ජනාධිපතිවරණයේදී ඉදිරියට ගෙන යා යුත්තේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ ගැටලුවයි


ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකළ යුතු වෙනස්කම් ගැන බොහෝ දෙනා කතා කළද, ආණ්ඩු බලයට පත්වන විට ඒ සම්බන්ධව පොරොන්දු ලබාදුන්නද එදා සිට මේ දක්වා අධ්‍යාපන කේෂ්ත්‍රයේ මතුව ඇති ගැටලු තවමත් වෙනස් වී නැත. රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බව කලක පටන් සෑම ආණ්ඩුවකටම එල්ලවෙන චෝදනාවකි. එදා මෙදා සිටි අධ්‍යාපන ඇමතිවරුන්ට මෙම චෝදනාවට උත්තර බැඳීමට සිදුවිය. මේ අතරේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් සම්බන්ධව විවේචනාත්මක අදහසක සිටී. ඒ ඇයිද යන්න සහ අධ්‍යාපන කේෂ්ත්‍රය පිළිබඳ ඔහුගේ ස්ථාවරය පැහැදිලි කර ගැනීමට  අදහස් කළෙමු.



හිටපු අධ්‍යාපන ඇමතිවරයා වන ඔබට අනුව ඊළඟ ජනාධිපතිවරණයේදී මූලික වශයෙන් අවධානය විය යුතු කරුණ මොකද්ද?

තව සතිඅන්ත 24කින් පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා වැඩි බරක් දීලා ජනතාව ඉදිරියට ගෙන යා යුතු ප්‍රශ්නය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රශ්නය කියලයි මම හිතන්නේ.

විවිධ ප්‍රශ්න රටේ තිබියදී ඇයි එවැනි අදහසක ඔබ ඉන්නේ?

මේ වනවිට අනුමත පෞද්ගලික පාසල් ඇතුළත්ව ආසන්න වශයෙන් දිවයින පුරා පාසල් 11000ක් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ගවලට අයිති දරුවෝ ලක්ෂ  44ක් ඉගෙනුම ලබනවා. මොවුන්ට ඉගැන්වීම සඳහා විෂය නිර්දේශ, ගුරු අත්පොත් සකස් කරලා, පෙළපොත් ලබාදීලා විද්‍යා පීඨ මගින් ගුරුවරු පුහුණු කරලා තිබෙනවා. පිරිවෙන් ඇතුළුව රජයේ ගුරුවරු 263,000ක් පමණ සිටිනවා. මේ සඳහා රාජ්‍ය අයවැයෙන් බදු ගෙවන ජනතාවගේ මුදලින් වාර්ෂිකව සෑම රජයක් යටතේම විශාල මුදලක් කැප කරනවා. නිදහස් අධ්‍යාපනය යනුවෙන් අපි හඳුන්වන‍්නේ මෙය තමයි. ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ කවුරුහරි ජනාධිපති වෙන කෙනා මේ රටේ ජනතාවට ජනාධිපතිවරණයට පෙර ලබාදිය යුතු මූලික ප්‍රතිඥාව තමයි, මහ පොළවේ  උපදින සෑම ස්වදේශිකයෙකුගේ දරුවෙක්ටම රජයේ පාසල් සඳහා නිදහස් අධ්‍යාපන පද්ධතිය තුළින් දරුවාගේ ජීවිතය ගොඩනැගීමට අවශ්‍ය අංගසම්පූර්ණ ගුණාත්මක අධ්‍යාපනයක්  නොමිලේ ලබාදෙන බව. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ නියත වශයෙන් නවත්වන බවට ප්‍රතිඥාවක් දෙන්න ඕන. එහෙම වුණොත් පමණයි රටේ සමාජ සාධාරණත්වය සැලසෙන්නේ. දිළිඳුකම පිටුදකින්න හැකිවෙන්නේ. ප්‍රචණ්ඩත්වයෙන් තොර, වංචා, දූෂණ, අක්‍රමිකතාවලින් තොර රටක් ඇති කළ හැකි වන්නේ. මානව සම්පත කළමනාකරණය කර නොගත්තොත් එතැනින් එහාට කියන කිසිම දේශපාලන කතාවකින් කුමක් හෝ ප්‍රයෝජනයක්වත් අවසානයේදී ඇතිවෙන්නේ නෑ. ඉස්සරහ ජනාධිපතිවරණයට එන කෙනා පෙඩරල් නොදෙනවා කියනවා වගේම අධ්‍යාපනය පෞද්ගලීකරණය  නොකර බාලාංශ පන්තියේ ඉඳන් විශ්වවිද්‍යාලය දක්වා දරුවන්ට අවශ්‍ය සියලුම දෙයින් සපිරි අධ්‍යාපන පද්ධතියක් හැදීම තමයි ඒ ආණ්ඩුවේ ප්‍රමුඛතාවය විය යුත්තේ.

