ජනාධිපති ධුරයට දිනේෂ් සතු අයිතිය


වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය නිම වීමට ඇත්තේ තවත් වසරකට ආසන්න කාලයකි. ඉන් අනතුරුව මෙරට පැවැත්වෙනුයේ නමවැනි ජනාධිපතිවරණයයි. කෙසේ වුවද මේ වන විට රටේ පවතින්නා වූ සියලු ප්‍රශ්න පසෙකලා එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයා පිළිබඳ විවිධ කතාබහ ගොඩනැගෙමින් පවතී. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකත්වය හිමි වන්නේ කාහටද යන්න පිළිබඳ කාගේත් විශේෂ අවධානය යොමුවී ඇත. මෙහිදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්ප්‍රාප්තිය කැපී පෙනිණි. ඒ සඳහා ඔහු රටවටා විද්වත් සමුළු පවත්වමින් ජනතාව දැනුවත් කිරීමේ තනි ගමනක යෙදෙන්නට විය.

ඒ අතර බැසිල් රාජපක්‍ෂ හා චමල් රාජපක්‍ෂගේ නම්ද ඉස්මතු වූයේ ඒකාබද්ධ විපක්‍ෂය තුළද යම් බෙදීමක් ඇති බව පෙන්නුම් කරමිනි. විද්වත් සමුළුව සමග වේගවත් ගමනක යෙදුණු ගෝඨාභය වැළැක්වීමට රජය කිසිදු සැලකිල්ලක් නොදැක්වුවද, ගෝඨාභයගේ ගමන කිල්ලට හසුවීමට වැඩිකලක් ගත නොවිණි. එනම් ඔහුගේ ජන්ම දින සැමරුමේදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් දේශනයක් පවත්වමින් ගෝඨාභය නව සියවසේ හිට්ලර්වරයෙකු වේවා යැයි කරන ලද ආන්දෝලනාත්මක උපන් දින සුබ පැතුමය. එය ඔහුගේ ජනාධිපති සිහිනය ලත් තැනම ලොප් කිරීමට සමත් විය. එම ප්‍රකාශයෙන් ගෝඨභයගේ සැබෑ ස්වරූපය ඉස්මතු වූ බව දේශපාලන විචාරකයන් මෙන්ම සමාජ ජාලා ඔස්සේද දැඩි කතාබහටද ලක්විණි. කෙසේ වුවද එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සුදුස්සෙකු සොයා ගැනීමේ බරපතළ ගැටලුවකට ඒකාබද්ධ විපක්‍ෂය මේ වන විට මුහුණ දී ඇති බව පෙනේ. මෙය වඩාත් කැපී පෙනෙන්නට වූයේ, රාජපක්‍ෂ රජයේ ප්‍රවාහන අමාත්‍ය ධුරය දරූ කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රවේශය විවේචනයට ලක්කරමින් එළැඹෙන ජනාධිපතිවරණයට ඔහුද සුදුස්සෙකු බවට මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයයි. එයින් නොනැවතුණු ඔහු ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරයට ඉල්ලුම් කරන්නේ නම්, ඒ සඳහා ඔහුගේ නමද යෝජනා කරන බව ප්‍රකාශ කර ඇත.
වර්තමාන පාර්ලිමේන්තුවේ හැත්තෑවකගෙන් සමන්විත මෙම ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාය. ඔහුගේ සක්‍රීය දායකත්වය මෙහිදී කැපී පෙනේ. පාර්ලිමේන්තු විවාදවලදී ඔහුගේ වාග් චාතූර්ය සහ රජය වෙත එල්ල කරනු ලබන අභියෝග සාම්ප්‍රදායික විපක්‍ෂ නායකත්වයක හැඩයට හොඳම නිදසුනකි. මෙය දිනේෂ් තුළ පවතින ජානමය හැකියාවකි. මන්ද ගුණවර්ධන පරපුර මෙරට දේශපාලන ඉතිහාසයේ අනගිභවනීය සටන්කාමී ඉතිහාසයකින් යුත් සිය ධනය මෙන්ම ජීවිතයද කැපකළ පිරිසක් වීමය.
මෙරට යටත්විජිත පාලන සමයේදී අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගොනු වූ දේශප්‍රේමීන් අතර රොබට් ගුණවර්ධන මහතා සහ ඔහුගේ සොහොයුරු පිලිප් ගුණවර්ධන මහතා කැපීපෙනුණු අරගලකාරී නායකයෝ වූහ. 1936 වර්ෂයේ පවත්වන්නට යෙදුණු දෙවැනි රාජ්‍ය සභා මැතිවරණය සඳහා අවිස්සාවේල්ල ආසනය නියෝජනය කරමින් ඉදිරිපත් වූ පිලිප් ගුණවර්ධන මහතා ඡන්ද 23,906ක් ලබා ගනිමින් තේරී පත් වූයේ සිය ප්‍රතිවාදියා වූ එෆ්.ඒ. ඔබේසේකර මහතාට වඩා වැඩි ඡන්ද 8,604ක් ලබා ගනිමිනි.

