ජාතික මානව හිමිකම් සැලැස්මක් දස අවුරුද්දක් වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්නම්,එය වඩාත් සාධනීයයි


මෙවර අන්තර්ජාතික මානව හිමිකම් දිනයේ තේමාව වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගෙන ඇත්තේ ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙනි. Recover Better – Stand up for Human Rights ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව මෙවර එහි සාමාජික රටවල් මානව හිමිකම් දිනය සමරද්දී, ශ්‍රී ලාංකික අපටද අවධානය යොමු කළයුතු කරුණු කිහිපයක් මතුවෙයි. මින් පෙර මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයාව සිටි වත්මනේ ජැමෙයිකානු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙලෙස සටහන් කරමු.

කෝවිඩ් 19 හා මානව හිමිකම්

1948 දෙසැම්බර් මාසයේ 10වෙනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සෙන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී යළිත් ලෝක යුද්ධයක් ඇති නොවේවා යන ප්‍රාර්ථනය ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශය එළිදැක්වූවා. එයින් ලෝකයට පෙන්වූයේ මිනිසා මිනිසෙකු ලෙස ජීවත් වීමේ ගෞරවයත්, මිනිසාගේ පැවැත්මත් ආරක්ෂා කර දීමයි. වර්තමානයේ ලෝක යුද්ධයක් නැහැ. නමුත් ලෝකයම වෙනත් යුද්ධයකට මුහුණ දෙනවා. ඒ තමයි කෝවිඩ් වසංගතය. 1948 මේ ප්‍රකාශය සකස් කරද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙයක් අමතක වුණා. ස්පාඤ්ඤ උණ වසංගත තත්ත්වය නිසා මිනිස්සුන් දහස් ගණන් මිය ගියා. ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන එදා කතා වුණේ නැහැ. ඔවුන් හිතුවෙ නෑ එවැනි වසංගතයක් යළි ලෝකයේ පැතිරෙයි කියලා. ඒ නිසා ඔවුන් යුද්ධය කියන දේ පිටුපසයි ගමන් කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් පනස් දෙනෙක් එදා හිට්ලර්ගේ දරුණු පාලනයට විරුද්ධව හිතුවා මිසක් කවදාවත් හිතුවෙ නැහැ යුද්ධයක් වෙනුවට ලෝකයම ගිලගන්න වසංගතයක් ඒවි කියලා. එදා වසංගත තත්ත්වයක් ගැන හිතල තිබුණා නම් අද මෙහෙම දෙයක් ලෝකයට අත්දකින්න වෙන එකකුත් නැහැ. මිනිසෙක් විසින් මිනිසෙක් ඝාතනය කිරීමක් ගැන පමණයි ඔවුන් හිතුවේ. යම් හෙයකින් මිනිසා විසින් නිර්මාණය කළ වෛරසයකින් හෝ ස්වාභාවිකව පැතිරෙන රෝගාබාධ අවස්ථාවකදී මිනිස් අයිතිවාසිකම් රැකගනිමින් රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කරන්නේ කොහොමද කියලා ඔවුන් හිතුවෙ නැහැ. ඔවුන්ට එදා අමතක වුණු දෙය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට මතක් වී තිබෙනවා. ඒ අනුව 2020 වර්ෂයේ තේමාව සඳහා ඔවුන් %සුවය ලබමු, ඒ තුළින් මානව හිමිකම් වෙනුවෙන් නැගී සිටිමු^ යනුවෙන් මෙවර තේමාව සකස් කර තිබෙනවා. මොකද කෝවිඩ් වසංගතයත් සමග ලෝකය පුරා මානව හිමිකම් කඩවෙනවා. ඒ නිසයි ඇමෙරිකානු ජනාධිපතිවරයාට පරාද වෙන්න සිදුවුණේ. අපි දැක්කා කළු ජාතිකයාගේ මරණයත් එක්ක ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පාලයට විරුද්ධව විශාල වශයෙන් මිනිස්සු නැගී සිටියා.