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක්  ලෙස බොහෝ කාලයක් කටයුතු කළ ඔබ අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව කතා කිරීම සම්බන්ධව ඇතැම් පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙනවා. අධ්‍යාපනය විකුණූ බවට එල්ලවෙන මේ චෝදනාවලට පිළිතුරක් ලබාදුන්නොත්?

ඔය චෝදනාව එල්ලකරන අය කිසි දිනෙක නිසි අධ්‍යාපනයක් ලබපු අය වෙන්න බැහැ. පුරා වර්ෂ 25ක් උගුරට ලේ රහ දැනෙනකම්, මේ බැනියමට දාඩිය උරනකන් උසස් පෙළ කියන ජීවිතයේ කඩඉමේදී භද්‍ර යෞවනයේ සිටින තරුණ තරුණියන් ලක්ෂ 03කට විතර ජීවිතය ගොඩ යාම සඳහා මගේ බුද්ධිය තුට්ටු දෙකට ප්‍රදානය කළා. මම 1975දී  උසස් පෙළ සිසුවෙක් ලෙස විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ලා පැයකට රුපියල් දෙකකට තමයි පෞද්ගලික ආයතනවල ඉගැන්වුවේ. ඊට පසුව කොළඹ නගරයේ පෞද්ගලික පන්ති කරන ප්‍රධාන ආයතනවල සහ ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල මහා පරිමානික පන්ති පටන් ගත්තේ මාසෙකට රුපියල් 10කට. 2000දී ඉවර කළේ රුපියල් 50කට. අවසන් කාලයේදී මාසෙකට ළමයෙක්ගෙන් අය කළේ රුපියල් 50යි. ගාස්තු ගෙවන්න බැහැ කියලා ග්‍රාමසේවක සහතිකයක් ගෙනාපු හැම ළමයෙකුටම මගේ අතින් සල්ලි වියදම් කරලා උගන්වලා තියෙනවා මිසක් සල්ලි අය කරලා නැහැ. ඒ නිසා ලක්ෂ තුනක් විතර ළමයි මට දණ ගහලා වැඳලා, අඬලා, ඉඹලා තමයි ඒ අවුරුදු දෙක ඉවර කළේ. ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මට විතරයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් අමරතුංග හා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සේමසිංහ මගේ ශිෂ්‍යයන්. අපිව විවේචනය කරන, රජයවල් විවේචනය කරන මහාචාර්ය සරත් විජේසූරිය ශිෂ්‍යයෙක්. තලතා, ඩිලාන් වැනි ඇමතිවරු, අගමැතිවරුන්ගේ දරුවෝ, නියෝජ්‍ය ඇමතිවරු, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි  වැනි මන්ත්‍රීවරු සිටිනවා. මෙවැනි අය අපි කරන දේශපාලනයට විරුද්ධ වෙන්න පුළුවන්, අපි ලාංකීය නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ එන්න බැරි අන්ත දිළිඳු දරුවන්ට උදවු කිරීමක් හැර අධ්‍යාපනය විකුණලා නැහැ. කවුරුහරි හිතනවා නම් මේ මෝඩයෙක්, සාස්තරය දන්නෙ නැහැ කියලා, ඒක සම්පූර්ණ අසත්‍යයක්. උපකෘත පාඨශාලා පනතේ 25  වැනි වගන්තිය අයින් කළොත් මටත් පුළුවන් මාසෙකට රුපියල් දසලක්ෂ 15,000ක ශුද්ධ ලාභයක් ගන්න.

ඒ කොහොමද?