එවකට දේශපාලන පක්‍ෂ ක්‍රමයක් මෙරට ක්‍රියාත්මක නොවූ බැවින් පිලිප් ගුණවර්ධන මහතා එම මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ පෞද්ගලික අපේක්‍ෂකයෙකු ලෙසටය. පසු කලෙක ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයන් වූ පිලිප් සහ රොබට් ගුණවර්ධන දෙපළ එම පක්‍ෂයේ නායකයන් වූ ආචාර්ය ඇන්.එම්. පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සමගින් එක්ව බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව කරන ලද අරගලවල ප්‍රතිඵලයක් වශයෙන් වසර 1940 ජුනි 17 වැනිදා පිලිප්, ඇන්.ඇම්., කොල්වින් සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන සිවුදෙනා අත්අඩංගුවට ගෙන බෝගම්බර සිරගත කරන ලද අතර, සමසමාජ පක්‍ෂයද තහනම් කෙරිණි. අනතුරුව රොබට් ගුණවර්ධන මහතා උපායශීලීව 1942 අප්‍රේල් 04 වැනිදා රාත්‍රියේදී මෙම සිවුදෙනාවම බෝගම්බර සිරගෙදරින් මුදවා ගෙන රහසිගතවම ඉන්දියාවට පලාගොස් වෙස්වලා ගෙන ඉන්දීය නිදහස් සටනටද සහාය ලබාදී ඇත්තේ පැවැති අවදානම ගැනද නොතකමිනි. එබැවින්ම ඔවුන්ට වැඩි කලක් එලෙස ඉන්දියාවේ ගතකිරීමට නොහැකි විය. ඔවුන් පිළිබඳ ලද තොරතුරක් මත 1943 දී ඉන්දීය රහස් පොලීසියේ අත්අඩංගුවට පත්වූ එම පස්දෙනා ලංකාවට පිටුවහල් කෙරිණි.
කෙසේ වුවද, 1947 මෙරට පවත්වන්න යෙදුණු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී අවිස්සාවේල්ල අසුනින් පිලිප් ගුණවර්ධන මහතා සහ කෝට්ටේ ආසනයෙන් රොබට් ගුණවර්ධන මහතා ලංකා සමසමාජ පක්‍ෂයෙන් තරගකර එම ආසන ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. පසුව පිලිප් ගුණවර්ධන මහතාගේ පත්වීමට එරෙහිව ගොනුකරන ලද නඩුවෙන් ඒ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන්  පැවැති අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ කුසුමා ගුණවර්ධන මහත්මිය ල.ස.ස.ප යට අවිස්සාවේල්ල අසුන රැක දුන්නේ නිතරගයෙනි. ඇය මෙරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව නිතරගයෙන් ජයග්‍රහණය කරන ලද ප්‍රථම මන්ත්‍රීවරිය මෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ කාන්තා දෙවැනි නියෝජිතවරිය ලෙසද ඉතිහාසයට එක්විය. 

මෙහිදී තවත් සුවිශේෂී කරුණක්ද සිහිපත් කළ යුතුව ඇත. එනම් ඒ වන විට ගුණවර්ධන මහත්මිය ගැබිනියකව සිටීමය.  ඒ කුස තුළින් බිහි වූයේ ‘දිනේෂ්’ නමින් නම් කෙරූ ඔවුන්ගේ වැඩිමල් පුතණුවන්ය. 1956 පැවැති මෙරට තෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එස්.ඩබ්. බණ්ඩාරනායක මහතාට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දීමට පිලිප් ගුණවර්ධන මහතා ප්‍රබල ශක්තියක් වූයේය. එම මැතිවරණය සඳහා බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිස ඉදිරිපත් වූයේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත් වයෙන් පැවැති මහජන එක්සත් පෙරමුණෙනි. වර්තමානය මෙන් නොව එකල දේශපාලන පක්‍ෂ සන්ධානගත වීමේදී මැතිවරණයකින් පසුව පිහිටුවනු ලබන රජයකදී ඔවුන්ට ඇමති කුට්ටම් ඇතුළු වරප්‍රසාද කොපමණක් ලැබෙනවාද යන්න පිළිබඳ කලින් ගිවිසා ගැනීමක් නොවීය. විශේෂයෙන් පිලිප් ගුණවර්ධන නමැති මේ අපූරු දේශපාලනඥයා පනස්හයේ විප්ලවයේ බලගතු සෙවණැල්ලක් බඳු වුවද, එම මැතිවරණයෙන් පසුව වඩාත්ම කැපීපෙනුණු මෙන්ම ජනමාධ්‍ය ඔස්සේ ඔසවා තැබූවේද බණ්ඩාරනායක මහතාවය. එබැවින් එම ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භුක්තියටම සවි විය.

පනස්හයේ රජයේ ඉඩම් හා ආහාර ඇමතිවරයා ලෙස පිලිප් ගුණවර්ධන මහතා පත් කෙරිණි. බණ්ඩාරනායක යුගයේ ආරම්භයත් සමග රට තුළ ඇතිකළ විප්ලවීය සමාජ පරිවර්තනය අතර එතෙක් නොවිසඳෙමින් පැවතුණු අඳ ගොවි අයිතිය පිළිබඳ වූ ප්‍රශ්නය කුඹුරු පනත මගින් විසඳාලීමට පිලිප් ගුණවර්ධන මහතා සිය ධුර කාලය තුළදී ගත් අගනා පියවරකි. කෙසේ වුවද, 1959 ජුනි 09 වැනිදා පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් රජයේ අමාත්‍ය ධුර අතහැර දමා විපක්‍ෂයේ අසුන් ගත්තේ එම රජය තුළ පැවැති මතවාදී ගැටුම් උත්සන්න වූ අවස්ථාවකය. පිලිප් ගුණවර්ධන යනු මෙරට පාර්ලිමේන්තුවේ එතෙක් මෙතෙක් බිහිවූ වේගවත්ම කථිකයා ලෙස ඉතිහාසයට එක්ව ඇත. ඔහුගේ අතිදක්‍ෂ වාග් චාතූර්ය නිසා ‘%බොරළුගොඩ සිංහයා’ ලෙස ජනතා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. ඔහුගේ ඇවෑමෙන් අනුප්‍රාප්තිකයා ලෙස මහජන එක්සත් පෙරමුණේ නායකත්වය ගනු ලැබූයේ ඔහුගේ පුත් දිනේෂ් ගුණවර්ධන මහතාය. ඔහු 1983 මැයි 18 වැනිදා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පවත්වන ලද අවසන් අතුරු මැතිවරණයට මහරගම අසුන සඳහා සිය පක්‍ෂයෙන් ඉදිරිපත් විය. එම මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට තීරණය කරනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතා ඒ වන විට පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මහජන නියෝජිතයෙකු විය යුතු බවට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර බණ්ඩාරනායක මහතා ගෙන තිබූ තීරණයක් අනුවය.

