ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ජාතික ජනබල ව්‍යාපාරය හරහාය. විද්වතුන්, වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් ජාතික ජනබල ව්‍යාපාරය සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් මේ වනවිට ප්‍රතිපත්ති මාලාවක්ද එළිදක්වා තිබේ. මේ පිළිබඳ හා ජනාධිපතිවරණයෙන් පසු සිදු කරන කටයුතු පිළිබඳ %අද^ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා සමග කතාබහක නිරත විය.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම
මේ රටේ විද්වතුන්, ප්‍රවීණයන් හා ජනතාව එක්ව රට ගොඩනගන්න සුදුසු ප්‍රතිපත්තිය තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. රට ගොඩනගන්න සැලැස්ම හදලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් සොයාගැනීමේ හැකියාව තියෙනවා. ලෝකයේ දියුණු රටවල් ගත්තාම ඒ අය ප්‍රතිපත්ති සකස් කරලා මුදල් උත්පාදනය කරගත්තා. එහෙම කරපු රටවල් දියුණු වුණා. ඒ නිසා අපිත් රට ගොඩනගන්න ඕන කොහොමද කියන කාරණය හඳුනාගෙන තියෙන්නේ. අපේ රටේ ඉන්න මානව සම්පත, කෘෂිකර්මාන්තය, මුහුද සහ මහ පොළොවේ වටිනා සම්පත් කළමනාකරණය කිරීම තමයි කරන්න තියෙන්නේ.
ප්‍රතිපත්ති ප්‍රකාශය වෙනත් කෙනෙකුගේ කොපියක්ද?
හතුරා විසින් විවිධ අවස්ථාවල විවිධ චෝදනා කරනවා, මඩ ගහනවා. නමුත් අපේ නායකයා වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය කාගෙවත් බූදලයක් නොවෙයි. අපි හදපු ප්‍රතිපත්තිය ජනතාවට අයිති දෙයක්. මේ ප්‍රතිපත්තිය සකස් කළේ වසර ගණනාවක් තිස්සේ මේ රටේ විද්වත් සංවිධානවල හා මහජන අදහස් විමසලා තමයි නිර්මාණය වුණේ. අපේ ප්‍රතිපත්තිය කාටහරි කොපි කරන්න ඕන නම් ඒක කළාට කමක් නැහැ. ඒත් මේක කාගෙවත් පිටපතක් නොවෙයි.
රට ගොඩනැගීම පිළිබඳ ජනතාවට ලබාදෙන සහතිකය
රට ගොඩනගන්න පුළුවන් අපට කියලා අපි අවස්ථා ගනණාවකදී පෙන්නලා තියෙනවා. තිස්සමහාරාම ප්‍රා‘දේශීය සභාව තුළ අපට වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නුවා. ඒ වගේම අපි යම් කාලයක් සන්ධාන ආණ්ඩුවක හිටියා. ඒ කාලෙ කෘෂිකර්ම ඇමති වෙලා හිටියෙ අනුර කුමාර දිසානායක සහෝදරයා. මාස 14යි අමාත්‍යාංශයේ හිටියේ. ඔහුගේ මූල්‍ය පාලනය හා විෂය සම්බන්ධයෙන් ගත්ත තීන්දු තීරණ දිහා බැලුවම නොවැම්බර් 16 වැනිදා තීරණයක් ගන්න හොඳටම ප්‍රමාණවත්. මොකද එම කාලය තුළ දහසක් වැව් වැඩසටහන ක්‍රියාත්මක කරමින් කෘෂි කර්මාන්තය දියුණු කලා. දැයේ කිරි සුවඳ නමැති කිරිගොවි ගම්මාන දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ කිරි ගොවියා ශක්තිමත් කළා. කිරි නිෂ්පාදනය ඉහළ දමලා රටින් ගේන කිරි ප්‍රමාණය අඩු කළා. අනුර කුමාර සහෝදරයා කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය භාරගන්න කොට මිල්කෝ ආයතනය ලක්ෂ පන්සියයකට අධික මුදලක් ණය වෙලා තිබුණේ. මාස 14ක් අනුර සහෝදරයා ඇමති විදිහට ඉඳලා අයින් වෙනකොට ණය ගෙවලා ලක්ෂ දෙදහසක ලාභයක් ගිණුමේ ඉතිරි කළා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කාර්යශූර මන්ත්‍රීවරුන් තෝරාගැනීමේදී අඛණ්ඩව වසර හතරක් අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම ස්ථානයට ආවා.
