ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරගන්න පුළුවන්


ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායම රට තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ පිළිබඳව හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ %අද^ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමග කතාබහක නිරත විය.


ජාතික ජනබලවේගය

මේ ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂ්‍යය බවට පත් කරගන්න පුළුවන්. අපේ රටේ වමේ ව්‍යාපාරය තුළ මේ තරම් මහජන සහයෝගයක් ලැබුණු ඡන්දයක් මීට පෙර තිබිලා නැහැ. ජාතික ජනබල වේදිකාව ජනතා විමුක්ති පෙරමුණට අමතරව විද්වතුන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන්, වමේ පක්‍ෂ, ප්‍රගතිශීලී සිවිල් සංවිධාන, ගොවීන්, ධීවරයන්, කාන්තාවන්, කලාකරුවන් එකතු කරගත් සියලුම හොඳ මිනිසුන්ගේ බලවේගය ලෙස එකතු වී ඉන්නවා. ජාතික ජන බලවේගයේ හොඳ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අප වටා ඉන්නවා. ඊට නායකත්වය දෙන්න හොඳ අපේක්‍ෂකයෙක් ඉන්නවා. රට දිනවන්න පුළුවන් එකම බලවේගය ජාතික ජනබලවේගය පමණක් බව දැන් ඔප්පු වී හමාරයි.

ජයග්‍රහණය කිරීම

අනුර සහෝදරයාට විරුද්ධව අනෙක් පැත්තෙන් සජිත් මහත්තයයි, ගෝඨාභය මහත්තයයි දෙන්නා ඉදිරිපත් වෙලා. ඒ ගොල්ලො කියන්නේ, රට හදන්න බලය දෙන්න කියලා. රට හදන්න ඡන්දය ඉල්ලන්න සදාචාරමය අයිතිය තියෙන එකම බලවේගය ජාතික ජනබලවේගය. අපේක්‍ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා. තිස්සමහාරාමයේ ජනතාව දෙපාරක් අපට බලය දුන්නා. අපි බලය ගත්තොත්, හදන්නේ කොහොමද කියලා ඒ මගින් පෙන්නුවා. පොළ බද්ද අයින් කරලා, කසළ ප්‍රතිචක්‍රීකරණය කරලා, ළදරු පාසල් ඉතාම හොඳ මට්ටමකට දියුණු කරලා ප්‍රාදේශීය සභාවක වැඩ කරන හැටි පෙන්නුවා. ජනතාව අපට රටේ බලය දුන්නේ නැහැ. මීට කලින් රට පාලනය කළ කාටවත් රට හදන්න ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ. දැන් වේදිකාවල පැළෙන්න පොරොන්දු දෙනවා. ඔය පොරොන්දු ක්‍රියාත්මක කරලා ආවා නම්, කොච්චර ලස්සනද? දැන් ආයේ කියනවා, රට හදන්න ආණ්ඩුවක් දෙන්න කියලා. එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු තිස් හයක් මේ රට පාලනය කළා. අවුරුදු තිස්පහක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩු රට පාලනය කළා. හදපු රට කෝ? මහින්ද රාජපක්‍ෂ මහත්තයා අවුරුදු නවයක් රට පාලනය කරනකොට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ආරක්‍ෂක ලේකම්. රනිල් අගමැතිවරයාගේ කැබිනට් එකේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇමතිවරයෙක්. රට හදන්න ඕනෑ තරම් ඉඩ තිබුණා. නමුත්, මේ කිසි කෙනෙක් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළේ නැහැ. 

