ජාතික ආරක්ෂාව තහවුරු කරන්නෙමු


පාස්කු ප්‍රහාරයට මාස 6යි! වැරදිකරුවන් නැතිද?

පාස්කු ප්‍රහාරය සිදුවී මාස හයක් ගතවන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. මිලේච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ට මොක්සුව පැතීමටත්, තුවාල ලබා තවමත් සුව නොවූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. වසර 30ක යුද්ධය අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනතාව සැක බිය තොරව ජීවත් වූ කාලය වසර 10කට පමණක් සීමා විය. ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බව අප සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කළෙමු.

ප්‍රහාරය සම්බන්ධයෙන් සියලුම තොරතුරු බුද්ධි අංශ විසින් ලබාදී තිබියදීත් එය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඒ ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොමැතිව කටයුතු කිරීම හේතුවෙනි. ආණ්ඩුව අභූත චෝදනා ගොනුකරමින් රණවිරුවන් අත්අඩංගුවට ගත් අතර, බුද්ධි අංශද දුර්වල කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් මුලින්ම අප ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කළ යුතුය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනතාව ඉල්ලා සිටීමට ප්‍රධාන හේතුවක් වූයේද ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමය. 

අනෙක් අතින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කිසිවෙකුට මේ දක්වා නීතිය මගින් දඬුවම් ලැබී නොමැත. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැති කොමිසමක් පත්කරන ලෙසට කළ ඉල්ලීමද අප රජයක් යටතේ ඉටුකිරීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කරන්නෙමු. ඒ හරහා මෙම ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනෙමින් ඔවුන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන්නෙමු. 

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් හෙයින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් කෘෂිකර්මාන්තයෙන් දැවැන්ත සහයක් ලබා ගැනීමට අවස්ථාව තිබේ. මහින්ද රාජපක්ෂ රජය සමයේදී මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් අප විවිධ වූ ක්‍රියාමාර්ග ගත් අතර, එහි ප්‍රතිඵල අපට ඇස් පනාපිටම දක්නට ලැබුණි.

යුද්ධය වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වැයකරන අවස්ථාවේදී පවා අප රජය පොහොර සහනාධාර ලබාදීමට කටයුතු කළේ ශ්‍රී ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත රටක් බවට පත්කිරීමේ අරමුණ ඇතිවය.

එහි ප්‍රතිඵල අපට දක්නට ලැබුණ අතර, ඉතිහාසයේ අප නෙළාගත් ඉහළම වී අස්වැන්නක් අපට 2015 වසරේදී ලබා ගැනීමට අවස්ථාව තිබුණි. එම අස්වැන්න කොතෙක්ද යත් එය ගබඩා කිරීම වෙනුවෙන් මත්තල ගුවන් තොටුපොළ පවා යොදා ගැනීමට සිදුවිය. 

කෙසේ වෙතත් ඉන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රධානීන් කළ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වී වගාවට යම් බලපෑමක් ඇති වූ අතර, වී අස්වැන්න ක්‍රමයෙන් පහළ ගියේය. ඒ අනුව අපට නැවතත් පිටරටින් හාල් ආනයනය කිරීමට පවා සිදුවිය. මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය පිළිබඳව කටයුතු කළේ ඒ ආකාරයෙනි.

මේ බව වටහාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමගින් සාකච්ඡා කර පොහොර වෙනුවෙන් රුපියල් 350 අය කිරීමද කපා හැරීමට තීරණය කළේය. එය අප වේදිකාවේ සඳහන් කළ විට ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කිරීමට පටන් ගත්තේ සෑම ගොවියෙකුටම පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි.

එය හොඳ දෙයකි. නමුත් සජිත් ප්‍රේමදාස මහතාට මේ බව මතක් වීමට අප පොහොර වෙනුවෙන් කී ප්‍රකාශය සිදුකරන තෙක් සිටියේ මන්දැයි ගැටලුවකි. අවුරුදු හතර හමාරක් සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ලෙස කටයුතු කළ අතර, ඒ කාලයේදී ඔහුට මෙය සිදුකිරීමට නොහැකි වූ අතර යම් හෙයකින් ඔහු ජනපති ධුරයට පත්වුවත් එම පොරොන්දුව ඔහු ඉටුකරයිදැයි ගැටලුවක් බවට පත්වනු ඇත.

මේ අතර අපි කෘෂිකර්මාන්තය පිළිබඳ අවධානය යොමු කළ විට දක්නට ලැබුණ තවත් ප්‍රධාන කරුණක් වූයේ එම ක්ෂේත්‍රය තුළ පවතින සේවා වියුක්තියයි. ඒ ගැටලුවටද අපි ස්ථිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කරන්නෙමු. 

මත්තල ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවට අනවශ්‍ය ව්‍යාපෘතියක් බවට සඳහන් කළ ආණ්ඩුව පසුගිය දිනක යාපනයේ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් විවෘත කළේය. යාපනයට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම පිළිබඳව අප කිසිසේත්ම විරුද්ධත්වක් ප්‍රකාශ නොකරන්නෙමු.

නමුත් මෙම ගුවන් තෙටුපොළ විවෘත කර දින කිහිපයකින් උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණය තත්ත්වය ‍හේතුවෙන් මේ වනවිට මඩ වගුරක් බවට පත්ව තිබේ. මෙවැනි හදිස්සියක් යටතේ ආණ්ඩුව යාපනය ගුවන් තොටුපොළ විවෘත කළේ ඉදිරි ජනපතිවරණය වෙනුවෙනි. කෙසේ වෙතත් මේ වනවිට එම ගුවන් තොටුපොළේ සැබෑ තත්ත්වය ජනතාවට දැකීමට අවස්ථාව තිබේ. 
මීට ප්‍රථමව අප රජය මගින් ආරම්භ කළ නෙළුම් කුලුන ව්‍යාපෘතියද ආණ්ඩුව විසින් විවෘත කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත් මේ දක්වා එහි කිසිම ව්‍යාපාරික කටයුත්තක් සිදුනොවේ. යාපනය ගුවන් තොටුපොළ මෙන්ම කොළඹ නෙළුම් කුලුනද ආර්ථිකයට වැඩි බලයක් ලබාදෙන ව්‍යාපෘති බවට පත්කිරීමට අපගේ රජය කටයුතු කරන බවද මෙහිදී සඳහන් කරන්නෙමු. 

ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles