ජනාධිපති හා අගමැති අතර ප්‍රතිපත්තිමය ගැටුමක් තියෙනවා


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතු බවට රට තුළ කතාබහක් ඇති වී තිබේ.  මීට අමතරව විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හා ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න පිළිබඳවද රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානය ගැනත් රට තුළ කතාබහක් ඇති වී ඇත. මේ පිළිබඳ %අද^ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සමග කතාබහක නිරත වීමු.


පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු 

ඒක මේ වනවිට ගම් මට්ටමින් අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. ගම්මාන තිස් හතරදහසක, ග්‍රාම නිලධාරී වසම් දාහතර දහස් හැට දෙකක බල ප්‍ර‘දේශ ආවරණය වෙමින් ජාතික වැඩපිළිවෙළක් ලෙස තමයි මෙය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. හැම ගමකටම අපි අපේ නියෝජිතයෙක් පත්කරලා තියෙනවා. එම නියෝජනය කාන්තා, තරුණ සහ පක්ෂ නියෝජනය කියන කාණ්ඩ තුන යටතේ කණ්ඩායම් සකස් කරමින් තියෙන්නේ. ඒ වැඩපිළිවෙළ ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් අධීක්ෂණය කරනවා. මේ වනවිට බිම් මට්ටම ශක්තිමත්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

ඒක ඉතාමත් සාර්ථකව සිදුවෙමින් තියෙන්නේ. මේ වනවිට පාර්ශ්ව දෙක එකතු වෙලා සාර්ථක සාකච්ඡා වට කීපයක් පවත්වලා තියෙන්නේ. ඉදිරි දිනවලත් සාකච්ඡාවක් තියෙනවා. මෙකෙන් බලාපොරොත්තුව තමයි අපේ කණ්ඩායම් දෙකම එකඟ වෙන ගමනක් යෑම. ඉදිරියේදී අපි ඒ වෙනුවෙන් පොදු ලියවිල්ලකට අත්සන් කරනවා. මේ හරහා අපි දෙගොල්ලොම එකතු වෙලා ශක්තිමත් පුළුල් සන්ධානයක් ගොඩනගනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා

අපේක්ෂකයා මොනවගේ කෙනෙකු විය යුතුද? රටේ ඉල්ලුම කොහොමද? රටේ අපේක්ෂාව මොකක්ද කියන කාරණය තමයි පළමු කාරණය. ඒ පිළිබඳ සොයා බලා නිවැරදිම කෙනා තෝරනවා මිසක් අපේක්ෂකයාට හරියන සුදුසුකම තෝරන්න බැහැ. රටේ බහුතරයක් තීරණය කරන දිහා තමයි අපි බලන්නේ. ඒකට අපි හොඳ රාමුවක් සකස් කරලා තියෙන්නේ. ඒ රාමුව ඇතුළෙ තියෙනවා ඊළඟ ජනාධිපතිවරයා කොයි වගේ හැසිරෙන්න ඕනද, කොයි වගේ ක්‍රියාත්මක වෙන්න ඕනද කියන කාරණය.

ආණ්ඩුව ගෙදර යා යුතු සටන් පාඨය

ඇත්තටම කිව්වොත් මේ වනවිට ආණ්ඩුව ජනතාව අතරේ පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ. අපි 16 දෙනෙකු එළියට ආපු දා ඉඳලා ගෙවීගිය කාලය දිහා හැරිලා බැලුවොත් එදා ඉඳන් අද වෙනකම් ආණ්ඩුව පල්ලෙහාට ගියා. ඒ නිසා ජනතාව කියනවා ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලා. එ‍හෙම කියලා තියෙද්දි ආණ්ඩුව අල්ලන් ඉන්න ගියාම වෙන්නේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙන එක. ඒකෙන් වෙන්නෙ තව ටිකක් කුජීත වෙච්ච, බිමටම වැටිච්ච එක්සත් ජාතික පක්ෂයක් තමයි තව මාස තුන හතරකින් ඉතුරු වෙන්නේ. එහෙම දාන ජනාධිපති අපේක්ෂකයා නිකම්ම පරදිනවා. මොකද සමාජය අකමැති, ජනතාව විරුද්ධ ආණ්ඩුවක් තමයි අද දවසේ තියෙන්නේ. ආණ්ඩුව ඒක තේරුම්ගන්න ඕන.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම

සාමූහික වගකීමෙන් කාටවත් ඈත්වෙන්න බැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකීමක් තියෙනවා. වගකීමක් නැහැ කියනවා නම් ඒක බොරුවක් වෙනවා. නමුත් එතුමා දැනුවත් කරලා නැහැ කියන කතාව ඇත්ත. ඒත් අවසාන වශයෙන් රටේ නායකයා හැටියට මේ ප්‍රශ්නය විසඳන්න ඕන. 
ඒ යුතුකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දවස වෙනකොට ඉටුකරලා තියෙනවා. එතුමා ජනතාවට රටට පොරොන්දු වුණා ත්‍රස්තවාදය සහමුලින්ම රටින් තුරන් කරනවා කියලා. ආරක්ෂක අංශවල සහයෝගයෙන් ඒ පොරොන්දුව අද ඉටු කරමින් තියෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙනා ඉවසීමෙන් බලන් ඉන්න ඕන මේ වැඩ කටයුතු ටික කරලා ඉවර වෙනකම්. මොකද අප්‍රේල් 21න් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ බෝම්බ ඇල්ලුවා, ආයුධ ඇල්ලුවා. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගත්තා. ඒ වගේම රට සංසුන් කරන්න ඕන දේ කළා. ආරක්ෂක අංශ හරහා සිදුකළ මෙම ක්‍රියාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ ගෞරවය දෙන්න සමහර පිරිස් කැමැති නැහැ.