එම අතුරු මැතිවරණයෙන් ඡන්ද 27,054ක් ලබා ගනිමින් සිය ප්‍රතිවාදියා වූ එ.ජා.ප.යේ අපේක්‍ෂක ගාමිණී ජයසූරිය මහතා පරාජය කරමින් ජයග්‍රහණය කළ දිනේෂ් ගුණවර්ධන මහතා, සිය දේශපාලන භූමිකාව ආරම්භ කරනු ලැබීය. එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නායකත්වය දේශපාලන කුහකත්වයකින් තොරව ඍජුවම ගනු ලැබූ එම තීරණය නිවැරදි බවට තහවුරු වූයේ අතළොස්සක්ව පැවතුණු එකල විපක්‍ෂයට ජවය ලබා දීමට දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රසංශනීය දායකත්වයක් ලබාදීම නිසාය. එසේම මෙම පාර්ලිමේන්තුව තුළ අගනා රාජකීය පාසල් මිතුරෝ තිදෙනෙක්ද වූහ. අනුර, දිනේෂ් සහ රනිල් ඔවුන් තිදෙනාය.

එතැන් පටන් මේ දක්වා දිනේෂ් ගුණවර්ධන මහතා ජනතා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජාතික වශයෙන් ගැටලු මතු වූ අවස්ථාවලදීත් එඩිතරව පෙරමුණ ගෙන සටන් කරනු ලැබුවේ කිසිදු පැකළීමකින් තොරවය. එමෙන්ම දිනේෂ් යනු මෙතෙක් කිසිදු වංචාවකට හෝ දූෂණයකට නම් කෙරුණු පුද්ගලයෙකුද නොවන්නේය. 

එහෙත් මේ වන විට දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව තුළ සිය දායකත්වය ලබාදී ඇති කණ්ඩායමේ වැඩි දෙනෙකුට පසුගිය රජය සමයේ සිදු වූවා යැයි පැවසෙන වංචා,  දූෂණ පිළිබඳ චෝදනා එල්ල වී ඇත. පාර්ලිමේන්තුවේ එම කණ්ඩායම් නායකත්වයට තෝරා පත්කර ගෙන ඇත්තේද දිනේෂ් ගුණවර්ධන මහතාවය. වසර තිස්පහක් පමණ වූ ඔහුගේ සදාචාරාත්මක දේශපාලන භූමිකාවට මෙය කොතෙක් දුරට ගැළපේද යන්න පිළිබඳ පවතින්නේ ගැටලුවකි. දිනේෂ් සිටිය යුතු තැන ඔහුට අමතක වී ඇති සෙයක් මෙයින් පෙනී යයි.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත්වයට දිනේෂ් ගුණවර්ධන මහතාව පත්කර ගැනීමට ඉමහත් වෙහෙසක් දරන මෙම කණ්ඩායම එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සිය කණ්ඩායමෙන් ඉදිරිපත් විය යුතු එකම සුදුස්සා දිනේෂ් බවට කිසිදු සඳහනක් නොකිරීමද ගැටලුවකි. ඒකාබද්ධ කුණු කරත්තයේ බර ඇති තරම් දිනේෂ් මගින් අද්දවා ගෙන අවසානයේ රාජපක්‍ෂවරයෙකු ජනාධිපති තනතුර සඳහා ගෙන යෑම ඔවුන්ගේ එකම අභිප්‍රාය වී ඇතැයි මෙයින් පෙනී යයි. එමගින් දිනේෂ් කෙරෙහි සුළු ජාතීන් විසින් තබා ඇති සුහදශීලී විශ්වාසයටද හානියක් සිදු වන අතර, මෙරට ජාතික දේශපාලනය තුළ ඔහුට හිමි විය යුතු ස්ථානයද අහිමි වී යනු ඇත. මෙය රාජපක්‍ෂ දේශපාලන ශිල්ප ක්‍රමය තුළ පවතින සැබෑ තත්ත්වයයි. දේශපාලන ක්‍ෂේත්‍රයේ ඔවුන්ට අභියෝගයක් වෙතැයි සැක කරන ඔවුන් සමගින් සිටින චරිත කිනම් අයුරකින් හෝ බෙලහීන කිරීමට සූක්‍ෂම උපායමාර්ග ඔවුන් සතුව ඇත. මෙය මිත්‍රත්වය හා ලෙන්ගතුකමින් කරනු ලබන මෙහෙයුමක් බැවින් එය කිසිවෙකුට වටහාගත නොහැකිය. 

