රටේ මීළඟ ජනාධිපතිවරණය මෙම වසරේ අගදී පැවැත්වීමට නියමිතය. නමුත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවත් කලක් ධුරය දැරිය හැකි බවට මතයක් ඉදිරිපත්ව ඇත. අප සහභාගි වූ විද්‍යුත් මාධ්‍ය වැඩසටහනකදී ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, 2015 ජනාධිපතිවරණයෙන් එතුමාට ජනවරම ලැබුණේ එවකට ව්‍යවස්ථාව අනුව වසර හයකට බවත්, 2015 දී සම්මත කළ 19 වැනි සංශෝධනයෙන් පසුව ජනාධිපති ධුර කාලය වසර පහ ලෙස දක්වන විධිවිධානය බල පැවැත්වෙනුයේ මෛත්‍රීපාල මහතාට නොව ඊළඟට එන ජනාධිපතිවරයාට බවත්ය. කෙසේ වුවද වත්මන් ජනාධිපතිවරයාගේද ධුර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් එතුමා වෙත ලබාදී ඇති බව කියවේ. එය පෙන්වා දුන් පසු එම මන්ත්‍රීවරයා සඳහන් කළේ, එසේ නම් වසර පහ ගණන්ගත යුත්තේ 19 වැනි සංශෝධනය සම්මත වූ දිනයේ සිට මිස 2015 ජනවාරි 08 දින සිට නොවන බවයි. මෙය දුර්වල තර්කයකි. යම් හෙයකින් 19 සම්මත වූයේ 2019 දී යැයි උපකල්පනය කළහොත් එයට අනුව මේ තර්කය පෙළ ගස්වන්නේ කෙසේද? කෙසේ වුවත් වසර පහ ගණින්නේ කවදා සිටද යන්න සම්බන්ධයෙන්ද තවත් ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයාට බාධාවක් නැත. දැනට තිබෙන තත්ත්වය අනුව මේ වසර අග ජනාධිපතිවරණයක් සඳහා මැතිවරණ කොමිසම සැරසෙමින් සිටින බැවින් බොහෝ දුරට ජනාධිපතිවරණය මේ වසර අග පැවැත්වෙනු ඇත. තවත් කාලයක් ජනාධිපති ධුරය දැරීමට වත්මන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම්, ප්‍රධාන පක්‍ෂයක නායකයෙකු වන එතුමාටද එළඹෙන ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ජනවරම උරගා බැලිය හැකිය.
ප්‍රධාන පක්‍ෂ එකක්වත් මේ වනතුරුත් තම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුද යන්න හෙළිදරවු කර නොමැත. තවමත් කරන්නේ හැංගි හැංගී වෙස් බැඳීමය. ප්‍රධාන පක්‍ෂ සම්බන්ධයෙන් මතුවී ඇති එක් යථාර්ථයක් වන්නේ කිසිම පක්‍ෂයකට තනි පක්‍ෂයක් වශයෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වීමය. 2019 ජනාධිපතිවරණය දිනීම සඳහා අපේක්‍ෂකයෙකුට ලක්‍ෂ හැට පහේ සිට හැත්තෑව දක්වා ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතුව ඇත. එබඳු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි තනි පක්‍ෂයක් අප රටේ මේ වනවිට නැති බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල දෙස බලන විට පෙනේ. මෙය අද ඊයේ ඇති වූ තත්ත්වයක් නොව දශක තුන හතරක සිට පැවැත එන තත්ත්වයකි. එක්සත් ජාතික පක්‍ෂය තනි පක්‍ෂයක් ලෙස ජනාධිපතිවරණයක් දිනුවේ මීට වසර තිහකට පෙර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පත්වූ ජනාධිපතිවරණයයි. එයටද අශ්රොෆ් මහතාගේ මුස්ලිම් කොංග්‍රස් සහයෝගය පිටින් ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනි පක්‍ෂයක් ලෙස ජනාධිපතිවරණ දිනා නොමැත. ජනාධිපතිවරණ තබා ශ්‍රී.ල.නි.ප.ය තනි පක්‍ෂයක් ලෙස මැතිවරණයක් පවා ජයග්‍රහණය කළේ 1970 තරම් ඈත කාලයකදීය. එහිදීද සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂ නිතරග ගිවිසුමක් යටතේ එම පක්‍ෂය යටතේ සන්ධානගත වී තිබිණි. මේ අනුව බලන කල දේශපාලන සන්ධාන මගින් අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ නිශ්චිත කොන්දේසියකි.