මානව හිමිකම් දිනය වෙනුවෙන් තේමාව තීරණය කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක මේ වෙලාවේ ලෝකයම යන ගමන හේතු වී තිබෙනවා. මේ වසංගතය නිසා මිනිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් අහිමි වෙලා. ඒ නිසා ඉදිරියට වසංගතයක් තිබියදී මානව හිමිකම් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමුකරන්න සිදුවෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් සාමාජිකයන් 194 පිළිබඳවඅවධානය එක ලෙස යොමුකරන්න සිදුවෙලා තිබෙනවා. ඒ අනුව මේ වෛරසයට ඖෂධයක් සොයාගනු ලැබුවොත්, එය ලබාගන්න හැමදෙනාටම සර්ව සාධාරණ අයිතිවාසිකමක් තිබෙනවා. සෞඛ්‍ය අයිතිවාසිකම් යටතේ මේ අයිතිය තිබුණත්, අපේ රටවල ව්‍යවස්ථාව අනුව මේවා මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ තහවුරු කර නැහැ. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තුවල පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසියේදී හෝ දුප්පත් පෝසත් යනුවෙන් වර්ගීකරණය නොකර සියලුම රටවල්වලට මේ කෝවිඩ් සඳහා වන එන්නතක් ලබාගැනීමේ අයිතිය තහවුරු කිරීම සිදුකරන්නේ. මෙවන් අවස්ථාවක එහෙම කළොත් තමයි ජීවත් වීමේ අයිතිය ප්‍රකෘතිමත් වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙලාවේ බලන්නේ බූවල්ලෙකු වගේ ලෝකයම අල්ලගෙන සිටින මේ වසංගතයෙන් මිදෙන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන්. ඒ වගේම කිසිම අයෙක් වර්ග නොකර ජීවිතය ආරක්ෂා කරගැනීමට ඇති අයිතිය හැම මනුෂයෙකුටම තහවුරු කිරීමට ඔවුන් අද දිනයේ අවධානය යොමුකර තිබෙනවා. මීට අමතරව ඔවුන් අදහස් කරනවා මහජනතාව හා සාමාජික රටවල් එකතුවෙලා මේ වෙනුවෙන් යම් ක්‍රමවේදයක් සකස් කරයි කියලා.