රට හදන වැඩපිළිවෙළ

ජාතික ජනබලවේගය රට හදන ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කළා. මෙයට අනුව ඒගොල්ලොත් ප්‍රතිපත්ති ගැන කතා කරයි කියලා මුලින් අපි හිතුවා. ප්‍රතිපත්ති ගැන ඒ ගොල්ලෝ කතා කළේ දවසයි දෙකයි. දැන් තරගයට පොරොන්දු දෙන්න පටන් අරගෙන. මේ දෙන පොරොන්දුවල තේරුමක්වත් ඒ ගොල්ලො දන්නෙ නැහැ. දකින දකින කෙනාට පොරොන්දු දෙනවා. කොච්චරද කියනවා නම්, දුගී දුප්පත්කම නැති කිරීමට සමෘද්ධියයි, ජනසවියයි දෙකම දෙනවාලු. ඔය දෙකම එකට කරන්න පුළුවන්ද කියලා බුද්ධිමත්ව හිතලා බලන්න ඕන. වේදිකාවේ පොරොන්දු දෙන අයට තේරෙන්නෙත් නෑ, ඒ ඉස්සරහා ඉඳලා අත්පුඩි ගහන අයට තේරෙන්නෙත් නෑ, ඒගොල්ලෝ ඡන්දය ගන්නෙ අපේ රටේ ජනතාවගේ දුප්පත්කම විකුණලා. ගෝඨාභය මහත්තයා වී ගොවීන්ට පොහොර නොමිලේ දෙනවා කියන කොට සජිත් මහත්තයා සියලුම ගොවීන්ට නොමිලේ පොහොර දෙන බව කියනවා. ඒකට ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් එකේ සටහනක් දාලා තිබුණා, නොමිලේ වකුගඩු දෙකකුත් දෙනවා කියලා. ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර, රසායනික ද්‍රව්‍ය නිසා භූගත වතුර විෂ වෙලා. වකුගඩු විනාශ වෙනවා. නිකම් බීපු වතුර ටිකත් දැන් සල්ලි දීලා ගන්න සිද්ධ වෙලා. දුරදක්නා නායකයෙක් නම්, කරන්න ඕනෑ ක්‍රමානුකූලව රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වීමයි. කාබනික පොහොර ආදේශ කරන්න ඕනෑ. නායකත්වයක ප්‍රතිපත්ති කියන්නෙ ඒවාට.

රාජපක්ෂවරුන් බලය ඉල්ලීම

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලය ඉල්ලන්නෙ, එතුමාට සහ වටේ ඉන්න බොහෝ දෙනෙකුට තියෙන නඩුවලින් බේරෙන්න. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම්, වැලිකඩ හිරගෙදර ඉන්න ඕනෑ කට්ටිය තමයි ඡන්දයට ඇවිල්ලා ඉන්නෙ. ඒ ගොල්ලෝ බලය ඉල්ලන්නෙ නඩු ටික බේරාගන්න. ජනතාවට බලපාන සමාජ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා, හොරකම වැඩි වෙලා. අපරාධ වැඩි වෙලා. ළමා අපචාර වැඩි වෙලා. රටේ කුඩු පිරිලා. තමන්ගේ දරුවාව පාසල් යවන්න බැරි තත්ත්වයට අපරාධ වැඩි වෙලා. 

අලුත් ආණ්ඩුවක් සකස් කිරීම

කොළපාටට දුන්නත්, පොහොට්ටුවට දුන්නත් හැදෙන්නෙ පරණ ආණ්ඩුවමයි. මොන ආණ්ඩුවක් හැදුවත්, තොණ්ඩමන්, රාජිත, එස්.බී., හකීම්, නිමල් සිරිපාල මේ ගොල්ලෝ ආණ්ඩුවේ ඇමතිවරු. එකම යාළු මිත්‍රයෝ කණ්ඩායමක් ඡන්දයක් එන කොට දෙකට බෙදිලා, ඡන්දෙ ඉල්ලනවා. රෝහණ සහෝදරයා ඕකට කිව්වේ, %හොරු දවාලට බොරුවට රණ්ඩු වෙනවා, රෑට එකට හොරකමේ යනවා^ කියලා. අපේ ප්‍රතිපත්තිවල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, මේ දෙපැත්තේ ම හොරු නඩය ජනතාවගේ බදු මුදල්වලින් ජීවත්වෙන විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා. අනෙකුත් වරප්‍රසාදත් ඉවත් කරනවා කියලා. 

