ජනාධිපතිවරණය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ දින 20ක කාලයක් පමණි. ගෙවී ගිය දිනයන් තුළ දේශපාලන පක්‍ෂ කිහිපයක් ඉතාමත් උණුසුම්කාරී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ අතර, ඡන්දය ලබාගැනීම සඳහා රාජ්‍ය දේපළ අවභාවිත කිරීම පිළිබඳවත් අපේක්‍ෂකයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව %අද^ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සමග කතාබහක නිරත විය.
ප්‍රචාරක කටයුතු
වෙනදා දකින්නට තරම් පෝස්ටර්, කටවුට් මෙවර මැතිවරණයේදී තවම නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් පසුගිය දිනවල සමහර ප්‍ර‘දේශවල විශාල ලෙස පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සිදුවෙලා තිබුණා. නීතිවිරෝධී පක්‍ෂ කාර්යාල පවා තවමත් දක්නට ලැබන්නේ නැහැ. ගෙයින් ගෙට යන අපේක්‍ෂක ප්‍රවර්ධනයත් විශාල ලෙස දකින්නට ලැබෙන්නේ නැහැ. ඒත් සමහර අපේක්‍ෂකයන් විද්‍යුත් මාධ්‍ය හරහා සහ සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරමින් තිබෙනවා. පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය කිරීම මන්දගාමීව සිදුවන නිසා වෙනදා පෝස්ටර් කටවුට් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රචණ්ඩත්වයත් අඩුවෙලා තියෙන්නේ. නව මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සලකා බැලුවහොත් මුදල්හදල් තියෙන අපේක්‍ෂකයන් එය විශාල ලෙස සිදුකරනවා.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සීමා පැනවීම
එක් පැත්තකින් බැලුවාම ඒක හොඳ දෙයක්. ඒත් මනාපය ලබාගැනීමේ මැතිවරණයක් නිසා යම් ක්‍රමවේදයක් යටතේ ප්‍රචාරක කටයුතු සිදුකරන්න අවස්ථාව ලබාදෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. මොකද විද්‍යුත් මාධ්‍ය ඇතුළු මාධ්‍ය ප්‍රචාරක කටයුතු සිදුකරන්න පුළුවන් වෙන්නේ ධනවත් අපේක්‍ෂකයන්ට විතරයි. එහෙම බැලුවාම අපේක්‍ෂකයන්ට සම අවස්ථා හිමිවන්නේ නැහැ.
නීතිවිරෝධී ලෙස රාජ්‍ය ආයතනවලට පත්වීම් ලබාදීම
ඒ පිළිබඳව සෑහීමකට පත්වෙන්න බැහැ. අපේ සංවිධානය මැදිහත්වෙලා පසුගිය දිනවල මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය ආයතනවලට දෙන්න ගිය පත්වීම් පන්දහසකට (5000) අධික ප්‍රමාණයක් වළක්වා ගත්තා. මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි. මෙම පත්වීම් නිවාස සංවර්ධන අධිකාරිය, සමෘද්ධි සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවලට ලබාදෙන්න සැලසුම් කරලා තිබුණා.
රාජ්‍ය දේපළ අවභාවිතය
මෙය කාණ්ඩ තුනක් යටතේ සිදුවෙනවා. මීට පෙර මෙවැනි දෙයක් සිදුවෙලා නැහැ. මෙහිදී ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වන ආණ්ඩුකාරවරුන් ගත්තම සමහර ආණ්ඩුකාරවරුන් තමන්ගේ වෘත්තියේ ගරුත්වය අමතක කරලා, මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයට රාජ්‍ය දේපළ භාවිත කරනවා. ඒ දේවල් කරන්නේ ආණ්ඩුකාරවරයා සතු බලතල උපයෝගී කරගෙනයි. මීට අමතරව ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් රාජ්‍ය දේපළ අවභාවිත කරනවා. පළාත්පාලන ආයතන ගත්තාමත් බොහෝ ආයතන රාජ්‍ය සම්පත් අවභාවිත කරනවා. මෙය හොඳ තත්ත්වයක් නෙවෙයි. මෙච්චර කාලයක් රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳව චෝදනා එල්ල වූයේ ආණ්ඩු පක්‍ෂයට විතරයි. ඒත් මෙවර මැතිවරණයේදී ආණ්ඩු පක්‍ෂයට සේම විපක්‍ෂයේ සමහර කණ්ඩායම්වලටත් රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳව චෝදනා එල්ල වෙනවා.