මාර්තු මානව හිමිකම් සැසිය හා ශ්‍රී ලංකාව

මෙවර කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා වෙනදා වගේ මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව ගැන තිබෙන අවධානය අඩුවේවි කියලා අපිට කොහෙත්ම හිතන්න බෑ. මොකද ලංකාව ගැන අවධානය යොමුවෙන්න ගත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝබයිඩ්න් ජයග්‍රහණය කළාට පසුවයි. ඒ අනුව ලෝකයේ රටවල් ලංකාව පිළිබඳව කුලප්පු වෙන්න ගත්තා. ඒකට හේතුව තමයි ජෝබයිඩ්න්ගෙ ආසියානු ශාන්තිකර කලාප නියෝජිතවරිය, ඔහු පත්කරන්නට නියමිත කාර්යය මණ්ඩල ප්‍රධානී හා උපජනාධිපති යන අය ආසියානු හා ඉන්දියානු සම්භවයක් ඇති අය වීම. ඔවුන් සියලුදෙනාම ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරන්නේ නැති රටක් කියන තැන ඉඳන් කටයුතු කළ අයයි. ඒ වගේම මෑතකාලීනව එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබූ තහනමත් යම් රටවල ඉවත්වීගෙන එන බව පෙනී යනවා. ඒ නිසා අපි අමතක කරන්න නරකයි කෝවිඩ් වෛරසය නොවෙයි ලෝකයේ ජනතාව එකා පිට එකා මැරී වැටෙන වෛරසයක් ආවත්, ලංකාවට මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ලවන බලපෑම අඩු වෙන්නේ නැති බව. මේ වන විට අපි අලුත් බිල්ලක් දකිනවා. රශ්මිකා සුශ්මි විසින් සරත් වීරසේකර මහතාව 20වැනි යුද අපරාධකරුවා ලෙස නම්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙදාපාර තමයි අපිට භූමරංගයක් වගේ පීඩනයක් එල්ල වෙන්නේ. ට්‍රම්ප් ජනාධිපති යටතේ අපිට පීඩනයක් එල්ල නොවුණේ එක්සත්ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඔහුගේ නියෝජිතයන් ඉවත් කරගෙන තිබීම නිසයි. ට්‍රම්ප්ගේ දැක්මත් එක්ක අපේ රටට වැඩි පීඩනයක් එල්ල කරන්න බැරි වුණා. ජෝබයිඩ්න් තවම ඇමෙරිකානු ජනාධිපති ලෙස  දිවුරුම් දීලත් නෑ. නමුත් දැනටමත් ප්‍රශ්න උඩට මතුවෙමින් තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ විවිධ කමිටු තිබෙනවා. අපේ රට මානවහිමිකම් සුරකින්න මොනවද කරන්නේ කියන එක සොයා බලන්න මේ වෙනකොට මේ කමිටු පිබිදීමකින් යුතුව කටයුතු කරනවා. ඒ නිසා 2015 මානව හිමිකම් කොමිසමේදී අපිට ඉදිරිපත් කළ චෝදනා කැරකි කැරකී එන බව පේනවා. එසේනම් අපි බලන්න ඕන අපිට සහයට ඉන්නේ කවුද කියලා. වියට්නාමය, චීනය, මැදපෙරදිග රටවල් අපිත් එක්ක ඉන්නවා. ඉන්දියාවේ කාෂ්මීර ගැටලු නිසා ඉන්දියාවත් අපිට පක්ෂව කටයුතු කරයි කියලා හිතන්න පුළුවන. මේ වෙලාවේ කෝවිඩ් 19 වසංගතය තිබුණත්, මානව හිමිකම් විෂය භාර ඇමති කෙනෙක් රටේ ඉන්නවා. පාර්ලිමේන්තුව තුළ කමිටු තියනවා. අපිට පුළුවන් නම් මානව හිමිකම් දිනයේදී ජාතික මානව හිමිකම් සැලැස්මක් දස අවුරුද්දක් වෙනුවෙන් ඉදිරිපත් කරන්න, එය වඩාත් සාධනීයයි. ආණ්ඩු මාරු වුණාට කමක් නෑ. අපි මාර්තු මාසයේ සැසිය ගැන හිතලා කටයුතු කරන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුව රැස් නොවුණත් මේ කමිටුවලට පුළුවන් වෙන්න ඕන සාකච්ඡා කරලාමේ සම්බන්ධයෙන් යමක් කරන්න. අපි දන්නවා අපේ අටේ තිබුණේ මානව හිතවාදී සටනක්. එය විකෘති කරමින් තමයි දැන් මේ ප්‍රකාශ නිකුත් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ වෙලාවේ ජාති, වර්ග ලෙස බෙදෙන්නේ නැතිව හැමෝටම පොදු මානව හිමිකම් සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කරලා යම් දෙයක් කරන්න, එය අපිට වාසිදායක වෙනවා. චීනය අපි වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ හඬ නගන්න නම් අපි යමක් කරලා තියෙන්න ඕන. අපේ පැත්තෙන් පුළුල් සැලැස්මක් අවශ්‍යයි. අපි ජාතික මානව හිමිකම් සැලැස්මක් ඉදිරිපත් කරන්නේ කුමන තලයක සිටද කියන එක ඉදිරිපත් කළ යුතුයි. මෙය කරන්න කලින් අපිට පත්තුවෙන්න පුළුවන් දෙයක් තමයි 20වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එකපාරම නොවුණත්, කොමිසමේ සිදුකරන වර්ගීකරණයේදී අපේ රටේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සම්බන්ධව අවධානය යොමු කරයි. එසේනම් පෙර වර්ගීකරණයන් අනුව අපිට හිමිවූ ස්ථානය රැකගන්න අපි මොනවද රට තුළ සිදුකර තිබෙන්නේ කියන දේ ලෝකෙට පෙන්වන්න අවශ්‍යයි. ඒ අනුව අපේ රටේ මානව හිමිකම් හැමදෙනාටම එක සමාන ලෙස ක්‍රියාත්මක වෙලා තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගන්නා මාවතකට අනුගත විය යුතුයි. මොකද මෙවර තිරසාර සංවර්ධන ඉලක්ක ගැනත් අවධානයක් යොමු වෙන්න තිබෙන ඉඩ වැඩියි. මේ ඉලක්ක වලට අනුගතව කරුණ හතරක් ගැන මාර්තුවේ පැවැත්වෙන සැසියේදී අවධානය යොමුකිරීම සිදුවේවි.

