජයගන්න පුළුවන් වෙන්නේ. ජපානයේ නිහඬතාවය, ඉන්දියාවේ නිහඬතාවය බිඳලන්න පුළුවන් වුණොත් අපිට ඉදිරියේදී වාසනාවන්ත තත්ත්වයක් වේවි. 

එසේනම් අපි දැන් අවධානය යොමු කළ යුත්තේ කුමක් පිළිබඳවද?

දැන් අපි ලෑස්ති විය යුතුයි ජූනි - ජූලි වලට. තව එනවා සැප්තැම්බර් හා ඔක්තෝබර්. අපි නිහඬව සිටියොත් මේක කරන්න බෑ. මෙවර ඡන්දය නොදී නිහඬව සිටි රටවල් අපිට හරි වැදගත්. ඉදිරි යෝජනාවකදී අපි ඔවුන්ව දිනාගත යුතුයි. අපිට විරුද්ධව ඡන්දය දුන්න අය අපිට පක්ෂව ජන්දෙ දෙන්නෙ නෑ කවදාවත්. ඒ නිසා නිහඬව සිටි රටවල් 11 දිනාගන්න අපි වැඩ කළ යුතුයි. ඒ නිසා ඔවුන්ව ලංකාවට ගෙන්වලා, ජාතික වැඩපිළිවෙළක්, දේශීය ක්‍රමයක් හැදුවොත් ඒ අය යළි අවදි වෙයි. එය අනිවාර්යයෙන් සිදුකළ යුතුමයි.



Recommended Articles