ප්‍රචාරක වියදම් සීමා කිරීම
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි මුදල සීමා කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව, පැෆරල් සංවිධානය සහ අපේ සංවිධානය එක්ව වැඩපිළිවෙළක් සකස් කළා. ඒත් ඒවා තවමත් නීතියක් බවට පත්වුණේ නැහැ. ඉදිරියේදීවත් එය නීතියක් බවට පත්කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. කොහොම වුණත් මෙවර මැතිවරණයේදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය පිළිබඳව අප ගණනය කිරීමක් කරනවා. මැතිවරණය අවසන් වුණාට පස්සේ ආසන්න වශයෙන් අපේක්‍ෂකයන් මැතිවරණයට වියදම් කළ මුදල් ප්‍රමාණය දැනගන්න ලැබේවි. මැතිවරණ වියදම් සීමා කිරීමට නීතියක් සකස් කිරීමේදී අපි සකස් කරමින් තිබෙන වාර්තාව වැදගත් වෙන්න පුළුවන්. කනගාටුවට කරුණ වෙලා තියෙන්නේ මැතිවරණ වියදම් සීමා කිරීමට රට තුළ කතාබහක් ඇතිවී තිබියදීත් සමහර අපේක්‍ෂකයන් අධික ලෙස මුදල් වියදම් කරලා මැතිවරණයට අදාළ කටයුතු කරනවා. එය එතරම් හොඳ දෙයක් නෙවෙයි.
මැතිවරණ අපේක්‍ෂකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම
මැතිවරණයක් සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක්. එහෙත් එය ලංකාවේ දේශපාලනයට ගැළපීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට ගළපාගත හැකිද කියන කාරණය එනවා. මොකද මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන අපේක්‍ෂකයන් තිස්පස් දෙනා ගත්තම අපේක්‍ෂකයන් හත්දෙනෙකු (07) එක් අපේක්‍ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම තවත් අපේක්‍ෂකයන් පස්දෙනෙකු තවත් පක්‍ෂයක අපේක්‍ෂකයෙකුට සහය ලබාදෙනවා. මෙතනදී කරන්නේ ප්‍රබල අපේක්‍ෂකයන්ට සහය ලබාදී විවිධ වරප්‍රසාද ලබාගැනීමයි. මෙලෙස අපේක්‍ෂකයන් කිහිපදෙනෙකුගේ සහය ලැබීම තුළින් ප්‍රබල අපේක්‍ෂකයාට ඡන්දපොළ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් පත්කර ගැනීම, ඡන්දය ගණනය කරන මධ්‍යස්ථාන නියෝජිතයන් පත්කර ගැනීම ඇතුළු විවිධ වාසි ලබාගන්න පුළුවන්.
ඇප තැන්පත් මුදල
මීට වසර ගණනාවකට පෙර මාණ්ඩලික නිලධාරියෙකුට රුපියල් නවසීයක වැටුප් මුදලක් තිබුණේ. ඒත් ස්වාධීන අපේක්‍ෂකයෙකු ඇප මුදල් ලෙස රුපියල් හැත්තෑපන්දහසක් තැන්පත් කරන්න වුණා. දැන් මාණ්ඩලික නිලධාරියෙකුගේ අවම වැටුප රුපියල් පනස්හතර දහසක්. ඒත් තවමත් ස්වාධීන අපේක්‍ෂකයෙකු තැන්පත් මුදල ලෙස බඳින්න ඕන රුපියල් හැත්තෑපන්දහසක්. මේ නිසා මැතිවරණ නීති වර්තමානයට ගැළපෙන ලෙස සකස් විය යුතුයි. මොකද ඇප මුදල සුළු මුදලක් නිසා ඕනෑම කෙනෙකුට මැතිවරණයට ඉදිරිපත්වෙලා ප්‍රබල අපේක්‍ෂකයන්ට සහය ලබාදෙන්න පුළුවන්.
මැතිවරණ වියදම ඉහළ යාම
මැතිවරණ වියදම් ලෙස රුපියල් කෝටි හාරසීයක මුදලක් වැය විය හැකි බවට මුලින් ගණන් බලා තිබුණා. ඒත් අපේ මතයට අනුව එම මුදල රුපියල් කෝටි පන්සිය පනහ ඉක්මවන්න පුළුවන්. උදාහරණයක් ලෙස කියනවා නම් ඡන්ද පත්‍රිකාව අඟල් විසිහයක් දිගයි. එතන ඉඳලම වියදම ඉහළ යනවා. ඒ වගේම තමයි මැතිවරණ දවසේදී මෙය කළමනාකරණය කරන්න විශාල වෙහෙස මහන්සියක් ගන්න ඕන. ඡන්ද පෙට්ටි පවා අලුතින් ආනයනය කිරීමට හෝ සකස් කිරීමට සිදුවෙලා තියෙනවා. අඟල් විසිහයක පත්‍රිකාව පරීක්ෂා කිරීමට ඡන්දදායකයාට අඩුම තරමින් තත්පර දහයකට වැඩි කාලයක් ගතවෙනවා. එවැනි අවස්ථාවකදී අටසීයක් ඡන්දය භාවිත කරන ඡන්ද පොළක කුමන තත්ත්වයක් ඇතිවේවිද කියලා හිතාගන්න බැහැ. කොහොම වුණත් මැතිවරණ කොමිසම මේ සඳහා අවශ්‍ය කටයුතු කරමින් තිබෙන්නේ. මේ සෑම කරුණක්ම සලකා බැලීමේදී භාණ්ඩාගාරයට බර වැඩියි. මේ නිසා මෙම මතිවරණය තුළින් යහපත් සංස්කෘතියක් නිර්මාණය වුණොත් එය ප්‍රතිලාභයක් ලෙසට සැලකිය හැකියි.