පෞද්ගලික පාසල් පටන් ගැනීමෙන්. මමයි වැලි කැටයේ ඉඳන් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල හැදුවේ. ඒක දකුණු ආසියාවේ විශාලතම ජාතික පාසල. දැන් දරුවෝ 7000කට ආසන්න ගානක් ඉන්නවා. කාටවත් පේන්නැති කිරිබේරිය කියන කැළයක මේ පාසල හැදුවේ. මේ වගේ පාසලක් හදලා ළමයෙකුගෙන් රුපියල් 10,000 ගා‍නේ මාසයකට අයකරන්න පුළුවන්. ළමයි 7000ක් හිටියොත් මාසික ආදායම රුපියල් මිලියන 70යි. ගුරුවරුන් 300කට, සේවකයන්ට හොඳ වැටුප් ගෙව්වොත් මිලියන 15යි වැය වන්නේ. පැමිණෙන සියලුම දරුවන්ට දිවා ආහාරය ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙන්න මිලියන 05ක් වැය කරනවා. උදේ 7.30ට පටන්ගෙන 3.30 දක්වා උගන්වනවා. එවිට මගේ ශුද්ධ ලාභය මිලියන 50ක් වෙනවා. ඒ විදියට ගත්තාම අවුරුද්දකට ලාභය මිලියන 600යි. මෙවැනි පාසල් 25ක් දිස්ත්‍රික්ක 25 පටන් ගන්නවා. ඒ පාසල් සියල්ලෙන් මිලියන 15000ක ලාභයක් ලැබෙනවා. මේ ආණ්ඩුව වැඩ කරන්න යන්නේ එහෙම. ඒක වෙන අය කරන්න ඕන නැහැ මට කරන්න පුළුවන්. 25 වැනි වගන්තිය අයින් කළොත් මේ විදියට ඕන කෙනෙකුට පාසල් දාන්න පුළුවන්. 25 වැනි වගන්තිය අනුව ලංකාවේ කාටවත් පාසල් ආරම්භ කරන්න බැහැ. දැනට ආරම්භ කර තිබෙන සියලුම ජාත්‍යන්තර පාසල් නීතිවිරෝධියි. අවුරුදු 5-14 අතර ශ්‍රී ලංකාවේ දරුවෙකුට අධ්‍යාපනය ලබාදීම සඳහා ආයතනයක් පටන් ගැන්ම නොකළ යුත්තේය, අවුරුදු 18ට අඩු අයෙකුට අධ්‍යාපනයක් ලබා දෙනවා නම් ඒ සඳහා අධ්‍යාපන අධ්‍යක්ෂගේ පූර්ණ අනුමැතිය ලැබිය යුත්තේය කියලා 25(අ) වගන්තියේ දක්වා තිබෙනවා.

දැනට තිබෙන පෞද්ගලික පාසල් මෙම කොන්දේසිය සම්පූර්ණ කරලද තිබෙන්නේ?