එහි පළමුවැන්න තමයි ඕනෑම ආකාරයක වර්ගීකරණයන් නවත්වා දැමිය යුතුයි කියන එක. ඒ අනුව අපිට කෝවිඩ් 19 වසංගතයත් එක්ක බැලුවම හැමෝටම සර්ව සාධාරණ අගයක් ලබාදිය යුතු වෙනවා. ප්‍රවේශ වීමට අයිතිය, සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්න අයිතිය ආදිය තහවුරු කරන්නට සිදුවෙනවා.

මීළඟට අසමානතාවන්ට පිළියම් ලබාදීම සිදුකළ යුතුයි. අපි දකිනවා මේ අවස්ථාවේ ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතීන් අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම රැකීරක්ෂා අහිමි වෙලා තිබෙනවා. මේ පහසුකම් වර්ධනය කරන්න පිළියම් ලබාදිය යුතු බවයි ඔවුන් අපේක්ෂා කරන්නේ.

තෙවනුව අයිතීන් වෙනුවෙන් සහභාගීවෙන්න ඉඩ ලබාදිය යුතුයි. අපි මෙයට හොඳම උදාහරණය ලෙස දකිනවා, ආදිවාසී නායකයා පසුගිය මාර්තු මාසයේ සිට එම ගම්මානයට පිටස්තරයන් ඇතුළු වීම තහනම් කිරීමට ගත් පියවර. එය හොඳ දෙයක්. ඔහු හදන්නේ ඔහුගේ ජනතාව ආරක්ෂා කරන්න. ඒ වගේම මීමුරේ ජනතාව ස්වයං ආරක්ෂාවක් පනවා ගත්තා තමන්ගේ ගමට පිටස්තර අයට ඇතුල් වෙන්න ඉඩ නොදී. මොකද ඔවුන් දන්නවා ඔවුන්ගේ දුෂ්කරතා. රෝහලකට කිලෝමීටර් කීයක් නම් ගමන් කරන්න ඔවුන්ට සිදුවෙනවාද?

ඒ වගේම සිව්වැන්න තමයි සංවර්ධනය සම්බන්ධයෙනුත් අවධානය යොමු කරන්න අවශ්‍යතාවක් පැවතීම. අපි බැලුවොත් කෝවිඩ් වසංගතයත් එක්ක වැඩියෙන්ම උල්ලංඝනය වන්නේ කම්කරු අයිතිවාසිකම් කියන ඒවායි. අපේ රටේ මිනිසුන් වෙනුවෙන් රජයට කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ සමෘද්ධිය ලබාදීම හා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමයි. එය කළ යුතුයි. ඒ වගේම රැකියා නැති වූ අයට සහනයක් ලබාදිය යුතුයි. මෙහිදී අපිට ආනයන අඩාල කරලා අපනයන වැඩිකරලා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටට ඩොලර් ඉතිරි කරන්න කැප විය යුතුයි. මේ වෙලාවේ අලුත් ගොඩනැගිලි වලට නොයා, අලුත් වාහන වලට නොයා ඉන්න ඔවුන් කටයුතු කළ යුතුයි. අපිට බැරිද මේ සල්ලි වලින් කෝවිඩ් වළක්වාගන්න යම් ක්‍රමවේදයක් හදන්න යොමු කරන්න. ඒ තැනට අපි කැපවුණේ නැත්නම් සෞභාග්‍යයේ දැක්ම කරා යන්න බැරි වෙනවා. ඒ නිසා මේ වෙලාවේ පක්ෂ විපක්ෂ ලෙස නොබෙදී මන්ත්‍රීවරුන් හැමෝම යම් කැපවීමක් කර රටේ මිනිස්සුන්ට යමක් ඉතිරිකර දෙන්න උත්සාහ කළ යුතුයි.

