ජාතික පසු විපරම් සභාව සහ ඇමතිවරුන්ගේ කාර්යසාධන දර්ශකය පිළිබඳ යෝජනාව


අමාත්‍යවරුන්ගේ කාර්යසාධනය මැනීමේ දර්ශකයක් සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු නිසි ලෙස ඉටුවන්නේද යන්න සොයා බැලීම සඳහා වූ ජාතික පසු විපරම් සභාවක් ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා යෝජනා කළ බව මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සතියේදීය. 

මැතිවරණයක් ආසන්නයේදී විවිධාකාරයේ පොරොන්දු සහ යෝජනා පැමිණීම සාමාන්‍ය දෙයකි. එහෙත් මැතිවරණයකින් පසුව රටටත්, ජනතාවටත් වගකියන රජයක් නිර්මාණය කිරීම උදෙසා වන පොරොන්දු මැතිවරණයකට පෙර පැමිණෙන්නේ ඉඳහිටය. සත්‍ය වශයෙන්ම ඒවා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වන යෝජනා වුවද, මැතිවරණ සමයකදී ජනතාවගේ වැඩි අවධානය යොමු වන්නේ, සිල්ලර පොරොන්දු වෙතය. ඒ අනුව ගම්මන්පිලගේ යෝජනාව ගැන ජනතාව නොසිතනවා වන්නට පුළුවන. එහෙත් මෙවැනි වැඩපිළිවෙළක් වර්තමානයේ අපේ රටට අත්‍යවශ්‍ය වී තිබේ. 

ගම්මන්පිල යෝජනා කරන්නේ, ඇමතිවරුන් තමන්ට අයත් විෂයයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය අනුව ඔවුන් අනුපිළිවෙළට වර්ගීකරණය කිරීම ගැනය. තෝරාගත් නිර්ණායක මත නිසි බර තැබීමක් සිදුකර දර්ශකයක් සකසා, ඒ අනුව ඇමතිවරුන්ගේ කාර්යසාධනය මැන එය සෑම මාස හයකටම වරක් ප්‍රසිද්ධ කිරීමටද මෙහිදී යෝජනා කර තිබේ. 

එහෙත් මෙහිදී ඇමතිවරයෙකු අඛණ්ඩව තුන් වරක් දර්ශකයේ අවසන් ස්ථානයට පැමිණ ඇත්නම් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හෝ ජනාධිපතිවරයා ඔහුව ඉවත් කළ යුතු යැයි යන යෝජනාවද වෙයි. එය මෙහි ඉටු නොවන කොටසයි. එසේ කියන්නේ ඇමතිවරයෙකු පත් වන්නේ ජනතාවට සේවය කරන්නට පමණක් යැයි සිතන ආණ්ඩු ප්‍රධානීන් තවමත් ශ්‍රී ලංකාවේ බිහි වී නොමැති නිසාය. 
එහෙත් එම කොටස ක්‍රියාත්මක වුවද නොවුණද ඇමතිවරුන්ගේ කාර්යසාධන වාර්තාවක් ලැබීම සමාජය තුළ කතාබහක් ඇති වන්නකි. මේ වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කොතරම් කතා කළාද, ජනතාව වෙනුවෙන් නීති සම්පාදනයට කොතරම් දායක වුණාද වැනි විපරම් කිරීම් ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන තිබේ. මේ නිසා ඇමතිවරුන්ගේ කාර්යසාධනය මනින ක්‍රමයක් වේ නම්, ඊළඟ මැතිවරණයකදී ජනතාව මේ ඇමතිවරුන්ට නිසි පිළිතුරු දෙනු ඇත. 

එමෙන්ම ඊට සමගාමීව ඔහු විසින් ඉදිරිපත් කරන ලද ජාතික පසු විපරම් සභාව පිළිබඳ යෝජනාවද එවැනිම සාධනීය යෝජනාවකි. සාමාන්‍යයෙන් දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කරනු ලබන මැතිවරණ ප්‍රකාශනවල අඩංගු වන ප්‍රතිපත්ති, වැඩසටහන් සහ පොරොන්දු බලය ලැබීමෙන් පසු අමතක කිරීම ශ්‍රී ලංකාවේ සිරිතයි. ඊට හේතුව ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් වැඩි පිරිසක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශ හෝ පොරොන්දු ගැන වද නොවීමයි. 
එහෙත් එයින් දැඩි අගතියක් වන්නේ මෙවැනි ප්‍රතිපත්ති හෝ පොරොන්දු ගැන සිතා ඡන්දය දෙන පිරිසටය. ඔවුන්ට විසඳුමක් සපයමින් මෙම සභාව පිහිටුවීමට ගම්මන්පිල යෝජනා කරයි. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියලුම ප්‍රතිපත්ති සහ වැඩසටහන් අමාත්‍යාංශ අතර බෙදාදීමත්, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන බවට වගබලාගැනීමත් එම ජාතික පසු විපරම් සභාවේ වගකීමයි. එකී කරුණු නිසි කාලරාමුවක් තුළ ඉලක්කගත කර එකී ඉලක්ක අමාත්‍යාංශ විසින් ළඟා කරගන්නේදැයි අධීක්‍ෂණය කිරීමත්, එකී ඉලක්ක ළඟා කර ගැනීමට අපොහොසත් වන අමාත්‍යාංශ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීමත් මෙකී සභාවේ කාර්යභාරයන් අතරට යෝජනා වී තිබේ.  

ගම්මන්පිලගේ මේ යෝජනා මාලාව ඇතැම් අනවශ්‍ය ප්‍රවෘත්තිවලට මාධ්‍යයේ ලැබුණු වැඩි අවධානය හරහා යට ගියේය. එහෙත් මේ යෝජනා මාලාව පුරවැසියන්ට වැදගත් එකකි. 2009 දී ඔහු දේශපාලනයට පැමිණීමත් සමග මැතිවරණයට පොලිතීන් භාවිත නොකරන බව කියූ අතර, පසු කලෙක එය නීතියක් විය. මේ නිසා ගම්මන්පිලගේ මේ උත්සාහයද යථාර්ථයක් වේ නම් වැදගත්ය. යම් දිනක ඔහුට ඇමතිකමක් ලැබුණොත් අවම වශයෙන් යම් දර්ශකයක් සකසා ඔහු විසින් තමන්ගේ අමාත්‍යාංශයේ ඇගයීමක් සිදුකර එය ප්‍රසිද්ධ කරන්නට ක්‍රියා කළහොත්, එය ඔහුගේ පොලිතීන් නැති මැතිවරණ සංකල්පයය මෙන් පසු කලෙක හෝ යථාර්ථයක් වනු ඇත. 

පසු විපරම් සභාව පිහිටුවීම ජනාධිපතිවරයාට භාරය. ජනාධිපතිවරයා නිතර කියන්නේ වැඩ නොකරන මිනිස්සු අතරට යන්න බැහැ කියාය. මේ නිසා පසු විපරම් සභාවේ කාර්යය ඉක්මනින්ම ඉටුකළ හැකි නම් වැදගත් ය. 

 



Recommended Articles