ජන ජීවිතය තවමත් අඩාළ වී තිබීම

ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා තියෙන්නේ. මොකද ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. ජනතා බලාපොරොත්තු සුන්වෙලා තියෙන්නේ. ජනතා අපේක්ෂාවන් ගිලිහී ගිහිල්ලා. ඒක නිසා ජනතාව යථා තත්ත්වයට පත් කිරීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාට පැය 24න් කරන්න බැහැ. ඒ නිසා ආණ්ඩුව කඩිනමින් ජනතාවට විශ්වාසය ඇති කළ හැකි විධිමත් වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන්න ඕන.

ජනාධිපති හා අගමැති අතර ගැටුම

මේ දෙදෙනා අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා. මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ප්‍රතිපත්තිමය කාරණා ගැන. ප්‍රතිපත්තිමය වශයෙන්, අදහස් හා වැඩ කරන ශෛලිය තුළ  පරස්පරයක් තියෙනවා. ඒ නිසා දෙදෙනා අතර පරතරයක් තියෙනවා. මේ පරතරය මත දෙදෙනාට එකට එකඟවෙන්න බැරි තැන් තියෙනවා. විධායකයත්, ආණ්ඩුවත් කියන්නේ එකට වැඩ කටයුතු කළ යුතු තැනක්.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව

මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට අරගෙන ඡන්ද විමසන අවස්ථාවේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කරනවා. අපි ප්‍රධාන කරුණු තුනක් පදනම් කරගෙන ජාතික ආණ්ඩුවකට ගියා. ඉන් එකක් තමයි බලය විමධ්‍යගත කිරීම. විධායක බලතල ගැන කතා කිරීම හා මැතිවරණ ක්‍රමය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යටතේ පළාත් පාලන මැතිවරණය විතරක් කොට්ඨාස ක්‍රමයට ගිය එක ඉදිරියට ගෙනයන්න කටයුතු කළේ නැහැ. විධායක බලතල අඩු කිරීම යටතේ පක්ෂයක් ලෙස අඩු කරන්න පුළුවන් උපරිමයට ගියා. ජනමතයට තුඩු දෙන්නේ නැති සියලුම කරුණු අයින් කළා. නමුත් රටේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හැදුවා. ඒකට අපි විරුද්ධයි. මොකද බලය විමධ්‍යගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ කාරක සභාවට සංදේශයක් භාරදුන්නා. එතනදි අපි අපේ ස්ථාවරය ගත්තා. එතනින් එහාට අපට එක්සත් ජාතික පක්ෂයත් සමග එකට ඉන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. ඒක නිසා ආණ්ඩුවෙන් අපි ඉවත් වුණා.

ජනාධිපති අගමැති පොරොන්දු කඩකිරීම

මම හිතන්නේ කඩවෙලා තියෙන්නේ පොරොන්දු නොවෙයි. ජනතා බලාපොරොත්තු. ඒ කියන්නේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් එකට එකතු වෙලා හදපු ජනතා බලාපොරොත්තු කඩ කරලා තියෙනවා. ඒත් ජනාධිපතිතුමා විසින් ජනතාවට හදලා දුන්න බාලාපොරොත්තු ඉතාමත් සාර්ථක ලෙස ඉටුකරලා තියෙනවා. මොකද ජනතාව බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීමට අත ගසාවි කියලා. ඒ දේ ජනතාව බලාපොරොත්තු වුණාටත් වඩා වැඩියෙන් කරමින් තියෙනවා. පරිසරය ආරක්ෂා කරගැනීමට තීන්දු තීරණ ගණනාවක් ගත්තා. ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා නිහඬ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තියෙන්නේ. ඒත් එතුමා ආණ්ඩුව සමග එකට එකතු වෙලා කරන වැඩවලට සහාය දෙන්න අගමැතිතුමා අපො‍හොසත් වෙලා තියෙනවා. බිමේ තත්ත්වය ගැන සිතා බලා කටයුතු කරන්න එතුමා අපොහොසත්  වෙලා තියෙනවා මුළු රටේම ජනතාවට අගමැති වෙලා සහයෝගය දෙන්නේ නෑ. එතුමා දක්ෂ වෙලා තියෙන්නේ සුළු ජාතීන්ගේ සහයෝගයෙන් පවතින්න විතරයි.

නැගෙනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමේ වැඩපිළිවෙළ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බැරෑරුම් තත්ත්වයක් පැන නැගිලා තියෙන්නේ. මේ නිසා බහුතරයක් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව තුළ මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමටත්, අන්තවාදී අදහස් දරන්නන්ගෙන් උතුරු නැගෙනහිර සේම සමස්ත රටේම ජනතාව ආරක්ෂා කරගැනීමටත් මඩකලපුව විශ්වවිද්‍යාලය නොහොත් ෂරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න ඕන. මේ විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන, එය රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න ඕන.
ෂරියා විශ්වවිද්‍යාලය රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කිරීමට අදාළ යෝජනාව මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ වනවිටත් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කටයුත්ත කඩිනමින් සිදුකළ යුතුයි. මොකද  මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය මේ වනවිට රටේ මහත් ආන්දෝලනයකට ලක්වෙලා තියෙන්නේ. 

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමේ සටන්

මේක මහපාරේ සටන් කරලා කරගන්න බැහැ. මේක ජාතික අවශ්‍යතාවක් සේ සලකා ජාතික මට්ටමින් නීත්‍යනුකූලව සිදුකළ යුතු වෙනවා. මොකද මේක රජයට පවරාගන්න කියලා මහපාරේ සටන් කරන්න ගියොත් ජාත්‍යන්තරයට වැරදි තොරතුරක් යන්න පුළුවන්. එහෙම වුණොත් පාස්කු ඉරිදා සිදු වූ සිදුවීම් පවා යටගිහිල්ලා පාරේ සටන් සිද්ධිය උඩට එන්න පුළුවන්. රට ඒ තත්ත්වයට පත් කිරීමට කිසිවෙකුත් කටයුතු නොකළ යුතුයි.  මම කරලා තියෙන්නේ නීත්‍යනුකූල දේ.

අත්සන් දසලක්ෂයේ වැඩපිළිවෙළ

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කරන්න කියලා අපි විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළා. ඒකට සති දෙකක් තුළ ජනතාව ලක්ෂ හතක් අත්සන් කළා. අත්සන් ලක්ෂ 10ක් සම්පූර්ණ වුණාට පස්සේ මේ සංදේශයේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙනවා. මීට අමතරව ත්‍රෛනිකායික මහා සංඝරත්නයට සහ අගමැතිතුමාට එය භාරදීමට කටයුතු කරනවා. 

පවරාගැනීමට වන්දියක් ගෙවීමට සිදුවීම

මුලින්ම බලන්න ඕන මේ විශ්වවිද්‍යාලය ගොඩනගලා තියෙන්නේ නීත්‍යනුකූල ක්‍රම‘වේදයන්ට අනුව ආයෝජකයන් ඇවිත්ද කියලා. ආයෝජකයන් ඇවිත් නීත්‍යනුකූලව අායෝජනය කරලා මෙය ගොඩනගලා තියෙනවා නම් යම් වන්දියක් ගෙවීමට සිදුවෙනවා. ඒ සඳහා අවශ්‍ය වන මුදල් සොයාගැනීමට ජනතා සහාය අවශ්‍ය වුණොත් ඒක අපි හොයලා දෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළවල් තියෙනවා. හැබැයි මේක නීත්‍යනුකූල නොවන ආකාරයට ඉදිකරලා තියෙනවා නම් එයට මුදල් ආපු හැටි තැනේ ඉඳලා සොයාගන්න ඕන. 

රජයට පවරාගැනීම

මෑත ඉතිහාසය පුරාවට මෙවැනි දේවල් සිදුවෙලා තියෙනවා. රටේ ආරක්ෂාව වෙනුවෙන් කච්චතිව් දූපත රටට පවරාගෙන තියෙනවා. ජනසතු ව්‍යාපාරය නංවලා බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ කාලයේදී හා මැතිනියගේ කාලයේදී ජාතික වැදගත්කමක් ඇති සියලුම මධ්‍යස්ථාන රාජ්‍ය පරිපාලනය තුළ පිහිටා ක්‍රියාත්මක කළා.
ව්‍යාපාරිකයෙකු පාලනය කළ ඇපලෝ රෝහල රක්ෂණ සංස්ථාවට පවරාගැනීම, Waters Edge හෝටල් සංකීර්ණය පවරාගැනීම, සයිටම් අහෝසි කිරීම හොඳ උදාහරණ. ඒ නිසා අද දවසේදී මම ගෙනයන සටනට මේ වනවිට මහා සංඝරත්නය ඇතුළුව අතිවිශාල පිරිසක් එකතු වෙලා තියෙනවා.

විශ්වවිද්‍යාලය ඉදිකිරීමට පක්ෂ සාමාජිකයෙකු මැදිහත් වීම

හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනවා තමයි. ඒත් මේක පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා එතුමා අපේ පක්ෂයේද, අපට හිතවත්ද කියන කාරණය අදාළ නැහැ. අපි හරි ආකාරයට සියලුම  දෙනා පෙළගස්වමින් යනවා. මෙහිදී එතුමාට එතුමාගේ මතය ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදෙන්න ඕන. කොහොම වුණත් මේක රජයට පවරාගන්න ඕන. මගේ වැඩපිළිවෙළ පිළිබඳ පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රටට වගකියනවා.   



Recommended Articles