මීළඟට අපිට අමතක වෙලා යන කරුණු කීපයක් තිබෙනවා. ඒවා තමයි, මානව හිමිකම් සැසියේදී මතුවෙන්නේ. මේ වෙද්දී අපි දකිනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පෙත්සම් රාශියක් ඉදිරිපත් වී තිබෙන බව. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන තොරතුරු එකතු කරනවා. උතුරේ අවතැන්වූවන්ට මොකද වුණේ, අතුරුදන් වූවන්ට මොකද වුණේ, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ආදිය පිළිබඳව තවත් සොයාබැලීම් සිදුවෙනවා. ඒ වගේම අපේ රටෙන් ස්විට්සර්ලන්තයට ගියපු ඉහළ පොලිස් නිලධාරියෙකු ඉන්නවා සාක්ෂි ලබාදෙන. ඒ වගේම අපේ රටෙන්ම සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්න පුළුවන. මේවා එකතු කරගෙන අනිවාර්යයෙන් අපිට මාර්තු මාසයේ හොඳ පීඩනයක් එල්ල කරන්න ඔවුන් බලාගෙන ඉන්නවා. අපෙන් අහයි අපි මොනවද කරලා තියෙන්නේ කියලා. උතුරේ ජනතාවට ලොකු වැඩකොටසක් සිදුකරලා තිබුණත්, එම පළාත්වල තිබෙන සංවිධාන හා පටු දේශපාලන අරමුණු ඇති අය වැරදි චිත්‍ර මවා පානවා. මේ නිසා රජය විසින් සිදුකළ යුතු වන්නේ ජාතික මානව හිමිකම් සැලැස්මක් ඉදිරිපත් කර හැමෝටම අයිතිවාසිකම් සමව තහවුරු කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව ගරු කිරීමේ යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි. ඒ වගේම රටට එරෙහි දේවල් සන්නිවේදනය වෙද්දී රාජ්‍ය යාන්ත්‍රණය රටේ පුරවැසියන් හැමෝගෙම අයිතිවාසිකම් රකින්න කරගෙන යන යාන්ත්‍රණය ගැනත් සන්නිවේදනය විය යුතුයි.

රටේ අභ්‍යන්තරයේ සිදුවීම් මානව හිමිකම් කෙරෙහි සිදුකරන බලපෑම

කෝවිඩ් 19 වසංගතයත් සමග මෙරට මුස්ලිම් ජනතාව ඔවුන්ගේ මෘතදේහය මිහිදන් කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ආකාරය අපි දුටුවා. එහිදී ඔවුන්ගේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුගමනය කරන්න අයිතිය ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම්පත් 11ක් යොමුකර තිබුණා. මෙහිදී ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ඔවුන් සඳහන් කර තිබුණා. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 16වැනි වගන්තිය කියලා වගන්තියක් තිබෙනවා. මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ (පරිච්ඡේදය තුනේ) 16වන වගන්තියේ  කියනවා මෙතෙක් පැවති ලිඛිත හා අලිඛිත නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවෙනවා නම් පවත්වාගෙන යා හැකියි යනුවෙන්. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12වන වගන්තියේ කියනවා සියලුදෙනා සර්ව සාධාරණයි යනුවෙන්. මේ දෙකම යටත් වෙනවා මහජන සෞඛ්‍යය කියන එකට. ඒ අනුව මහජන සෞඛ්‍යය එක්ක ගැටෙනකොට මහජන සෞඛ්‍යය කියන එක බලවත් වෙනවා. ඒ අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය මේ පෙත්සම් 11ම ප්‍රතික්ෂේප කළා.