කෙසේ වුවද, දිනේෂ් ගුණවර්ධන යනු මෙරට ජාතික දේශපාලනය තුළින් බිහි වූ අගනා චරිතයකි. ඔහු තුළ ඇති සටන්කාමීත්වය, වාග් චාතූර්ය, නොනැමෙන සුළු ඍජු බව ඔහුට මෙරට දේශපාලනයේ අභිමානවත් නායකත්වයක් ගොඩනගා ගැනීමට හැකි බව සනාථ කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතා පෙළ ගැසීමකි. එළැඹී ඇති යුගය ඒ සඳහා හොඳම කාලයයි. දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමට නම් ඒ සඳහා පත්විය යුත්තේ දූෂණයෙන් තොර නායකයෙකි. ඔහු තුළ පැවැතිය යුත්තේ පොදු පරමාර්ථ පමණකි. අප දන්නා පමණින් දිනේෂ්ට රජකරවන්නට කුමාරයෙකු හෝ කුමාරිකාවක් නැත. ඔහු තුළ පවතින්නේ යථාර්ථවාදී දේශාභිමානයයි. ඒ සඳහා ඔහුට බාධකයක්ව පවතින්නේ ඔහු නියෝජනය කරන පුද්ගල වන්දනාවේ නිරත දේශපාලන අනාථයන්ය. ඔවුන් කෙදිනක හෝ දිනේෂ්ව ජනාධිපති අපේක්‍ෂකත්වයට නම් නොකරන බව නම් සත්‍යයකි. 

එසේ නම් විය යුත්තේ එළැඹෙන ජනාධිපතිවරණයේදී දිනේෂ් ගුණවර්ධන පොදු අපේක්‍ෂකයෙකු වශයෙන් තෝරා පත්කිරීමට මෙරට සක්‍රීයව පවතින සමාජ ක්‍රියාකාරී සංවිධානවල එකඟතාව වේ. ඒ සඳහා දිනේෂ් තුළින්ද නියත කැපකිරීමක් අවශ්‍ය වේ. එය නැවත වරක් මෙරට රාජපක්‍ෂ දේශපාලනයක් පිහිටුවීමට නොව සැබෑ ජාතික හැඟීමකින් මෙන්ම අන්‍යාගමිකයන් හා ජාතිකයන්ගේ සුරක්ෂාව තහවුරු කළ හැකි කිසිදු පක්‍ෂයකට, පුද්ගලයෙකුට ගැති බවක් නොදක්වන ඍජු නායකත්වයක් ගොඩනගා ගැනීමේ ඓතිහාසික කාර්යයකි.

මන්ද බොරළුගොඩින් මෙරට ජාතික දේශපාලනයට අතීතයේ ලබා දුන් ප්‍රෞඪ දායකත්වයේ ජානමය ශක්තිය දිනේෂ් සතු වීමය. එය ඔහු වටහා ගත යුතු වේ. එබැවින් ඔහු දේශපාලනයේ අනාථයෙකු හෝ කිසියම් කණ්ඩායමක දුක්ගන්නාරාළ කෙනෙකු බවට පත්විය යුතු නැත. අනිවාර්යයෙන්ම ඔහු සිය දේශපාලනයේ සැබෑ වත්කම හඳුනාගත යුතු කාලය එළැඹ  ඇත

   සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ



Recommended Articles