ජාතික ආරක්ෂාවේ වැදගත්කම


තිස් වසරකට පසු දිනාගත් නිදහස වසර දහයක් ගතවන විට අපට අහිමි වී තිබේ. කෙටි කාලයක් තුළ අරගල කිහිපයකට මුහුණදුන් රටක් ලෙස මෙරට ආරක්ෂාව අදට වඩා හෙට තිබිය යුතුය.
එහෙත් ගෙවී ගිය වසර හතරක් පමණ කාලය තුළදී මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට පාලකයන් ඇතුළු වගකිවයුතු පාර්ශ්ව කටයුතු කළේ නැත. ගෙවී ගිය කාලයේදී මේ රටේ ප්‍රධාන තැනක්දී තිබුණේ යහපාලන සංකල්ප ක්‍රියාත්මක කිරීමට හා සංහිඳියාව ඇති කිරීමටත්, ජාතීන් අතර සමගිය ඇති කිරීමටත්ය. මෙවැනි දේවල් රටකට අත්‍යවශ්‍යම දේවල් වන අතර, එහෙත් ජාතික ආරක්ෂාව මේ සියලුම දේවල්වලට ඉහළින් තිබිය යුතුය. මේ නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වාර්ෂික වියදමින් වැඩිම කොටස වෙන් කරනුයේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි.

තිස් අවුරුදු යුද්ධය අවසන් කළ අප රටේ ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, සිවිල් ආරක්ෂක බළකායට වර්ග කිලෝමීටර් 65,525ක භූමියකට අවශ්‍ය ආරක්ෂාව ලබාදිය නොහැකි යැයි අප කිසි සේත්ම සිතන්නේ නැත. එහෙත් අදාළ කටයුතු වෙනුවෙන් නායකත්වය ලබාදිය යුතු බලධාරීන් හා දේශපාලන අධිකාරිය නිවැරදි ලෙස නායකත්වය ලබා නොදීම හේතුවෙන් දිනාගත් නිදහස වසර10 කටත් අඩු කාලයකදී අපට අහිමි වී  ගොස් තිබේ.
මේ නිසා දේශපාලනඥයන් තමන්ගේ ආරක්ෂාව තර කර ගනිමින් තිබෙන අතර, පොදුවේ රටේ තෝරාගත් ස්ථානවලට වෙන වෙනම ආරක්ෂාව සැපයීමටත් රට තුළ වැඩපිළිවෙළක් සකස් වී තිබේ. එහෙත් පොදුවේ සැලකීමේදී මෙවැනි ක්‍රියා තුළින් රටේ ආරක්ෂාව පිළිබඳව ජනතාවට සෑහීමකට පත්විය හැකිද යන්න ගැටලුවක් ඇතිවී තිබේ. 

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ආගමික ස්ථාන ආරක්ෂා කර ගැනීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කර ඇති අතර, මීට අමතරව පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. රෝහල් ආරක්ෂා කර ගැනීමට රෝහල් මට්ටමින් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, මාර්ග දෙපස බස් නැවතුම්පොළවල් තුළ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. බස්වල ගමන්කරන මගීන් හා දුම්රියන්හි ගමන්කරන මගීන් ආරක්ෂා කර ගැනීමට බස් රථවල රාක්ක හා සීට් යට බෑග් තැබීම තහනම් කර තිබේ.

ප්‍රභූ පුද්ගලයන් හමුවීමට යන ජනතාව දැඩි පරීක්ෂාවකට ලක්කර ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව තර කර තිබෙන අතර, සැක කටයුතු පුද්ගලයන් පරීක්ෂාවකට ලක්කර මහමග ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අංශ කටයුතු කරයි. මේ සියලුම දේ එකතු කර අද වනවිට රටේ ආරක්ෂාව තරකර තිබෙන බවට ඇතැම් දේශපාලනඥයන් මහා උජාරුවෙන් ප්‍රකාශ සිදුකිරීමටත් මේ වන විට කටයුතු කරමින් තිබේ. 

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සිදුකරන දැඩි කැපකිරීමට සමස්ත රටේම ජනතාවගේ ප්‍රශංසාව හිමිව ඇති අතර, එහෙත් කොටස් කොටස් වශයෙන් ආරක්ෂිත වැඩපිළිවෙළ දියත් කිරීම තුළින් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු නොවන බවට දේශපාලනඥයන් තේරුම් ගත යුතුය. 

