ජපානය හැමදාම අපේ මිතුරෙක්


ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ රටවල් බොහෝමයක්  සමග ශක්තිමත් සබඳතා පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ 2015ට පෙර, ශ්‍රී ලංකාව සිය විදේශීය හවුල්කරුවන් සමග ඇති ශක්තිමත් සබඳතා තුළින් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ වසර 30ක් පැවැති යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු තේරීම වූයේ සාමයයි. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය එයට එකඟ නොවූ නිසා ඊළඟ විකල්පය වූයේ මානුෂීය මෙහෙයුම දියත් කිරීමය.

සාමය වෙනුවෙන් ගත් උත්සාහයේදී මෙන්ම මානුෂීය මෙහෙයුම් සමයේද විදේශීය රටවල් අපත් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. 
යුදමය කාලයට පෙරාතුවත්, යුදමය කාලසීමාවේත් ඉන් පසුවත් ශ්‍රී ලංකාවට සැබෑ ලෙසම සහාය දැක්වූ රටවල් අතරින් ඉදිරියෙන්ම පසුවන රටක් වන්නේ ජපානයයි. ජපානය සෑම විටම ශ්‍රී ලංකාවේ කළණ මිතුරෙකු විය.

මේ සුන්දර ජපානය අද ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ රටකි. එමෙන්ම ලෝකයේ ශක්තිමත් රටකි. මහින්ද රාජපක්ෂ රජය යටතේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සබඳතා සෑමවිටම ඉහළ මට්ටමක පැවතියේය. එයින් දෙරටටම වාසි අත් විය.

ශ්‍රී ලංකාව හා ජපානය අතර තවදුරටත් සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පසුගියදා මම ජපානයේ සංචාරයකට එක්වීමි.

2015 වසරේදී බලයට ‍පැමිණි යහපාලන ආණ්ඩුව අපට සිටි සැබෑ මිතුරන් අහිමි කරගනිමින් වෙනත් රටවල් සමග සබඳතා පැවැත්වීමට කටයුතු කළේය. එහි විවිධ ඵලවිපාක අපට අද වනවිට භුක්ති විඳීමට සිදුව තිබේ. මෑතකදී යුද හමුදාපතිවරයා පත් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට පවා ඇතැම් රටවල් සිය විරෝධය පළ කිරීමට කටයුතු කළේ ඒ අනුවය.
මේ ආකාරයේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා බිඳ වැටෙමින් පවතී.  එය වෙළෙඳාම, විදේශීය ආයෝජන සහ දිවිපාර්ශ්වීය මෙන්ම බහුපාර්ශ්වීය ගිවිසුම් අඩුවීමට හේතු වී තිබේ. 

වත්මන් ආණ්ඩුවේ වංචාව හා දූෂණය මෙන්ම විවිධ ආකාරයෙන් වෙනස් වන ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයේ ඇති ප්‍රතිරූපයට දැඩි ලෙස හානි පැමිණ තිබේ. එය  ආයෝජකයන්ගේ විශ්වාසය නැතිවීමට හේතුවක් වී ඇත.

විපක්ෂයේ සිටියත් ශ්‍රී ලාංකිකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය පහත වැටෙන විට අපගේ වගකීම වන්නේ එය හැකිතාක් වළක්වාගැනීමට කටයුතු කිරීමයි. මේ අනුව ජපානයේ මා කළ සංචාරයේදී එරට රජයේ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු නායකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු මුණගැසී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමටත්, ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳ ඔවුන්ගෙන් අදහස් ලබාගැනීමටත් මම කටයුතු කළෙමි.
ජපන් සගයන්ගෙන් අපට ඉගෙනගත හැකි දේ බොහෝමය. ජපාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලේකම් සහ හිටපු ජපාන අගමැතිවරියකගේ දියණියක වන මගේ මිතුරියක වන ඔබුචි යුකෝ මහත්මිය හා පැවැති හමුවේදී මේ පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කළෙමු.

මීට වසර 08කට පෙර මම ජපානයට ගිය අවස්ථාවේදී යූකෝ මහත්මිය හමුවීමෙන් අනතුරුව මට ඇයව හමුවූයේ මේ අවස්ථාවේදීය.
ඇය හා පැවැති සාකච්ඡාවේදී 2020දී ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ඇය සඳහන් කළාය. 

 ඉන් අනතුරුව මම ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය නොරිකාසු සුසුකි මහතා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූයෙමි. සුසුකි මහතා මට ජපන් පාර්ලිමේන්තුවට ආරාධනා කර මාව සංචාරයකට කැඳවාගෙන ගිය අතර, පසුව අපි විෂයයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළෙමු. සුසුකි මහතා මා මෙන්ම ක්‍රීඩාවට ආදරය කරන්නෙක් විය. එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව දියුණු කිරීමට ඔහු සහාය දක්වන බවයි.

ඉන් අනතුරුව මම ජපානයේ හිටපු අගමැති ජුනිචිරේ කොයිසුමිගේ පුත්‍රයා වන ෂින්ජිරෝ කොයිසුමි මහතා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූයෙමි. කලාපයේ ආරක්ෂාව සහ භූ දේශපාලනය පිළිබඳ අපි පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වූවෙමු. 

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරන කෙන්ටාරෝ සොනෝරා මහතා සමගද මම සාකච්ඡා කළෙමි. මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ අපි ගැඹුරින් සාකච්ඡා කළෙමු.

පසුව මම අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝටෝ ඉසුමි හමු වීමි. ඉසුමි මහතා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තෙකි. ජපානය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීමේ හැකියාව පිළිබඳ ඔහු කරුණු දැක්වීය.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වූ යසුෂි අකාෂි මහතා සමගද මම සාකච්ඡා පැවැත්වූයෙමි. ආකාෂි මහතාට ශ්‍රී ලංකා රත්න පදක්කම පිරිනැමූ බව දැනගැනීමට ලැබීම සතුටට කරුණකි. අකාෂි මහතා තරුණ කටයුතුවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයෙකි.

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික අර්බුදයක සිටින බව අප හැමෝම දන්නා කරුණකි. එයින් මිදීමට නම් ශ්‍රී ලංකාව විදේශීය හවුල්කරුවන් සමග ශක්තිමත් සබඳතා පවත්වාගත යුතුය. ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කරගැනීමට නම් වෙළෙඳ හවුල්කරුවන් හා සාර්ථක සබඳතා පවත්වාගත යුතු වෙයි. ඉදිරියේදී පත්වන අපගේ රජයකින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ යුතුය.

ඔබට සුබ අනාගතයක්
ලබන සතියේදී යළිත් හමුවෙම

 



Recommended Articles