ජනාධිපතිතුමනි අගමැතිතුමනි දැන්වත් රටේ ජනතාව ගැන හිතලා වැඩ කරන්න


ජනසෙත පෙරමුණේ දේශපාලන වැඩකටයුතු සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව විමසීමට එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට අපි සිතුවෙමු. මේ උන්වහන්සේ සමග කළ සංවාද සටහනකි. 


?වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබවහන්සේගේ අදහස කෙබදුයිද

 ඇත්තටම අපේ රට අද ඉතාම භයානක තත්වයකට පත්වෙලා තියෙන්නේ. ඇමතිවරු, මන්ත්‍රීවරු මාරු වෙනවා, ඊළඟට උසාවි යනවා. රටේ ජනතාවට වැඩක් කරන්න උවමනාවක් නැහැ. තම තමන්ගේ බලය රැකගන්න විතරයි වෙහෙසෙන්නේ. එහෙම තත්ත්වයක් තමයි මම දකින්නේ. 

?දැන් යළි පැවැති රජයම බලයට පැමිණ තිබෙනවා නේද

රනිල් මහත්තයගේ කේන්දරේ කොතනකවත් නැහැ රජ වෙනවා කියලා. නමුත් ජනාධිපතිවරයා විසින් ඔහුව අගමැතිවරයා බවට පත් කරලා තියෙනවා. ඕනම ගැටයක් ගහලා විසඳුමක් ලබාගන්න ඒ මහතා දන්නවා. ඒකනේ 19 වැනි ව්‍යවස්ථාව ගෙනත් එතුමගේ බලතල හරිගස්ස ගත්තේ. ඒ නිසා මම කියනවා ජනාධිපතිතුමනි, අගමැතිතුමනි දැන්වත් රටේ ජනතාව ගැන හිතලා වැඩ කරන්න කියලා. අපේ පක්ෂය අදත් එකයි හෙටත් එකයි සෘජුව වැඩකරනවා. අපිව අාදර්ශයට අරන් වැඩ කරන්න. 

?නමුත් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා සිටියා රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති ලෙස පත්කර නොගන්නා බව

ජනාධිපතිවරයා කියන දේවල් පොඩි ළමයෙක්ට භාරදෙමු. හැබැයි ඉතිහාසයේ පළවැනි වතාවට අගමැතිවරයා ළඟින් තියාගෙන ජනාධිපතිවරයා විසින් දෙහි කැපුවා. එතුමා එදා කියපු කරුණු සියල්ල ඇත්ත. අගමැතිවරයා කම්මුලට අතකුත් තියාගෙන ඒවා අහගෙන හිටියා. සෘජු ප්‍රතිපත්තියකින් අවශ්‍ය දේවල් කියපු එකට ජනාධිපතිවරයාට අපි ස්තුති කරනවා.
ඉදිරියේදී ප්‍රථමයෙන් ජනාධිපති මැතිවරණය පවත්වන බවට මත පළවෙනවා. අපි ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණය තියන්න කියලා, ඊළඟට ජනාධිපතිවරණය, අනතුරුව මහා මැතිවරණය පවත්වන්න ඕන. මේ අය වෙනත් මැතිවරණයක් ගෙන එන්න හදනව නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා මම අධිකරණය වෙත යන්න බලාපොරොත්තු වෙනවා. අපගේ නීතිඥවරුන් එය සකස් කරමින් පවතිනවා. මොකද ජනතාවගේ වරප්‍රසාදය අහිමි කරන්න අපිට බැහැ.