පාසලකට ආරක්ෂාව ලබාදීම තුළින් පමණක් මෙරටේ දරු පරපුර ආරක්ෂා කරගත නොහැකිය. ආගමික ස්ථාන පමණක් ආරක්ෂා කිරීම තුළින් පමණක් මෙරටේ බැතිමතුන්ට සම්පූර්ණ ආරක්ෂාව හිමිවන්නේ නැත. ප්‍රභූවරුන් මුණගැසීමට යන පිරිස් පරීක්ෂාවකට ලක්කිරීම තුළින් පමණක් ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන්නේද නැති බවට මෙහිදී තේරුම් ගත යුතුය. එසේම බස් රථවල, කෝච්චිවල රාක්ක මත, සීට්යට බෑග් තැබීම, පාර්සල් තැබීම තහනම් කිරීම තුළින් පමණක් මගීන්ගේ ආරක්ෂාව සැලසෙනුයේ නැත.

සිදුවිය යුතුව තිබෙන්නේ සියලුම දෙනාට නිදහසේ ගමන්බිමන් යාහැකි ආකාරයට, දරුවන්ට පාසල් යෑමට හා පාසලේ සිට නිදහසේ ඉගෙනුම ලැබීමට හා නිදහසේ නිවසට ඒමට හැකි ආකාරයට රට තුළ ආරක්ෂාව ස්ථාපිත කිරීමය. පාසලට ආරක්ෂාව ලබාදීම තුළින් පාසල් තුළ ඉගෙනුම ලබන දරුවන්ට ආරක්ෂාව ලැබේ. එහෙත් නිවසේ සිට පාසලටත් පාසලේ සිට නිවසටත් ගමන්  කරන කාලය තුළ හා නිවසේ දරුවන් ගතකරන කාලයට දරුවන්ගේ ආරක්ෂාව ලබා දෙන්නේ කවුරුන්ද යන්න ගැටලුවක් වී තිබේ.

පාසල් ආරක්ෂා කිරීමේ වගකීමෙන් කොටසක් පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන්ට  හා දෙමාපියන් වෙතත් පවරා තිබෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහන් කරයි. එහෙත් නිරායුද ජනතාවට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු හෝ වෙනත් ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන පුද්ගලයෙකු මෙල්ල කිරීමට හැකියාව නොමැත. මීට අමතරව පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳව හෝ පුපුරණ ද්‍රව්‍ය හමුවුවහොත් එය පුපුරා යෑම වළක්වා ගැනීමට සිදුකළ යුතු ආරක්ෂිත ක්‍රම‘වේදයක් පිළිබඳවත් මෙරටේ සිවිල් පුරවැසියන්ට දැනීමක් නොමැත.

යම් ලෙසකින් මෙවැනි පරීක්ෂා කිරීමක් සිදුකිරීමට යෑමේදී පිපිරීමක් සිදුවී සාමාන්‍ය ජනතාවට හානියක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කවුද යන්න ගැටලුවක් වී තිබේ. එහෙත් සියලුම දෙනාගේ ප්‍රාර්ථනාව වී තිබෙනුයේ කිසිදු දිනක තවත් පිපිරීම් සිදු නොවේවා යන්නය. පාසල් ආරක්ෂා කිරීමට දෙමාපියන්ට සිදුවීම හේතුවෙන් සතියකට දිනක් හෝ දෙකක් තමන්ගේ දෛනික කටයුතු අතපසු කරගෙන එම කටයුතු සිදුකිරීමට ඔවුන්ට සිදුව තිබේ. ආරක්ෂාවක් තිබෙන බවට ජනතාවට සහතිකයක් ලැබෙනුයේ බියෙන්, සැකෙන් තොරව සිය දරුවන් පාසලට යැවීමට හැකි වාතාවරණයක් උදාවූ පසුවය. ඒ දවස උදාකරදීම පාලකයන් සතු වගකීමකි. මන්දයත් මෙරට ජනතාවට තනි තනිවම රටේ ආරක්ෂාවත් , තමන්ගේ ආරක්ෂාවත් සලසා ගැනීමට තරම්  හැකියාවක් නොමැති නිසාය.

