ජවිපෙ එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදය


සියලු අභියෝග එල්ල වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට හා එහි අංගෝපාංගවලටය. දේශපාලන නායකත්වය වෙත කවුරු ආවද ගියද කේන්ද්‍රීය හා වැදගත් සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අවසානයේ එය ලැබුවේ සාපේක්ෂ ජයකි. 

එය ලාංකේය සංදර්භයේදී සුළුපටු ජයක් නොවන්නේ නමුත් මෙරට දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අපේක්ෂා කරන්නන්ගේ ඇසින් නම් මහ දෙයක් නොවේ. එනිසා දැන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලය නව වටයකින් ඉදිරියට ගත යුතුව තිබේ. 

ඒකාධිපතිවාදයට එරෙහි අරගලයේදී සබුද්ධික මහජනතාව විශාල කැපවීමක් සිදුකළද එහි ප්‍රතිඵලය ලැබෙන්නේ ඔවුන්ට නොවේ. අත්පත්වන නායකත්වයටය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලය සමස්ත ජනතාවට බෙදා දීමේ අවංක කැපවීමත් සහිත ක්‍රියාවලියක් නිර්මාණය කරගැනීම ඔවුන් ඉදිරියේ පවතින අභියෝගය මෙන්ම වගකීමද වන්නේය.
මහින්දගේ පරාජයේත් ජවිපෙ ප්‍රමුඛ වාම ක්‍රියාධරයන්ගේ හා සිවිල් සංවිධානවල කැපවීමෙන් සෘජු ප්‍රතිඵලය ක්ෂණිකව භුක්ති විඳින්නේ රනිල්ය. ඒ මේ දේශපාලන ක්‍රමයේ සංවිධානය ව්‍යුහය සකස් වී ඇති ආකාරයේ ස්වභාවයයි. එහෙත් ඔහු සිටින්නේ ප්‍රබල හා නරක කොන්සර්වේටිව් ගතානුගතික තැනකය. ආර්ථිකය සම්බන්ධයෙන් දොරගුලු විවර කිරීමට ඔහු කැමැත්ත දැක්වුවත් රැඩිකල් ලෙස හා කැපවීමෙන් සංස්කෘතික හා සමාජ වෙනස්කම් සිදුකිරීමට ඔහු කැමති නැත. කැපවන්නේද නැත. 

නිදසුනක් ගතහොත් ඔහු මෙරට තරුණ පරපුරට හොඳ මට්ටමේ ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කරන්නේ නැත. විශ්වවිද්‍යාලවල ඒ සඳහා නිසි පහසුකම් සකසන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය පදනම සැකසිය හැකි ගැමි පදනමක් සහිත පිරිස් සමග සන්ධානගත වන්නේ නැත. ඒ වෙනුවට ඔහු තම පැලැන්තිය ආරක්ෂා කරගනියි. සමාජ සංස්කෘතික පදනම වෙනස් කිරීම ඔහුගේ න්‍යාය පත්‍ර‘යේ නැත.
ජේ.ආර්., ප්‍රේමදාස වැනි නායකයන් පුද්ගලයන් සමග එකතුවී ගැමි පදනම ග්‍රහණය කරගැනීමට උත්සහ කළේය. ආනන්ද තිස්ස අල්විස් වැනි අය සමග සමාජයේ යම් මට්ටම්වලට ඇමතීමට පුවත්පත් පවා ආරම්භ කළේය. ඒවායේ යම් ගැටලු සහගත දේවල් තිබේ. එහෙත් න්‍යායාත්මක වශයෙන්  එම ක්‍රියාවලීන් විශ්ලේෂණය කළ හැක්කේ තමා වැඩුණු පැලැන්තියේ සීමා හඳුනා ගනිමින් රටේ බහුතරයක් නියෝජනය කරන පැලැන්තිය ඇමතීමට ගත් උත්සාහයක් වශයෙනි. රනිල්ගේ ප්‍රධානතම දුබලතාව එම සන්ධානය ගොඩනැගීමට දක්වන නොහැකියාවයි.