ජනාධිපතිවරයා ස්ථාපිත වීම
මෙම මැතිවරණය සඳහා බලයේ සිටින ජනාධිපතිවරයා ඉදිරිපත් වුණේ නැහැ. ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා මැතිවරණයට සම්බන්ධ නොවී ඉන්නවා කියලා. හැබැයි ජනාධිපතිවරයා පත් කළ සමහර ආණ්ඩුකාරවරුන් රාජ්‍ය දේපළ අවභාවිත කරනවා. ඒ වගේම ඔහුගේ පක්‍ෂයට රාජ්‍ය දේපළ අවභාවිත කිරීම පිළිබඳව චෝදනා එල්ල වෙනවා. මේ නිසා ජනාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙකු නම් ඔහු විසින් පත්කළ සමහර ආණ්ඩුකාරවරුන් කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වහාම නවතා දැමිය යුතුයි. මොකද සමහර ආණ්ඩුකාරවරුන් බරපතළ ලෙස මැතිවරණ ක්‍රියාවලියට අවතීර්ණ වෙලා ඉන්නවා.
අපේක්‍ෂකයෙකුට 50%කට වැඩි ඡන්ද නොලැබුණොත්
පවතින තත්ත්වය අනුව 50%ක් හා තවත් එක් ඡන්දයක් අපේක්‍ෂකයෙකු ලබාගත්තොත් ඔහු ජයග්‍රහණය කරනවා. එහෙම ගන්න බැරි වුණොත් දෙවන හා තෙවන මනාප ගණන් කිරීමට සිදුවෙනවා. අපි දන්නේ නැහැ ජනතාව කුමන ආකාරයට ඡන්දය භාවිත කරයිද කියලා. අපිට කියන්න පුළුවන් වෙන්නේ පවතින නීති තත්ත්වය විතරයි.
මැතිවරණය සඳහා තරුණයන්ගේ උනන්දුව
පොදුවේ ගත්තම මීට පෙර මැතිවරණවලට සාපේක්‍ෂව තරුණයන් විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවගේත් ජනාධිපතිවරණය පිළිබඳව උනන්දුවක් දකින්න නැහැ. ඒත් අන්තර්ජාලය භාවිත කරන තරුණයන් තුළ මැතිවරණය පිළිබඳව යම් උනන්දුවක් පවතින බවට පෙන්නුම් කරනවා. ඒ වගේම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම පිළිබඳවත් උනන්දුවක් තියෙන බවක් පේන්න තියෙනවා. වර්තමානයේදී පවතින දේශපාලනය ගැන තරුණයන් තුළ විශාල උනන්දුවක් දකින්න නැහැ.
මැතිවරණ වේදිකාව
අපේක්‍ෂකයන්ගේ පැත්තෙන් ගත්තම ජනතාවට විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඒත් සමහර දේශපාලන වේදිකාවල අාගම්වාදය, ජාතිවාදය ආක්‍රමණය කරලා තියෙනවා. එය නරක තත්ත්වයක්. මේ තත්ත්වය කඩිනමින් වෙනස් කරගත යුතුයි.
අපේක්‍ෂකයෙකු විසින් තවත් අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම
එය ප්‍රජාතන්ත්‍රවාදයට කරන අසාධාරණයක්. එවැනි ක්‍රියා සිදුකරනවාද කියලා අපි නිරන්තරයෙන්ම සොයා බලනවා. මැතිවරණ කොමිසමත් සොයා බලන බවට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම එවැනි දෙයක් සිදුකළහොත් එයට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා කියලත් මැතිවරණ කොමිසම මේ වනවිට ප්‍රකාශ කරලා තියෙන්නේ.
මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු
දේශීය වශයෙන් අපි සහ පැෆරල් සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් මැතිවරණ නිරීක්‍ෂකයන් යොදවලා තියෙන්නේ. ඒ වගේම විදේශීය නීරීක්‍ෂකයන් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලය හා යුරෝපීය රටවල් නියෝජනය කරමින් නිරීක්‍ෂකයන් පැමිණෙනවා. දකුණු ආසියාතික මැතිවරණ බලධාරීන්ගේ සංසදයෙන් හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල අන්තර් සංවිධානයෙන් විදේශීය නිරීක්‍ෂකයන් සහභාගී වීමට නියමිතයි.