?උතුරේ සන්නද්ධ කල්ලි යළි හිස ඔසවන බවට මාධ්‍ය මගින් අනාවරණය වෙමින් පවතිනවා

ආවා^කියන සන්නද්ධ කල්ලිය කියන්නේ ත්‍රස්තවාදීන්ම තමයි. දින පනස් ගානක් තිබුණ මහින්ද මහත්තයගේ පාලන කාලයේ ඔවුන් ටිකක් බයවෙලා පසු බැහැලා හිටියා. අද වෙනකොට ඔවුන් යළි හිස ඔසවලා තියෙනවා. ඒ අය උතුරු පළාතේ බෞද්ධ මධ්‍යස්ථාන විනාශ කරනවා. ඒවා ගැන හොයලා බලන්න, යළි ප්‍රතිසංස්කරණය කරන්න කෙනෙක් නැහැ. මේවා ගැන කතාකරනකොට අපිට ත්‍රස්තවාදීන් කියනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා දෙමළ ජාතික සංවිධානයට උතුරු නැගෙනහිර බෙදලා දෙන්න තීන්දු කරලා තියෙනවා කියලා චෝදනා නැගෙනවා. ඒ අයට අවශ්‍ය බලය පමණයි. දෙමළ ජාතික සංවිධානය %ආවා^ කල්ලිය රැක ගැනීමේ කටයුතු තමයි මේ නොනිල විදිහට කරගෙන යන්නේ.

?ඔබවහන්සේ නොකියා කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණියහොත් සන්නද්ධ කල්ලි මැඩලිය හැකි බවද

නැහැ. මහින්ද මහත්තයා හැම තැනදීම රනිල් මහත්තයට වඩා වැඩ අනා ගන්නවා. අගමැතිකම අරගෙන නිකම්ම දෙන්න වුණෙත් ඒ නිසයි. මම කිවුවේ මේ රජයට වඩා ඒ අය ඒ ගැන හොයලා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත නිසා ඔවුන් පසු බැස්සා කියලයි.

?නව ඇමති මණ්ඩලයක් පවත්ව තිබෙනවා එය ඔබ වහන්සේ දකින්නේ කොයි ආකාරයෙන්ද

නව ඇමති කියලා පත් කරාට ඔක්කොම පරණ මුහුණුනේ. ඔය ඇමතිලා රට හූරගෙන කෑම විතරයි කරන්නේ. ඒ අය රටට ආදරේ නැහැ. ඔක්කොම කොළඹ 7 අය ඉන්නේ. ඒ අයට ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. 

?අග්‍රාමාත්‍යවරයා කළු මාධ්‍ය ලෙස නම් කරමින් මාධ්‍යයට රතු එළියක් දල්වා තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස කෙබඳුයිද

කළු මාධ්‍ය කියලා එකක් ලෝකේ නැහැ. ඒක මේ අය හදාගත්ත එකක්. මාධ්‍ය සත්‍යය තොරතුරු රටට ගෙනියනකොට ඒවා කළු මාධ්‍ය කියලා කියන එක සාධාරණ නැහැ. ඒවා කළු මාධ්‍ය නෙමෙයි සත්‍ය මාධ්‍යය. කවදාවත් මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට අතදිගු කරන්න කලින් දෙපාරක් සිතිය යුතුයි. ඔබතුමන්ලා මුදල් බලයෙන් සමහර මාධ්‍ය සල්ලිවලට අරගෙන තියෙනවා. එහෙම සල්ලිවලට ගන්න බැරිවුණ, ජනතාව වෙනුවෙන් කටයුතු කරන මාධ්‍යවලට කළු මාධ්‍යය කියලා අර්ථකතන දෙන එක සාධාරණ නැහැ.

?භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීම සම්බන්ධව කතාබහක් පසුගිය කාලයේ පැවතුණා නේද

භික්ෂූන් වහන්සේලා නැත්නම් රට ඉවරයි. මේ රට ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා දේශපාලනයට පිවිසිලා තියෙන්නෙත් රට රැක ගන්නයි. භික්ෂූන් වහන්සේලා නැති දවසක රටක් ඇත්තේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න.

?ජනසෙත පෙරමුණේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු පිළිබඳව මතක් කළොත්

අප පක්ෂය ඉදිරි මැතිවරණවලදී දිස්ත්‍රික්ක 22ම තරග කරනවා. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්, සිංහලයන් වෙනුවෙන් තියෙන එකම පක්ෂය තමයි ජනසෙත පෙරමුණ. අප රට බෙදා වෙන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. පාට පක්ෂ භේදයකින් තොරව අප හා සන්ධානගත වෙන්න කියලා මම සැමට ආරාධනා කරනවා.         

ජායාරූප සහ සටහන මහේෂ් මලවරආරච්චි



Recommended Articles