රනිල්ට සාපේක්ෂව මෙතැනදී මහින්ද වඩා ප්‍රායෝගික නායකයෙකි. ඔහු ගැමි පැලැන්තියට දිය හැකි උපරිම දේ දීමට උත්සාහ දරයි. ඔවුන් තමන්ගේ මිනිසුන් ලෙස සිතයි. එතනදී ඔහුට මානසික බැරියරයක් නැත. එහෙත් ඛේදවාචකය වන්නේ එසේ දිය යුත්තේ මොනවාද යන ප්‍රශ්නයේ දී ඔහු තෝරාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් මුළුමනින්ම වියුක්ත භෞතික පහසුකම් මාලාවක් පමණක් වීමය. රනිල් සතු ලෝක දෘෂ්ටිය කියවීම මහින්දගේ ලෝකය තුළ ග්‍රහණය නොවීම මෙයට හේතුවයි. මෙය රනිල් වික්‍රමසිංහ මෙන්ම දැන් මේ පත්වන ආණ්ඩුව ප්‍රබල ලෙස සිතා බලා ක්‍රියාත්මක විය යුතු අවස්ථාවකි. 
ලාංකේය තරුණයාට දිය යුතු සාමාජ සංස්කෘතික උරුමය සඳහා පැහැදිලි ක්ෂණික වැඩපිළිවෙළක් නිර්මාණය වීමෙන් පමණක් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමය ඔවුන්ට ලැබෙනු ඇත. නැතහොත් සිදුවන්නේ රට නැවත පසුපසට යෑමයි. එනිසා අද හෙටම ක්‍රියාත්මක විය යුතුය.

මහින්ද දිවුරුම් දුන් රාත්‍රියේ සිට දින කිහිපයක් ජවිපෙ ඇඹරුණත් මීළඟට සැලිකිය යුතු මට්ටමෙන් වැඩේට බැස්සේය. එය ගරු කළ යුතු තත්ත්වයකි. මුලදී තදින් ඔවුන් පෙළූ බිය වූයේ මේ වැඩේට බැස්ස විට රනිල්වාදීන් විදිහට හංවඩු ගැසෙනු ඇතැයි පැවැති බියයි. මෙය ගතානුගතික පැරණි වාමාංශික බියක් වන අතර, ලංකාවේ ඇතැම් පහළ මධ්‍යම පාන්තිකයන්ට කන්‍යාභාවය සම්බන්ධයෙන් ඇති බියට සමාන තත්ත්වයකි. 

80 දශකයේ නායකත්වයේ ඛේදවාචකයක් වන මෙය පැරණි යූ ඇන්පීය, ශ්‍රී ලංකා වෙනස විසින් ඇතිකරන ලද අස්ථාන භීතියකි. යූ ඇන්පිය යනු නිකමටවත් ඇසැර බැලිය නොයුතු භයානක ප්‍රතිගාමී බලවේගයක්ය යන පැරණි මෝඩ වාම මතය නිසා රනිල් යනු අතිභයානක සත්ත්වයෙකි යන මතය ජවිපෙ ඇතැම් ඉහළ උදවිය තුළ ස්ථාපිතව තිබෙන බව පෙනේ. එහෙත් දසතින් නැගුණු සමාජ බලවේග හා තම දේශපාලන පැවැත්ම අහෝසි වීමේ ඛේදවාචකයත් තමා ඉදිරියේ පෙනී සිටි නිසා ජවිපෙ ඉතා හොඳ මැදිහත්වීමක නිරත වීම සතුටකි. මේ මොහොතේ බිහිසුණුම සතුරා වටහා ගැනීම අවශ්‍යය. මේ වනාහි දේශපාලන අරගලයකට ඔබ්බෙන් පවතින අනාගතයේ එළඹිය හැකි එළඹීමට තිබූ ෆැසිස්ට් මාදිලියක් පරාජය කළ අවස්ථාවකි. ජවිපෙ මේ පියවර ඉදිරියට රැගෙන යමින් පසුගියදා ගෝල්ෆේස් රැළිය සඳහා තම ශ්‍රමය උපක්‍රමශීලීව යෙදීම අගය කළ යුතුය. දේශපාලනය පැරණි වාමා ආකෘතිවලින් මිඳවීම ටිකින් ටික හෝ සිදුකිරීම ප්‍රශංසනීය වේ.

ෆැසිස්ට් අනතුර තවම මුළුමනින්ම පහව ගොස් නැත. ඉදිරි මැතිවරණයේදී එය බලවත්ව නැගීමට ඉඩ තිබේ. ඒ නිසා ජවිපෙ හා එජාපය නිර්භයව දෙකට නොබෙදී තම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් වැඩ කළ හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කරගත යුතුය. 

මේ උදා වූ තත්ත්වය යටතේ යූ ඇන්පීය මහජන අවස්ථා අහිමි කරන්නේ නම් එයට එරෙහිව අවංකව පෙනී සිටීමේ හොඳම ලැයිසම තිබෙන්නේ ජවිපෙටය. එය ඉක්මනින්ම විපක්ෂනායක ධූරය දක්වා වර්ධනය කළ යුතුව පවතී. ඒ සඳහා මූලික කොන්දේසිය මහින්දට මීට වඩා විශාල පරාජයක් ලබාදීම සඳහා යූඇන්පිය සමග යම් ආකාරයක කටයුතු කිරීමයි. මන්දයත් ගම් මට්ටමින් මහින්දට යම් බලයක් පැවතීම බලවත් ලෙස තර්ජනයක් වන්නේ යූ ඇන්පියට නොව ජවිපෙට වීම නිසාය.



Recommended Articles