බලවේගයකින් මැතිවරණයට ඉදිරිපත් වීම
රට ගොඩනගන්න කැමති මිනිස්සු විවිධ තැන්වල විසිරිලයි හිටියේ. මේ විසිරී සිටි පිරිස එකට එකතු කරන්න තමයි ජාතික ජනබලවේගය බිහිවුණේ. අනෙකුත් පක්ෂවලත් මෙරට ගොඩනගන්න උනන්දුවක් දක්වන යහපත් මිනිස්සු ඉන්නවා. ඒ සියලුම දෙනාට එකට එකතු විය හැකි මධ්‍යස්ථානයක් තමයි ජාතික ජනබලවේගය. මේ තුළ දැනට සංවිධාන තිස්එකක් ඉන්නවා. ඉදිරියේදී තවත් සංවිධාන කිහිපයක් එකතු වෙන්න තියෙනවා. ජනතාවට අලුත් බලාපොරොත්තු දල්වාගන්න පෙරමුණක් තමයි ගොඩනැගිලා තියෙන්නේ. මේ තුළ සිටින්නේ තනතුරු තාන්න මාන්නවලට වැඩ කරන අය නොවෙයි. උගතුන්, බුද්ධිමතුන් හා රටට ආදරය කරන පිරිස්.
දූෂිතයන්ගෙන්, වංචාකාරයන්ගෙන් තොර බලවේගයක් වීම
මහින්ද රාජපක්ෂ පිල ගත්තත් එක්සත් ජාතික පක්ෂය ගත්තත් පිල් දෙකටම වඩා ජනතාවට පිළිගන්න පුළුවන් විනයක්, පාරදෘශ්‍යභාවයක් සහිත මිනිස්සු ඉන්න තැන තමයි මෙතැන. මෙතැන ඉන්න කවුරුවත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ බවට නැගෙන චෝදනා
ඔය වගේ චෝදනා කරන්නේ රාජපක්ෂවාදීන්. ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවන්න රාජපක්ෂවරුන්ට හෝ එක්සත් ජාතික පක්ෂයට බැහැ.
71 වසරක් පුරා කණ්ඩායම් දෙකක් පසුපස යෑම
ඔය කතාව ඉතිහාසයට අයත් දෙයක්. ඉදිරියේදී එහෙම වෙන්න අවස්ථාවක් නැහැ. 71 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට ආපු ආණ්ඩු දෙක රට අගාධයට ගෙන ගියා. මේ නිසා ජනතාවට තිබුණ ආණ්ඩු මේ වනවිට එපා වෙලා තියෙන්නේ. ඒ වගේම පක්ෂ අතරත් ප්‍රශ්න ඇති වෙලා. කෑලි කෑලිවලට වෙන්වෙලා තියෙන්නේ. අපේක්ෂකයන් තෝරාගැනීමේදී පවා ඒකට පොරයක් තිබුණා.