පාස්කු ඉරිදා සිදුකරගත් පිපිරීම සිදුකර ගනු ලැබුවේ මරාගෙන මැරෙන ප්‍රහාර ලෙසය. මේ නිසා  බස්රථවල, කෝච්චිවල රාක්කවල හෝ සීට් යට බෑග් පාර්සල් තැබීම තහනම් කිරීම තුළින් පමණක් මගී ජනතාවට ආරක්ෂාව සැලසෙනවා යැයි සහතිකයක් ලබාදිය හැකිද යන්න ගැටලුවකි. මේ නිසා තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස හෝ බස් රථ තුළ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ සංඥා නිකුත් කරන තාක්ෂණ උපකරණයක් හෝ සවිකිරීමට බලධාරීන් මැදිහත්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

බස් සංගමයක්ද මෙවැනි යෝජනාවක් රජයට ඉදිරිපත් කර තිබෙන අතර, ඒ පිළිබඳව රජයේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වන ආකාරයක් තවමත් වාර්තාවී නොමැත. සීයට සීයක් මෙම ක්‍රියා සාර්ථක නොවුණත්, මෙවැනි සංඥා පද්ධති හරහා සුළු වශයෙන් හෝ ත්‍රස්තවාදී ක්‍රියා අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

රෝගීන් ආරක්ෂා කර ගැනීම සඳහා සමස්ත රෝහල් පද්ධතියටම දැඩි ආරක්ෂාවක් ලබාදී තිබුණද රෝහලට පැමිණි කාලය තුළ හා රෝහලෙන් පිටවී නිවසට යනතෙක් රෝගීන්ට සුරක්ෂිත ලෙස ආරක්ෂාවක් ලැබෙනවා යැයි සහතිකයක් දීමට හැකියාවක් නොමැත. ප්‍රභූවරුන් හමුවීමට යන පිරිස් දැඩි පරීක්ෂා කිරීමකට ලක්කර ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැලසීමට හැකියාවක් තිබුණද ගමන්බිමන් යෑමේදී හා ක්ෂේත්‍ර‘යේ කටයුතු කිරීමේදී  ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇති වනවා නොඅනුමානය. යම් යම් ප්‍රශ්න මත මෙරටේ මැති ඇමතිවරුන් හා අනෙකුත් දේශපාලනඥයින්ට යම් යම් අවස්ථාවල ජනතාව චෝදනා එල්ල කළද ඒ සියලුම දෙනාගේම ජීවිත සුරක්ෂිත විය යුතුය. මීට අමතරව ආරක්ෂක අංශ ප්‍රධානීන් හා සමස්ත ආරක්ෂක අංශයේම ජීවිත සුරක්ෂිත විය යුතුවේ. මේ නිසා කොටස් වශයෙන් රට ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළවල් තුළින් සමස්ත ජනතාවටම එකහා සමානව සුරක්ෂිත භාවයක් ලැබෙන්නේ නැත.

බෙදුම්වාදී යුද්ධයේදී රටේ ජනතාවගේ ආරක්ෂාව සලසා දීමට හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින් අතිවිශාල පිරිසක් ජීවිත පූජා කළේය.ආරක්ෂක අංශ ජීවිත පූජා කළ බවට සඳහන් කළත්, අත්, පා, ඇට, ලේ, මස් පූජා කළේ ආරක්ෂක අංශ බවට ප්‍රකාශ කළත් මේ සියලුම දෙනා මේ රටේ ජනතාවය. ඉපදෙන සෑම කෙනෙකුම කවදා හෝ මරණයට පත්වන බවට ලෝක ධර්මතාව වුවද, මානසික රෝගියෙකු හැරෙන්නට වෙනත් කිසිදු පුද්ගලයෙකු අකාලයේ මිය යෑමට කැමැති නැත. මෙම ධර්මතාව නිල ඇඳුම ඇඳගත් ආරක්ෂාක අංශ සාමාජිකයන්ටද අදාළය. එහෙත් මවුබිම ආරක්ෂා කරගැනීම උදෙසා දිවි පිදූ රණවිරුවන් ඈත අතීතයේ සේම මෑත අතීතයේද සිටිය බව අප දනිමු.  