කෘෂිකර්මාන්තය දියුණු කිරීම

මේ පාලකයෝ අපේ රටේ ගොවි ජනතාවට අයිති ඉඩම් ටිකත් බහුජාතික සමාගම්වලට වික්කා. අපේ රටේ ගොවියාට කෙසෙල් ටික, එළවළු ටික විකුණාගන්න බැහැ. නමුත්, බහුජාතික සමාගම් කෙසෙල් වවලා, රට පටවනවා. අපේ ගොවියාගේ කෙසෙල් ටික අපනයනය කරන ප්‍රතිපත්තියක් මේ පාලකයන් ඇති කළේ නැහැ. එහෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම බලවේගය ජාතික ජනබලවේගය විතරයි. මේ ගොල්ලෝ ගත්ත ණයවල වාරික සහ පොලිය ගෙවන්න අලුතින් බදු වටයක් ගහන්න නියමිතයි. බොරු පොරොන්දු දෙන්නේ ඒ අතර. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදුවා. මේවාට ගත්ත ණය ගෙවන්න ඕනෑ ජනතාව. නෙළුම් කුලුන විවෘත කරන්න ගිහිල්ලා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වෙ, කෝටි 200ක් අරගෙන මේක හදන්න ආපු සමාගම අතුරුදන් වෙලා කියලා. ඒත්, රුපියල් කෝටි දෙසිය හතළිහ ගාණේ මේක හදන්න ගත්ත ණය අවුරුද්දකට ගෙවන්න ඕනෑ. මේවා නවත්වන්න ඕනෑ නැද්ද? නවත්වන්න ඕනෑ, ඒ වෙනුවෙන් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබ සැම වෙත පැවරී තිබෙනවා. ජනතාවගේ එකතුවෙන් පරද්දන්න බැරි බලවේගයක් නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ පරද්දන්න ඡන්දය බෙදන්න එපා කියලා කොටසක් කියනවා. ජනතාව විසින් පරාජයට පත් කළ රාජපක්‍ෂලාට නැවත එන්න පාර හැදුවේ, සජිත් ප්‍රේමදාස මහත්තයලා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂලා විතරක් නොවෙයි, ඒ අයව ආරක්‍ෂා කළ සජිත් ප්‍රේමදාසලත් පරද්දන්න ඕනෑ. 

MCC ගිවිසුම

ආණ්ඩුව කියන්නේ මේ ගිවිසුමෙන් රටට ප්‍රතිලාභ රැසක් අත්වෙනවා කියලා. විපක්ෂයේ අය කියන්නේ එය ඉතා හානිදායකයි කියලා. මැතිවරණයක් අබියස තිබියදී ආණ්ඩුව මේ ගිවිසුම කලබලයෙන් අත්සන් කරන්න උත්සාහ කරනවා. ඒ පිළිබඳ බලවත් සැකයක් උපදිනවා. ආණ්ඩුව කියන පරිදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනතාවට රටට හොඳ නම් ඒ පිළිබඳ ජනතාව සමග හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සංවාදයක් කරන්න ඕනේ. එසේ නොකර මෙම ගිවිසුමට අත්සන් කිරීමට යාම වැරදියි. ගිවිසුම් අත්සන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියනවා. ඒත් ගිවිසුම අත්සන් කළ පසු එය ආපසු හැරවීම අපහසුයි.

ජාතික සමගිය ගොඩනැගීම

රට රකින්න ඕනෑ නම්, ඒකත් කරන්න පුළුවන් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමෙන් විතරයි. ඕනෑම දුෂ්කර තත්ත්වයක් තුළ ඒ වෙනුවෙන් සටන් කළේ අපි. කවුරු රට දාලා ගියත් අපි ගියේ නැහැ. ඕනෑ ම දුෂ්කර මොහොතකදී පවා අපි ජනතාව වෙනුවෙන් සටනේ හිටියා. ඔය වගේ දුෂ්ට පාලනයක් පෙන්නලා, අපිව බියවද්දන්න බැහැ. අපේ රට විනාශ කරපු අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, පරිසරය ගොඩනඟන්න නම්, ජාතික ජනබලවේගය විතරයි තියෙන්නේ, ඒ වගේම ජාතික සමඟිය ගොඩනඟන්න හැකියාව තියෙන්නෙත්, ජාතික ජනබලවේගයට විතරයි. අපට සන්තෝෂයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක් අපේ දරුවන්ට ගොඩනඟන්න, ජාතික ජන බලවේගයේ %‘මාලිමාව’ ලකුණෙන් ඉදිරිපත් වී සිටින අපේ අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන්න සෑම දෙනාම එක්රොක් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.



Recommended Articles