අපි දැක්කා ඉතාලිය වගේ රටවල මිනී කොහොමද වළ දැමුවේ කියලා. විෂබීජ ඉවතට නොයන ලෙස මේ කටයුතු කරන්න ඔවුන්ට හොඳ තාක්ෂණයක් තිබෙනවා. නමුත් අපේ රටට මේ හැකියාව තිබෙනවාද කියන එක ගැටලුවක්. ඒ වගේම මෙවැනි අවස්ථාවක එක් පිරිසකගේ අයිතිවාසිකමක් තහවුරු කරද්දී තව අයත් එක්ක ගැටීමක් ඇතිවීමයි සිදුවන්නේ. අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේදී සිදුවිය යුත්තේ සමානව එම අයිතීන් සුරක්ෂිත කිරීමයි. ඒ අනුව මේවා හිතල බලලා කරන්නයි අවශ්‍ය. රජයට ව්‍යාතිරේකයක් ලබාදීමට විශේෂඥ කමිටුවක නිර්දේශ සලකා බැලීම සිදුකළ හැකියි. ඒ අනුව විකල්පයක් දෙන්න පුළුවන් නම් එය ලබාදීමට කටයුතු කිරීමේ කිසිදු ගැටලුවක් ඇති නොවේවි.

මීළඟට මහර බන්ධනාගාර සිදුවීම දිහා බලමු. මම අවුරුදු ගණනාවකට කලින් ඉඳන් කියන දෙයක් තමයි බන්ධනාගාර තදබදයට පිළියමක් යෙදිය යුතු බව. මේ සිදුවීම දිහා බලලා දැන් හරි පාඩමක් ඉගෙනගන්න ඕන. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී මේ සම්බන්ධයෙන් යමක් කරන්න උත්සාහයක යෙදිය යුතුයි. ලංකාවේ බන්ධනාගාරවල ඉන්නවා මරණීය දණ්ඩනය නියම වුණ 1600කට ආසන්න පිරිසක්. ඔවුන් අතර අවුරුදු 20කට වඩා වැඩි ගණනක් සිරගතව සිටින අය ඉන්නවා. අපේ රටේ අවසානයට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේ 1976 ජූනි 24 වෙනිදා. එදා ඉඳන් අද වෙනකන් කිසි කෙනෙක් එල්ලා මරල නෑ. ඒ අනුව එතැන් සිට මේ දක්වා මරණ දණ්ඩනය නියමවූවන් ඉන්නේ සිරගතවයි. අපිට ඔවුන්ට අභයදානය දෙන්න පුළුවන්. මොකද එදා ඉඳන් අවුරුදු තිහක් හතළිහක් හිරේ දඬුවම් විඳලයි දැන් ඉන්නේ. ඒ වගේම තමයි සිරගතව ඉන්නවා ඇපයක් හෝ දඩයක් ගෙවාගන්න බැරි අය. මෙවැනි අය විශේෂ කොන්දේසි මත ඇප මත නිදහස් කරන්න පුළුවන්. සමාජයේ නිදහසේ හැසිරීම නොවෙයි අපි මෙයින් අදහස් කරන්නේ. වෙනත් රටවල මේ වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයන් තිබෙනවා. එවැනි ක්‍රමවේදයක් අපිටත් අනුගමනය කළ හැකියි. ඒ වගේම ලංකාවේ අධිකරණ වල ලක්ෂ අටකට වඩා වැඩි නොවිසඳුණු නඩු ගොඩගැහිලා තිබෙනවා. අපි බලන්න ඕන රටක් විදිහට නඩු ගොඩගහගන්න නොවෙයි. නඩු ඇති නොවන ලෙස සමාජය වළක්වා ගැනීම කියන තැනට යන්නේ කොහොමද කියන ක්‍රමවේදයක් වෙතයි අපි යා යුත්තේ. ඒ අධ්‍යයනය අපේ රටේ තාම වෙලා නෑ. අපි ඒ සඳහා ක්‍රමවේදයක් සකස් නොකළොත් කෝවිඩ් 19 වසංගතයත් එක්ක ගැටලු ඇතිවිය හැකියි. බන්ධනාගාර තුළ ඇතිවී තිබෙන තත්ත්වය මානව හිමිකම් සමුළුවේදී කතාබහට ලක්විය හැකියි. ඒ නිසා අපිට හැකි වෙන්න ඕන මේ ප්‍රශ්නයට විසඳුම් ඉදිර්පත් කරන්න. විවෘත බන්ධනාගාර හඳුන්වා දීම, බන්ධනාගාරගත වූවන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් හා හමුදාවේ නිලධාරීන් වැඩි කිරීම ආදිය සිදුකරන්න පුළුවන් නම් බන්ධනාගාර ඇතුළත ඉන්න අයට සිදුවන්නේ යහපතක්.