 නැහැ. කවුරුහරි මේ ආයතනවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව ගියොත් මේ පනත අනුව නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදේවි. මේ දක්වා කවුරුවත් එහෙම උසාවි ගිහින් නැහැ. නමුත් බිස්නස් එකක් කරන්න පුළුවන්. සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා ඕන කෙනෙකුට පාඨශාලාවක් නැතිව ජාත්‍යන්තර පාසලක් පටන් අරගෙන කරන්න පුළුවන්. රජයේ විෂය නිර්දේශ කරන්න බැහැ. ඒ අයට ලන්ඩන් ඕ ලෙවල්, ලන්ඩන් ඒ ලෙවෙල් පමණයි එම පාසල්වල උගන්වන්න පුළුවන් වෙන්නේ.හොරට හදාගෙන කරන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය අල්ලගෙන දේශීය විෂය නිර්දේශය දාගෙන කරනවා. මේ අවුරුද්දේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා එවැනි නීත්‍යනුකූල නොවන හොර පාසල් 200කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ තිබෙනවා කියලා. මේ 25 වැනි වගන්තිය අයින් කරන්න පෙර මුට්ටිය දමලා බැලීමක් තමයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ චක්‍රලේඛනයෙන් සිදුවන්නේ. සෙන් තෝමස්, සෙන් බ්‍රිජෙට් වැනි රජයට පවරා නොගත්ත පුද්ගලික පාසල් 80ක් ලංකාවේ තිබෙනවා. මේ පෞද්ගලික පාසල් 80ට වෙනත් ප්‍රදේශවල පාසල් 05 බැගින් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දැනට තිබෙන පාසල් 80 වැඩ කරන අයට වැටුප් ගෙවාගෙන රජයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන බව මුලින් දන්වා තිබුණා. සිරිමාවෝ ආණ්ඩුව එම පාසල්වලට රජයේ විෂය නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නා. මණ්ඩලයක් විසින් මෙම පාසල් පාලනය කරනවා. එම මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙක් නැහැ. ළමයා පාසලට ඇතුළු කරන්නේ ආගම අනුවද, දෙමවුපියන්ට ලකුණු දෙනවද, ඇතුළු කිරීමේ ගාස්තුව ලක්ෂ 05ද ආදී වශයෙන් එම මණ්ඩලය තමයි සියලු තීන්දු තීරණ ගන්නේ. එම පාසල් 80 ඇතුළට අධ්‍යාපන ඇමතිවරයෙකුට කකුලක් තියන්න දෙන්නෑ. මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටියදී එවැනි පෞද්ගලික පාසල් තුනකට ගිහින් තිබෙනවා. ජනාධිපතිවරයාට ආරාධනා කර තිබියදී ජනාධිපතිවරයාගේ පස්සේ එල්ලිලා ගිහින් තමයි අඩුගානේ පාසල දැකගන්න පුළුවන් වුණේ. දැන් ඉන්න අධ්‍යාපන ඇමතිවරයාටත් වික්‍රමසිංහ මහත්තයා එක්කන් ගියොත් මිසක හතර මායිමේ ඇතුළු වෙන්න දෙන්නෑ. ඒවාට නීතී දාන්න යන්නත් බැහැ. කොච්චර බලවත්ද කිව්වොත් වාර්ෂික ගිණුම් වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට එවන්නෑ. විගණකාධිපතිවරයාට උත්තර දෙන්නෙත් නැහැ. ඒ තරම් බලසම්පන්න නිසා කිසිකෙනෙක් එම පාසල් සමග හැප්පෙන්න හදන්නෙවත් නැහැ. නමුත් මේ පාසල්වල ගුරුවරුන්ගේ කොටසකට ආණ්ඩුව වැටුප් ගෙවනවා. රජයේ පාසල්වලට බංකුවක් ගන්න සල්ලි එකතු කරන්න බැහැ චක්‍රලේඛ ගහනවා. නමුත් මෙම පාසල්වලට නීති නැහැ.

ජාත්‍යන්තර පාසලක දරුවෙකුගේ උසස් පෙළ ප්‍රතිඵල  සම්බන්ධව ඔබ ඉදිරිපත් කළ අදහස සම්බන්ධයෙන් තවමත් විවේචන එල්ල වෙනවා?

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර පාසලක් කියන්නේ නීතිවිරෝධී ආයතනයක්. 1961 උපකෘත පාඨශාලා පනත යටතේ අවුරුදු 5 සිට 14 දක්වා ලංකාවේ ඉපදුණු දරුවෙකුට අධ්‍යාපනය දෙන්න පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යන්න බැහැ. එහෙම නීතියක් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය පාසලේ නමින් ප්‍රතිඵල නිකුත් කරන්නේ කොහොමද?

ඕනෑම ළමයෙකුට පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත් වෙන්න පුළුවන් නේද?

ඔව් පුළුවන්. එතකොට පුද්ගලික අයදුම්කරුවෙක් කරන්න ඕන පුද්ගලික ලිපිනය දාන එක. ආන්දෝලනයට ලක්වූ ළමයා ඉදිරිපත් කර තිබුණේ ඇයගේ පාසලේ ලිපිනය. එහෙම දාන්න බැහැ. මේ දෙක එකතු කරලා ප්‍රතිඵල දෙන්න ආරම්භයක් තමයි මේ ගත්තේ. ඊට පස්සේ 25 වැනි වගන්තිය අහෝසි කිරීමට තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. එතකොට එම පාසල්වලට ණයට විකුණන්න ඕන නැහැ, ගෙවන්න බැරි අය ගන්න ඕන නැහැ. මනුස්ස ජීවිත සල්ලිවලට හරවන එක ලේසියි. උපකෘත පාඨශාලා පනත යටතේ තවම කෙළින්ම පුද්ගලික අංශයට ඉඩ දෙන්න බැරි හින්දා තමයි ඒ වගන්තිය ඉවත් කිරීමට මේ අය කටයුතු කරගෙන යන්නේ.