කල්ලි කණ්ඩායම් බලයට පත් වුණොත්
කල්ලි කණ්ඩායම් ජයග්‍රහණය කළොත් කල්ලි කණ්ඩායම් ප්‍රශ්න ආණ්ඩු කරනකොට බලපානවා. ඊටපස්සේ ඒවා රටට බලපානවා. ඒ නිසා ජනතාව ඉතිහාසයේ ගත්ත තීන්දු තීරණ මෙදා ගන්නේ නැහැ. ලෝකය දෙස බැලුවාම සාම්ප්‍රදායික පක්ෂ ගෙදර යවලා තියෙනවා. එහෙම කරලා ජනතාව නව බලවේගවලට ඉඩ ලබාදුන්නා. ලංකාව තුළත් අලුත් පරම්පරාව බුද්ධිමත්. ජනතාව ඉතිහාසය වෙනස් කරමින් තියෙන්නේ.
රට ගොඩනැගීම
ආර්ථිකය දියුණු කිරීම පමණක් නොවෙයි, අධ්‍යාපනය සෞඛ්‍ය, පරිසරය ඇතුළු ක්ෂේත්රවල දියුණුව, සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වලා තියෙනවා. ආර්ථික වර්ධනයත් සමග අනෙකුත් ක්ෂේත්රවලත් වර්ධනයක් වෙනවා.
අපේක්ෂකයා ජයගත් පසු විධායක ජනාධිපති ක්‍රමයට වෙන දේ
අපි එදා ඉඳලම කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි වෙන්න ඕන කියලා. මේ නිසා ව්‍යවස්ථාව වෙනස් කරමින් ඉදිරි කටයුතු සම්පාදනය වේවි. මොකද විධායක ජනාධිපති ක්‍රමය රටට බරක්.
හිටපු ජනාධිපතිවරුන් හෝ ඥාතීන් තරගයට ඉදිරිපත් වීම
මේ දෙන්නා ඉදිරිපත් වීම නිසාම අපට කිසිම අභියෝගයක් නැහැ. අපට යම් අභියෝගයක් වෙන්න තිබුණා ජනතා නායකයෙක් ආවා නම්. එක්සත් ජාතික පක්ෂය ගත්තාම ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ දුර්වලම අපේක්ෂකයා. මොකද ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි වැනි අය අතර සජිත් ප්‍රේමදාස කියන්නේ ඩමියක්. ඔහු තාත්තා නිසා ජනප්‍රිය වෙච්ච පුතෙක් මිස බිමෙන් ගොඩනැගිච්ච නායකයෙක් නොවෙයි. ඉතිහාසයේ සිටිය බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ගත්තම ගෝඨාභය රාජපක්ෂ නායකයෙකු නොවෙයි. එයා අයියා නිසා ජනප්‍රිය වෙච්ච මල්ලි කෙනෙක්. තාත්තා නිසා ජනප්‍රිය වෙච්ච පුතෙක් එක්ක වගේම අයියා නිසා ජනප්‍රිය වෙච්ච මල්ලි කෙනෙක් එක්ක තරගයට ආපු අනුර කුමාර සහෝදරයා ජනප්‍රිය වුණේ ජනතාවගේ ප්රශ්නවලදී පාරේ සටන් කරලා, ජයග්‍රහණ අත්පත් කරලා දීලා. ජාතික සමගිය වෙනුවෙන් අපි පාරට බැස්සා. පාර්ලිමේන්තුව තුළ, පළාත් සභාව තුළ හඬක් නැගුවා. මේ අනුව අනුර කුමාර දිසානායක කියන්නේ මහ පොළොවෙන්, ජනතාව අතරින් නිර්මාණය වුණ නායකයෙක්.
අපේක්ෂකයා ජනාධිපති වූ පසු ඇමති මණ්ඩලයේ ප්‍රමාණය
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ පිළිබඳ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කරනවා කියලා, ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ට විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා හා වැටුප් නවත්වනවා. දූෂිත කැබිනට් මණ්ඩලය වෙනුවට හොඳ කැබිනට් මණ්ඩලයක් බිහි කරලා අලුත් පාර්ලිමේන්තුවක් ඇති කරනවා. මේ ටික කළාම එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් කණ්ඩායම් නැගිට්ටවන්න අලි ඇත්තු ගෙනාවත් ලැබෙන්නේ නැහැ.