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මතුවී තිබෙන තවත් ප්‍රවණතාවක් වන්නේ මැතිවරණ සන්ධාන ගැන එතරම් උනන්දුවක් නොදක්වන, දේශපාලනය තුළද එතරම් කැපී පෙනෙන වැඩ කොටසක් සිදුකර නොමැති පුද්ගල මට්ටමේ අපේක්‍ෂකයන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මේ වනවිටත් තම අභිලාෂය ප්‍රකාශයට පත්කිරීමය. නීති ක්‍ෂේත්‍රය සහ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය නියෝජනය කරන කිහිපදෙනෙකුද මෙලෙස ඉදිරිපත්ව ඇත. තමන් බලයට පත්ව රට යහපත් ලෙස හැදීම සුන්දර යහපත් කල්පනාවකි. එහෙත් ඒ යහපත් කල්පනා අදේශපාලනික මනෝරාජික කල්පනා ලෙස වැළලී යෑමට ඉඩ නොතැබීමට නම් මේ පුද්ගල මට්ටමේ අපේක්‍ෂකයන් පවත්නා දේශපාලන යථාර්ථය සහ ව්‍යවස්ථා ප්‍රතිපාදන දෙස ගැඹුරින් සිතා බැලිය යුතුව ඇත.
රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන අපේක්‍ෂකයෙකු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබිය යුතුය. දැනට නම් කියැවෙන නාමධාරී නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවේ. ඔවුන්ට කිසි ලෙසකින් හෝ ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය. මේ අයට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි එකම මාර්ගය වන්නේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක් මගින් නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන්ය.
ඒ සඳහා ඔවුන්ට අලුත් දේශපාලන පක්‍ෂ හැදීමේ ඉඩකඩක්ද නොමැත. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට තිබෙන බැවින් නීතිය අනුව දැන් තිබෙනුයේ මැතිවරණයක් ප්‍රකාශ කර තිබෙන කාලයකි. එවැනි කාලයක නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචියක් සිදු නොකෙරේ. ඒ අනුව මේ පුද්ගල අපේක්‍ෂකයන්ට සිදුවනුයේ තිබෙන දේශපාලන පක්‍ෂයක් මිලදී ගැනීම හෝ කුලියට ගැනීමය. මැතිවරණ දූෂණයක් වන එබඳු කටයුතු සඳහාද දැන් මැතිවරණ කොමිසම වැට බඳිමින් සිටියි. ඔවුන්ට අපේක්‍ෂකත්වය ලබාගත හැකි එකම මාර්ගය වන්නේ සද්භාවයෙන් යුතුවම කිසියම් දේශපාලන පක්‍ෂයක් තම අපේක්‍ෂකයා ලෙස මෙවැනි අයෙකු නම් කිරීම ඔස්සේ පමණි. එවැනි අප්‍රධාන දේශපාලන පක්‍ෂ තිබිය හැකිය. නමුත් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්‍ෂවලටද දේශපාලන සන්ධාන සෑදීමට බල කෙරී ඇති තත්ත්වයක් යටතේ සන්ධාන තබා හරිහමන් පක්‍ෂයක් හෝ නොමැති පෞද්ගලික අපේක්‍ෂකයන්ගේ අදේශපාලනික උත්සාහයන් නිරර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. අපේක්‍ෂකත්වය ලබා ගැනීම සහ ලැබුවත් ජය ගැනීම පිළිබඳ අඩු ඉඩක් ඇති මේ පෞද්ගලික අපේක්‍ෂකයන් අතරින් ඇතැමෙකු මෙලෙස කටයුතු කරනුයේ රට හැදීමේ අවංක අරමුණින් නොව, ජනාධිපතිවරණය පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක් බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා පෙන්වා දී, එක් නීතිඥවරයෙකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. මේ නාටක පවතිනු ඇත්තේ ප්‍රධාන පක්‍ෂ තම අපේක්‍ෂකයන් ප්‍රසිද්ධ කරනතාක්ය. එතැන් සිට පුද්ගලවාදයන් නොව දේශපාලන බලවේග සක්‍රිය වන ජනාධිපතිවරණයක් මතුවනු ඇත.