ඔබතුමා කොහොමද කියන්නේ 25 වැනි වගන්තිය ඉවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානමක් තිබෙන බව?

මම අධ්‍යාපන ඇමති කාලයේ මට චෝදනා කරමින් ගහන්න සල්ලි වියදම් කළේ මේ බිස්නස් ප්‍රජාව තමයි. අධ්‍යාපන ඇමති ගෙදර පල කියලා ඔවුන් දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුකළා. නමුත් මම 25 වැනි වගන්තිය අයින් ක‍ළේ නැහැ. අඹු සැමි යුවළකගේ ලිංගික ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වුණාම ඇත්ත ප්‍රශ්නය කා සමගවත් කියන්නෑ. ගැහැනු කෙනා කියන්නේ මේ මනුස්සයා ගෙදර එන්නෑ. මෙයා බොනවා. මෙයා නැගිටින්නේ පරක්කු වෙලා. මෙයා මාත් එක්ක චිත්‍රපටි බලන්න යන්නෑ. සැමියාගෙ පැත්තෙන් කියන්නේ මෙයා මං එනකොට කෑම ටික හරියට හදලා තියන්නෑ. ඇඳුම් මැදලා නැහැ. ළමයින්ගේ ප්‍රශ්න තියෙනවා වගේ දේවල්. ඇත්ත ප්‍රශ්නය කියන්නෑ. මහින්ද රාජපක්ෂ නැත්නම් මගේ අධ්‍යාපන ඇමතිකම සුමානයක්වත් තියෙන්නෑ. කැබිනට් මණ්ඩලය හැමදාම කිව්වේ මාව ගෙදර යවන්න කියලා. මට කියලා දේශපාලනඥයන්ට ඕන විදුහල්පතිවරුන් දාන්න බැහැ. දේශපාලනඥයන්ට ඕන කරන විදුහල්පති මම මාරු කරන්නෙත් නැහැ. මං හදන පාසල්වලින් කාටවත් කොන්ත්‍රාත් එකක් ලැබෙන්නෙත් නැහැ. මම මහින්දෝදය පාසල් හැදුවට එහෙම කොන්ත්‍රාත් දුන්නෑ. ඒ අයගේ දරුවෝ දාන්නෙත් නැහැ. ඒ අයට මං කියන එක තේරෙන්නෙත් නැහැ. එතකොට මහින්ද රාජපක්ෂට  මගේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් තිබුණු ප්‍රධාන ඉල්ලීම වුණේ මට අධ්‍යාපන ඇමතිකම අයින් කරලා වෙන ඕන එකක් දෙන්න කියලා. නමුත් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු පිරිස පුද්ගලික පාසල් හිමි බිස්නස් ප්‍රජාවට අනුව තමයි කටයුතු කරන්නේ. ඒක පැහැදිලියි.
පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී තිබෙන ගැටලුකාරි තත්ත්වය තුළ අවසානයේදී පුද්ගලික හෝ ජාත්‍යන්තර  පාසලකට ළමයා ඇතුළත් කිරීමට මවුපියන් කටයුතු කරන අවස්ථා තිබෙනවා. එවැනි දරුවෙකුට හැකියාව

හා උනන්දුව අනුව ඉදිරියට යන්න අවස්ථාවක් තිබිය යුතුයි නේද?