මේ නිසා රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින්, රටේ ආරක්ෂාව තහවුරු කරන සමස්ත පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගේද ආරක්ෂාව තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙළවල් සකස් කිරීම රටේ බලධාරීන්ගේ ප්‍රධාන වගකීමකි.

රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය බුද්ධි තොරතුරු ඉතාමත් විශිෂ්ට ආකාරයට එකතු කරන ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි අංශයක් හා රාජ්‍ය බුද්ධි අංශයක් අප රට තුළ තිබේ. තිස් අවුරුදු යුද්ධය පවා අවසන්  කිරීමට ප්‍රධාන වූ සාධකයක් වූයේ විධිමත් බුද්ධි අංශ අප රට සතුව තිබීමය.  බුද්ධි අංශ නිලධාරීන්ගේ දක්ෂතාව කෙතරම්ද යත් තිස් අවුරුදු සමයේදී එල්.ටී.ටී.ඊ බල ප්‍ර‘දේශවලට ගොස් පවා බුද්ධි තොරතුරු ලබාගැනීමට ඔවුහු කටයුතු කළහ. මෙම බුද්ධි තොරතුරු හේතුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රහාරවලටද ලක්විය.
අප රටට සිටිනුයේ ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධි තොරතුරු එක්රැස් කරගන්නා නිලධාරීන්ය. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී බුද්ධි තොරතුරු ඉතාමත් වටිනාම තොරතුරු වේ. ප්‍රශ්නය වී තිබෙනුයේ බුද්ධි තොරතුරුවල වටිනාකම මෙරටේ පාලක පන්තිය දැන සිටිනවාද යන්නය.

යුද්ධයක් නොමැති බැවින් බුද්ධි තොරතුරු එතරම් වැදගත් නොවන කාරණා සේ සැලකූ දේශපාලනඥයින්ද රට තුළ සිටින බවට පසුගිය කාලයේ ඔවුන් හැසිරුණ ආකාරයෙන් පෙන්නුම් කෙරිණි. මීට අමතරව පසුගිය 21 වැනිදින සිදු වූ පිපිරීම් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබුණද වගකිව යුත්තන් එය නොසලකා හැරි බවටද විවිධ පිරිස් ප්‍රකාශ කරමින් සිටියි. මෙම ප්‍රකාශවල සත්‍ය, අසත්‍යතාව මේ පිළිබඳව සොයා බලන පරීක්ෂණ කණ්ඩායම් විසින් ඉදිරියේදී හෙළි කරගනු ඇත.

කෙසේ නමුත් කාගේ හෝ වරදින් සිදුවූ වරදක් නිසාවෙන් අහිංසක, නිරායුද ජනතාවගෙන් පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමටත්, රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගැනීමටත් සිදුවිය. මේ නිසා සිදුකළ යුතුව තිබෙනුයේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකට එකතුවී ආරක්ෂාව සීයට සීයක් සහතික කර ගතහැකි ආකාරයේ විධිමත් වැඩපිළිවෙළක් රට තුළ සකස් කිරීමය. එසේ නොමැතිව සිදුවූ ප්‍රහාර පිළිබඳ එකිනෙකාට චෝදනා එල්ලකර ගැනීම තුළින් සිදුවනුයේ රට තවත් අනාරක්ෂිත තත්ත්වයට පත්වීමය.

රට තුළ සුළු හෝ අනාරක්ෂිත තත්ත්වයක් ඇති වූ විට එහි බලපෑම මුලින්ම එල්ල වනුයේ ජන ජීවිතයටය. ජන ජීවිතය අඩාළවීමෙන් පසු එහි බලපෑම ආර්ථිකයට බලපාන අතර අවසානයට ආර්ථිකය කඩා වැටුණු රටක ජනතාවට බියෙන්, සැකෙන් ජීවත් වීමටත් සිදුවේ.  එහෙත් ජාතික ආරක්ෂාව ස්ථාපිත වූ රටක ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකියාව තිබෙන අතර, එහිදී පාසල්වලට, රෝහල්වලට, පොදු ස්ථානවලට අමතර ආරක්ෂාවන් සැපයීමට අවශ්‍ය වන්නේද නැත.



Recommended Articles