ඒ වගේම රටේ පුරවැසියන් ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා. අපි ආර්ථික වශයෙන් රටක් ලෙස අගාධයකට වැටෙන්න පුළුවන. ඒ වගේම අපිට ආයෝජන නැතිවෙන්න පුළුවන්. විදේශ සංචාරකයන් නැතිවෙන්න පුළුවන්. මේ සියලුම දේ අපිට ළඟා කරගන්න ක්‍රමවේදයක් සැලසුම් කරගන්න ඕන. කෝව්ඩ් 19 වළක්වා ගැනීමේ වැඩසටහනට රජය, හමුදාව, පොලීසිය පමණක් නොවෙයි මහජනතාවත් අවශ්‍ය සහය ලබාදිය යුතුයි. අපි දැක්කා එක ගමක සෞඛ්‍ය නිලධාරීන්ට කෝවිඩ් ආසාදිතයෙක් කෙළ ගසන ආකාරය. මේවා සිදුනොවිය යුතුයි. අපි නිලධාරීන් ධෛර්යමත් කළ යුතුයි. කෝවිඩ් වැලඳුණු අය සමාජ විරෝධී වැඩ කළ අය නොවන බවත් අපි සමාජයක් විදිහට වටහාගත යුතුයි. ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතු විය යුතුයි. ඒ නිසා සමාජ ආරක්ෂාව කියන සංකල්පය ජනතාව තුළට යැවිය යුතුයි. ඒ වගේම දේශීය කර්මාන්ත ශක්තිමත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. රට වහගෙන හැමදාම ඉන්න බෑ. අපි සියලුදෙනාගේ අයිතීන් ආරක්ෂා කරගෙන එකාවන්ව නැඟීසිටීමට මේ වෙලාවේ ක්‍රියාත්මක විය යුතුයි. අපි ජාත්‍යන්තරයට පෙන්වන්න ඕන කෝවිඩ් පරද්දන්න අපි ජාතියක් ලෙස එකාවන්ව කටයුතු කළේ කොහොමද කියන එක. අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් ආරක්ෂා කිරීමට රටක් ලෙස ක්‍රියා කළේ කොහොමද කියන පණිවුඩය අපි දෙන්න ඕන. ඒ වගේම ජාතික සැලැස්මක් ඇති කරගත යුතුයි. බන්ධනාගාරයේ සිදුවීම වගේ දේවල් නැවත නැවත සිදුවීම නම් එතරම් යහපත් වෙන්නේ නෑ.



Recommended Articles