ලක්ෂ 44කට වෙන අසාධාරණය ගැන කවුරුවත් කතා කරන්නෑ. පුද්ගලික පාසලක ළමයෙකුට වෙන අසාධාරණය ගැන විතරනේ කතා කරන්නේ. ලංකාවේ වසරකට පළමු වසරට ළමයි 350,000ක් ඇතුළු වෙනවා. ලංකාවේම ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල ඉන්නේ ළමයි 88,000යි. අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන. අපි දන්න අඳුනන කිහිප දෙනෙක් මෙහෙම කරගෙන ඉන්නවා. අපි නන්නාඳුනන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රජයේ පාසල්වලට ඇතුළු වෙනවා. ලංකාවේ ළමයි 10 දෙනාට වඩා අඩුවෙන් පළමු ශ්‍රෙණියට ඉල්ලන පාසල් තිබෙනවා මුළු පාසැල්වලින් 25෴ක්. එම ප්‍රමාණය පාසල් 2000කට වැඩියි. ආණ්ඩුව ජේවීපී එකට බය නැතිව කියන්න ඕන ළමයි 10ට වඩා ඉල්ලන පාසල් වහනවා කියලා. එම පාසල ප්‍රාදේශිය සභාවට බාරදීලා ගමේ ඉන්න දරුවන්ට නොමිලේ පූර්ව ළමාවිය අධ්‍යාපනය හරියටම ලබාදෙන්න කටයුතු කළ යුතුයි.

පාසල වැහෙන එක නවත්වලා පාසලට අවශ්‍ය සම්පත් ටික ලබාදුන්නා නම් පාසල තවත් කාලයක් පවතිනවා නේද?

එහෙම ළමයි පාසලට එන්නෑ. ඒවාට තිබෙනවා විවිධ පර්යේෂණාත්මක සාධක. පාරවල් හැදිලා, ගුණාත්මක වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙන්න ඕන. එහෙම නැතිව මිනිස්සුන්ගේ මනස හදන්න බැහැ. මේ ගමේ පාසලට පලයන් කියලා බලහත්කාරයෙන් මිනිස්සු එහෙම රඳවන්නත් බැහැ. ළඟම තියෙන ඊළඟ පාසලට යන්න රජය විසින් ළමයාට මාසෙකට රුපියල් 500ක් දෙන්න ඕන. අද පාසලකට ළමයෙකුට යන්න මොනතරම් වියදමක් දරන්න වෙලාද? ලංකාවේ දරුවෙක් පහේ පන්තියෙන් හැලෙන්නෑ. ළමයි දෙන්නෙක් ඉන්න පාසලකට විදුහල්පතිවරයායි, ගුරුවරු දෙන්නෙකුයි දාගෙන ඉන්නවාට වඩා රුපියල් 500ක් දෙන එක රජයට වාසියි. ළමයි 10ට අඩු පාසල්වල මොකුත් කෙරෙන්නෑ. සමාජානුයෝජනය නිසි ලෙස වෙන්නෑ.

වත්මන් ආණ්ඩුව ස්මාර්ට් පන්ති කාමර හදාගෙන යනවා. එය ළමයාගේ පැත්තෙන් බැලූ විට හොඳ වැඩසටහනක් නේද?

පළමුවෙන්ම කරන්න ඕන ළමයෙකුට අත්‍යවශ්‍ය පරිගණකය උගන්වන්න ඕන. හැම මහින්දෝදය පාසලකම පරිගණක 40කින් යුක්ත විශ්ව විද්‍යාලයේ වගේ පරිගණක විද්‍යාගාරයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව උගන්වන්න පරිගණක 20කින් යුක්ත භාෂාගාරයක් තිබෙනවා. ගණිතාගාරයක් තිබෙනවා. විද්‍යාව අමාරු අයට විද්‍යාගාරයක් තිබෙනවා. මේ දේවල් උගන්වන්න පාසල් 1000ක ගොඩනැගිලි හදලා ඉවරයි. පරිගණක 60,000ක් අරන් දීලා ඉවරයි. මේවා තමයි කරන්න ඕන. පාසලක් දෙකක් අල්ලගෙන කොළඹට විතරක් කරලා වැඩක් නැහැ.ත්‍රිකුණාමලයේ ගිනිගත්ත මහින්දෝදය විද්‍යාගාරය අවුරුදු තුන හමාරක් ගිහිල්ලත් තවම හදලා දීලා නැහැ. ඩෙල්ෆ්ට් දූපතෙත් මම විද්‍යාගාරයක් හැදුවා. ඒවා ගැන සොයා නොබැලීම ජාතියේ අවාසනාව. අවුරුදු 150ක් පැරණි පාසල්වල මෙම විද්‍යාගාර නිසා පළමු වතාවට ළමයි වෛද්‍ය විද්‍යාලවලට ගියා.

 



Recommended Articles